දේශප්‍රේමයේ ඔරිජිනල් වර්ෂන් එක රනිල්

0

ලංකාවේ දේශපාලනය තුළ දේශපේ‍්‍රමය භාවිතා වූයේ කොල්ලකාරී අර්ථයකිනි. ඒ අනුව දේශපේ‍්‍රමයට මුවා වී කළ ජාවාරම්කාරී දේශපාලන ඉතිහාසයක් මෙරට සතුය. මේ නිසා කිසිවකුත් තමන් දේශ්පේ‍්‍රමියකු බව කියන්නේ නම් හඟවන්නේ නම් ඒ සැක කිරීම විය යුතුව තිබෙන්නක් බවට පොදු සමාජ අවබෝධයක් මෙරට පුරවසියන්ටත් තිබේ. එමෙන්ම මෙරට දේශද්‍රෝහින් ලෙස පට්ට ගැසීමට ලක්වූ අතලොස්සක් දේශපාලකයන්ද සිටියේය. ඔවුන්ගේ භාවිතය ඊනිය දේශපේ‍්‍රමයට එරෙහි වීම මේ ලේබලය වැදීමට හේතු විය. මෑත කාලයේ එලෙස ලේබල් අලවා ගත් ප‍්‍රමුඛ දේශපාලකයකු වූයේ දිවංගත මංගල සමරවීරය. නමුත් මංගල සිය අවසන් කාලය තුළද පෙනී සිටියේ දේශපේ‍්‍රමය වෙනුවෙනි. සැබෑ දේශපේ‍්‍රමය යනු කුමක්ද යන්න ගැන නව කතිකාවක් ඔහු ගොඩ නැගීමට උත්සහ කළේය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහද ඇදදමා තිබුණේ මේ දේශද්‍රෝහී ගනයටය. ඔහු දශක ගනනාවක් පුරා ඊනියා ජාතිකවාදින්ගේ වාමාංශිකයන්ගේ ගැරහුමට පාත්‍ර වුයේ අධිරාජ්‍ය ගැත්තකු, බටහිර ගැත්තකු ලෙස දේශද්‍රෝහීයකු කරමිනි. මැතිවරණ ඉතිහාසය පුරාම ඔහුව පරාජය කිරීම වෙනුවෙන් ගෙන හැර පෑ ප‍්‍රධාන සටන් පාඨය වූයේ මෙම දේශද්‍රෝහී හංවඩුවය.

එහෙත් රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන භාවිතය මේ රටට එරෙහි වූවක් නොවේ. ජනතාවට එරෙහි වූවක් නොවේ. ව්‍යාජ දේශපේ‍්‍රමීන්, ජාතිකවාදය කරපින්නාගෙන මජර දේශපාලනය ඔහු කිසිදා කර නැත. ඔහු ජාතිකවාදය විශ්වාස තැබුවෙක් නොවේ. ඔහුගේ දේශපාලනය මේ දූපතෙන් එපිටට ගිය ජාතන්තරවාදයක් විය. ලෝක පර්යාය

”වර්ල්ඞ්  ඕඩර්” මත රටේ අභිවෘද්ධිය ගැට ගැසීමෙන් මිසක රටට ගොඩනැගුමක් නොවෙන බව විශ්වාස කළ අයෙකි.

අද බංකොලොත් බවට පත්වූ රට යම් ලෙසකින් හෝ ඔහුට මේ වන විට ඔසවා තැබීමට හැකි වන්නේ මේ ලෝක පර්යාය සමඟ රට ගැට ගැසීමට ඔහු දැක්වූ සමත්කම නිසාය. බංකොලොත් රට බාරගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවු මොහොතේ දේශපාලනික සහ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙනුත් ඉතා දැඩි අවදානමක් ගෙන අභියෝගයට මුහුණ දුන්නේ ඔහු සතුව තිබූ සැබෑ දේශපේ‍්‍රමය නිසාය. ඔහුගේ දශක පහකට ආසන්න දේශපාලන ජීවිතය තුළ තමන්ට හරිහම්බ කරගත් දෙයක්ද නැත. මන්ත‍්‍රී වැටුප බැර කළේද දරුවන් වෙනුවෙනි. ඔහුට රකින්න පරපුරක්ද නැත. මේ අනුව ඊනියා ජාතිකවාදියකු නොවී දේශපේ‍්‍රමියකු වන්නේ කෙසේද යන්න ගැන රනිල් හොඳම ආදර්ශය සපයා ඇත්තෙකි.

