සුරුවම් නැති ඇත්ත අරගල නායකයා

මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමසාරිස්වරයා ශේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණු බවට පසුගියදා මාධ්‍ය වාර්ථා පලවී තිබිණි. එසේම මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බවට කොමසාරිස්වරයා රටට දැනුම් දී තිබුණෙත් මාධ්‍යය හරහාය. එසේ නොමැතිව නිත්‍යනුකූලව මැතිවරණයක් කැඳවීමක් සිදුව නොතිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඒ ගැන සියළු තොරතුරු හෙළි කර තිබිණි. ඒ අනුව මෙතෙක් නිත්‍යානුකූලව මැතිවරණය කැඳවීමක් සිදුව නොමැත. එමෙන්ම එදිනම ශේෂ්ධාධිකරණය හමුවේ විභාගවු මැතිවරණය නොපැවැත්වීමට නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා තිබු පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය තීන්දු කළේ නඩුව මැයි 11 දක්වා කල්තැබීමටය. ඒ අනුව පාළාත්පාලන මැතිවරණයක් දැන්ම පැවැත්වීමේ ඉඩකඩක් නැත.

කොහොම නමුත් මැතිවරණය කට වචනයෙන් හෝ කැඳවීම සිදුව තිබීම මත දේශපාලන සමාජය තුළ බොහෝ දේ සිදුවිය. පළමු කරුණ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ තරම ගැන රටට සහසුද්දෙන් දැන ගැනීමට හැකිවීමය. රුපියල් බිලියන 10 ක් හෝ නිකරුනේ වැය කිරීමට තරම් හැකියාවක් රජයට නැති බවත් රාජ්‍ය ආදායම් අත්පත් කරගැනීම වෙනුවෙන් ආණ්ඩුවට වෙහෙසකර උත්සාහයක නිරත වීමට සිදු ඇති බවත් රට දැන් දන්නා ඇත්තය. එසේම විපක්ෂය රටත් ජනතාවත් පරදුවට තබා තමන්ගේ ගොඩ වැඩි කරගැනීමේ එකම අභිලාෂයෙන් මැතිවරණයක් ලබා ගැනීමේ බලළොභි උත්සාහයක නිරත වූ බවත් හෙළිදරව් විය.

ඒ කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය කැඳවීමෙන් වූ හොඳම ප්‍රතිපලය නිර්පාක්ෂික, සර්වපාක්ෂික,ස්වාධීන, මධ්‍යස්ථ ආදී ලෙසින් අරගලය කාලය තුළ පෙනී සිටි කණ්ඩායම් එක් එක් පක්ෂ වලට කණ්ඩායම් වලට මතවාදයන් වලට කැඩී වෙන් වී ඔවුන්ගේ සැබෑ වුවමණාවන් ප්‍රකාශයට පත් වීමය, බවට වන සටහනක් සමාජ මාධ්‍ය තුළ පළවී තිබිණි.

මේ පාර්ශ්වික වුවමණාවන් මත බෙදී වෙන ව සිටින පිරිස ඒ ඒ දේශපාලන වේදිකාවලට නැග තමන් සමඟ අරගලයේ සිටි සෙසු කොටස් විවෙච්නය කිරීම් දැන් දකින්නට ලැබේ. ඒ මත ප්‍රති විවේචනයන් ද ඇති වී ඇත. අරගලය තුළ නායක නායිකාවන් ලෙස උත්කර්ෂයට නැංවූවන් බොහොමයක් දෙනා වත්මන් දේශපාලනය තුළ ජෝකර්ලා වීමේ ප්‍රවණතාවයක් ද පෙන්නුම් කරන අතර ඇතැමුන් ස්වයං විවේචන දක්වා පල්ලම් බැස තමන් අතින් වූ වැරද්ද ගැන සමාව අයදින තැනටද පත්ව තිබේ. කොහොම නමුත් පුද්ගල චරිත වන්දනාමාන කිරීමේ සම්ප්‍රදායයක් මෙරට තුළ තිබේ. විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේදී ඒ තත්වයන් උත්සන්නවේ. ඇතැම් පක්ෂ නායකයන් ජාතියේ ගැලවුම්කරුවන් කරමින්. දියසෙන් කුමාරවරු කරමින් තිබේ. මෙවැනි පුද්ගල වන්දනාමාන කිරීම් වල ඉතා කණගාටුදායක සහ බරපතලම ප්‍රතිපලයක් රටම අත්වින්දේ 2019 දීය. ඒ වැඩ කරන විරුවා ලෙස අභිෂේක ලද ගෝඨාභය රාජපක්ෂට සිදුවූ දෙයය. ඔහුගෙන්, ඔහුගේ පාක්ෂිකයන් පමණක් නොව විරුද්ධ පාක්ෂිකයන් පවා අපේක්ෂා කළ දේවල් කිසිවක් ඇත්තටම සැබෑවක් වූයේ නැත. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ මහ මොලකරුවා ලෙසත් අන්තිමට යුද ජයග්‍රහණය අයිතියත් තම වෙත ලියාගෙන අභීත සෙන්පතියකු ලෙස ජනතාවගේ වන්දනයට ලක් වන තැන දක්වා මහා පෞර්ෂයක් ගොඩනගා ගැනීම ජනාධිපතිවරණය ආසන්නයේ දී සිදු වූ නමුත් ඔහුට තනතුරත් අතහැර පලා යන්න වූයේ වැඩ බැරි දාස කෙනෙක්, පිස්සෙක්, බියගුල්ලෙක් ලෙසය. එවැනි අත්දැකීම් තිබියදී අරගලය තුළත්, පුද්ගල වන්දනාව ගැන විවේචනයක් තිබුණු යම් වාමාංශික දේශපාලනයක් පිළිගත් තැනැත්තන් වෙතින් පවා මේ වැරද්ද සිදු වී තිබිණි. තරු බවට පත් කළ සුපිරි වීරයන් රැසක් අරගලයේ සිටියේය. කොටින්ම අරගලයේ ප්‍රධාන නැතිනම් එකම සටන් පාඨය කරගත්තේත් එහිම අනෙක් පස වන ‘ ගෝඨ ගෝ හොම්‘ සටන් පාඨයය. එනම් මේ ගෝඨා එළවීමෙන් රටේ අර්බුදය විසක්‍ෂෙන බව විශ්වාස කරන තැනට පත්වීමය. එහි ඇති දේශපාලනික වැරද්ද හෝ මෙම දේශපාලන දැනුමක් ඇති පිරිස් පවා බැහැර කරමින් එදා අරගලය බොළඳ අදේශපාලනික තැනකට තල්ලු කර තිබිණි.

කොහොම නමුත් අදත් එවැනිම අදේශපාලනික බාවිතයන් මේ වාමාංශික කියන කණ්ඩායම් තුළද දකින්නට ලැබේ. මේ හරහා ගොඩනැfÛන ජනප්‍රිය දේශපාලන රැලි අවසානයේ ඒ ඒ නායකයනුත් විනාශ කරගෙන ඒ දේශපාලන ප්‍රවාහයනුත් නන්නත්තාර කර දමමින් විනාශවන්නෙ රටටත් බරපතල හානි ගෙන එමින් බව ඉතිහාසයෙන් උගත හැකි පාඩමකි.

සැබැවින්ම ගෝඨා පාලනයට එරෙහි අරගලයේ දේශපාලනය විය යුතුව තිබුණේ පාලකයා පැන්නීම නොව, පවතින දේශපාලන ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා වන දියුණු භාවිතයක් බවට පත් කරගැනීමය. එහෙත් ඒ වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටි කොටස් වලට පවා අරගල භූමිය තහනම් වන අයුරු එහි මුල් අවස්ථාවල පෙන්වා තිබිණි. අරගලයෙන් ගෝඨාභයව එළවා දැමු නමුත් ඊට පසු වෙන්නේ මොකක්ද? විය යුත්තේ මොකක්ද යන සංවාද්ය මතු කිරීමත් අරගලයට එරෙහිවීමක් බවට අර්ථකථනය කිරීමද සිදුවිය. මේ ගැටලුවට අරගලයෙන් උත්තර තිබුණේ නැත. අරගලය තමයි නීතිය, කියමින් ප්‍රචණ්ඩ ත්‍රාඩ භාවිතයකට ගිය පිරිස රට අරාජික කර දැමුවේනම් විය හැකිව තිබූ විනාශයේ තරම අද අප අත්විඳින තත්වයන්ට වඩා ඉතා බියකරු විය හැකිව තිබිණි. සැබැවින්ම විය යුතුව තිබූ ක්‍රම පද්ධතියේ නැතිනම් සිස්ටම් චේන්ජ් එක ගැන කිසිවකුට අදහසක්වත් තිබුණේ නැත. සිස්ටම් චේන්ජ් කිරීම ජන්ප්‍රිය සටන් පාඨයක් ලෙස ලෙල දුන්නන්ද පවතින සිස්ටම් එක මොකක්ද එහි වෙනස්විය යුත්තේ කුමක්ද යන සාකච්ඡාව පෙරට ගැනීමට කිසිවකුත් සමත් වුයෙත් නැත.

එහෙත් ඒ අරගලයෙන් එපිට සිට, සිස්ටම් එක වෙනස් කළ යුතු බවත් එය වෙනස් විය යුත්තේ කෙසේද යන්න ගැනත් ස්වයං විවේචනාත්මක්ව දකින්නත්, වත්මන් අර්බුදයට විසඳුම කුමක්ද? එය කළ යුත්තේ කෙසේද? යන්න ගැනත්, නිවැරදිව එය තෝරගන්නත්, අනාගතය ගැන අපේක්ෂාවක් ගොඩනගන්නත්, ඒ අභියේගය බාරගන්නත්, ඒ වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ පනස් වසරක පමණ ගැඹුරු දැවැන්ත දේශපාලන පරිචයක් සහිතව සිටි රනිල් වික්‍රමසිංහ පමණය. විවිධාකාර නායක නායිකාවන් සුරුවම් බවට පත්ව සිටියද රටේ ඇත්ත අභියෝගය බාර ගන්න මේ කිසිවකුත් ඉදිරිපත් වූයේ නැති මොහොතක රනිල් විශාල අවදානමක් ගෙන ඒ බාර ගැනීමට ඉදිරිපත් විය. අරගලයේ ප්‍රතිපලයක්, ජයග්‍රහණයක් ලෙස රනිල් ජනාධිපතිධුරයට පත්වීම ගැන ඇතැමුන් විග්‍රහ කළද ඇත්තටම සිදු වූයේ ඊනියා අරගලයට එපිටින් ඇත්ත නායකයෙක් බිහි වීමය. රනිල් කියන්නේ සුරුවමක් නොවේ. ජනප්‍රිය නායකයකුද නොවේ. ඔහු කිසිදා තමා ගැන පුද්ගල වර්ණනාවට, වන්දනාවට ඉඩ තැබුවේත් නැත. සිය පාක්ෂිකයන්ගේ වුවමණාව ඔහුගේ ප්‍රතිරූපය නැංවීම වී තිබුණත් ඔහු ඊට අනුග්‍රහ දැක්වූයේත් නැත. එදා ඒ හිටපු රනිල් අදත් එහෙමය. ඔහු හැමදාම පෙනී සිටියේ දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ගොන්නක් අත තබා ගෙනය. සිස්ටම් එක රැකීමෙන් හෝ සිස්ටම් එක සිස්ටම් එකක් ලෙස වෙනස් කිරීමෙන් රට ගොඩනැගීම විය යුතු බව ඔහු දැරූ දේශපාලන ස්ථාවරයය.

ජනාධිපතිධුරය බාර ගැනීමත් සමඟම ඔහු අවධාරණය කළේ සිස්ටම් චේනජ් එකකින් හැර රට ගොඩනැගීම කළ නොහැකි බවය. තමන් නියෝජනය කළ පක්ෂය, තමන්ගේ අසම සම නායකය වූ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා රට වෙනස් කිරීම වෙනුවෙන් 1978 ගෙන ආ විවෘත්ත ආර්ථිකය පවා මේ වන විට යල් පැන ගිය සිස්ටම් එකක් බව කියන්න ඔහුට හැකි විය. ඒ සිස්ටම් එක දැන් වෙනස් විය යුතු බවත් ඉතිහාසය මුළුල්ලේ වූ වැරදී අඩු පාඩු සකසා ගැනීමත් විය යුතු බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව විය යුතු දේ ඔහු ඉදිරිපත් කළේ වටවංගු ගහමින් නොවේ. ඒ සෘජුව ප්‍රකාශයට පත් කළේය. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත්තේය. රට වැටී තිබුණු ආගාදයෙන් එක පියවරක් හෝ ඉහළට ගැනීමට හැකිව තිබෙන්නේ රනිල් සිස්ටම් චේන්ජ් එකකට මුල පුරමින් වැඩේ පටන් ගත් නිසාය. නමුත් මෙය රනිල්ගේ පෞද්ගලික පෞර්ෂයට ලඝු කළ යුතු නැත. මන්ද ඔහු වැඩ කරන පිළිවෙත තුළ අධීකාරිවාදයක් නැත. ඔහු සියලු දෙනාවම ඊට එකතු කර ගනීයි. සියලු දෙනාටම ඇහුම්කම් දෙයි. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් එකඟතවයෙන් තීන්දු තීරණ ක්‍රියත්මක වන තැනට කටයුතු කරයි. විධායක බලතල සහිත තනතුරක් හෙබවූවද තීන්දු ගැනීම පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට අවශ්‍ය නිදහස සහ පහසුකම් සලසා දී ඇත. අලුත් අදහස් වලට,අලුත් නායකයන්ට මතුවීමට විශාල ඉඩක් ඔහු ඇති කර තිබේ. ඒ ඒ ක්ෂේත්‍ර වල වඩාත් නිවැරදී ප්‍රායෝගික නිවැරදී භාවිතාවන් අද සිදුවෙමින් තිබෙන්නේ ඒ තත්වයන් මතය. තරුණ මැති ඇමැතිවරුන් ගනනාවාක් අද සක්‍රීයව ජව සම්පන්නව වැඩ පෙන්වමින් සිටින්නේ රනිල්ගේ ප්‍රතිපත්තිම දේශපාලන භාවිතය ආදර්ශයට ගෙන යැයි කීමත් වැරදි නැත. ඒ අනුව ඔවුන්ට යහපත් දේශපාලන අනාගතයක් හිමි වන බවටක් අණාවැකි පැවැසිය හැකිය.

කොහොම නමුත් නිවැරදි දේ වෙනුවෙන් රනිල් දැඩිව පෙනී සිටියත් ඒ වෙනුවෙන් කවර උපක්‍රම පාවිච්චි කළත්, රනිල් තනි හිතුවක්කර තීන්දු ගෙන කටයුතු කළ ඉතිහාසයක් නැත. තමන්ට වන අලාබය අවාසිය නොතකා අපහාස අවලාද නොතකා ඔහු තීන්දු ගත්තේ පොදු ජයග්‍රහණයන් වෙනුවෙනි. රනිල් ඒකාධිපතියකු බවට චෝදනාවක් ආවේ එජාප නායකත්වය සම්බන්ධයෙනි. එදා සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වයට ලොබබැද කළ කී සියලු උපක්‍රම පරාජය කරමින් සිය නායකත්වය රැක නොගත්තේ නම් අද රනිල් රටේ ජනාධිපති වන්නේ නැත. එසේම එජාපය සජිත්ගේ මුග්ධ විසුළුකාරී නායකත්වයට යටත් වූවා නම්, කරන පිස්සු කෙලීම් ගැන අද ඔහු කරන කීයන දේ අනුව ඉතා පැහැදිලිය. ඒ අනුව එදා එජාපයේ නායකත්වය රැකගැනීමට කළ සටන කෙතරම් නිවැරදිද යන්න එජාප පාක්ෂිකයාට අවබෝධ කර ගත හැකිය. වැදගත්ම දේ එජාපයේ දේශපාලන ප්‍රතිපතිතීන් සහ එහි වටිනාකම් රැකගැනීමය. ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් දැඩිව පෙනී සිටින රනිල් අද රට ගොඩනගන්නේද ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අනුවය. අර්බුදයට උත්තරය ඇත්තේ එතැනය. අර්බුද ඇති වූයේ නිවැරදි ප්‍රතිපත්ති හකුළා වැරදි දේ වෙනුවෙන් ගත් මුග්ධ පියවරයන්ය. ව්‍යාජව පුම්බනු ලැබූ බොල් චරිත විසින් ඇති කළ අවුලය.

විකාර මැතිවරණ ඝෝෂාව අවසන්ව ඇති පසු බිමක ජනාධිපති රනිල්ට සහ ආණ්ඩුවට දැන් රටේ ආර්ථිකය ගොඩගැනීමේ මෙහෙයුමෙහි අඛණ්ඩව කටයුතු කළ හැකිය. එමෙන්ම මේ වන විට ගෙන තිබෙන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංකරණයන් කඩිනමින් ක්‍රියාත්මක කර සංවර්ධිත රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට අවශ්‍ය අඩිතාලම ශක්තිමත් කිරීම සිදු කළ හැකිය. මේ වෙනුවෙන් විපක්ෂ කොටස් වල සහයෝගය ලැබුණා නොලැබුණා හෝ රටේ ජනතාවගේ සහයෝගය හිමිවනු ඇත. ගෙවුණු මාස කිහිපය තුළ අත්පත් කරගෙන තිබෙන වර්ධනයන් අනුව අනාගතය ගැන විශ්වාසය තැබිය හැකි වාතාවරණයක් සැකසීම මත ජනතා සහයෝගය අඛන්ඩව ලැබෙනු ඇති අතර එහි ඉහළම ප්‍රතිලාබයනුත් ජනතාවට ලැබෙනු ඇත. එහෙත් මෙය රනිල්ගේ පෞද්ගලික වික්‍රමයක්ය කියන පටු අර්ථයකින් බාරගැනීම නොවිය යුතුය. මන්ද මේ ජයග්‍රහණය කරන්නේ ප්‍රතිපත්ති මත වන දේශපාලන අරගලයක් නිසාය. රනිල් දශක පහක් තිස්සේ කළ ඇත්ත අරගලයකි.

-ඝෝෂක