මචං මුජිබර් ! උනක්කු ආල්ලාහ්ඩ කාවල්

”මමත් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාට පණිවිඩයක් යැව්වා , ” පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න එපා, ඔයා බිල්ලට දෙයි කියලා.” එතුමාව පාර්ලිමේන්තු ගෙනාවෙත් මම. ඉතින් මම බැලුවේ එතුමාව මේ පාර්ලිමේන්තුවේ තියා ගන්න.” මේ කතාව කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේ පැවති අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විපක්ෂය ඉල්ලා තිබූ විවාදයට එක්වෙමින්ය.

ජනාධිපති පාර්ලිමේන්තුවේදී එසේ කියන්න පෙර මුජිබර්ද කියූ කතාවක් මාධ්‍ය වල පළවිය. ඒ ”පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ තමාට අද එතැනත් නැහැ, මෙතැනත් නැහැ” කියාය. ”මෙම පළාත් පාලන ඡන්දයට දිනයක් නොමැති බවත් තමාගේ පාර්ලිමේන්තු අසුන ෆවුසි මහතාට පැවරී ඇති බවත් මුජිබර් කියා තිබිණ. එසේම තමා මෙම තත්ත්වයට පත් කිරීම ගැන මැතිවරණ කොමිසමට එරෙහිව කඩිනම් පියවරක් ගන්නා බවද සඳහන් කර තිබිණ.

මුජිබර් කියූ ඒ කතාව අනුව නම්, පෙනෙන්නට ඇත්තේ මුජිබර් ගේ පුරපති සිහිනය කෑලි කැඩී සුනු විසුණුව ගොස් ඇති බවය. ධෛර්යය බිංදුවටම වැටී ඇති බවය. තමන්ට අත්වූ ඉරණම සම්බන්ධව දැඩි වේදනාවකට සහ පශ්චාත්තාපයකට පත්ව ඇති බවය. දැන් මුජිබර්ට අල්ලපු අත්තත් නැත. පය ගහපු අත්තත් නැත. දේශපාලන වශයෙන් අනාථව අන්ත අසරණයකු වී ඇත. ඉතිං ඒ මුජිබර් මේ කතා කියන්නේ තම සියලු වේදනා මැතිවරණ කොමිසම වෙත ප්‍රසිද්ධියේ බැරකර හිත හදාගන්න විය යුතුය. ඒ හැර මේ අසරණයාට වෙන කරන්න දෙයක්ද නැත.

නමුත් ඇත්ත කතාව ඊට වෙනස් ය. මුජිබර් ප්‍රසිද්ධියේ මැතිවරණ කොමිසමට මෙන්ම තවත් වරෙක ආණ්ඩුවට ආඩපාලි කිව්වත් ඒ කවුරුත් මුජිබර්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කිව්වේ නැත. කොටින්ම කියනවා නම් මුජිබර් පවා පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ කැමැත්තෙන් නොවේය. ඔහුගේ ඒ ඉල්ලා අස්වීම සිදුවුණේ සජබ නායක සජිත්ගේ බල කිරීමටය. ඒ බව කාට රහසක් වුණත් ක්‍ය්එය්ප ීඑරුැඑ වදමරබ්ක පාඨකයන්ට නම් රහසක් විය නොහැක. ඒ මුජිබර්ගේ අවාසනාවේ කතාව ”කේලම” කොළම හරහා අප හෙළිකර තැබුණු නිසාය.

සැබවින්ම කොළඹ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කාලයකට පෙර මුජිබර්ට දේශපාලන සිහිනයක් තිබිණ. ඒ කවදත් එක්සත් ජාතික පක්ෂයේ බල කොටුවක් වූ කොළඹ මහ නගර සභාවේ බලය සජබ වෙත ලබා ගන්නටය. තමන් පුරපති අපේක්ෂක ලෙස ඒ සටනට නායකත්වය දෙන්නටය. ඒ සම්බන්ධව ඔහු අවස්ථා කිහිපයකදීම සජබ නායක සජිත්ටද පවසා තිබිණ. නමුත් එහිදී සජිත් මුජිබර් ගේ යෝජනාව සත පහකට ගණන් ගෙන තිබුණේ නැත. ඒ එම මොහොතේ කොළඹ එජාප බල කොටුව අල්ලන සටනේ සෙන්පති ලෙස පුරපති අපේක්ෂකත්වය මුජිබර්ට දීමට සිතක් සජිත්ට නොතිබූ නිසාය. ඒ නිසාම මුජිබර් ද කොළඹ පුරපති සිහිනය අත්හැර දැමුණේ කාලයකට පෙරය.

සජබ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස සජිත් විසින් නම් කළේ එසේ හීනය අත්හැර හිටපු මුජිබර්ව ය. අවම වශයෙන් ඒ ගැන මුජිබර්ගෙන් කරුණු විමසීමටවත් සජිත් කටයුතු කර තිබුණේ නැත. කොළඹ පුරපති අපේක්ෂක ලෙස තමන්ව නම් කළ බව දැනගත් වහාම දන්නා කියන දේශපාලනයේ නාඩිකාරයන්ගෙන් උපදෙස් පතා තිබුණේ ඒ නිසාය. ඒ කවුරුත් මුජිබර්ට උපදෙස් දී තිබුණේ මේ මොහොතේ නම් කීයටවත් ඉල්ලා අස්වෙන්න එපා කියාය. ඒ වගේම පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් වන උද්ඝෝෂණය විපක්ෂය සත්භාවයෙන් කරන්නක් නොවන බවද පෙන්වා දෙමින්ය. විපක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලන්නේ කෘතීම ආණ්ඩු විරෝධයක් නිර්මාණය කිරීමට පමණක් බවත් පවතින දේශපාලන ආර්ථික පසුබිම හමුවේ මෑතක පළාත් පාලන වැනි වැදගැම්මකට නැති ජන්දයක් පැවැත්වීමට වාතාවරණයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දී තිබිණ. එනිසා අවංක අපේක්ෂාවක් නොමැතිව සිදුකරන මේ උද්ඝෝෂණයේ බිල්ලක් වනවාට වඩා , ඥානාන්විතම වන්නේ පාර්ලිමේන්තුව තුළ සිටීම බවද දේශපාලන නාඩිකාරයන් මුජිබර්ට උපදෙස් දී තිබිණ.

කොළඹ සජබ පුරපති අපේක්ෂක ලෙස නම් කර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙස සජිත් සිදුකළ දැනුම්දීම අවස්ථාවේ මුජිබර් ඊට අදිමදි කර සිටියේ ඒ අනුවය. පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම ලබාදීම සඳහා යාමට පෙරත් මුජිබර් සජිත් හමුවීමට ගොස් තිබිණ. ඒ ගිහින් අසා තිබුණේද ” අනේ සර්, මම මෙහෙම ඉන්නම්, වෙන කෙනෙක් දාමුද ?” කියාය.

එහිදී කෝපයට පත්වූ සජිත් අසා ඇත්තේ , “මොනවද මුජිබර් මේ කියන්නේ . ඔයා කොළඹට ඉල්ලනවා කියල මම එනවුන්ස් කරලා ඉවරයිනේ.. දැන් ඒක නෑ කිව්වොත් මට මොකද වෙන්නේ.. .. ඔය ජේවීපී කාරයෝ මාව නැති කරාවි.. මට එහෙම පාච්චල් වෙන්න බෑ . දැන් ඔයාට ඉල්ලන්නම වෙනවා. හරි .., ඡන්දෙ නොතිව්වොත් මම තිස්සව අයින් කරලා ඔයාව පක්ෂයේ ජාතික සංවිධායක කරනවා..” කියාය. ඒ මොහොතේ මුජිබර්ගේ මුහුණ ඇද වූවා පමණක් නොව සිදුවූ ඒ කතා බහ ගැන සාක්ෂියක් ලෙස තලතා අතුකෝරල ද සිට ඇත.

කොහොම නමුත් ඊට පෙර මුජිබර් සිය දේශපාලන අනන්‍යතාව සලකුණු කර ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පදනම් කරගෙනය. ඒ වෙනුවෙන් මුජිබර් වරෙක ආණ්ඩුවේ නිර්දය විවේචකයකු විය. කොළඹ ප්‍රශ්නයක් කොතනද ඇඳගෙන හිටපු ඇඳුම පිටින් මුජිබර් එතනය. බනානා සුජීලා මෙන් ගංවතුරින් අවතැන් වූ ජනතාවට නම ගසා කෙසෙල් නොබෙදුවාට, ජනතාව සමඟ ගංවතුරේ සිටීම මුජිබර්ගේ විලාසයය. බැරි පුළුවන් කම් මොනවා වුණත් කට්ට කාගෙන වැඩේට බහින ගතිය නිසාම කොළඹ සාමාන්‍ය මුස්ලීම් ප්‍රජාව තුළ මෙන්ම අනෙක් ජන කොටස් අතරත් විශේෂ ආකර්ශනයක් මුජිබර්ට තිබිණ. දුක් විඳින – බර අදින, පළාත් සභාවේ සිටි මුජිබර්ට පාර්ලිමේන්තු එන්න ලැබෙන තැනට පාර හදා දෙන්න එදා එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්න ඇත්තේද ඒ නිසා විය යුතුය. පාර්ලිමේන්තුව තුළද කැපී පෙනෙන හැසිරී නමක් හදාගන්න මුජිබර්ට ලැබුණේද රනිල්ගේ නායකත්වය නිසාය. එහෙම උඩට ආව මුජිබර්ලාට අවාසනාව පැමිණියේ සජබ අටවාගෙන සජිත් සමග ගිය ගමන නිසාය.

මෙහිදී මුජිබර්ගේ ඛේදවාචකය වන්නේ මීට පෙර මුජිබර් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී කොළඹ පුරපති අපේක්ෂකයා වීම ගැන සජබ නායක සජිත් වෙනස් ස්ථාවරයක සිටීමය. ඒ මුජිබර් ඉල්ලා අස්වුනොත් ඊළඟට ඇතුළට එන්නේ ්‍යඵ ෆවුසි නිසාය. ඒ මන්දයත් ෆවුසි අනිවාර්යයෙන් රාජිත සමග රනිල් ජනාධිපති සමග එක්වනු ඇති බවට සජිත්ට ලැබී තිබුණු තොරතුර නිසාය. කෙසේ වුවත් අවසානයේ මුජිබර්ට සිදුවුනේ නොදන්නා හේතුවක් මත තම දේශපාලන ජීවිතය පුදන්නටය.

දේශපාලන ආරංචි මාර්ග කියන ලෙසට නම් ඒ පිදිල්ල සිදුවුනේද සජබ නායක සජිත්ට ලැබුණු දේශපාලන අභියෝගයක් නිසාය. ඒ කොලොන්නාව පදනම් කරගෙන මරික්කාර් සහ හිරුනිකා අතර පැවති සීතල යුද්දයක්ය. ඒ යුද්දයේ එක් පසෙක සිටියේ මරික්කාර් වූ නමුත් අනෙක් පස සිට ඇත්තේ හිරුනිකාව මෙහෙයවූ ජලනිය. ජලනිගේ උපදෙස් මත හිරුනිකා ක්‍රියාත්මක වුනේ ඊළඟ මැතිවරණයේ මහරගම නගරාධිපති අපේක්ෂිකාව වන්නටය. නමුත් හිරුගේ හැසිරීම හමුවේ සජබ සිටියේ ඇය කොහෙත්ම කොළඹ ප්‍රධාන තනතුරක් සඳහා නොගැලපෙන මතයේය. සජිත් ඇත්තටම හිරවුණේ මෙතන වන අතර, එක පසෙකින් ජලනි මෙහෙයවන හිරුනිකා වූ අතර අනෙක් පසින් ඒ දේශපාලනය සම්බන්ධව සජබ සම්ප්‍රදායික පොදු විරෝධය පැවතියේය. එනම් හිරුනිකා ඕවර් ඇක්ටින් බවය.

ඔය මොහොත පාවිච්චියට ගනිමින් හිරුනිකා විරෝධයේ මුල සිට හිටි මරික්කාර් මහරගම ආසනය බාරගත් අතර හිරුනිකාට යෝජනා වුයේ ජලනිගේ ආශීර්වාදය ප්‍රමුඛවූ කොළඹ පුරපති ධුරයය. එහෙත් ඊටද සජබ පොදු විරෝධය පැමිණි නිසා අවසානයේ හිරුනිකා නොවන වෙනත් අයෙකුට කොළඹ දෙන්න සජිත්ට බල කෙරින. මුස්ලීම් ජන්ද පදනම ගැන සිට සාකච්ඡා වට කිහිපයකින් පසුව මුජිබර් ඒ සඳහා පත්කිරීමට සජිත් තීරණය කලේ ඊට පසුවය. ඒ වෙනුවෙන් මරික්කාර්ගේ ද බලපෑමක් වූ අතර ඒ 2020 ජන්දය අවස්ථාවේ මුජිබර් ඔහුට සමීපව සිටි නිසාය.

කෙසේ වුවත් දැනගන්නට ඇති ආකාරයට ළඟ පාතක මැතිවරණයක් ද නැත. ”ජන්දය කල් ගියොත් ඔයාව මම තිස්සව අයින් කරලා , සජබ ජාතික සංවිධායක කරන්නම්” කියා සජිත් මුජිබර්ට ලබාදුන් පොරොන්දුව වත් මේ වන තෙක් ඉටුකර නැත. ඒ සමග මුජිබර් පාර්ලිමේන්තුවේ නොමැති නිසා මරික්කාර් ඉන්නේ තනි අශ්වයාගේ රේස් එක හිමිකරගෙනය. ඒ ගැන දේශපාලන කරලියේ කියන්නේ, මුජිබර්ව බ්ලාන්ස් යැව්වේ මරික්කාර් බවය. ඊට ආසන්න සිදුවීම වන්නේ, දැන් මුජිබර් පාර්ලිමේන්තුවේ නැති නිසා කොළඹ ඉන්න සජබ එකම මුස්ලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් පමණක් වීමය.

ඒ හමුවේ දැන් මුජිබර්ට සිදුව ඇත්තේ උක් ගාලට වැදුණු ලොම්බා මෙන් හැසිරෙන්නටය. නැත්නම් දැන් ඉතිරිව ඇත්තේ සජබ නායක ජලනි ආර්යාවගේ ව්ක නම් සැලූන් එකෙහි රැකියාවකට හෝ යාමය. නමුත් එයත් පහසු නැත.

ඒ මීට කෙටි කාලයකට පෙර ජලනි විසින් පවත්වාගෙන යන ව්ක ශාකාවක් සම්බන්ධ ගැටළුවක් නිසාය. පසුගිය සමයේ සමාජ මාධ්‍ය හරහා වාර්තා වූ ආකාරයට 2018 දී බදු ගිවිසුමක් තුළ අවසන් වූ ගොඩනැගිල්ල ආපසු බාරදෙන්නට ජලනි ක්‍රියාකර නැත. ගොඩනැගිල්ල ආපසු බාරදෙන්නට පමණක් නොව ඊට අදාළ මුදල් ගෙවීමද සිදුකර නැත. ඒ සම්බන්ධව වීඩියෝ සාක්ෂි පවා සමාජ මාධ්‍ය තුල නොමැති අතර සැලුන් එක වෙනුවෙන් යෙදු ආරක්ෂාව නිසා ඉඩමේ හිමිකරුවන් බාධා රැසකට මුහුණදී ඇත. ඊට අදාලව පොලිසියේ පැමිණිලි මෙන්ම නඩු කටයුත්තක් සිදුවුවත් හිමිකරුවන් ඉන්නේ ජලනිගේ ව්ක නිසා තර්ජිතවය.

පසුගිය සමයේ ජවිපෙ ආණ්ඩුවක් යටතේ පෞද්ගලික දේපළ අත්පත් කරගන්න බවට එහි නිල වෙබ් අඩවියේ සඳහන් සටහන් උපුටා දක්වමින් ප්‍රචාරය කල සජබ මේ හමුවේ නිහඬය. නමුත් ව්ක හැසිරීම පෙන්නුම් කරන්නේ ජවිපෙ ආණ්ඩුවක් ගෙන කරන පෞද්ගලික දේපල පවරා ගැනීම සජබ විපක්ෂයේ සිටත් සිදුකර ඇති බවය. ඒ පසුබිමේ තමන් බිම්මට්ටමේ සිට රැකබලාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දක්වා ඔසවා තැබූ මුජිබර් ගැන ජනාධිපති රනිල්ට සහකම්පනයක් ඇති වුවත් කරන්න දෙයක් නැත. ඒ නිසා දැන් මුජිබර්ට කියන්න ඇත්තේ මචං මුජිබර් !
උනක්කු ආල්ලාහ්ඩ කාවල් කියාය.

කුසල් ජයම්පති