ජාතිවාදය ආගම්වාදය තබා දේශපාලනික පක්ෂ භේද හෝ නොතකා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ් කොහොමද කියන එකට රනිල් උදාහරණයකි. ජාත්‍යන්තරය හා ගනුදෙනුවේදී බලකඳවුරු ගැති නොවී ශ‍්‍රී ලංකාවේ ගැත්තකු ලෙස කටයුතු කරන්නේ කොහොමදැයි ඔහු පෙන්වා ඇත. අද රනිල් වික‍්‍රමසිංහ දේශපේ‍්‍රමියකු ලෙස නව අර්ථ ගැන්වීමකට ලක් වෙමින් තිබෙන්නේ රනිල්ගේ මේ සුවිශේෂී දේශපාලන භාවිතය නිසාය.

මෑතකදී ජර්මනියේ මාධ්‍ය ආයතනයක් සමඟ කළ සාකච්ඡාවේදී රනිල් තමන්ගේ දේශපේ‍්‍රමයේ හැඩය සහ තරම කුමක්ද කියන එක ලෝකයටම පෙන්වීමට සමත්වීම මේ නව අර්ථ දැක්වීමට ශක්තිමත් පදනමක් දැමීය.

ජාත්‍යන්තරය සමඟ සමීපව කටයුතු කරන ගමන් එම ජාත්‍යන්තරයම විවේචනයට ලක් කරමින් රටට එරෙහිව වන සංකීර්ණ සහ අවදානම් සහගත තත්වයන් කලමණාකරණයට දක්වන සමත්කම සුවිශේෂීය. මේ අසමසම භාවිතාව මෙරට ඉතිහාසය තුළ කිසිඳ්‍ර රාජ්‍ය නායකයකුගෙන් දකින්නට නොලැබුණු නායකත්වයේ විශිෂ්ඨත්වයකි.

ජනාධිපතිවරයා තමන්ගේ රටේ අනන්තවත් ප‍්‍රශ්න තියාගෙන ලෝකෙ වටේ රවුම් ගහමින් කරන්නේ කුමක්ද කියා බොහෝ අයට ප‍්‍රශ්න තිබිය හැකිය. ඒ තබා රටේ මීළඟ පාලන බලය ගන්නවා කියමින් සිටින විපක්ෂ කණ්ඩායම්වලට මෙන්ම බොහෝ මාධ්‍යවේදීන්ටද මේ ගැන අවබෝධයක් නැත. තිබුණත් එය වසන්කර රට නොමඟ යවන තක්කඩි දේශපාලනයක් කරමින් සිටී. මේ රටේ අර්බුදය කියන්නෙත් මේ ජාත්‍යන්තර අර්බුදවලම අනෙක් කොටසකි. ශ‍්‍රී ලංකාව දූපතක් ලෙස අනෙක් රටවලින් හුදකලාව, වෙනම තිබෙන රටක් නොවේ. ශ‍්‍රී ලංකාවේ පැවැත්ම ඇත්තේද ජාත්‍යන්තරය සමඟ වන සම්බන්ධතාවයන් මතය. ලෝකයේ එහා කොණේ තිබෙන ඇමරිකාවට හෙම්බිරිස්සාවක් හැදුනොත් ලංකාවට නිව්මෝර්නියා වැළදේ යැයි කතාවක් තිබෙන්නේ ඒ නිසාය. ලංකාව වැනි රටවලට නිව්මෝනියා වැළදීම වලක්වා ගන්න නම් ඇමරිකාවට හෙම්බිස්සාව වැළදෙන එක නතර කළ යුතුය. ජනාධිපති රනිල් මේ දිනවල උත්සාහ කරමින් ඉන්නේ ලෝක බලවතුන් දා ගන්නා ලෙඩවලින් මේ රටවල් ආරක්ෂා කරගැනීමට කළ හැකි වෙද හෙදකමක් වෙනුවෙන් මැදිහත්වීමක් කිරීමටය. ඇමරිකාව සහ එහි මිතුරු බටහිර යුරෝපීය ජාතින්, ඔස්ටේ‍්‍රලියාව ජපානය ඉන්දියාව වැනි රටවල් මේ වන විට චීනයේ ආර්ථික නැගීම හමුවේ ඊට මුහුණ දීම සඳහා ගන්නා ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් හමුවේ ශ‍්‍රී ලංකා වැනි රාජ්‍යයන්ට මුහුණ දීමට සිදුවන අනිසි බලපෑම් නතර කරගැනීම විය යුතුව තිබේ. ලෝක ආර්ථික අවපාතයන්, යුද්ධ, ආහාර හිඟය, බුද්ධිගලනය වැනි ගැටළු විසඳා ගැනීම විය යුතුව තිබේ. එමෙන්ම දේශගුණික විපර්යාස හමුවේ, කාබන් ශුන්‍ය කිරීමේ අභියෝගය ජය ගැනීමට ලෝකයටම බල කෙරී තිබෙන තත්වයන් හමුවේ මේ බලගතු රාජ්‍යයන් අනුගමනය කරන පාර්ශ්වික පියවරයන්ද අනාගතයේදී අනෙක් රටවලට බලපෑම් සහගත වෙනු ඇත. මේ ආදි ගැටළු

රැසක් නිරාකරණය වීමකින් තොරව ශ‍්‍රී ලංකාව තුළ අමුතුවෙන් විසඳා ගැනීමට ප‍්‍රශ්න නැත. මන්ද මෙරට අභ්‍යන්තර ප‍්‍රශ්න යනුවෙන් කතා කරන දේවල් විසඳාගැනීම මෙම ජාත්‍යන්තර ගනුදෙනුවේ ප‍්‍රතිලාභයන් විසින් ඉ‍ටුකරනු ලබන්නක් නිසාය. මෙරට කාලාන්තරයක් පවත්වාගෙන ආ ආර්ථික දේශපාලනික පිළිවෙත්වල ගැටළු විස`දාගැනීම විය යුත්තෙත් මේ ජාත්‍යන්තර ගනුදෙනුවට සමාන්තරව සහ එම සම්බන්ධතාවයන් සමඟය.

 එසේ නොවන්නට මෙරට දුෂණයෙන් වංචාවෙන් තොර, විනයගරුක නීති ගරුක, නිදහස සමානාත්මතාවය රජයන සුපිරි ප‍්‍රජාතන්ත්‍රවාදී රටක් වූවා කියා අත්පත් කරගත හැකි සංවර්ධනයේ ජයග‍්‍රහණයක් නැත. ලෝකයෙන් වසංවී රටේ තිබෙනවාය කියන සම්පත් සහ හැකියාවන් ප‍්‍රමාණය සියරට දේ සිරිසැප දේ කියමින් ඒ අවසන් වෙන තුරු බුක්ති විදිමින් සිටිය හැකි වුවත් ලෝකය සමඟ සමාන්තර ගමනක් හිමි නොවේ.

ඒ තබා රටට තෙල් ටික ගෑස් ටික හෝ ගෙන එන්නට නම් ඊට ඩොලර් ආදායම් රජය සොයාගැනීම විය යුතුය. ඩොලර් හොයන්න නම් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනුව හරියට බේරා ගත යුතුය. අද තෙල් මිළ ඉහළ ගියෝ, ගෑස් මිළ ගියෝ යැයි කෑ ගසන බොහෝ අය මේ වෙනුවෙන් රජය ඩොලර් මුදල් වැය කරන්නේ කොහොමදැයි දන්නේ නැත. ඒ මුදල් හොයා ගන්නේ කෙසේදැයි දන්නේ නැත. තෙල් ගෑස් සහන මිලකට දෙන්න නම් රජය ඒ වෙනුවෙන් කැප කළ යුත්තේ මොනවාදැයි දන්නේ නැත. පවතින ආර්ථික අර්බුදයන් මත එහෙම කැපකිරීමක් රජයට කළ හැකිදැයි දන්නේ නැත. ඒ ගැන වගේ වගක්ද නැත.

රටේ පවතින ඩොලර් සංචිත ආරක්ෂා කරගනිමින් ඒ වර්ධනය කරගනිමින් රජයට මේ අසීරු ගමන යන්න සිදුව තිබේ. ඩොලර් සංචිත වර්ධනයට ජාත්‍යන්තර ගනුදෙනුව අත්‍යවශ්‍යමය. විදේශ ණය ආධාර, ආයෝජන අවශ්‍යමය. විදේශ පේ‍්‍රෂණ අවශ්‍යය. විදේශ සංචාරකයන් රටට පැමිණිය යුතුය. මෙරට අපනයනයන් වර්ධනය විය යුතුය. ඒ කොටස බේරෙන්න නම් ලෝකය අර්බුදයකින් තොරව පැවැතිය යුතුය. නමුත් අද ලෝකයම තිබෙන්නේ ආර්ථික අර්බුදයකය. අඩු තරමින් ලංකාව පසුගිය වසර තුළ පැවැති අර්බුදයෙන් ගැලවෙමින් ලබාගත් ප‍්‍රගතියවත් ලෝකය ලබා නැත. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නෙ ඉදිරි වසර හතර පහක කාලය තුළ මේ ලෝක ආර්ථික අර්බුදය තවදුරටත් ඔඩු දුවනු ඇති බවය. බොහෝ සංවර්ධිත රාජ්‍යයන්හි කඩා වැටීමක් සිදු වෙනු ඇති බවය. මේ තත්වයන් අනුව රට අප්සෙට් කියමින් රට අත්හැර ගිය වුන් ලෝකෙන් උතුම් රට ශ‍්‍රී ලංකාවයි කියමින් ආපසු පැමිණීමත් වෙන්නට බැරි නැත. ඒ කොහාම නමුත් ගෝලීය තත්වයන් යටතේ ශ‍්‍රි ලංකාව සංවර්ධනයේ ඉලක්්ක හඹා යෑම සාර්ථකවීමත් යම් ආශ්චර්යමවත් දෙයක් විය යුතුය. ජනාධිපති රනිල් රටේ අර්බුදයත් ලෝක අර්බුදයත් කළමනාකරණය කරමින් වෙහෙසෙන්නේ ඒ ආශ්චර්යමවත් දේ මෙරට පුරවැසියාගේ සැබෑ අත්දැකීමක් බවට පත් කිරීමටය.

මෙය සෙල්ලම් වැඩක් නොවේ. අනික මෙය තනි මනුස්යෙකුගේ ධෛර්ය සම්පන්න මෙහෙයුමකි. මෙරට විපක්ෂයේ නායකයන් රට වෙනුවෙන් මෙලෝ අලබෝලයක වැඩක් නොකරමින් සිටියත් තමන්ට තනියම රට ගොඩගන්න බැරි බව අද කියන්නට තරම් මානසිකවත් කඩා වැටී තිබෙන බවත් මෙතනදි සැලකිය යුතුය. ජනාධිපතිවරයා මේ විපක්ෂ කණ්ඩායම් වලින් සාමුහික සහයෝගයක් ඉල්ලා සිටියද ඒ කිසිවකුත් ඊට කන් දුන්නේ නැත. එසේම රජය ගන්නා පියවරයන් කඩාකප්පල් කිරීමම තමන්ගේ කාර්යභාරය කරගෙනද තිබිණි. ඒ අභියෝගත් මධ්‍යයේ ජනාධිපති රනිල්ගේ මෙහෙයුම අතිශය සුවිශේෂීය. විපක්ෂයට රනිල් එක්ක තමන්ට හැරෙන්නවත් බෑ, යනුවෙන් හිතෙන තරමට ඒ සුවිශේෂීය. රනිල්ගේ මේ සුවිශේෂත්වය ජාත්‍යන්තරය තුළත්, රට අභ්‍යන්තරය තුළත් ඔහු ක‍්‍රියාත්මක කරවන්නේ රට මේ තිබෙන තැනින් ඉහළම තැනකට ඔසවා තැබීම වෙනුවෙන් මිසක් තමන් වෙනුවෙන් නොවේ.

රනිල් සැබෑ දේශපේ‍්‍රමියෙක් වන්නේ මේ නිසාය. බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ඔහු දේශපේ‍්‍රමය කිසිදා වික්කෙ නැත. බලය රඳවාගැනීම වෙනුවෙන් දේශපේ‍්‍රමය ප‍්‍රවර්ධනය කළේ නැත. දූෂිත ජාවාරම්කාරි පාලනයක් ආවරණය කරගැනීම වෙනුවෙන් දේශපේ‍්‍රමය පළිහක් කරගත්තේ නැත. ඒ තබා මේ රටේ සැබෑ දේශපේ‍්‍රමියා ඔහු බව ඔහුවත් නොදන්නවාට සැක නැත. තමන් දේශපේ‍්‍රමියකු බව නොකියන්නේ ඒ නිසා විය හැකිය. ඔහු වැඩ කරන්නේ විවෘත්තවය. එය පැහැදිලිය. කරන දේ කියයි, කියන දේ කරයි. සියල්ල සැලසුම් සහගතය. ඔහුගේ අරමුණ, ඉලක්කය රටට රහසක් නොවේ. සැඟවුණු දෙයක් නැත. මේ සියල්ලේ ජයග‍්‍රහණය කිසිසේත්ම ඔහුට නොවේ,‍ එය රටටය, පුරවැසියාටය. ඒ නිසා ඒ ජයග‍්‍රහී ගමන තුළ තවරාගන්න අමුතු පාට පාට අයිසිං ඔහුට වුවමණා නැත. මේ දේශපේ‍්‍රමයේ අලූ‍ත් වර්ෂන් එකය. ඔර්ජිනල් එකය.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *