වෙන්ඩ ජනාධිපතිවරුන් නොදන්නා, එහෙත් ජනතාව දන්නා දෙය

0

සුගිය සති කිහිපය තුළ දේශපාලනයේ උණුසුම් මාතෘකාවක් වී තිබුණේ මෙම වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ගැනය. වෙන්ඩ ජනාධිපතිවරු මෙන්ම වෙන්ඩ අගමැතිවරුන්ද කළඑළි බැහැ තිබිණි. තමන් පිහි‍ටුවන ආණ්ඩුවල ඇමැති පට්ටම් බෙදෙන හැටි ගැනද ඇතැම් පක්ෂ සාකච්ඡා කර තිබිණි. කොහොම නමුත් මේ උණුසුම් තත්වයන් ඇතිව තිබුණේ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොවනු ඇතැයි කියන පූර්ව නිගමනයට විපක්ෂය එළැඹ තිබු නිසාය.

රනිල් නැති වේදිකාවේ තමන්ට විවෘත අවස්ථාවක් තිබෙන බව විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මෙන්ම පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය යදිමින් සිටින ධම්මික පෙරේරා සහ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර වැන්නවුන්ද කල්පනා කරමින් සිටි බව සැකයක් නැත. ඒ අතර චම්පික රණවක වැනි අයද යම් අවස්ථාවක් තමන්ට ලැබෙනු ඇති බවට සිතන බවත් පෙනෙන්නට තිබිණි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය එළැඹෙන ජනාධිපතිවරණයේ එජාපය ප්‍රමුඛ පොදු සන්ධානයේ නිර්පාර්ශ්වික ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ජනාධිපති රනිල් බව තීරණය කළේය. මෙතරම් ඉක්මනින් මෙවැනි තීරණයක් කිසිවකුත් බලාපොරොත්තු වූයේ නැත. ජනාධිපති රනිල් ඒ මොහොත වන තුරුත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න කිසිවිටෙක් ප්‍රකාශ කර තිබුණේ නැත. ඔහු නිතරම කීවේ තමන්ට රට ගොඩදැමීමේ වගකීම ඉටුකිරීමට තිබෙන බවය. මේ තත්වයන් හමුවේ විපක්ෂය බලාපොරොත්තු වූයේ රනිල් නැති ජනාධිපතිවරණ සටනකි.

ඒ අතර රනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම වෙනුවෙන් පොදු සන්ධානයක් පිහි‍ටුවීම සහ මැතිවරණ ව්‍යාපාරය අරම්භ කිරීමටද තීරණය කර තිබිණි. ඒ ලබන මාසයේ සිට ඇරැඹෙන බවත් වාර්තා විය. මේ දේශපාලනික තීරණ සමඟ පාළු ගෙවල්වල වළං බිදිමින් තමන්ගේ චණ්ඩිකම් පෙන්වමින් සිටි වෙන්ඩ ජනාධිපතිවරුන්ට ජනාධිපතිවරණයේ දේශපාලන වේදිකාව මත පහසුවෙන් රැඳී සිටීමට නොහැකි තැනක් බවට පත් විය. මේ කට්ටිය දැන් රඟ දැක්වීම් නවත්වා පසුපසට වෙන අයුරු පැහැදිලිව පෙනෙන්න තිබේ.

මේ තත්වයන් රටේ ජනතාවටද පැහැදිලි වී ඇති බව ඔවුනොවුන් දැන් මඟතොටේ කඩපොළේ කරන කතා බහ අනුවත් හඳුනාගත හැකිය. රනිල් එනවා නම් අනිත් අයට ලේසි වෙන් නෑ… කියන එක ජනතාවට දැනෙන්නේ රනිල් සත්‍ය ලෙසම මේ මොහොතේත් සෙසු දේශපාලන නායකයන්ට අභියෝගයක් නිසාය.
ඊයේ පෙරේදා වෙනතුරු බොහෝ පිරිස් හිතාගෙන සිටියේ රනිල් මොකක් හෝ දේශපාලන ගැටයක් ගසා තමන්ගේ තනතුර අත්නොහැර තවත් කාලයක් බලයේ සිටින්නට උත්සහ ගනු ඇතැයි කියාය. නැතිනම් තනතුරු කාලයෙන් පසු ඉවත් වෙනු ඇතියි කියාය. නමුත් රනිල් ජනාධිපතිවරණය පවත්වන්නත් ඒ සඳහා ඉදිරිපත්වන්නත් සූදානම් වන්නේ ඔහුට දිනන්න පුළු‍වන් බව ටක්කකෙටම දන්න නිසාය, යන්න මේ වෙනකොට රටේ තිබෙන කතාවය. ඒක ඇත්තය. රනිල් කියන්නේ දක්ෂ දේශපාලන අනාවැකිකරුවෙකි. දේවල් වෙන්න අවුරුදු ගණන් තිබියදී වෙන දේ කියා ඇත.

රටේ වගකීම තමන්ට කැරකෙන බව ඔහු දැනගෙන හිටියේ ගෝඨා පාලනයේ පළමු වසර ගෙවෙන්නත් පෙර සිටම බව ඔහුගේ සමීපතමයන් දන්නා ඇත්තකි. රට දරුණු අර්බුදයට යන බව කීවේ අර්බුද පේනතෙක් මානයක නැති කාලයකය. ඒ වගේම රටේ බර ඔහු උර මතට ගත්තේ රට ගොඩගන්නා දින වකවානු ගැනද කියමිනි. ඒවා ඒ කිව් හැටියටම සිදුව තිබේ. මේ නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන ඔහුට සැකයක් තිබෙන්නට විදිහක් නැත.

කොහොම නමුත් චැතම් ස්ටී්‍රට් ජර්නල් අපි පසුගිය කාලය මුළු‍ල්ලේම පෙන්වා දුන්නේ ජනාධිපතිවරණය නියත වශයෙන්ම මහ මැතිවරණයට පෙර පැවැත්වෙන බවත් රනිල් ඊට ඉදිරිපත්වීම නියත වශයෙන්ම සිදු විය හැකි බවත්ය. එපමණක් නොව ඔහු ජයග්‍රහණය කරනවා යනුවෙන් ද අප ලියා ඇත. අප එසේ ස්ථිරවම කීවේ පාක්ෂික්භාවයක් හෝ හුදු හිතලු‍වක් මනෝභ්‍රාන්තියක් නිසා නොවේ. දේශපාලන භූමියේ වෙන හැල හැප්පිලි අවසානයේදී කැරකෙන්නේ කොහෙටද කියන එක ගැන අපට තිබු පරිචය අනුවය. මේ මොහොතේ ජනාධිපති රනිල්ට අවාසිදායක දේශපාලන වාතාවරණයක් පවතින බව මතුපිටින් පෙනෙන්නට තිබෙන දෙය වුවත් දේශපාලනයේ ඉත්තෝ ඇදෙන විදිහක් තිබේ. ඒ සෙල්ලම දන්න කෙනාට රනිල් ඊළඟට කරන්නේ මොකක්ද කියන එක දැන ගන්න අමාරු නැත. රනිල්ගේ දේශපාලන විවේචකයෝ බහුතරයක් නන්දොඩන වුන් බවට පත්වන්නේ රනිල්ගේ සෙල්ලමේ තරම නොදන්නා නිසාය.

බොහෝ විටම මේ කාලයේ දේශපාලකයන්ද, විශ්ලේෂකයන්ද මාධ්‍යයන්ද දේශපාලන ප්‍රවණතා ලෙස තේරුම් ගන්නේ සමාජ මාධ්‍යයේ වයිරල් වන වල්පල් සටහන් බව පැහැදිලි කාරණයකි. මහපොළොවේ නොපවතින යථාර්ථයන් මේ වර්චුවල් අවකාශයේ මවා තිබෙන විට එහි සැරිසරන්නන් තීරණ ගන්නේ ඒ මායාව විශ්වාස කරගෙනය. ෆේස්බුක් ජනාධිපතිවරු බිහි වන්නේ ඒ අනුවය. එහෙත් මහපොළොවේ ඇත්ත එය නොවේ.

අද රටම දැවැන්ත පීඩාවකට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයා ගන්නා ආර්ථික ප්‍රතිස්කරණය යෝජනා නිසා තවදුරටත් පීඩාවෙන් පීඩාවට පත්වෙමින් තිබෙන නිසා ජනාධිපතිවරයාවත් ආණ්ඩුවත් පන්නා දැමීමට ජනතාව පෙළ ගැසී සිටින බව කියමින් මතයක් විපක්ෂයත් මාධ්‍යයන් විසිනුත් ප්‍රචාරය කළත් ඇත්තටම සිදු වන්නේ අනෙකකි. රජයත් වෙනත් ආයතනත් විසින් කළ පුළුල් සමීක්ෂණවලින් පෙන්වා දෙන්නේ ජනතාව යම් පීඩාවකට පත්ව සිටියත් ඒ තත්වයන් දරාගෙන සුබවාදී අපේක්ෂාවන් සහිතව ඉවසා දරාගෙන සිටින බවය. මීට වසරකට හමාරකට පෙරාතුව ජනතාව මුහුණ දුන් පීඩාවන් හා සලකා බැලීමේදි අද තත්වයන් සාමාන්‍යකරණය වෙමින් තිබේ.

එසේ නොවන්න විය හැකිව තිබු මහා ඛේදවාචකය ගැන සබුද්ධික ජනතාවට අවබෝධයක් ඇත. එසේම වැදගත්ම දෙය අද තමන් මුහුණ දෙන පීඩාවන් මේ තරමින් හෝ සමනය කරදීම කළේ ජනාධිපති රනිල් බව ජනතාවට රහසක් නොවීමය. මේ වන විට ජනපති රනිල් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ දියුණු ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභයන් තමන්ට, රටට ලැබෙන්න පටන් ගෙන තිබීම රනිල් කෙරෙහි විශ්වාසය වඩවමින් තිබේ. විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතුභූත වූ වැරදි ප්‍රතිපත්තීන් වඩා නිවැරදි ලෙස ඔහු සකසමින් ඇති බව විපක්ෂයට හෝ ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබේ. විපක්ෂය, මේ අර්බුදය විසඳීමට කිසිදු වැඩපිළිවෙලක් යෝජනා කිරීමට සමත් නොවීම මත රනිල්ගේ මැදිහත්වීමට විපක්ෂයෙන් අභියෝගයක් ඉදිරිපත් වූයේම නැත.

ඒ කෙසේ නමුත් ජනාධිපති රනිල් එක දිගට වේගවත් මෙහෙයුමක යෙදී සිටිමින් කොන්ද පණ ඇතිව කටයුතු කරමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන විට විපක්ෂය විසින් ඉ‍ටු කළේ මොනවාද කියා ජනතාව අත්විඳ තිබේ. අඩුම තරමින් අර්බුදය විසඳීමේ අභියෝගය භාරගැනීම මඟහැර සිටියා වුවත් ඒ අභියෝගය භාරගත් ජනපති රනිල්ට සහයෝගයක් දීමටවත් විපක්ෂය ඉදිරිපත් වූයේ නැත. දිගින් දිගටම සිදු කළේ රජය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහි වෙමින් සියල්ල කඩාකප්පල් කිරීමට උත්සහ ගැනීමය. පට්ටපල් බොරු කියමින් ජනතාව නොමඟ යැවීමය. විපක්ෂය රනිල් ගන්නා පියවරයන් නිසා සිදු වෙනවාය කියු බිහිසුණු අනතුරු කිසිවක් සිදු වූයේත් නැත. ඔවුන් කියන කියන දෙය ලත් තැනම ලොප් වී ගියේය. කොටින්ම හරියට බොරු බේගලයක් කීමටවත් සමත් වුයේ නැත.

අද මේ මොහොතේ පවා රජයට එරෙහිව හරි හමන් විවේචනයක් ගෙන ඒමට විපක්ෂය අසමත්ය. රටේ නැති වැල් වටාරම් දොඩමින් ඔවුන් විසින්ම මවා ගත් අර්බුද ගැන නන්දෙඩවීම්, පට්ටපල් බොරු බේගල් ඇද බාමින් මඩ අවලාද ගැසීම හැර වෙනත් කිසිවක් නැති බව මේ අවසර එකහාමාර තුළ විපක්ෂයේ සියලු‍ම කතන්දර පෙළගස්වා බැලු විට පැහැදිලිය.
සජිත් ප්‍රේමදාස වැන්නකුගේ නන්දෙඩවීම් කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අනුර කුමාර යමක් පදනමක් ඇතිව විවේචනය කිරීමේ ස්වභාවයක් විටින් විට පෙන්වා තිබු නමුත් දැන් දැන් ඔහුත් සජිත්ට එහා ගොස් නිරන්තරයෙන් විකාර සහ බේගල් ඇදබාන්නකු බවට පත්වෙමින් තිබේ. එසේම නිශ්චිත ප්‍රතිපත්තියක් නැති එහෙට එකයි මෙහෙට එකයි කියන බයිලාකාරයකු වී ඇත. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුව තුළදී ජනපති වැය ශීර්ෂයක් ගැන බයිලා කියවමින් තමන්ගේ ඇති නොදන්නා බවද ඔහු පෙන්වා තිබිණි. ජනාධිපතිවරයාට මුල්‍ය විනයක් නැති බවත් මහජන මුදල් නාස්ති කරන්කු බවටත් චෝදනාවක් කළේය. මේ ඇදබෑ බොරු බේගලයට ඒ මොහොතේම මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන්, අනුරගේ කන රත්වෙන පිළිතුරක් ලබාදීම සිදු විය.
සමහර විට ඒ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාය කියන ආරංචිය නිසා තමන්ගේ ජනාධිපති සිහිනය කුඩු වුණා යැයි වේදනාවට වියරුවට පත්ව කෂඩ හැසිරීමකට පත්වුනාද විය හැකිය.

ජනපති වැය ශීර්ෂයට මුදල් වෙන් කිරීම් ඔහු තේරුම් ගෙන තිබෙන්නේ ඒ රනිල්ගේ පෞද්ගලින වුවමණාවන්ට වියදම් කිරීමක් ලෙසය. ජනාධිපති කියන්නේ රටේ රාජ්‍ය නායක තනතුරය. එම තනතුරට අදාල දේවල් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම එම ධුරය දරන පුද්ගලයාට කරන වියදමක් නොවේ. රට වෙනුවෙන් කරන වියදමක්ය. නමුත් මේ ජනාධිපති භීතිකාව අනුරලාට ඇති වෙන්නේ රනිල් කියන පුද්ගලයා ඉදිරියේ තමන් අසමත් වීම නිසාය.
ජනාධිපතිවරයා විදේශ සංචාරයන්ට යෑම අනුරලාට සජිත්ලාට පෙනෙන්නේ ආතල් ගන්න යනවා ලෙසය. ජනාධිපති පසුගිය කාලය පුරාම සිදු කළ සංචාරයන් මොනවාද ඒවයේ ප්‍රතිලාභ මොනවද යන්න රහසක් නොවේ. අද රට මේ තත්වයට ගොඩනගා ගන්න ලැබුණේ ජනාධිපති රනිල් ජාත්‍යන්තර වශයෙන් සිදු කළ මැදිහත් වීම නිසාය. එළැඹෙන සංචාරය යනුද එවැනි බරපතල මැදිහත් වීමකි. මේවා ජාත්‍යන්තර ගනුදෙනු ගැන නොදන්නා ළිංමැඩි මානසිකත්වයෙන් සිටින කයිවාරුකාරයන්ට කොහොමත් තේරෙන්නේ නැත.

අනුරලා සජිත්ලා මෙහෙම බොරු කියන එක නන්දොඩවන එක අලු‍ත් දෙයක් නොවුණත් වෙන්ඩ ජනාධිපතිලා හැටියටවත් මීට වඩා වගකීම සහගත විය යුතුය. අඩුම තරමින් තමන්ව ජනාධිපති කරන්න බලාගෙන සිටින කාට හරි වුණත් රෙද්දක් ඇඳගෙන පාරේ බැහලා යන්න පුලු‍වන් තරමේ හැසිරීමක්වත් පෙන්නුම් කළ යුතුය.
එහෙත් රනිල් දිනෙන් දින සාර්ථක වෙමින් රට ගොඩනැගීම ඔවුන්ට බලාසිටිය නොහැකිය. මොකද රට ගොඩයනවා කියන්නේ මේ අයගේ ජනාධිපති සිහිනය විනාස වෙනවා කියන එකය. ඒ ඔවුන් මේවා භාරගන්නේ තමන්ට වෙන පෞද්ගලික හානි ලෙස නිසාය. පෞද්ගලික වෛරයන් පිරිමහන්න කරන කෂඩකම් ලෙස රනිල් විරෝධය මතු වන්නේ ඒ නිසාය.

මේ අයගේ කෂඩ දේශපාලනය එහෙම වුණත් ජාත්‍යන්තරය ජනාධිපති රනිල්ගේ දේශපාලනය දකින්නේ විශ්මිතවය. මේවන විට මෙරටට පැමිණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක නිලධාරී ඇතුළු කණ්ඩායමත්, ජපානයේ මුදල් ඇමැතිවරයාත් ජනාධිපති රනිල් මේ කෙටි කාලය තුළ බංකොළොත් රට ගොඩගෙන ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් පියවරයන් ගැන දැක්වූ අදහස් රනිල් කියන්නේ කවුද කියන එකට හොඳටම ඇතිය. තව මොකුත් සක්කා කෑලී අවශ්‍ය වන්නේ නැත.
“ඔබේ රටේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු දියුණුවක් අත්කරගෙන ඇති බව මට වැටහෙනවා. ඉතින් ඒ ඔබතුමාගේ ශක්තිමත් නායකත්වය නිසා බව මම විශ්වාස කරන අතර ඔබතුමා දැක්වූ එම නායකත්වය පිළිබඳව මා තුළ විශාල ගෞරවයක් පවතිනවා” ජපාන මුදල් ඇමති කීවේ එහෙමය.
ජපාන මුදල් අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාව විසින් සිදු කරන අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජපාන රජයෙන් ලබාදිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව ද ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

මුල්‍ය අරමුදලේ නියෝජිකයෝ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක්කර තිබු අතර මුල්‍ය අරමුදලේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් පවසා තිබිණි. එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (ඨදඩැරබ්බජැ ෘස්ටබදිඑසජ ඍැචදරඑ) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සිය ප්‍රසාදය පළ කර තිබිණි.
ජනාධිපති රනිල්ට මේ ලැබී තිබෙන සහතික තවදුරටත් රට කරවන්න දුන් ජාත්‍යන්තර වරමකි. ඒ අනුව මෙහෙව් නායකයෙක් රටට අහිමි කරගැනීමට මේ රටේ සබුද්ධික ජනතාව මෝඩ වන්නේ නැත.

…….ඝෝෂක…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *