රටම වගවෙන රාජ්‍ය සේවය

0

රාජ්‍ය සේවය වූ කලී කලින් කලට පත්වන ආණ්ඩුවල උවමනා එපාකම් පිරිමසා ගැනීම වෙනුවෙන් ඔළුගෙඩි පුරවන තැනක් බව පැවසීම සාවද්‍යයක් නොවේ. මෙහි ප‍්‍රතිපලයක් ලෙස මේ වන විට රාජ්‍ය ආදායමෙන් වැඩි පංගුවක් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් කැපකිරීම් කර රටේ ආර්ථිකයට දරා ගත නොහැකි අන්දමේ කණ්ඩායමක් නඩත්තු කරමින් සිටින, යල් පැන ගිය ක‍්‍රමෝපායන් මූලික කරගනිමින් යාවත්කාලීන නොවූ ක‍්‍රමවේදයක් පවත්වාගෙන යාමට යොදාගත් පිරිසක් සිටින තැනක් බවට පත්ව ඇත.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අර්ථකථනයක් සිදු කිරීමේදී රාජ්‍ය සේවකයා යනු රජයට පක්ෂපාතීත්වය දක්වන්නා වූ රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැන්වීමට වෙනුවෙන් යොදවා ඇති පිරිසකි. නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ රාජ්‍ය සේවයාට පමණක් නොව පොදු ජනතාවට පවා රාජ්‍යය යන්න අර්ථ දක්වා ගැනීමේ ඇති ගැටළුවයි.

රාජ්‍යය යනු ආන්ඩුව නොවේ. රාජ්‍යය (State) හා ආණ්ඩුව (Govetment) යනු දෙකකි. ආණ්ඩුව යනු රාජ්‍යයේ ප‍්‍රායෝගිකත්වය ක‍්‍රියාවට නගන ආයතනයයි. රාජ්‍යය ස්ථාවරය. නමුත් ආණ්ඩුව අස්ථාවරය. ආණ්ඩුව යනු රාජ්‍යය ඇති වීමෙන් පසු ඇතිවූ ආයතනයකි. ආණ්ඩුව, රාජ්‍යය ක‍්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරන ආයතනය යි. රාජ්‍යයේ පරිපාලනය මෙහෙයවන ආයතනය යි. එය මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වේ. ආණ්ඩුව මඟින් රාජ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගනු ලබන අතර රාජ්‍යය ඒ අනුව ක‍්‍රියාත්මක වේ. රාජ්‍යය ක‍්‍රියාත්මක වන්නේ රාජ්‍ය සේවකයන්ගේ මැදිහත් වීමෙනි. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සිටින්නේ රාජ්‍යය වෙනුවෙනි. එනම් රාජ්‍ය සේවය තුළය. ආණ්ඩුව තුළ නොවේ.

එහෙත් ගැටළුව වන්නේ බොහෝ රාජ්‍ය නිලධාරීන් මේ බව නොදැනීම හෝ මේ බව නොතැකීමය. ඔවුන් විසින් උපකල්පනය කරනු ලබන්නේ රාජ්‍ය සේවය යනු ආණ්ඩුව වෙත සිය සේවය ලබා දීම බවය. මේ පැටලැවිල්ල ළෙහා ගැනීමට සමත් නොවීම නිසා ඉතිහාසය පුරාමත්, වර්තමානයේත් අප විසින් අත්දැක ඇති අමිහිරි සිදුවීම් ගණනවකි. එය අදද අවසන්ව නැත.

මෙහි ආසන්නතම සිදුවීම් කිහිපයක් ගතහොත්, මෑතකදී සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමේ සිද්ධිය සලකා බැලීම වටී. මෙහි ප‍්‍රතිපලය වූයේ මේ සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කළ සමාගමට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අදාල පාර්ශ්ව දෙකට නියෝගයක් නිකුත් කර තිබිණි.

අදාල නඩු විභගයේදී තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ පැවසුවේ ”රටේ ප‍්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නැතිව ජනතාව පීඩාවට පත්වී සිටිනවා. ඒ නිසා විශාල වියදමක් දරා ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට පෙළඹී තිබෙනවා. මහජනතාව, වෙළෙඳ හා ආර්ථික ක්ෂේත‍්‍රය විශාල අගතියකට පත්වී සිටින්නේ දිගුකාලීන බලශක්ති අර්බුදය හේතුවෙන්. මේ නිසා පුනර්ජනනීය ප‍්‍රභව හරහා බලශක්තිය උත්පාදනය කරගැනීම ඉතා වැදගත්.” යනුවෙනි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ හා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ රාජ්‍ය නිලධාරීන් අත්තනෝමතිකව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බාධා කිරීම සිදුව ඇතත් ඊට අදාලව වන්දි ගෙවීම මෙම ආයතන මඟින් සිදුවීම මත මෙම වන්දිය සමස්ත ජනතාවට ගෙවන්න සිදුවෙනු ඇත. මන්ද මේ ආයතන නඩත්තු කරන්නේ මහජන බදු මුදලින් වන නිසාය. මේ ‌කෙතරම් අසාධාරණ ක‍්‍රියාවක්ද? දූෂිත අකාර්යක්ෂම නිලධාරීන් කිහිප දෙනෙකු වෙනුවෙන් සමස්ත බදු ගෙවන ජනතාව වන්දි ගෙවිය යුතුද? මෙය රාජ්‍ය සේවය පිහිටුවා ඇති සිස්ටම් එකේම වරදකි.

තවත් ආසන්නතම සිදුවීමක් වූයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වන පේ‍්‍රමලාල් ජයසේකරට එරෙහි චෝදනාවකට අදාලව ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවකට ලක්ව වරදකරු වූ සබරගමු පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 5ක සිරදඩුවම් ලැබීමයි. මෙම දඩුවමට අමතරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට රුපියල් 20,000ක දඩයක්ද නියම විය.

2015 ජනවාරි මස 5 දින හෝ ඊට ආසන්න දිනයකදී විපක්ෂයේ දේශපාලන පක්ෂයක සාමාජිකයින් පිරිසක් කහවත්ත ප‍්‍රදේශයේ රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටින අතරතුර වෙඩි තැබීමක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටි පේ‍්‍රමලාල් ජයසේකර චෝදනා ලැබ සිට ඇති බවත් අධිකරණයේදී හෙළි විය.

එසේ චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට නොගන්නා ලෙසට විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවකට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිව සිටි ලලිත් රාජමන්ත‍්‍රීට බලපෑම් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 209 වගන්තිය යටතේ ඔහුට එරෙහිව චෝදනා නගනු ලැබ තිබිණි.

මෙහිදී ද පැහැදිළි වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමන් කාගේ සේවකයෙකුද යන්න පිළිබඳව නිවැරදි අවධානයකින් කටයුතු නොකිරීම බව පැහැදිලිය. පොලිස් සේවය යනු පොදු මහජනතාව වෙනුවෙන් ඇති කරන ලද සේවාවකි. මෙම සේවාව වෙනුවෙන් වැය බර දරනු ලබන්නේ පොදු මහජනතාවය. පොලිස් නිලධාරියා යනු රාජ්‍ය සේවකයෙකි. ඔහු ආණ්ඩුවේ සේවකයෙකු නොවේ. ඔහු සිය වගවීම කළ යුත්තේ ආණ්ඩුවේ හෙංචයියන්ට නොව පොදු මහජනතාවට හා රාජ්‍යයට බව ඔහුට තේරී නැත. මේ රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයක් නොවන බවට හෙළි වූ ආසන්නතම සිදුවීම් දෙකක් පමණි. තව උදාහරණ  ඕනෑතරම් සමාජය තුළ අහන්නට දකින්නට ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයා විසින් සිය කාර්යය නිසි පරිදි ඉටු කරනවාද යන්න මේ වන විට වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත. පසුගිය ආණ්ඩු විසින් සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නඩත්තු කරමින් ආ සුබසාධන ක‍්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් ”අස්වැසුම” නම් සුබසාධන ක‍්‍රියාවලියක් හඳුන්වා දුනි. නමුත් මීට අදාල රාජ්‍ය සේවකයින් බහුතරයක් මෙම ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීමට සිය දායකත්වය ලබා නොදුන් බව නොරහසක්.

රාජ්‍ය සේවකයින් විසින් මෙකී ක‍්‍රියාවලිය වර්ජනය කිරීම වෙනුවෙන් දක්වන ලද අදහස වූයේ සමාජ සුබසාධන පනතේ වගන්ති දෙකක් සම්බන්ධයෙනි. එනම් තොරතුරු ලබා දෙන්නා සේම, තොරතුරු ලබා ගන්නා ද අදාල තොරතුර සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවට වන වගන්තියයි. මහජනතාවගෙන්

වැටුප් හා වරප‍්‍රසාද ලබමින් නඩත්තු වන රාජ්‍ය සේවකයින් විසින් තමන් ඉටු කරන්නා වූ රාජකාරියට අදාලව වගවීමට නොහැකි බව ප‍්‍රකාශ කිරීම කොතරම් සාධාරණ ද යන්න නැවත සලකා බැලිය යුතු කාරණාවකි. තමන්ගේ රාජකාරීයට වගවීමක් ඇතිනම් නීතියට බිය විය යුතු නැත. නමුත් මෙතැන තිබුණේ වංචාවට දූෂණයට ඇති ඉඩ කඩ අහුරාගැනීමට තිබු ඔවුන්ගේ අකැමැත්ත බව පැහැදිලිය.

මේ ලෙසම පසුගිය රජයන් විසින් ඉදිරිපත් කළ ජාතික විගණන පනතට අදාලව මූලිකම විරෝධය දක්වනු ලැබුවේම රාජ්‍ය පරිපාලන නිලධාරීන් විසිනි. රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම, අවභාවිතය වැළැක්වීම, නාස්තිය පිටුදැකීම, අයථා මුදල් ගනුදෙනු වැළැක්වීම ඇතුළු කරුණු කාරනා රාශියක් පෙරදැරි කොටගෙන මෙම ජාතික විගණන පනත ඉදිරිපත් වූ අතර, ගිණුම් පරික්ෂා කිරීම, වැරදි නිවැරදි කිරීම, අධිභාර පැනවීම ආදියේ බලය විගණකාධිපති වෙත පැවරී තිබුණු නමුත් රාජ්‍ය පරිපාලන ක්ෂේත‍්‍රයේ නිලධාරීන්ගේ බලවත් විරෝධය හමුවේ මෙය යම් යම් සංශෝධනයක්ට ලක්විය.

මීට පෙර පැවැති ක‍්‍රමයට අදාලව යම් අමාත්‍යාංශයක හෝ ඊට අනුබද්ධ ආයතනයක මූල්‍ය අවභාවිතාවක් සිදුවුව හොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම අදාල අමාත්‍යාංශ ලේකම්වරයාටම බලය හිමිව තිබිණි. මෙය සත්‍ය වශයෙන්ම හොරාගේ අම්මගෙන් පේන අහන්නා වැනි තත්වයකි. මන්ද අමාත්‍යාංශ ලේකම් වරයාද ඔහු යටතේ වන අනෙක් ඉහළ නිලධාරීන්ද වංචා දුෂණවලට මූලිකයන් වී තිබු තත්වයන් තුළ නීතිය ක‍්‍රියාත්මකවීම නොවන නිසාය. කෙසේ වෙතත් මෙම තත්වය වෙනස් කොට ගිණුම් පරීක්ෂා කිරීම, අධිභාර පැනවීම ඇතුළු බලතල ගණනාවක් විගණකාධිපති වෙත පවරා රාජ්‍ය සේවය පිරිසිදු තැනක් බවට පත් කිරීම නව විගණන පනතෙහි මූලික අදහස වූ නමුත් එය පූර්ණ වශයෙන් සාර්ථක කරගැනීමට රාජ්‍ය නිලධාරීන් ඉඩ තැබුවේ නැත. අවසානයේ සම්මත වූයේ අංගවිකල පනතකි.

මේ අතර ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක‍්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් පවසා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බොහෝ අකාර්යක්ෂම නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපයන් හේතුවෙන් ලංකාවේ බදු ආදායම් එකතු කිරීමේ ක‍්‍රියාවලිය අඩපන වී ඇති ඇති බවකි. බදු ක‍්‍රියාවලිය විධිමත් කොට බදු ප‍්‍රතිශතය ඉහළ නැන්වීමෙන් පසු බදු ලිපිගොනු ලක්ෂ 10ක් විවෘත කරන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයා වෙත පොරොන්දු වී ඇති නමුත් මෙතෙක් අලූ‍තින් විවෘත කර ඇත්තේ ලිපිගොනු දසදහසක් පමණි.

මීට අමතරව පසුගියදා මාධ්‍ය මඟින් රේගු දෙපාර්තමේන්තුවේ අතිකාල ලබාගැනීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර, මෙම මාධ්‍ය වාර්තාවට අනුව රේගුවේ අංශ හතරක සේවකයින් විසින් පැය 24ම අතිකාල දීමනා ලබාගෙන ඇති බව වාර්තා කර තිබිණි.

මෙම සිදුවීමේදී ශ‍්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබිණි. ඒ අනුව රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් කෝටි 214කට වැඩි මුදලක්ද රේගු අතිකාල නැව්බඩු පරික්ෂා කිරීමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදලෙන් රුපියල් කෝටි එකසිය හයකට වැඩි මුදලක්ද වශයෙන් මෙම මුදල් ගෙවීම් කර ඇතැයි එම වාර්තාවේ දක්වා තිබිණි. එසේම අදාල විගණන වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබුනේ රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනයන් ද සහිතව සෑම දිනකම සේවයට වාර්තා කර තිබූ බවත්, ඒ වෙනුවෙන් වූ අතිකාල දීමනා ද ලබාගෙන ඇති බවකි.

මෙහි ඇති හාස්‍යයට කරුණ නම් අදාල නිලධාරීන් සිය පුද්ගලික අවශ්‍යතා, ශාරීරීක අවශ්‍යතා පවා කැපකරමින් මුළු මාසය පුරාම පැය විසිහතර පුරාම නින්දක් නොමැතිව සේවයේ යෙදීමයි.

පසුගිය කාලයේ අරගලය පැවැති මොහොතේ සමාජ ගත වූ කරුණක් වන්නේ 225ම හොරු බවයි. නමුත් මෙරට මෙවන් ව්‍යසනයක් කරා ඇද දැමීමට පාර්ලිමේන්තුව නියෝජනය කළ 225ට යම් හෝ අවස්ථාවක් ලැබුණානම් එය සිදු වූයේ දූෂිත රාජ්‍ය සේවකයන් ඊට අනුගතවීමෙන් බව පිළිගත යුතු සත්‍යයකි.

අප විසින් හැමදාමත් මුවාට තඩි බෑමට නොහැකිව මුව හමට තඩිබාන්නා සේම සමස්ත අර්බුදය 225ක් වෙත බැර කළ ද මෙම ව්‍යසනයට වගකිවයුතු ලක්ෂ ගණනක රාජ්‍ය සේවකයන් සිටින බව අමතක කර ඇත. හැමදාමත් අප විසින් ගැටළු විසඳන්නට උත්සාහ කළේ පහසු තැනට චෝදනා ගොනු කර අත පිසදා ගැනීමෙනි.

කෙසේ වෙතත් 225හේ වගකීම කලින් කලට මාරු වෙමින් යන බව අපට අමතකව ඇත. ආණ්ඩුව යනු තාවකාලික යාන්ත‍්‍රණයක් බවත් අපට අමතකව ඇත. බරපතලම කාරණාව වන්නේ කොයි කාලයේ කොයි ආණ්ඩුව ආවත් වෙනස් නොවන අති දූෂිත නිලධාරීන් බහුතරයගෙන් පිරුණු රාජ්‍ය තන්ත‍්‍රයක් ඇති බවය. කොයි අණ්ඩුව වෙනස් වුවත් මෙම පිරිස වෙනස් වන්නේ නැත. රාජ්‍ය ආයතන පද්ධතියම, රාජ්‍ය සේවක පිරිසම රටට බරක් වී ඇත්තේ මේ නිසාය. මෙය එදා සිට අද දක්වාම කලින් කලට වෙනස් මුහුණුවරින් අප මුහුණ දෙන සංකීර්ණ ගැටළුවකි. මෙරට ආර්ථික අර්බුදය විසඳීමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ‌සහය ලබාගැනීම පවා ප‍්‍රමාද වන්නේ මේ රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් ඇති කර තිබෙන අයහපත් ප‍්‍රතිපල නිසාය.

රට ගොඩ ගැණිය යුතුව ඇත. එය තාවකාලික පැළැස්තරයක් නොවිය යුතුය. නැවත වරක් අපට අර්බුදයේ ගිලිය නොහැකිය. උගත් පාඩම් කියා දෙයක් ඇති බැවින් අප අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුව ඇත. එබැවින් සිස්ටම් චේන්ජ් එකක් අපේක්ෂා කරන සියලූ‍ දෙනා විසින් සත්‍ය වශයෙන්ම ඉල්ලා සිටිය යුතු වන්නේ වඩා නිවැරදි කාර්යක්ෂම රාජ්‍ය සේවකයකි. සත්‍ය වූත්, අවංක වූත්, යුක්තිගරුක වූත් රාජ්‍ය සේවයක් මේ රටේ පවතින්නේ නම් හම්පඩ දේශපාලකයින්ට ඔවුගේ සිතුම් පැතුම් පරිදි අපේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට නොහැකි බව අප තේරුම් ගත යුතුය. එසේ නොවී කරනා සියලූ‍ සිස්ටම් චේන්ජ් තාවකාලික වින්දන පමණක්ම වනු ඇත.

  • රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *