සමගිය ආණ්ඩුවට

0

දේශපාලන තීන්දු තීරණ කියා මොනවා හෝ ගැනීම ඕනෑම ගොබිලෙකුට කළ හැකිය. නමුත් දේශපාලනයේ වැදගත් වෙන්නේ ගන්නා තීන්දුවේ ප්‍රතිපලය කළින් දැනගෙන ගැනීමය. ප්‍රතිපලය කළින් දැනගෙන සිටීමට නම් දේශපාලනය යනු කුමක්ද යන්න දැන ගෙන සිටිය යුතුය. ඊට තුන්කල් දක්නා නුවණක් තිබිය යුතුය. ඒ නොමැතිව ගන්නා තීන්දු තීරණ දේශපාලනික වෙනවානම් වෙන්නේ අනෙකා ජයග්‍රාහකයා කර, තමන්වත් විනාශ කරගැනීම තුළය.

පසුගියදා පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් විපක්ෂය කරගත්තේ තමන්ව විනාශ කරගැනීමකි. විපක්ෂය ගණන් හදන් හිටියේ කතානායකවරයාට එරෙහිව ආණ්ඩු පක්ෂයෙනුත් ඡන්ද කිහිපයක් හෝ එකතු වෙනු ඇති බවටය. සමගි ජන බලවේගය එහෙම හිතුවේ පහුගිය දිනවල ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුම් සිදුවෙන බව මාධ්‍යවල, දේශපාලන වේදිකා තුළ පෙනෙන්නට තිබුණු බැවිනි. සමාජ මාධ්‍ය ගොසිප් දැකීමෙනි.

විශේෂයෙන්ම ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ තිබුණු බෙදුණු මතයන්, වෙනම අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ පොහොට්ටු උත්සහයන්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කැඳවීමට පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරගැනීමට ආණ්ඩු පාර්ශ්වයේ කොටසක් කැමැතිව සිටීම සහ සමගි ජන බලවේගයේ ඇතැමුන් සමඟත් ඒ ගැන කතා කිරීම, ජනාධිපතිවරයා පොහොට්ටුවේ ප්‍රධානින්ට ඉල්ලූ ඇමැති තනතුරු ලබා නොදී නොසලකා හැරීම, බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමඟ ගැටුම් උත්සන්න වේ යැයි තිබුණු බලාපොරොත්තුව වැනි හේතු ගණනාවක් නිසා කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේ දී ආණ්ඩුවත් දෙකඩ කරමින් විශ්වසභංගය ජයගැනීමේ හැකියාවක් ඇති බව සජබය විශ්වාස කළේය. මේ විශ්වාසය සජබය තුළ හැදුවේ පොහොට්ටු න්‍යයාචාර්යවරුන් වූ ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා වැන්න වුන් මිසක සජබයේ සිටින පරිණත දේශපාලනඥයන් නොවන බව සඳහන් කළ යුතුය නැතිනම් ඒ ඔවුන්ට කරන අසාධාරණයකි. ඔවුන්ගේ අදහස කුමක් වුවත් සජිත් ප්‍රේමදාස දැන් තීන්දු තීරණ ගන්නේ පොහොට්ටුවේ හිටපු පජාත න්‍යායාචාර්යවරුන්ගෙන් නිසා ඔවුන්ට නිහඬව වෙන දෙයක් බලාගෙන හිඳිනවා මිස වෙන යමක් සජබය තුළ කිරීමේ හැකියාව නැත. එසේ නොවුවානම් මෙවැනි බොළඳ තීන්දු ගැනීමට හේතුවක් නැත.

කොහොම නමුත් කතානායකවරයාට එල්ල වූ චෝදනා ද කිසිදු පදනමක් සහිත කරුණුවලින් සමන්විත නොවුණු බව දින තුනක් තිස්සේ, පාර්ලිමේන්තු කාලය කා දමමින්, ජනතා මුදල් නාස්තිකරමින්, පැවැති තේරුමක් නැති විවාදයෙන් තහවුරු විය. කතානායකවරයා පොලිස්පතිවරයා පත් කිරීමේදි ව්‍යවස්ථාදායක සභාව තුළ ඒ මොහොතේ ඇතිවූ ව්‍යාකූලත්වය අනුව වඩා නිවැරදිව කටයුතුකර තිබුණු බව එම විවාදයට සවන් දුන් ඕනෑම අයකුට පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාව තිබිණි.
මේ නිසා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සජබයේ තීරණයත්, එහිදී එල්ල කළ පදනම් විරහිත, තර්කාණුකූල නොවන චෝදනා ගොනු කිරීමත්, අදේශපාලනික, බොලඳ, අපරිණත ගොබ්බ වැඩක් බව තහවුරු වු අතර සජිත් ප්‍රේමදාසගේ බුද්ධි වපසරියේ සීමාව කොතනද යන්න ද සනිටුහන් විය.

ඒ සියල්ලට වඩා වැදගත් කාරණය වූයේ ආණ්ඩුව බෙදිලාය, මත ගැටුම්ය, කඩා ඉහිරෙන්න ඔන්න මෙන්නය, රනිල්ට ජනාධිපතිවරණයට එන්න වෙන්නෑය, ආදි වශයෙන් සුවහසක් බලාපොරොත්තු සහගතව සිටි විපක්ෂයට යන එනමං නැති කරමින් විශ්වාසභංගය කූජිත ලෙස පරාජය කිරීම සඳහා ආණ්ඩුව එකාවන්ව එක මිටට එකතුවීමය. ඒ සමගිය මතින් ආණ්ඩු පක්ෂයේ නොබික්‍ෂෙන ශක්තිය යළි විදහා පෙන්වීමට සමත්වීමය.
විපක්ෂය තාවකාලිකව හෝ ලබමින් සිටි ස්වයං වින්දනය එයින් හමාර වුණේ ඔවුන්ගේ දේශපාලනික බෙලහීනකම දුර්වලකම රටටම ප්‍රදර්ශනය කරමිනි. සජිත් ප්‍රේමදසගේ මේ අපරිණිත භාවිතාව තවදුරටත් හෙළිදරව්වීමෙන් සමගි ජන බලවේගයේ පතුරු පදාස පිටින් ගැලවීමට සහය වෙනවාටත් සැක නැත.
ආණ්ඩුව දුර්වල වෙන තෙක් බලා සිටි අය, මේ ආණ්ඩුවේ වැඩ නිසා රජයද දුර්වල වී රට නැවත අර්බුදයකට යතැයි ද කල්පනා කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙවර හෝ ආණ්ඩුවට දෙස්දෙවොල් තබා කුමක් හෝ ගිනි කෙළියක් කරනු ඇතැයි විපක්ෂයේ සජබයත් ජාජබයත් බලපොරොත්තු විය. රජය විසින් සංවිධානය කළ මුල්‍ය අරමුදල සමඟ වන පොදු සාකච්ඡාව මඟ හැර වෙන වෙනම හමුවී ගතු කියා රජය කෙරෙහි විශ්වාසය බිඳ දැමීමට මේ අය තමන්ට තේරෙන තරමින් වෙහෙස වී තිබිණි. මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ විකාර සාවධානව අසාගෙන සිටීමට තරම් පරිණත කණ්ඩායමක් වූ අතර ඒවා එක කණකින් අසා අනෙක් කණින් දොට්ට දමා ඇති බවත්, මුල්‍ය අරමුදල රජයේ ක්‍රියාදාමය අගය කරමින් එහි සාර්ථකත්වය පිළිගනිමින් නිකුත් කළ නිවේදනයෙන් හා මාධ්‍ය හමුවෙන් පැහැදිලි විය. මුල්‍ය අරමුදල මෙහිදී විපක්ෂයට දුන් පණිවිඩය වූයේ මේ රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඉදිරියට යා යුතු බවය. එසේ නොවුණොත් රට යළි බරපතල අර්බුදයකට මුහුණ දෙන බවය. ඒ නිසා විපක්ෂය තවත් පිස්සු කෙලීම් නොකළ යුතු බවය.
මුල්‍ය අරමුදල, රජය ගෙන යන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි සාර්ථක බව අගයා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් ගත් වෙහෙස කැපවීම සහ නිවැරදි තීන්දු ගැන ඔහුට පෞද්ගලිකවමත් ප්‍රසංසා කර තිබිණි.
විපක්ෂය මොන පිස්සු කෙළියත් ආණ්ඩුව ආණ්ඩුවේ සමගිය රැකගෙන එහි ශක්තිය රැකගෙන රජය ස්ථාවරව පවත්වාගෙන යාමට තරම් පරිණත දේශපාලනයක යෙදෙන බව දැනුත් පැහැදිලිය. ජනතාවට වගවන විශ්වාසනීය වැඩපිළිවෙලක සිටින බවත් පැහැදිලිය. මේ නිසා ආණ්ඩුවට, රජයට ලැබෙන ජනාධිපති රනිල්ගේ පරිණත දේශපාලන නායකත්වය මේ සියල්ල පිටුපස ඇති සුවිසල් සාධකය බවත් තවත් තහවුරු කරන්න අවශ්‍ය නැත. රනිල් වැඩ කරන්නේ සිදුවුණ දේත්, සිදුකළ යුතු දේත්, සිදුවීමට නියමිත දේත් ගැන නිවැරදි අවබෝධය සහිත තුන්කල් දක්නා නුවණින් වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *