IMF මගහැර සජිත් යන්න හදන්නේ නරකාදියට

0

බංකොලොත් තත්වයට පත්ව ආර්ථික වර්ධනය වෙනුවට අවවර්ධනය නැතිනම් සෘණ තත්වයක් දක්වා කඩා වැටෙමින් තිබුණු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ආපසු හැරවීමකට ලක් කිරීමට රජය සමත්ව ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා තමන්ගේ නවතම වාර්තාවක් (Asian Development Outlook (ADO) -September 2023) මඟින් පෙන්වා දී තිබිණි. ඒ අනුව මෙරට ආර්‍ථිකය මේ වන විට ස්ථාවරව පවතී. එසේම අත්‍යාවශ්‍ය ආහාර සහ ඉන්ධන, ගෑස් වැනි අනෙකුත් ද්‍රව්‍ය සැපයුමද ධනාත්මකව සිදු වෙමින් පවතින බවත් පෙන්වා දී ඇත. එසේම ලබන වසර තුළ දළ දේශීය නිෂ්පාදනයේ සියයට 1.3ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වෙනු ඇති බවත් පුරෝකථනය කර තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඊට වඩා අපේක්ෂා සහගත ලෙස පවසා සිටින්නේ එය සියයට 1.5ක වර්ධනයක් අත්පත් කරගනු ලබන බවය. කෙසේ නමුත් මෙම වාර්තාව අනුව කලාපය හා සැස`දීමේදී අඩුම වර්ධන වේගයක් සහිත රට මෙරට වන නමුත් යම් තත්වයකින් හෝ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය පැවැති සෘණ තත්වයෙන් ඔසවා වර්ධනීය තැනකට ගෙන ඒමට හැකි වීම රටේ ජයග‍්‍රහණයකි. 2022 වසරේ මෙම අගය පැවැතියේ සෘණ -7.8 කි. මේ වන විට -3.0කි. කෙසේ නමුත් පසුගිය වසරවල කරන ලද බොහෝ පුරෝකථනයන් ඉක්මවා ගොස් ඇති අතර ලෝක මටට්මින් සලකා බැලූවත් බරපතල අර්බුදයට ලක් වූ රටවල් අතරින් වේගයෙන්ම යළි ස්ථාවර වූ රට ශී‍්‍ර ලංකාව වනු ඇත. ඒ අනුව නව පුරෝකථනයන් පවා ඉක්මවා යෑමත් බලාපොරොත්තු විය හැකිය.

මෙම පිම්ම පැනගැනීමට හැකි වන්නේ වත්මන් රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ ප‍්‍රකාරව රට බංකොලොත් භාවයෙන් මුදවාලීම වෙනුවෙන් ගත් කඩිනම් අර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් ක‍්‍රියාත්මක කිරීමේ දැඩි පියවරයන් සහ රජය අනාගත ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන පියවරයන් නිසාය. පසුගිය සති දෙක මුළු‍ල්ලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමන්ගේ නිර්දේශ අනුව මෙරට ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් දියත් කර තිබෙනවාද නැද්ද එහි සාර්ථක අසාර්ථකත්වයන් ගැන සිදු කළ සමාලෝචනයෙන් පසුව ඔවුන්ගේ දෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් රටට ලබා දීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මේ වන විට ඒ සඳහා කොළ එළියක් දැල්වී ඇත. එනම් මෙතෙක් රජය සිදු කළ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ගැන සහ අනාගත වර්ධනයන් ගැන ඔවුන් සෑහීමකට පත්වීමකි.

කෙසේ නමුත් තවමත් මෙරට ආර්ථිකය පැවැති අවදානම් සහගත බවින් මිදීම මුළු‍මනින්ම සිදුව නොමැත. ඒ අනුව තවත් වසර කිහිපයක් මෙම ප‍්‍රතිසංස්කරණයන් සමඟ කටයුතු කිරීමට සිදුවනවා සේම මුල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ජය ගත යුතු ඉලක්ක කිහිපයක්ම සපුරා ගැනීම සිදුවිය යුතුය. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීම විය යුතුව තිබේ. රාජ්‍ය ආදායම සාමාන්‍යයෙන් රඳා පවතින්නේ බදු ආදායම් මතය. බදු ආදායම් වර්ධනය වී තිබුණද තවදුරටත් බදු පනවා බදු ගෙවන ජනතා පීඩාවට පත්කිරීම කළ නොහැකිය. නමුත් බදු ගෙවිය යුතුමුත් නොගෙවා සිටින පිරිසගේ දායකත්වය රාජ්‍ය ආදායමට ලබාගැනීම සිදු කළ හැකිව ඇත. එසේම රාජ්‍ය ආදායම් වර්ධනය සඳහා විදේශ ආයෝජන ගෙන්වා ගැනීම තිබෙන අනෙක් විකල්පයකි. කොහොම නමුත් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම රජය ආරම්භ කර ඇත. මෙම වසර තුළ ඉලක්ක කළ විදේශ සෘජු ආයෝජන ඉලක්ක කළ අගය ඉක්මවා සපුරා ගැනීමට මේ වන විටත් සමත්ව ඇති බවත් වාර්තා වී ඇත.

මේ අතර රජය මුහුණ දෙන අනෙක් අභියෝගය වන්නේ මුල්‍ය අරමුදලේ වැඩසටහන අනුව රාජ්‍ය ණය ප‍්‍රතිවුහගත කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ප‍්‍රමාද වෙමින් තිබීමය. මෙරට විපක්ෂ කොටස්වල බාධා කිරීම් මධ්‍යයේ වුවද දේශීය ණය ප‍්‍රශස්ථකරණය සාර්ථක කරගනිමිත් ඉදිරි පියවරක් තැබුවද විදේශ ණය සම්බන්ධයෙන් යම් ගැටළු‍කාරිත්වයක් ඉතිරිව ඇත. විශේෂයෙන්ම චීනයෙන් අවශ්‍ය තරමේ සහයෝගය තවදුරටත් ප‍්‍රමාද වෙමින් ඇත. එම තත්වයන් හමුවේ සෙසු ණය හිමියන්ගේ තීරණ ගැනීමත් ප‍්‍රමාදයට ලක්ව ඇත. කෙසේ නමුත් චීනයේ ගැටළුව මඟ හරිමින් විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවන් සොයා බැලීමක් ද සිදුවෙමින් පවතින බවත් වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය දිනවල සිදු කළ විදේශ සංචාරයන්ගේ අනෙක් වැදගත්ම හේතුව වූයේ මේ සම්බන්ධයෙන් යම් සුබදායක තීරණයක් ලබාගැනීමය. මෙම සංචාරවලදී ණය හිමි රටවල නායකකාරකාදින් සහ ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන නියෝජිතයන් මුණ ගැසෙමින් සාකච්ඡා වට ගණනාවක නිරතවීම දකින්නට ලැබිණි. ඔහුගේ ජර්මානු සංචාරය තුළද එළැඹෙන චීන සංචාරය තුළද වැදගත්ම කටයුත්තක් වන්නේ විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රටට වඩාත් වාසිදායක ලෙස මෙම ප‍්‍රශ්නය විසඳාගැනීමේ වුවමණාවය.

ජනාධිපතිවරයා සිය පෞද්ගලික හා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පාවිච්චි කරමින් මේ කරන මැදිහත් වීම සාර්ථක නොවුණහොත් රටට තවත් අනාගතයක් නැත. එය පැහැදිලිය. විපක්ෂය කණ්ඩායම් කවර විවේචන චෝදනා එල්ල කළත් රට මුහුණ දෙමින් සිටින අර්බුදය විසඳීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන මඟ හැර වෙන මඟක් නැත. ඒ හැර විපක්ෂය සතුව වෙනත් කිසිදු විකල්ප වැඩපිළිවෙලක්ද නැති බව ඉඳුරා සහතික කළ හැකි දෙයකි.

මේ අතර පසුගියදා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියොජිතයන් හමුවී තිබිණි. මෙම හමුව තුළ දී සජිත් පේ‍්‍රමදාස, මුල්‍ය අරමුදල සමඟ රජය එකඟ වී ඇති වැඩපිළිිවෙල තමන්ගේ රජයක් යටතේ අහෝසි කරන බව පැවසුවා යැයි ඔහුගේ මාධ්‍ය මෙහෙයුම්කරුවන් ලොකු ප‍්‍රසිද්ධියක් දී තිබිණි. මුල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි ජනතාව පීඩාවට පත්කර ඇති බවත් තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා ඒ අහෝසි කරන බවට සිංහනාද කළ බව හැඟවීමට මෙම නිවේදනය සිදු කළත්, සත්‍ය ලෙසම මෙම එකඟතා අහෝසි කර ජනතාව වෙනුවෙන් ගත හැකි යහපත් පියවරක් නම් ඔහුට නැත. මුල්‍ය අරමුදල නිර්දේශ කළා නොකළා රටේ ආර්‍ථිකය යළි ගොඩනැංවීමට නම් මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් කළ යුතු වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එම ප‍්‍රතිසංස්කරණ එකඟතා කඩා බිඳ දැමීමට සජිත් පේ‍්‍රමදාස කටයුතු කරනවා නම් එහි තේරුම, මුල්‍ය අරමුදල මෙරටට සහය වන වැඩපිළිවෙල හකුලා ගැනීමය. එපමණක් නොවේ, රට කෙරෙහි වන ජාත්‍යන්තර විශ්වාසය කෙළෙසා ගැනීමකි. රට යළි නරකාදියකට තල්ලූ කිරීමකි.

මීට පෙර 16 වතාවක් මුල්‍ය අරමුදල මෙරට ආර්ථික උන්නතිය අත්පත් කරගැනීම වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත්කර අවශ්‍ය සහය ලබාදීම සිදුකර ඇත. නමුත් ඒ වැඩිමනත් අවස්ථාවල බලයේ සිටි ආණ්ඩු විසින් එම එකඟතාවලින් ඉවත් වීම් නිසා අරමුදලේ සහය අහිමි කරගෙන ඇත. ආසන්නතම උදාහරණය පසුගිය යහපාලන යුගයේදී මුල්‍ය අරමුදලේ සහයෝගය මත ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමඟම අහෝසි කළේය. ඒ වන විට මහින්ද රාජපක්ෂ යුගයේදී අයාලේ ගිය ආර්ථිකය යළි නිවැරදි මඟට ගනිමින් ආර්‍ථික ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට යහපාලනය සමත්ව තිබිණි. එම වැඩපිළිවෙල ඉදිරියට අඛණ්ඩව ක‍්‍රියාත්මක වූවා නම් රට බංකොලොත් තැනට ඇද වැටෙන්නේ නැත. එදා රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කිරීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එවකට දේශපාලන අධිකාරියත් ආර්ථිකය ගැන වගකිව යුතු නිලධාරීනුත් ගත් මරිමෝඩ තීන්දු තීරණ ප‍්‍රධානතම හේතු විය. විදේශ සංචිත සහ රාජ්‍ය ආදායම් සම්පූර්ණයෙන්ම පාහේ අහිමි කරගෙන රටේ වියදම් වෙනුවෙන් ඉවක් බවක් නැතිව මුදල් මුද්‍රණය කිරීමේ අවසානය රට බංකොලොත් විය. රටවැසි ජනතාව තමගේ ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම පීඩාකාරිත්වයට මුහුණ දුන්නේය. ඒ තබා රටට තිබු ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගයද අහිමි කරගන්නා ලදී. මේ මරිමෝඩ තීන්දු තීරණ ආපසු හරවා රට යළි සංවර්ධනයේ මාවතට ගෙන ඒම වෙනුවෙන් වසර ගණනක අසීරු සංකීර්ණ මෙහෙයුමක් වන තැනටද පත් විය. ඒ බර අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට රාජ්‍ය නායකයා ලෙස තනියෙම අදින්න වන තත්වයක උදා වී ඇත. ඔහු මේ දක්වා තමන්ගේ ජාත්‍යන්තර සම්බන්ධතා, ඔහුගේ පරිණත රාජ්‍යතාන්ත‍්‍රික බව සහ දේශපාලන අත්දැකීම් මේ වෙනුවෙන් යොදාගෙන තිබේ.

පසුගිය කාලයේ පැවැති ජාත්‍යන්තර සමුළු ගණනාවකම රනිල් අවධාරණය කළේ ගෝලීය වශයෙන් ශ‍්‍රී ලංකාව වැනි රටවලට සිදුව තිබෙන අසාධාරණය, ගෝලීය ආර්ථික බලවතුන්ගේ න්‍යායපත‍්‍ර අනුව සංවර්ධනය වෙමින් පවතින රටවලට කටයුතු කිරීමට හෝ බලහත්කාරිත්වයන්ට යටවීම නිසා සිදුව තිබෙන පීඩාව හානිය ගැනය. ඒ වෙනුවෙන් බලවත් රටවල් වන්දි ගෙවිය යුතු බවට ඔහු මේ වන විටත් ලෝකය හමුවේ හඬක් නගමින් සිටී. ගෝලීය භූ-දේශපාලනික අර්බුද, ණය අර්බුදය, යුද ගැටුම්, දේශගුණික විපර්යාස, හමුවේ කුඩා රටවල ආර්‍ථිකය කඩා වැටීමට ලක්ව තිබෙන බවත් මේ ඔවුන්ට තනිව විසඳා ගත නොහැකි අර්බුදයක් වන නිසා ලෝක බලවතුන්ගේ සහ ජාත්‍යන්තර සංවිධානවල සහය අනිවාර්යෙන්ම ලැබිය යුතු තත්වයක් ඇති බවද පෙන්වා දී තිබිණි. විශේෂයෙන්ම ණය වෙනුවෙන් සහනයක් ලැබීම විය යුතු බව ඔහු පෙන්වා දුන්නේ එසේ නොමැති වුවහොත් මෙම රටවලට මුහුණ දීමට සිදුවන විනාශය වැලැක්විය නොහැකි බව පෙන්වා දෙමිනි. අද එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා පවා සිටින්නේ එම මතය තුළය. ඔහුගේ ආයාචනයද වූයේ රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දුන් ගැටළු විසඳා ගැනීම වෙනුවෙනි. එසේම මේ වන විට බොහෝ ජාත්‍යන්තර සංවිධාන තුළ ජනපති රනිල් කළ අදහස් දැක්වීම්වලට සමපාතව පියවරයන් ගැනීම ගැන සාකච්ඡා වෙමින්ද පවතී.

එහෙත් ජනාධිපතිවරයා ජාත්‍යන්තරය තුළ අතිශය වැදගත් තීරණාත්මක මෙහෙයුමක යෙදී සිටියත් මෙරට විපක්ෂ කණ්ඩායම් ඒ ජාත්‍යන්තර සහයත් යළි අහිමි කරන තැනට කටයුතු කිරීම අතිශය කණගා‍ටුදායක තත්වයකි. ජාත්‍යන්තරය සමඟ සුහදව, ඔවුන් සමඟ ගනුදෙනුවක නිරත වෙමින් විසඳුම සොයාගැනීමට බලකෙරී තිබෙන මොහොතක විපක්ෂය එය වලක්වන තැනට පත්කරන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද යන්න විමසා බැලිය යුතුය. රට ඉන්දියන් සාගරයේ දූපතක් ලෙස හුදකලා කරමින්, ජාත්‍යන්තරයට එරෙහි වෙමින් යා හැකි ගමනක් නැති බව මේ අයට නොතේරෙනවා විය නොහැකිය. නමුත් බලයට තිබෙන කෑදරකම නිසා රට ඒ වෙනුවෙන් ඔට්ටු තැබීම සිදු කරයි. රජය කෙරෙහි ජනතාවගේ ඇති ජනප‍්‍රියත්වය සහ විශ්වාසයට හානිකර තමන්ගේ බලයක් පිහි‍ටුවා ගැනීමට මේ අය සිහින දකියි. මේ තකක්ඩිකමක් විනා වෙන යමක් නොවේ. ඔවුන්ගේ බලයක් හමුවේ වුව රනිල් ගත් මඟ හැර රටට වෙන හුදකලා පැවැත්මක් නැත. පසුගිය ගෝඨා පාලනය විසින්ද නවසිය හැත්තෑවේ සමගි පෙරමුණු පාලනය විසින්ද ඔප්පු කළේ එයය. යළිත් ඒ වැරද්ද් සිදු කළ නොහැක.

රටේ අවාසනාව වී ඇත්තේ විපක්ෂ කොටස් වෙතින් රජයට අවශ්‍ය සහයෝගය නොලැබීමය. රනිල් ජනාධිපතිධුරයට පත්වූ දා සිටම දිගින් දිගටම රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ එය ජයගැනීමට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කෙටි කාලයකට හෝ එකතු වී වැඩ කරමුය කියන ඉල්ලීම විපක්ෂයෙන් කළ ද ඊට සහයක් හිමි වූයේ නැත. සහයක් නොදුන්නත් ඊට බාධා නොකර සිටීමේ සදාචාරත්මක ගුණය හෝ ඔවුන් පෙන්වුයේ නැත. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂික වූයේ නැත. දිගින් දිගටම රට ගොඩගැනීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමෙහි යෙදී සිටී සජිත්ලාට, ජී.එල්.ලාට, ඩලස්ලාට, ගොඩහේවලාට, අනුර කුමාරලාට, ගුණරත්නම්ලාට අවශ්‍යව ඇත්තේ හොඳින් හෝ නරකින් ආණ්ඩු බලයක් ලබාගැනීමේ මජර සිහිනය සැබෑ කරගැනීමේ ප‍ටු ආත්මාර්ථකාමී වුවමණාව පමණක් බව ඔවුන් දිගින් දිගටම පෙන්නූ දේශපාලන භාවිතය බව අද ඉතා පැහැදිලිය.

කොහොම නමුත් අද රජය දියත් කර තිබෙන ආර්ථික ප‍්‍රතිසංකරණ සිදු නොවීමට යම් හේතුවක් වෙතොත් මේ මජර විපක්ෂයේ තුච්ඡු ක‍්‍රියාකාරිත්වය ඊට මූලික හේතුවකි. එය ඉතාම පැහැදිලිව නිශ්චිතවම කිව හැකිය. ඒ ගැන වාදයක් නැත. මෙවැනි මජර විපක්ෂක් රටකට පිළිලයක් වෙන බව පසුගිය 75 වසරක් මුළු‍ල්ලේ මෙරට සිදුව තිබෙන දේ ගැන සැලකිමේදී සමස්ත ලෝකයටම උදාහරණයකට ගත හැකිය. රටේ අභිවෘද්ධියට ගන්නා නිවැරදී තීන්දු තීරණ ප‍ටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් කඩාකප්පල් කිරීම වුවමණාවටත් වඩා සිදුව ඇත. රට මෙම කලාපයේ සංවර්ධිතම රාජ්‍යයක් බවට පත් වීමේ අවස්ථා නැතිභංගස්ථාන කරදැමුවෙත් මේ මජර විපක්ෂ දේශපාලනය විසින්ය. එහි පාඩම් බොහොමයක් ඉගෙන ගැනීමේ හැකියාව තිබුණද එය පවා නොසලකා හරිමින් පෙන්වන හැසිරීම වර්තමාන විපක්ෂ කණ්ඩායම්වල තුච්ඡු බව කියා පාන්නකි. අඩුම තරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට තම පාලන කාලවලදී වූ වැරදි පිළිගැනීමේ හැකියාවක් තිබිණි. ඒ වැරදි අඩුපාඩු දැන්වත් නිවැරදි කළ යුතුය කියන දේශපාලන තීන්දුවට පැමිණීමේ හැකියාවක්, පරිණත බවක් ඔහුට තිබිණි. ඒ ඔහුගේ පෞද්ගලික හෝ දේශපාලනික ජයග‍්‍රහණයක් වෙනුවෙන් නොවේ. රට වෙනුවෙනි. ජනතාව වෙනුවෙනි. ජනාධිපතිවරයා අද මේ කරන මහෙවර යම් දිනක ඉතිහාස ගත වන දියුණු දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් බව දැනටම පැහැදිලිය. එසේම මෙරට ඉතිහාසයේ මජරම විපක්ෂ කණ්ඩායම වර්තමාන විපක්ෂය වන බවත් තහවුරුය.

-ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *