ඔර්ජිනල් එකට රැවටීම

0

වෙළඳපොළ සමඟ ගනුදෙනු කිරීමේදී පාරිභෝගිකයාට සිදුවෙන ලොකු ගැටළුවක් තමයි ව්‍යාජ අනුකරණයන්ගෙන් යුතු භාණ්ඩ හඳුනාගෙන නියම ඔරිජිනල් භාණ්ඩය අත්පත් කරගැනීමේ ගැටළු‍ව.
බොහෝ විට ජනප්‍රිය වෙළඳ නාම අවහාවිත කරමින් ව්‍යාජ භාණ්ඩ නැත්නම් ඩුප්ලිකේට් බඩු වෙළඳපොළේ තියෙනවා. බොරු රැවටිලිකාර මාර්කටින් වැඩවලින් බාල භාණ්ඩ අළෙවි කිරීමත් කරනවා. ඒ අතර කල් ඉකුත් වූ භාණ්ඩ අළෙවි කිරීමේ නරුම වැඩද වෙනවා.
මේ නිසා හොඳම දේ හරියට තෝරා බේරගන්න පාරිභෝගිකයා දැනුම්වත් වෙන්න ඕන. ඒත් ඒක පහසු වැඩක් නෙවෙයි. හැමෝටම ඒ දැනුම නැහැ. එක්කෝ ව්‍යාජ භාණ්ඩ ඇති බවවත් දන්නේ නැහැ. ඒත් නැතිනම් ලාබ බඩු මිළදී ගන්න සිද්ධවීම නිසා බාල බඩුවලින් සෑහීමකට පත් වෙනවා. මේ වගේ දේවල් නිසා වෙන එක එක අලකලංචිවලට පාරිභෝගිකයා මුහුණ දෙනවා. සමහර විට ඒවා ජීවිත හානි වෙන්න තරම් භයානක වෙන්නත් පුළුවන්.
මේ වගේම තමයි දේශපාලන වේදිකාවත්. ඔරිජිනල් සහ ඩුප්ලිකේට් බඩු තියෙනවා. දේශපාලයේ ද මාකටින් කියා දෙයක් තියෙනවා. ඩුප්ලිකේට් දේවල් ජනප්‍රිය කිරීම පහසුවෙන් කරන්නත් පුළුවන්. අද වෙළඳ ප්‍රචාරණ ශිල්පයේ වර්ධනයන්, විශේෂයෙන්ම සමාජ මාධ්‍යන්වල වර්ධනයන් වගේම අවස්ථා වැඩිකම නිසා ඩුප්ලිකේට් දේවල් ජනතාව අතරට යැවීම පහසුයි.
ලංකාවේ දේශපාලනය තුළ, ආර්ථිකය තුළ මේ දවස්වල ලොකු කතාබහක් තියෙන්නේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕන නිසා. අවුරුදු දෙක තුනකට කලින් වැටුණ ආගාධයෙන් පුරවැසි අපිට තවමත් සම්පූර්ණයෙන් ගොඩ එන්න ලැබිලා නැහැ.
ගඟේ ගහගෙන යන මිනිහා පන් ගහේ හරි එල්ලෙන්න බලනවා වගේ ගොඩක් අයට සිද්ධ වුණා දේශපාලන පන් ගස්වලත් එල්ලෙන්න. පන් ගස්වල එල්ලු‍නු අයට වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
පසුගිය දවස්වල දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ගැන කතාබහ වැඩිපුර කරලියට ඇවිල්ලා තිබුණා. සාමාන්‍යයෙන් මැතිවරණ ආසන්න වෙන කොට දේශපාලන පක්ෂ සන්ධාන ගත වෙමින් වඩා ශක්තිමත් කඳවුරු නිර්මාණය කරගන්නවා. මේ කඳවුරු ගත වීමේදී ප්‍රධාන සාධකය කරගන්නේ ඒ ඒ පක්ෂ දරන දේශපාලන ආර්ථික ප්‍රතිපත්තීන් මුල් කරගත් සංවාදයයි. දක්ෂිණාංශක-වාමාංශික බෙදීම, ලිබරල්-ජාතිකවාදි බෙදීම, ප්‍රතිගාමි-ප්‍රගතිශීලි බෙදීම වගේ ඒවා මේ සංවාද එක්ක සිදු වෙනවා. ඒත් මේ පැහැදිලි බෙදීම්වලට වඩා බොහෝ විට මේ රටේ දකින්න ලැබුණේ ව්‍යාජ ලේබල් ගහගත්තු ආතක් පාතක් නැති කඳවුරු බෙදීම්ය. දක්ෂිණාංශික ලිබරල්වාදින් ලෙස පෙනී සිටින වුන් ජාති ආගමිකවාදීන් එක්ක සන්ධාන ගත වුණා. ජාත්‍යන්තරවාදය ගැන කතා කරපු වාමාංශිකයන් ජාතිවාදය වැළඳගත්තා. වාමාංශිකයන් දක්ෂිණාංශික වුණා. ඒ ඒ කාලවල මතුවන හරි, නිර්මාණය කරන ව්‍යාජ අර්බුද පෙන්වලා දේශපාලන අවස්ථාවාදය නිසා තමන් දරපු මතවාදයන් ප්‍රතිපත්ති අත්හැර දැමීම වුණා. අදත් ඒවගේ දේවල් සෑහෙන්න දකින්න තියෙනවා. අඩුම තරමින් මේ පක්ෂ සහ කණ්ඩායම් වල සාමාජිකයාට පක්ෂිකයාට තමන්ගේ පක්ෂයේ මතය ප්‍රතිපත්තිය මොකක්ද කියල හරි වටහාගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ හරි දේශපාලනයක් තොර ගන්න ගිහින් ඔරිජිනල් එක අහිමිව ඩුප්ලිකේට් එකට
රැවෙටෙන තත්වයක්. හැබැයි ඔර්ජිනල් බඩු නැතුව නෙවෙයි.
රටේ අර්බුද උත්සන්න වෙනකොට රට භාර දුන්නේ රනිල් වික්‍රමසිංහට. ඒ වෙන කවුරුවත් ළඟ මේකට විසඳුමක් හරි මේ අභියෝගය භාරගන්න තරම් දේශපාලන හයියක්, පරිචයක්, මතවාදයක්, ප්‍රතිපත්තියක් තිබුණේ නැති නිසා. රනිල් කියන්නේ හැමදාම දක්ෂිණාංශ දේශපාලන කඳවුර නියෝජනය කරපු නියමුවෙක්. ඒ ගැන කිසි සැකසංකාවක් ඇතිකරගන්න එයා තමන්ගේ දේශපාලන භාවිතය තුළ ඉඩ තියලා තිබුණෙත් නැහැ. රනිල් හැමදාමත් යැංකි ඩිකීගේ බෑනා. බටහිර ගැත්තා නැතිනම් ඒජන්තයා. ධනපති පංතියේ ආරක්ෂකයා. ලිබරල්වාදියා. රනිල් එක්ක වාමාංශිකයන්, ජාතිවාදීන් ඒකරාශි වුණත් එයා එයාගේ ප්‍රතිපත්තිය අත්හැරියේ නැහැ. පාවලා දුන්නේ නැහැ. දේශපාලනයේදී කෙතරම් අවාසිදායක වුණත් පරාජය භාරගෙන තමන්ගේ ප්‍රතිපත්තිය රැක්කා. ලංකාවේ දේශපාලනය තුළ රනිල් ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් බඩුවක් වෙන්නේ එහෙමයි.
ඒත් රනිල්ට විකල්පයක් වෙන්න දඟලපු අය අතර ඔර්ජිනල් බඩු සිටියේ නැහැ. තිබුණු තරමක් තිබුණේ ව්‍යාජ නිෂ්පාදනයන්. අද මේක හොඳටම පැහැදිලිව තියෙනවා. විශේෂම කාරණය වෙන්නේ ජනපති රනිල් තමන්ගෙ ඔර්ජිනල් ප්‍රතිපත්ති මත වැඩ කරමින් රටේ අර්බුදය විසඳාගැනීමට සමත් වන තරමට, විපක්ෂ කොටස් නන්නත්තාර වීමයි. මේ නිසා අද සිදුවෙලා තියෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්තියේම ඩුප්ලිකේට් නිෂ්පාදන මේ විපක්ෂ කණ්ඩායම් තුළින් බිහි වීමයි. ඒත් කොපි කළාට සම කරන්න පුළුවන් වුණෙ නැහැ.
සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස ගත්තාම එයාලා රටේ අර්බුදය විසඳගැනීම ගැන කියන්න ගත්තේ රනිල්ගේ ප්‍රතිපතියමයි. වෙනත් උත්තර තිබුණේ නැහැ. ඒත් මේක රනිල්ගේ එක නෙවෙයි, කවරේ වෙනස් කරමින් ඒක වෙන ඔර්ජිනල් එකක් කියලා මාර්කටින් කළාට ඔරිජිනල් එක අභිබවා යන්න වුණේ නැහැ. ඒ නිසා දැන් වෙන වෙන ආලවට්ටම් දමමින් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන හරි රනිල්ට විකල්පයක් වෙන්න උත්සහ කරනවා.
ජාතික ජන බලවේගයටත් සිදු වුණේ ඒකමය. අඩුම තරමින් ඔවුන්ට ජනතා විමුක්ති පෙරමුණ නමින් වෙනම අනන්‍යතාවයක් තිබුණු වාම-ජාතිකවාදී දේශපාලනයක් තිබුණත් කොලටියේ ප්‍රශ්න නිසා කොච්චර මාර්කටින් කළත් ඒක ජනප්‍රිය කරගන්න පුළුවන් වුණේ නැහැ. ජාතික ජන බලවේගය නමින් නව නිෂ්පාදනයක් කරන්න වුණේ ඒ නිසයි. මේක ජවිපෙ නෙවෙයි වෙන එකක් කියා ඔර්ජිනල් භාණ්ඩයක් වගේ එළියට දම්මත් ඒකේ තිබුණෙත් රනිල්ගේ ඔර්ජිනල් එකෙන් අනුකරණය කරගත් දේවල් ගොඩක්. ඒ අස්සේ ජවිපෙ වාම-ජාතිකවාදයේ කුණු පැල්ලමුත් දකින්න තිබුණා. ගත්තු ලිබරල් කෑලි ටිකත් අංග විකල වෙලා තිබුණේ.
රනිල් ෂඵත්‍ එකත් එක්ක කෙළින්ම වැඩකරලා සාර්ථක වෙන කොට, මේ අයට ඒ සාර්ථකත්වයට විරුද්ධව තවත් යන්න බැරි වුණා. ඒත් තමනුත් ෂඵත්‍ යනවා කියා කෙලින්ම කියන්නත් බැරි වුණා. මුලින් නම නැතිව තෙවන පාර්ශ්වයක සහය ගන්නා බව කිව්වා. රනිල් ෂඵත්‍ නිර්දේශවලින් ඉවත් වන්නේ නැහැ කියලා සපථ කරලා කියද්දි ජාජබයට එහෙම කියන්න ඕන වුණත් වාම-ජාතිකවාදී කෑලි නිසා එහෙම කියන්න බැහැ. අපි ෂඵත්‍ එකට කොන්දේසි දමනවා කියලා කියන්නේ ඒ නිසායි. ජාජබයේ ආර්ථික ප්‍රතිපත්තිවල වගේම අනෙක් ප්‍රතිපත්ති ගොන්නෙත් වැඩියෙන් තියෙන්නෙ රනිල්ගේ ඔර්ජිනල් එකෙන් කොපි කරගත් දේවල්. ගොඩක් වෙලාවට රනිල් මේ වෙන කොටත් ක්‍රියාත්මක කරලා ප්‍රතිපල ලබමින් තියෙන යෝජනා.
අද රටත් ජනතාවත් මුහුණදී තිබෙන තත්වයන් වෙනස්කරලා රටෙත් ජනතාවගෙත් අභිලාශයන් යථාර්ථයක් කරන්නත්, වඩා හොඳ යහපත් හෙට දවසක් වෙනුවෙනුත් ජනතාව තෝර ගන්න ඕන ඔර්ජිනල් එක මිසක් ඩුප්ලිකේට් කුණු කසල නොවේ. ලාබෙට ලැබෙන බාල බඩු වලින් දිගුකාලීන, ආරක්ෂිත පැවැත්මක් නැති බවත් තේරුම් ගත යුතුය.
ඔර්ජිනල්ම භාණ්ඩය මිල අධික වෙන්න පුළුවන්. ඒ මිළ දරන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒත් හොඳම ප්‍රතිපලය හරියට ගන්න නම්, කල් පවතින්න නම්, භාණ්ඩය බ්‍රෑන්ඩඩ් එකක් වෙන්නත් ඕන. ඔර්ජිනල් එකක් වෙන්නත් ඕන.

………ලොකූ…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *