විසිදහසේ මස් රාත්තල වෙනුවටඇත්ත මහ පාරට.

0

පසුගිය සති කිහිපය පුරා රාජ්‍ය සේවකයින්ගේ විරෝධතා රට පුරා දක්නට ලැබුණි. එම විරෝධතා සියල්ලම එකම සටන් පාඨයක් යටතේ ගොනු වී තිබූ අතර, ඔවුන්ගේ ඉල්ලීම වූයේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙසයි.
වෙනත් කිසිදු දිනයක දක්නට නොලැබෙන කඩිසර වටපිටාවක් මෙකී විරෝධතා රාජ්‍ය ආයතනයන්හි දක්නට ලැබුණු අතර, කෑම පැයේදී පාරට අවතීර්ණ වූ රාජ්‍ය සේවකයින් වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා සිටියහ. කෑම පැයේදී විරෝධතාවයේ නිරත රාජ්‍ය සේවකයින් අනතුරුව හෝ ඉන් පෙරාතුව ආහාර ගත්තේ රාජකාරි වේලාවේදීදැයි අප ප්‍රශ්න නොකරන්නෙමු. එසේම විරෝධතා පුවරු සඳහා බෝඩ් සපයා ගත්තේ, විරෝධතා පුවරු ලිවීම සඳහා තීන්ත හෝ පෑන් සපයා ගත්තේ කාර්යාල ලිපිද්‍රව්‍ය රාක්කයෙන් දැයි අපි නොවිමසමු. නමුත්, වෙනත් දිනවල පැවැරුණු රාජකාරියට නොතිබුණු බලයක්, ජවයක්, ශක්තියක් මේදිනවල පමණක් දක්නට ලැබුණු බව පමණක් සටහන් කරමු.

කෙසේ හෝ විරෝධතාවයන් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග හරහා වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලදුව කරලියට ගෙන ආ පඩි වැඩිකිරීමේ නාටකයේ මුල් කොටස අවසන් විය. ඒ පසුගිය 13දා පාර්ලිමේන්තුව හමුවේ 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමස්ත රාජ්‍ය සේවක වැටුපට රුපියල් දසදහසක දීමනාවක් ලබාදෙන බව පැවසීමත් සමගය. ඒ අනුව මෙතෙක් රු. 7800ක්ව පැවැති ජීවන වියදම් දීමනාව රු. 17800 දක්වා ඉහළ නන්වන බවත්, මෙම ගණනය කිරීම එළඹෙන වසරේ ජනවාරි සිට සිදු කෙරෙන අතර, එළඹෙන අප්‍රේල් සිට ගෙවීම් අරඹන බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම මුල් මාස තුන තුළ හිඟ මුදල වන රුපියල් 30,000 ඔක්තෝබර් මස සිට වාරික 06කින් එනම් 5000 බැගින් එකතුකර ලබා දෙන බවත්, මෙසේ අප්‍රේල් සිට ගෙවීමට සිදුවන්නේ රාජ්‍ය ආදායම් භාණ්ඩාගාරයට ලැබීම ආරම්භ වන්නේ පෙබරවාරි, මාර්තු මාසවලදී වීම නිසා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් රටේ කිසිදු පුරවැසියෙකුට හිමි නොවනා සුවිශේෂී අවස්ථාවක් සමස්ත රාජ්‍ය සේවයට හිමිව ඇත. එනම් වෙනත් කිසිදු කොටසකට අයවැය හරහා හිමි නොවන වැටුප් ඉහළ යාමකි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් මෙවර අයවැය හරහා වැටුප් වැඩිකිරීමක් කර තිබියදීත් නැවත වටයකින් වෘත්තීය සමිති මාෆියාව රාජ්‍ය සේවකයින් උසිගන්වමින් සුපුරුදු රංගනයට අවතීර්ණ වී ඇත. මෙවර ඔවුන්ගේ සටන් පාඨය වී ඇත්තේ “අය-වැය විජ්ජා එපා – ඉල්ලූ 20,000ම ජනවාරි සිට ලබා දෙනු” යන්නයි. මේ හරහා නැවත වරක් රාජ්‍ය සේවකයින් පාරට බැස්සවීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තෝරමින් සිටින අතර, එහිද සුපුරුදු වෘත්තීය සමිති කල්ලිවාදය මතුව ඇති ආකාරයක්ද පෙනෙන්නට ඇත.

කෙසේ වෙතත් මෙවර රාජ්‍ය සේවකයින් වෙනුවෙන් රුපියල් දසදහසකින් වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය සරල ක්‍රියාමාර්ගයක් ලෙස සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවන බව අවධාරණය කළ යුතුමය. බහුතරයක් විසින් රැල්ලට මත්ව පත් කරගත් පාලකයින්ගේ අත්තනෝමතික හා අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රට නිල වශයෙන් බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමේ තත්වයට පත් විය. තෙල් ටිකක් සොයා ගැනීමට දින ගණන් පෝළිමේ ඉන්නට සිදු විය. තෙල් ලීටරයක් රුපියල් 3000-5000 තරම් මිලට හෝ නොමැති විය. අහරක් සකස් කර ගැනීමට, ගෑස් සිලින්ඩරයක් මිළදී ගැනීමට දවස් ගණන් පෝලිම්වල ලැග සිටීමට සිදු විය. රුපියල් 10000ට හෝ ගෑස් සිල්න්ඩරයක් සොයා ගැනීමට නොමැති විය. බෙහෙත් සෙයා පෝළිමේ ලගින්නට සිදු විය. අත්‍යවශ්‍ය සියලු දෑ වෙනුවෙන් පෝළිමේ ලගින්නට සිදු විය. ඇතැමුන් මෙකී පෝළිමේ මැරී වැටෙන තත්වයක් උදාවිය.

මෙය ඉතිහාසයේ කිසිදු මොහොතක අප විසින් අත්නොවිඳි තත්වයකි. තවදුරටත් මෙම තත්වයට මුහුණ දිය නොහැකි වූ පාලකයෝ රටින් පළා ගියෝය. එදා මේ වෘත්තීය සමිති මෙහෙයවන විපක්ෂ නායකයෝ අර්බුදයෙන් රට ගලවාගන්න ඉදිරිපත් වුයේ නැත. අන්දරේ ගල එසවීමට යෝජනාවක් කළා සේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට විවිධ කොන්දේසි දමමින් විපක්ෂ නායකයෝ එදා වගකීමෙන් පළා ගියහ. අවසන පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධූරයක් හිමි කරගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාරගත්තේය. ඒ කොන්දේසි විරහිතවය.
වත්මන් ජනාධිපතිවරයා රට ගොඩ ගැනීමේ මූලික අඩිතාලම මේ වන විට අවසන් කොට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වෙමින් නව වැඩපිළිවෙළක් යටතේ රට යථාතත්වයට ගෙන එමින් ඇත. නව ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාවට නන්වමින් ඇත. එම වැඩ පිළිවෙල යටතේ නව ආර්ථික අවස්ථාවන් ඇති කරමින්, නව දේශපාලන දැක්මකින් රට ඉදිරියට ගෙනයමින් ඇත.

මෙවන් වටපිටාවක් යටතේ රාජ්‍ය සේවයේ සමස්තය වෙනුවෙන් වැටුප් වැඩිකිරීම සිදු කර ඇත්තේද ජනප්‍රිය සිල්ලර වැඩපිළිවෙලක් ලෙස නොව, මල නොතලා රොන් ගන්නවා සේ සියුම් විධිමත් ක්‍රමවේදයකට බව පැහැදිලිය. රට බංකොලොත් කිරීමට සමත් වූ පසුගිය පාලනය තුළ ඔවුන් දන්නා එකම ආර්ථික ක්‍රියාමාර්ගය වූයේ භාණ්ඩාගාරය හිඟ වූ සෑම අවස්ථාවකදීම එක්කෝ ණයක් ගැනීමය. නැතහොත් සල්ලි අච්චු ගැසීමය. අසීමාන්තික ලෙස හා කිසිදු වගවිභාගයකින් තොරව ගත් ණය කන්දරාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. එසේම සල්ලි මුද්‍රණය කිරීම හේතුවෙන් උද්ධමනයට සිදු වූ බලපෑම ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. සමස්ත ජනතාව පසුගිය කාලයේදී එය අත්දැකීමෙන්ම විඳ ඇත.

මෙවන් අමිහිරි අතීතයක වැරදි නිවැරැදි කරගනිමින් ඉදිරියට ගමන් කරමින් ඇති වත්මන් ආර්ථිකය තුළ තව දුරටත් එකිනෙකාගේ පටු පාර්ශ්වික සිතැඟි ඉටු කිරීම හෝ, පටු වාසි තකා ක්‍රියාමාර්ග ගැනීම කළ නොහැකි බව තේරුම් ගත යුතුය. ඒ අනුව මේ මොහොතේ රාජ්‍ය සේවකයා මුලට තබාගනිමින් ඊනියා වෘත්තීය සමිති විසින් ගෙන යනු ලබන අවස්ථාවාදී දේශපාලන උප්පරවැට්ටි නොසලකා හැරිය යුතුය. රජය සමස්ත වැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය සේවක වැටුප්, රජයේ මූල්‍ය සංචිතයට දරාගත හැකි උපරිම පමණට ඉහළ නන්වා ඇත. මීට වඩා වැඩිමනත් ලෙස රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැන්විය හැක්කේ ක්‍රමවේදයක් තුනක් යටතේ පමණි.

මේ වන විට මිලියන 1.3ක් ඉක්මවා ඇති රාජ්‍ය සේවක පිරිස් වෙනුවෙන් රුපියල් විසිදහසක වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට නම් රුපියල් ටි්‍රලියන ගනනකින් ණය විය යුතුය. නමුත් පැවැති රජ්‍යයන්හි අත්තනෝමතික ක්‍රියා වෙනුවෙන් ගත් ණය ද ගෙවා ගත නොහැකිව සිටින මේ මොහොතේ මේ සා විශාල ණයක් රජයට දීමට ඉදිරිපත්වන දේශීය හෝ විදේශීය කිසිවෙකු නැත.

එසේ නම් කළ යුතු අනෙක් ක්‍රියාමාර්ග වන්නේ මුදල් අච්චු ගැසීමය. එයද කළ යුතු හෝ කළ හැකි කටයුත්තක් නොවේ. එය දැන් නීතියෙන්ම තහනම්ය. පසුගිය කාලය තුළ පාලනය කළ නොහැකි අන්දමින් උද්ධමනය ඉහළ යාමට මූලිකම හේතුව වූයේ අසීමාන්තික ලෙස මුදල් අච්චු ගැසීමයි. ඒ හරහා පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයට සිදු කළ බලපෑම තවමත් සමනය කරගත නොහැකි තිබේ.

ඉහත තත්වයන් දෙකම ඉටු කරගත නොහැකි නම් කළ හැකි අනෙක් ක්‍රියාමාර්ගය නම් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම වෙනුවෙන්ම ජනතාව මත තවත් බදු බර පැටවීමයි. එක්කෝ නව බදු ක්‍රමයක් හඳුන්වා දීම හෝ මේ වන විටත් ක්‍රියාත්මක බදු ක්‍රමයක අය ප්‍රතිශතය ඉහල නැන්වීමයි. මිලියන 1.3කට වැටුප් ඉහළ නැන්වීම වෙනුවෙන් මිලියන 22ක් තරම් වූ පොදු ජනතාව ඒ සඳහා සූදානම්ද යන්න අමුතුවෙන් වීජ ගණිත සටහන් ඇඳ විසඳිය යුතු සමීකරණයක් නොවේ.
තත්වයන් එසේ තිබියදී ක්‍රියාවලිය වඩාත් විධිමත් කරමින්, නැවත වරක් අර්බුදය පත් නොවීමේ වගකීම ද දරමින්, අර්බුදයක සිට ඉහළට යමින් සිටින ආර්ථික ක්‍රවේදයක් තුළ රාජ්‍ය සේවකයාට මේ මොහොතේ රජය විසින් කළ හැකි උපරිම සාධාරණය ඉටු කර ඇත. එහෙත් රාජ්‍ය සේවකයාගෙන් තම රාජකාරියට ඒ සාධාරණය වෙනවාද කියන එක වෙනම කථාකළ යුතු දෙයකි.

එසේම මෙකී සාධාරණය ඉටු කර ඇත්තේ ජනාධිපතිවරයාගේ හෝ, අමාත්‍ය මණ්ඩලයේ හෝ පුද්ගලික බූදලයකින් හෝ පුද්ගලික අරමුදලකින් නොවේ. එකී සාධාරණය ඉටු කර ඇත්තේ සමස්ත මහජනතාවගේ බදු මුදලිනි. රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙකී සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් සමස්ත ජනතාව මෙම අසීරු මොහොතේද සිය යුතුකම ඉටු කර ඇත. ඒ අන් කිසිදු ක්‍රියාමාර්ගයකින් නොව, තමන් පරිභෝජනය කරනා අවසන් හාල් ඇටය, සීනි ඇටය, පරිප්පු ඇටය, පැරසිටමෝල් පෙත්ත, කොත්තමල්ලි පැකට් එක දක්වාම රජයට බදු ගෙවීමෙනි. එසේම ආදායම් බදු ගෙවන පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ද සමාගම්ද මෙයට දායක වී සිටී.

මේ අතර මේ වැටුප් වැඩිවීමෙහි තේරුමක් නැති බවටත් කතාවක් ගොතමින් තිබේ. ඒ ඉදිරියෙදී වැට් බදු ඉහළ දැමීම නිසා මේ ලැබෙන වැටුපෙන් වැඩක් නොවන බවට ගනන් හිලව් පෙන්වමින්ය. නමුත් ඒ බදු පැනවීම් සිදුවී යම් ලෙසකින් බඩු මිළ ආදිය වැඩිවන තත්වයක් ඇතිවුවහොත් මෙම වැටුප් වැඩි නොවුවානම් තමන් වැටෙන අමාරුව ගැන වෘත්තීය සමිති කිසිවක් කියන්නේ නැත. ඒ අමාරුවෙහි තමුන් නොවැටෙන්න රජය කටයුතු කර ඇතැයි පෙන්වා දෙන්නේ නැත.

වත්මන් රජය කටයුතු කරන්නේ වෘත්තීය සමිති මෙන් ප්‍රාථමිකව කල්පනා කර නොවේ. අනාගත අර්බුදයන්ද කළමණාකරණය කරගනිමින්ය. බදු මුදල් එකතුකරගැනීම මෙන්ම එය වියදම් කළ යුතු ප්‍රශස්ථ ආකාරය ගැන රජයට මනා වැටහීමක් තිබේ.

කෙසේ නමුත් රටේ මහජනතාවගේ බදු මුදලින් වැටුප් දීමනා හිමි කරගන්නා සමස්ත රජයේ සේවකයන්ට මේ මොහොතේ මහජනතාව වෙනුවෙන් පෙරළා කළ යුතු යුතුකමක්, වගකීමක් ඇත. එනම් තමන් මහජනතාවගේ සේවය වෙනුවෙන් කැපවූ, එකී කැපවීම වෙනුවෙන් වැටුප් ලබනා අයෙකු බව තේරුම් ගෙන කටයුතු කිරීමයි. මහජනතාව වෙනුවෙන් ඉටු විය යුතු සේවාව නොපිරිහෙලා ඉටු කිරීමයි. පටු දේශපාලන අරමුණු පසෙකලා මහජනතාව වෙනුවෙන් කළ යුතු සේවාව නොපිරිහෙලා ඉටු කිරීමයි.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වර්තමානයේ පොදු ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. “අද ඒ සබ්ජෙක්ට් එක කරන කෙනා නෑ – හෙට එන්න” යනු රාජ්‍ය සේවයේ උධෘත පාඨය වී ඇත. සහතිකයක් ලබා ගැනීමට, බලපත්‍රයක් ලබා ගැනීමට, යම් අනුමැතියක් ලබා ගැනීමට රජයේ ආයතනයක් වෙත යන ජනතාවට තමන්ගේ දහසක් වැඩ පාඩු කරගෙන ඒ වෙනුවෙන් වෙනමම කාලයක් වෙන් කරගත යුතුය. එක් දිනකින් සේවාව ලබා ගැනීමට සසර පුරා පින් කර තිබිය යුතුය. දුරකතනයෙන් සේවාවන් ලබා දීම, තොරතුරු ලබා දීම රජයේ සේවකයින් සිතා සිටින්නේ තමන්ට මදි පුංචිකමක් ලෙසය. තමන්ගෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාව, සේවාව ලබා ගත යුතතේ රජයේ සේවකයාට වුවමණා දවසටය, වෙලාවටය. සහ ලැබෙන සංතෝසම් අනුවද ඒ වෙනස් වේ.

රාජ්‍ය සේවයේ මෙකී නොමනා වැඩපිළිවෙළට තිත තැබිය යුතු කාලය එළඹ ඇත. මෙවන් අර්බුදකාරී මොහොතක පවා සමස්ත මහජනතාව රජයේ සේවය වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් දක්වා ඇත. එකී දායකත්වය කිසිදු මොහොතක මගහැර නැත. එවන් තත්වයක් යටතේ මේ මොහොතේ තව දුරටත් රාජ්‍ය සේවකයින්ට කෙසේ හෝ කෝදුරු තෙල් හත් පට්ටය ලැබුණට පසුව තවත් චුට්ටකුත් ඉල්ලිය නොහැක.

මහජනතාව වෙත වගකීමෙන් බැඳී සිටින රාජ්‍ය සේවකයා තවදුරටත් ඊනියා වෘත්තීය සමිතිවල අතකොලු වී ඉටු කළ නොහැකි ඉල්ලීම් ඉල්ලමින් කල් මරනවාද? නැතහොත් සිය වගකීම ඉටු කරනවාද යන්න සිතා බැලිය යුතුය. එසේ නොවී ඊනියා සටන් පාඨ පෙන්වමින් මස් රාත්තලම ඉල්ලන රාජ්‍ය සේවකයින්ට එරෙහිව ජනතාව තමන්ට වන අසාධාරණයට එරෙහිව පාරට බසිනා දිනය තව දුර නොවනු ඇත.

…….රිද්ම අනුරාධ ගමගේ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *