හංගපු සල්ලි අදින විපක්ෂයේ වැඩේ මොකක්ද?

0

#GiveOurStolenMoneyBack මේ ගාළු මුවදොර අරගලය ඇතුළේ ඇහුණ ප්‍රධාන සටන් පාඨයක්. ඊට අරගලයට එහා ගිය ඉතිහාසයක් ද ඇත. එසේම එය පසුගිය සමයේ විපක්ෂය කරේ තියාගෙන ඇදපු සටන් පාඨයක් ද විය. එහිදී විපක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත චෝදනා කර සිටියේ, රාජපක්ෂවරුන් සමඟ වූ බල හුවමාරුව හේතුවෙන් මෙරටින් සොරාගෙන විදෙස් රටවලට ගෙන ගිය මුදල් ආපසු ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු නොකරන බව පවසමින්ය. එසේම තම පාලනයක් පිහිටවූ පසුව මෙරටින් සොරාගෙන පිටරට පැටවූ හැම ඩොලරයක්ම යළිත් මෙරටට ගෙනෙන බව පවසමින්ය. සොරාගත්තා යැයි චෝදනා කරන ධනය පමණක් නොව මෙරට විදේශ වෙළඳ ව්‍යාපාර ආදායම් හෝ ලාභයන් සියල්ල මෙරටට රැගෙන ආ යුතු බවත් එසේ නොකර ව්‍යාපාරිකයන් විසින් නීත්‍යානුකූලව පිටරට තැන්පත්කර තිබෙන ධනයද ගෙන එන බවත් කියන්න තරම් මේ විපක්ෂයේ කතා දුර දිග ගොස් තිබිණි.
වචනවලින් මේ ගැන වන කයිවාරුව පහසුය. නමුත් මේ ගනුදෙනුව බේරා ගැනීමට සිදුව ඇත්තේ, මේ රටේ මෙන්ම අනෙක් රටවල විවිධ වූ නෛතික තත්වයන් යටතේ බැවින් කයිවාරුවේ හෝ පම්පෝරියේ තරමට ක්‍රියාව පහසු නැත.
රට දරුණු ආර්ථික අර්බුදයකට ඇද වැටීම තුළ රාජපක්ෂවරුන් මෙන්ම ඔවුන්ගේ අන්තේවාසිකයන් මෙරටින් සොරාගත් අතිශය විශාල ධනස්කන්ධයත් ඇති බව බහුතර ජනතාවගේ අදහසය. ඒවා විදෙස් රාජ්‍යයන් තුළ සිදුකර ඇති ආයෝජන, තැම්පත් සහ විවිධ මාදිලි තුළ සඟවා ඇති බවටද මාධ්‍ය වාර්තා පළවී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කයිවාරුවට අනුව නම් ඔහුගේ පාලනයක් ඇතුලේ න්‍යාය පත්‍රයේ උඩින්ම ඇත්තේ මෙන්න මේ කියන මෙරටින් සොරාගෙන විදෙස්හි සැඟවූ මුදල් පෙරළා මෙරටට යළි අත්පත්කර ගැනීමය. ජවිපෙ ප්‍රමුඛ ජාජබ නායක අනුර කියන්නේ ද ඒ කතාවය. රටේ ඩොලර් හිඟය පියවනවා කිව්වෙත් එහෙමය. ඒත් මේ සියල්ල ඔවුන් සිද්ධ කරන්නේ බලය ලබා කවදාහෝ ය.
එහෙත් මේ කයිවාරු දාසයන්ගේ සහ පම්පෝරි දිසාලාගේ සටන් පාඨය තවදුරටත් වලංගු නැත. ඒ මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ මෙකී කටයුත්තට අදාළ ක්‍රියාවලිය දියත්කර ඇති නිසාය. එනම් රාජපක්ෂවරුන් පමණක් නොව කිසියම් ශ්‍රී ලාංකිකයෙක් මෙරටින් සොරාගෙන විදෙස් ගතකර ඇති මුදල් ඇත්නම් ඒවා යළි මෙරටට පවරා ගැනීමට අවශ්‍ය නෛතික කටයුතු සම්පාදනය කිරීමය. මේ වැඩේ පටන් ගත්තේ අද ඊයෙකද නොවෙයි. පහුගිය යහපාලන කාලයේදී අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුව සමඟ කතාකරමින් වැඩේ කෙරෙන විදිහ ගැන මූලික සැලසුම් සකස්කර තිබිණි. අද දියත් වන්නේ එහි දිගුවකි.
ඒ අනුව වංචනික ක්‍රම මඟින් උපයාගෙන පිටරට සඟවා ඇති මුදල් අත්පත් කරගෙන මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නව නීති සඳහා පනතක් සම්පාදනය කෙරෙමින් ඇත. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර සිටින ආකාරයට තමාද ඇතුළුව කමිටුවක් මඟින් ඊට අදාළ පනත කෙටුම්පත් කරමින් ඇත.
ඒ සම්බන්ධයෙන් පසුගියදා සරත් ජයමාන්න පවසා සිටියේ රජය විසින් පත්කරනු ලැබ ඇති මෙම කෙටුම්පත් කමිටුව වංචනික ක්‍රම මඟින් උපයාගෙන පිටරට සඟවා ඇති මුදල් අත්පත් කරගෙන මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නව නීති සඳහා පනතක් සම්පාදනය කරමින් සිටින බවය. එය සම්පාදනය කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ ප්‍රධානත්වයෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් කමිටුවක් පත්කර ඇති බවය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයෙන් පිටත වෙනත් රටවල රඳවා ඇති මුදල් සොයාගැනීමට සහ අත්පත් කරගැනීමට රටේ මෙතෙක් පැවති නීති අනුව හැකියාවක් නැති බවය. එයට වෙනමම නීති අවශ්‍ය බව පෙනීගිය හෙයින් 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතට ද එම ප්‍රතිපාදන අඩංගු කොට නැති බවය. එබැවින් ඒ සඳහා පත්කොට ඇති නීති කෙටුම්පත් කමිටුව මේ දිනවල සති අන්තවල සහ වෙනත් දිනවල ඇතැම් විට දින ගණන් එක දිගට වැඩ කරමින් කරුණු අධ්‍යයන කරමින් නව පනත කෙටුම්පත් කරමින් සිටින බවය.
මෙතෙක් පැවති නීති අනුව, වංචා කළ ධනයක් අත්පත් කරගැනීමට නම් එම ධනය උපයාගත් වංචනික ක්‍රියාව හඳුනාගෙන එම වංචාව කළ තැනැත්තාට එරෙහිව අපරාධ නඩුවක් පවරා වරද ඔප්පු කළ යුතුය. උපයාගත් මුදල වංචනික මුදලක් ලෙස සැලකෙන්නේ එවිට පමණකි.
එම ප්‍රශ්නයට විසඳුම් ලෙස ලෝකයේ අද වර්ධනය වන නීති තත්වයක් වන්නේ වංචා කළ මුදල් සොයාගෙන ඒවා උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමය. උපයාගත් ආකාරය සාධාරණ ලෙස පෙන්නුම් කළ නොහැකි නම් එය වංචනික ලෙස උපයාගත් මුදලක් ලෙස සැලකිය හැකිය.
විවිධ රටවල සඟවා ඇති මුදල් සොයා ගැනීම ද සංකීර්ණ කටයුත්තකි. ඒ සඳහා ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ට සම්බන්ධ ආයතන සහ වෙනත් ආයතන සතු සම්බන්ධතා සහ විශේෂඥ දැනුම ලබාගත යුතුය. සඟවා ඇති ධනය සෙවීමේ විශේෂඥ දැනුම ඇති ස්විට්සර්ලන්තයේ ආයතනයක් එම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මකය. එම ආයතනවල සේවය ලබාගැනීම සඳහා ද අප රටේ අලු‍ත් නීති හඳුන්වා දිය යුතුව ඇත.
එලෙස නව නීති හඳුන්වා දීම සඳහා කෙටුම්පත් කරමින් සිටින නව පනත මෙම වසර තුළ දී ම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත හැකිවනු ඇති බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පවසන්නේය.
කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම තොරතුරු හෙළි කළේ, 2023 අංක 9 දරන නව දුෂණ විරෝධී පනත සම්බන්ධයෙන් “අපට සිහිනයක් තිබේ” සාමුහිකය සංවිධනය කොට තිබු වැඩමුළුවකට සහභාගී වෙමින්ය.
එපමණක් නොවේය, මේ වන විට බදු ගෙවීම් පැහැර හැරීමට එරෙහිව ද තදින් කටයුතු කිරීම අරඹා ඇත. කොතරම් විරෝධතා, උද්ඝෝෂණ ඉදිරිපත් වූවත් පුද්ගලයන් මෙන්ම සමාගම් ද උපයන තරමට සාපේක්ෂව බදු ගෙවීම අනිවාර්යයක් බවට පත්කර ඇත.
එය එසේ සිදුකරන්නේ වක්‍ර බදු අනුපාතය අඩු කිරීම සඳහාය. සෘජු බදු අනුපාතය වැඩි කිරීම සඳහාය. සොරාගෙන විදෙස්හී සඟවා ඇති ධනය මෙරටට ගෙන ඒමට වඩා මේ කටයුත්ත අතිශය තීරණාත්මකය. මන්ද වක්‍ර බදු වැඩිවීම තුළ කොපමණ ආදායම් විෂමතා පැවතියත් ඒ සියලු‍ දෙනා සමානයන් ලෙස සැලකෙන නිසාය. ඒ අනුව නම් මාසික ආදායම රුපියල් 10,000, 40,000, 100,000, 1,000,000, 10,000,000 ද කියා වෙනසක් නැත. සීනි කිලෝවක් මිලදී ගැනීමේදී ඊට අදාළ බදු ගෙවීම තරාතිරමක්’නැතුවම’සිදුවේ. එහෙත් උපයන විට ගෙවන බදු නිසි ක්‍රමවේදයක් ඇතුලේ අයකර ගත්තා නම් මේ ආකාරයට පොදු ජනතාව තලන වක්‍ර බදු අනුපාතය අඩු කරගත හැකිය.
එහෙත් වැඩේ කියන්නේ සජිත් මෙන්ම අනුර ද ඊට විරුද්ධ වීමය.
පසුගිය සමයේ බදු සංශෝධන සියල්ලට ඔවුන් පොදුවේ විරෝධය දැක්වූයේ ඊට අදාළ සාධාරණ පැහැදිලි කිරීමක් හෝ නොමැතිවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැහැදිලිව කියා සිටියේ උපයන ප්‍රමාණයට සාපේක්ෂව ආදායම් බදු නොගෙවනවා නම් වක්‍ර බදු අනුපාතය කොහෙත්ම අඩු කළ නොහැකි බවය. ඒ අනුව මේ වන විට වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි කාගේ කාගෙනුත් බදු අයකිරීම අරඹා ඇත. මාසික ලාබය ලක්ෂ 5 ට වැඩි ව්‍යාපාරවලින් ද බදු අය කිරීම අරඹා ඇත.
විපක්ෂයේ ආණුඩුවට විරුද්ධව නිතර කියවන තවත් චෝදනාවක් වන්නේ බදු ගෙවීම පැහැර හැර ඇති ආණ්ඩුවේ මිතුරු ව්‍යාපාරිකයන්ගෙන් එම බදු අයකර නොගෙන වාසියක් කර ඇති බවය. සජිත්ලා ගජමිතුරු ධනවාදය කියා වදනක් පාවිච්චි කරන්නේ මේකටය. මේ මිතුරුකම් නිසා බදු පැහැර හැර සිටීමට කාට හරි පුළුවන් වුණත් රටේ තියෙන නීතිය අනුව ඒවා වැඩිකල් කරන්න නොහැකිය. අද නීතිය ක්‍රියාත්මකය. හිඟ බදු අයකරගැනීම ක්‍රමවේද කිහිපයකට සිදු වෙයි. විපක්ෂය කියන්නේ මේ ව්‍යාපාරිකයන් කුදලා හිරේ දමා එම ව්‍යාපාරයන්ද විනාශ කිරීම ආණ්ඩුව කළ යුතුයි වගේ කතාවකි. එය කිරීම ආණ්ඩුවටත් පහසුය. නමුත් විය යුත්තේ එය නොවේ, ව්‍යාපාරයන් ආරක්ෂා කරමින් එයින් යැපෙන්නන් සේවා නියුක්තිකයන් ආරක්ෂා කරමින් රටේ ආර්ථිකයට ව්‍යාපාරයෙන් තිබෙන දායකත්වයත් දියුණ කරමින් පවත්වාගෙන යෑමය. මල නොතලා රොන් ගන්නා සේ හිඟ බදු ආදායම් ලබාගැනීමට රජය පියවර ගෙන තිබෙන්නේ රජයට වඩාත්ම වාසි සහගත පියවර එය නිසාය. බදු ආදායම් ගැන විපක්ෂය නඟන චෝදනා එකින් එක බොරුවී යෑම සිදුව තිබේ.
මේ හමුවේ විපක්ෂයේ හැසිරීම අමුම අමු තක්කඩි බවත් කිව යුතුය. ඔවුන් එක් පසෙකින් කියන්නේ පොදුවේ ජනතාව බදු බරින් පෙළෙන බවය. ව්‍යාපාරිකයන් රකින බවය. නමුත් අනෙක් පසින් කියන්නේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට නොහැකි තරම් බදු බර පටවා ඇති බවය. වෛද්‍යවරුන්, නීතිඥයන්, ටියුෂන් ගුරුවරුන් ඇතුළු ඉහළ ආදායම් ලබන වෘත්තිකයන් වෙතින් බදු අය කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීම නිසා බුද්ධි ගලනයක් සිදුවන බවය.
විපක්ෂයේ මේ හැසිරීමේ නරුමත්වය වන්නේ, බුද්ධි ගලනය කියාගෙන විදෙස් ගතවෙන මේ වෘත්තිකයන් මෙරට දී බදු ගෙවනවාට වඩා වැඩි මුදලක් දියුණු බටහිර රටකදී ගෙවන බව නොකීමය. ව්‍යාපාරික ආයතන ලාභයෙන් අඩක් පමණ වන සේ විවිධ බදු ගෙවීම්වලට යටත්ව සිටින බව නොකීමය. එම රටවල් එසේ අය කරන බදු මුදලින් දියුණු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ඇතිකර තිබෙන බව නොකීමය. ආදායම් විෂමතාව කොපමණ වුවත් සමාජ ප්‍රතිලාභ අඩුවක් නොමැතිව ලබන බව නොකීමය.
සැබවින්ම වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ පාලනය උත්සාහ කරනුයේද එවැනි තත්ත්වයක් මෙරට තුළ ඇති කිරීමටය. දැන් ප්‍රශ්නය වන්නේ, විපක්ෂය විරුද්ධ වන්නේ රනිල් ඒ තත්වය වෙත රට ගෙනියනවාටද? නැත්නම් කොහොමටත් සමාජ සාධාරණය වචනවලට මිස ක්‍රියාවෙන් ඔප්පු කරන්න වැඩපිළිවෙළක් හෝ දැක්මක් විපක්ෂයට ඇත්ද යන්නය.
සැබවින්ම අපගේ තේරුම් ගැනීම අනුව නම් විපක්ෂය වෙත එවැනි දැක්මක්, වැඩපිළිවෙළක් නැත. ඒ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා රේගු දින සැමරුම අවස්ථාවේ මෙරට දේශපාලන පක්ෂ නායකයන්ට ඉදිරිපත් කළ පොදු අභියෝගයටද පිළිතුරක් නැත. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියෝග කරේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට විකල්ප ඇත්නම් සහ රාජ්‍ය ආදායම් ගැටළුව ඇතුළු අනෙක් ප්‍රශ්න සඳහා විසඳුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම සෑම දේශපාලන පක්ෂයකම වගකීම බවය. නමුත් කයිවාරු දාසලා වගේම පම්පෝරි දිසාලා ඒ ගැන මීක් නැත.
කෙසේ වුවත් මෙරටින් සොරාගෙන විදෙස් ගත කළ මුදල් නැවත මෙරටට ගෙන්වීමට මෙන්ම, හිඟ බදු අයකර ගැනීමට, බදු පදනම පුළුල් කර සෘජු බදු අනුපාතය වැඩි කර, වක්‍ර බදු අනුපාතය අඩු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ පාලනය ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්, විපක්ෂයට කිවයුතුව ඇත්තේ, දැන් සටන් පාඨ අලු‍ත් කරගන්න කියාය.

…….කුසල් ජයම්පති……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *