ගේම් එක දන්න අය දන්නව රූල් එක

දේශපාලන බලය සමඟ සෙල්ලම් කළ නොහැක. එක්කො බලය අත්පත් කරගත යුතුය, නැතිනම් අත්හල යුතුය. එතැන සෙල්ලමක් නැත. තියෙන්නේ බලය සඳහා වන ත්‍රාඩ සටනකි. ජයග්‍රාහකයකු සහ පරාජිතයකු නිශ්චිතය. දේශපාලනය සෙල්ලමක් නොවන නමුදු දේශපාලනය තුළ කළ හැකි සෙල්ලම් තිබේ. ඒ ගැන අවබෝධයෙන් තොරව දේශපාලනය සමඟ සෙල්ලම් කරන වුන් සිටිති. වර්තමාන විපක්ෂය කියන්නෙ එහෙම කණ්ඩායමකි. බලය අත්පත් කරගැනීමට වඩා බලය හමුවේ දීන දියාරුව ගනුදෙනු බේරාගැනීමට මේ අය කැමතිය. මේ අයට බලය ලැබුණොත් ඒ බලය හිමි අය ඒ අතහැරියොත්ය පමණක් වන තරමට දුර්වලයන්ය. එහෙත් ගෝඨාභය විසින් ලබා දුන් අවස්ථාවත්, ගෝඨාභයගේ පලායාමෙන් පසුව ඒ සඳහා ලැබුණු අවස්ථාවත් මඟහැරියේය.

මේ වන විට පළාත් පාලන මැතිවරණය දේශපාලන බලය අත්පත් කරගැනීමේ සෙල්ලමක් කරගත් විපක්ෂය දැන් ඉන්නේ ඒ සෙල්ලමෙන්ද පරාජිතවය. අද රාජ්‍යයේ දේශපාලන අධිකාරි බලය අත්පත් කරගෙන සිටින්නේ ජනධිපති රනිල් වික්‍රමසිංහය. ඒ ස්ථාවර බලය හමුවේ පළාත්පාලන මැතිවරණය කියන්නේ පුංචි සෙල්ලමකි. විපක්ෂය බලාපොරොත්තු වූයේ ඒ හරහා තමන්ට සෙල්ලම් කිරීමේ අවස්ථාවක් ලබාගෙන ලකුණු කිහිපයක් රැස් කරගන්නය. නමුත් මේ මොහොතේ ලකුණු රැස් කරමින් සිටින්නේ රනිල්ය. ඒ අවස්ථාව ඔහු අත් හරින්නේ නැත. මන්ද ඔහුට සම්පූර්ණ කරන්න ඉලක්කයක් තිබෙන නිසාය. ඒ සඳහා ඔහුට සුජාත අයිතියක් ද තිබේ. ඒ කවුරුවත් අභියෝගය හමුවේ පිටියට නොපැමිණි නිසාය.

මේ ගැන අපූර්ව පැහැදිලි කිරීමක් පසුගියදා රූපවාහිනී දේශපාලන වැඩ සටහනක් හමුවේ එජාපය වෙනුවෙන් කරුණු දැක්වූ වරුණ රාජපක්ෂ සිදුකර තිබිණි. ඔහු උදාහරණයකට ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගයකදී වූ සිදුවීමකි. ඒ අනුව පිතිකරුවකු ලෙස ක්‍රීඩා පිටියට පැමිණ තිබුනේ එංගලන්තයේ ඇලන් බෝඩර් නම් පිතිකරුවාය. පන්දු යැවීමට සූදානම්ව සිටියේ වේගවත් සහ බිහිසුණු පන්දු යොමු කරන්නකු ලෙස නම් දරා සිටි මැල්කම් මාෂල්ය. පන්දු යවන්නා හමුවේ පන්දුවට පහර දිමට පෙර තමන්ට පන්දුව හොඳින් පෙනීම වෙනුවෙන් ක්‍රීඩා පිටිය අන්තයෙහි වන සුදු දර්ශන තිරය සකසා ගැනීම පිතිකරුවන් විසින් සිදු කරයි. මෙය දර්ශන පථය සකස් කිරීම ලෙස හඳුන්වයි. මෙහිදී මාර්ෂල් පන්දුව යොමු කිරීමට පෙර ඔහු දර්ශන පථය එක් අන්තයකට කරමින් සකස් ගත්තේය. නමුත් යළිත් පන්දුව යොමු කරන්න සූදානම් වන විට එය වලක්වා යළි දර්ශන පථය අනෙක් පසකට කර සකසා ගත්තේය. යළි යළිත් මේ ක්‍රියාව සිදුවන විට විනිසුරුවරයා (අම්පයර්) බෝඩර්ගේ මේ විකාරය ඉවසා ගත නොහැකිව, හරියටම දර්ශන පථය තියන්න ඕන තැන කියන්නැයි ඉල්ලා සිටියේය. බෝඩර් කිව්වේ තමන් හා මාර්ෂල් අතරින් දර්ශන පථය ගෙනත් තැබුවොත් ඔහුගේ පන්දුවලට මුහුණ දිය හැකි බවය. ඒ මර්ෂල්ගේ පන්දු වලට මුහුණ දීමට තිබෙන අපහසුව නිසාය. එය සිදු නොවුණත් බොඩර්න්ගෙන් ප්‍රකාශ වූයේ සෙල්ලමේ නීති රීති වෙනස් කරමින් හෝ මර්ෂල් හමුවේ නොදැවී සිටීමේ කැමැත්තය. මෙවැනිම තවත් ප්‍රසිද්ධ උදාහරණයක් තිබේ. ඒ එංගලන්ත පිලෙහිම දක්ෂ ක්‍රීඩකයකුව් සිටි දොස්ත්ර ග්‍රේස්ය. හැමදාමත් වගේ ශතක වාර්තා කරමින් ජනප්‍රිය ක්‍රීඩයකු වූ ඔහු වරක් පන්දු යවන්නාගේ පළමු පන්දුවෙන්ම දැවී ගියේය. ඒ මොහොතේ ක්‍රිඩා පිටියෙන් ඉවත් නොවු ඔහු පන්දු යවන්නාට කීවේ අද තරගය නරඹන්න විශාල පිරිසක් ඇවිත් සිටින්නේ තමන්ගේ පන්දු යැවීම බලන්න නොවෙයි, මං ශතකයක් රැස් කරන හැටි බලන්න, එනිසා නැවත පන්දු දමන ලෙසය. ඒ අනුව සෙල්ලමේ නීති රීති වෙනස් කරමින් හෝ ජය ගන්න වෙර දරන්නෝ සිටිති.

අද විපක්ෂය සෙල්ලම් කරන්න හදන්නෙත් එහෙමය. රට අර්බුදයකට වැටී තිබෙන මොහොතක ඒ අර්බුදයෙන් රට ගලවා ගන්න ඔවුන් ඉදිරිපත් වූයේ නැත. රනිල් දිගින් දිගටම කිව්වේ කට්ටියම එකතු වී එක කණ්ඩායමක් ලෙස තරගයට මුහුණ දෙමු කියාය. නමුත් කට්ටිය තරගයේ නීති රීති වෙනස් කරගෙන, කොන්දේසි දමමින් අභියෝගය බාර ගැනීම මඟ හැරියේය. අවසානයේ පිටියට ආවේ රනිල්ය. කණ්ඩායමේ බර කරට ගෙන නායකත්වයේ වගකීම ඉටු කරන්න ඔහුට සිදු විය. අලුත් පන්දුවකින්, අවාසිදායක තණ නිල්ලක සෙල්ලම් කිරීමේ අවදානමත් අනෙක පැත්තෙන් එන පන්දුවල බිහිසුණුකමත් ඔහු දැන ගෙන පිටියට පිවිසුනේය. එකක් හැර තවෙකක් ගානේ එන බරපතල ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදයන් හමුවේ ඒවාට මුහුණ දෙන එක ලෙහෙසි වූයේ නැත. නිවැරදි සැලසුමක් ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් අවශ්‍ය විය. එහිදී වේගවත්ව එන පන්දුව හරියට අවබෝධ කරගන්න නම් දර්ශන පථය නියමාකාරය තබා ගත යුතු විය. එපමණක් නොවේ. පොඩ්ඩ බැරි වුණොත් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමේ අවදානම තිබිණි. පිත්ත අයිනක පන්දුව වැදුණොත් කඩුළු රකින්නා හෝ ස්ලිප් ක්‍රීඩකයකු උඩ පන්දුවක් රැක ගනු ඇත. කකුලක් ඉස්සරහට දමා කඩුල්ල මුවා කොළොත් දැවී යන්නට සිදුවෙයි. කකුල පස්සට ගත්තොත් ඒ ක්ෂණයෙන්ම පන්දුව කඩුල්ල කඩගෙන යා හැකිය. ඉහළින් එන වේග පන්දුවලට ඇඟ අල්ලන්න වුණොත් ඉල ඇට කඩා ගන්න වෙයි. බවුන්සර් පන්දු වලින් ඔලුව බේර ගත යුතුය.

මේ නිසා ආරක්ෂාකාරී පිතිකරනයක යෙදෙමින් කඩුල්ල ආරක්ෂා කරගෙනන සෙමින් සෙමින් ලකුණු රැස් කිරීමට සිදුවිය. පන්දුව පරණ වෙන තෙක් සහ තණ තිල්ල පදම් වන තෙක් සැහෙන කාලයක් ඔහුට අල්ලාගෙන සිටිමට සිදුව තිබිණි. දැන් පන්දුව හොඳින් පෙනෙයි. දැන් තරමක් විශ්වාසයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු රැස් කරමින් සිටී. ඒ සියල්ලට වඩා නිදැල්ලේ යැවිය යුතු පන්දුව කුමක්ද පහර දිය යුත්තේ කවර පන්දුවකටද කවර දිසාවකටද කවර වේගයකින්ද කියන දැනුම සහ පළපුරුද්ද මත ඔහු තවමත් ස්ථාවරව කඩුල්ලේ සිටිනවා කිව්වොත් නිවැරදිය. සෙල්ලම ගැන, එහි නීති රීති ගැන අවබෝධය අඩු මෙන්ම පලපුරුද්ද නැති, ක්ෂණික තීරණ ගත නොහැකි නවක පිතිකරුවන්ට මේ අවදානම් ඉනිම බාරගත නොහැකි බවත් රනිල් දැන සිටියේය..

සජිත්ලා අනුරලා දැන් මුලින් පන්දුවට පහර දීමට නොපැමිණ ඒ මඟ හැරියේ මේ අවදානම ගන්න බැරි බව ඔවුන්ද හොඳාකරව දැන සිටි නිසාය. එහෙත් මෙතුවක් වෙලා මේ අය ක්‍රීඩාගාරයට වී කරමින් ඉන්නේ ඒ බෝලෙට අරම ගැහුවා නම් හරිය මෙහෙම ගැහුවානම් හරිය කියමින් කෑකෝ ගසමින්ය. ඒ මොහොතේ පන්දුවට මුහුණ දෙන්නා ගන්නා තීරණය මිස ඒ අවස්ථාවේ ගත යුතු තීරණය ගැන සෙස්න්ගේ පසු කථා වැඩක් නැත. ඒවා වැදගත් වෙන්නේ ආධුනිකයන්ට ඉගෙන ගැනීමටය. කොහොම නමුත් රනිල්ගේ සෙල්ලම් කිරීමේ විලාසය ගැන ඔවුන් තවමත් අවබෝධයකින් තොරය. එහෙත් දැන් රනිල් තමන්ගේ ඉනිම ගොඩනඟමින් තිබේ. තණ තිල්ල අවශ්‍ය පදමට සැකසී තිබේ. දැන් අනුරට සජිත්ට ඕන වී ඇත්තේ මේ වාසිදායක පිට්ටනියට බැස ලකුණු කිහිපයක් රැස් කිරීමටය. ඔවුන් කියන්නෙ මේ වන විටත් සාර්ථතව කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු රැස් කරන රනිල්ට ඉනිම අත්හිටුවා ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙසය. ආවේ නැතිනම් එළවන කතාද විටින් විට ඇසෙයි. ඒ පිටියේ වාසිය මත තමන්ට ලකුණු රැස් කිරීමේ අවස්ථාවක් දැන් ඇති බව ඔවුන් තේරුම් ගෙන තිබෙන නිසය.

එහෙත් රනිල් එය කරන්නේ නැත. එලෙවනවා කිව්වත් යන්නේ නැත. තමන්ගේ අරමුණ ඉලක්කය විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර කණ්ඩායම ජයග්‍රාහී ස්ථාවරත්වයකට පත්වන තෙක් ඉනිම ගොඩ නගන්නය. ජයග්‍රහණය කළ යුතුම තරගයක තමන්ගේ සාර්ථක ඉනිම අත්හිටුවා ක්‍රීඩාගාරයට යෑමට කිසිදු ක්‍රීඩකයෙක් උත්සහ නොකරයි. ඉලක්කය සම්පුර්ණ කර මිසක සෙස්සන්ට ඉනිම බාර නොදෙයි. අවාසනාවකට රනිල් දැවී ගියොත් ඒ අවස්ථාව මීලඟට සිටින පිතිතරුවකුට ලබා ගතහැකිය. සෙල්ලම දන්නා අය, සෙලල්මේ නිති රීති දන්නා අය, සෙල්ලම් කරන්නෙ එහෙමය. එමෙන්ම මෙය සෙස්සන් විසින් බාරනොගත්, අභියෝගයක් බාරගැනීමකි. නායකත්වයේ ඉනිමක් කියන්නේ මෙහෙම එකකටය. එමෙන්ම ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් සිටින සහ ක්‍රීඩාව දන්නා ප්‍රේක්ෂකයා හෝ ඒ ඉනිම අවසන් වෙනවා දකින්න කැමති නැත. මේ අනුව දැන් ගෙවෙන්නේ රනිල්ගේ අවස්ථාවය.

දේශපාලන බලය සෙල්ලමකට නොගෙන දේශපාලනය තුළ සෙල්ලම් කිරීමේ කලාව දැනගෙන මිස බලය වෙනුවෙන් සටන් කිරීමෙහි තේරුමක් නැත. රනිල් එහි විශේෂඥයෙකි. දේශපාලන සෙල්ලමෙහි පරිණතයෙකි. ඒ අනුව මෙවැනි අවස්ථා වල ඔහු වැරදි කරන්නේ නැත. අවදානම් සහගත ක්‍රියාමාර්ග වලට එන්නෙ නැත. එමෙන්ම අභියෝග මඟ හැර පළා යන්නෙත් නැත. පළාත් පාලන මැතිවරණය කල් තැබීම වන්නේ, රටට වගවන නායකත්ව ගුණය නිසාය. පැහැදිලි කථාව එච්චරය.
කොහොම නමුත් රටේ අර්බුදය විසදාගැනීම කෙසේ වෙතත් විපක්ෂය සහ විපක්ෂයට අනුබද්ධ සංවිධාන ලෙස ක්‍රියාත්මක වන් වෘත්තීය සමිති මාෆියාව විසින් රනිල්ට පහසුවෙන් මේ ගමන යන්න ඉඩනොදෙන බව පැහැදිලිය. රට අර්බුදයෙන් අර්බුදයට යවමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් හැර තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකරගත නොහැකි බව අනුර මෙන්ම සජිත් ද දැඩිව විශ්වාස කරනවාට සැක නැත. දිනපතා මිනිස්සු රවටමින්, මහ පාරට කැඳවමින් ජන ජීවිතයට බාධා කරමින්, රජයේ කටයුතු අඩපණ කරමින් සහ රජයේ ආදායම් අහිමි කරමින් පාඩු ගෙන එමින්, කරන මේ තකක්ඩි වැඩ නිසා සිදු වියහැකි එකම දේ රට තවදුරටත් බංකොලොත් වී මේ තිබෙන තැනිනුත් ආගාධයකට කඩා වැටීම පමණය. අර්බුදයට ඇති එකම විසඳුම් මාර්ගය තුළ ගමන්කරමින් ඒ බලපොරොත්තුව ඉටුකරගැනීමේ අධිෂ්ඨානයෙන් ජනාධිපති රනිල් පෙළෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඒ ගැන වගතුග දන්නා අය කරන අගය කිරීම් වලින් ඒ පැහැදිලිය. අද ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණයන් රනිල් තමන්ගේ හිතුවක්කාර පෞද්ගලික තීන්දු ලෙස ගත් දේවල් නොවේ. මේ වෙනුවෙන් ජාතන්තර මුල්‍ය අරමුදල, තවත් ජාත්‍යන්තර මුල්‍ය උපදේශන සංවිධාන කිහිපයක්, ලෝ ප්‍රකට මෙරට මෙන්ම පිටරට ආර්ථික විශේෂඥයන් ගනනාවකුත් හවුල් වී සාකච්ඡා කරමින් නිවැරදිම සහ කඩිනමින්ම මෙම අර්බුදයෙන් මිදීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත්කරමින් වාද විවාද කරමින් පැමිණි එකඟත්වයන් මත ගත් තීරණයන් වෙයි. සියල්ල ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙනි. අනුරලා සජිත්ලා මැතිවරණ වේදිකා වල නන්දොඩවන ලෙස මේ අර්බුද විසඳිය නොහැක. අනුරලාගේ සජිත්ලාගේ ජනප්‍රිය විසඳුම් හෝ උත්තර වඩාත් ගැලපෙන්නෙ විහිළු තහළු වැඩ සටහන් වලටය. මේ දෙන්නාම අද බුද්ධ්මතුන්ගේ සමාජය තුළ ජෝකර්ලා වී ඇත්තේ ඒ නිසාය. මේ වන විටත් ක්‍රියාත්මකව ඇති විසඳුම් වලින් කොටසක් අල්ලාගෙන තමන් බලයට පැමිණි විට කොරනවා කියනවා හැර අනෙක්වා පට්ට විහිළුය. ගැලරි චූන් කර තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ හැකියාව මේ අයට තිබුණත් අද මේ මොහොතේත් රටට සිදුව තිබෙන්නේ කුමක්ද යන්න ගැනවත් හරි හමන් අවබෝධක් හෝ නැති බව අතිශය පැහැදිලිය. අඩුම තරමින් රටෙ අර්බුදය කවුරු හෝ විසඳා ජනතාවට සහනයක් ලබා දී රටේ සංවර්ධන මාර්ගය එළි පෙහෙළි කරගැනීම ගැන අංශු මාත්‍රයක හෝ සිතුවිල්ලක් තිබුණෙ නම් මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා වැළලෙන්න හදන්නෙ නැත.

ඒ කොහොම නමුත් මේ අය කරන මජර සෙල්ලම දැන් ඉතා පැහැදිලිය. මේ අනුව රනිල්ට අනුරලා සජිත්ලා සමඟ කරන්න වෙන දේශපාලන සෙල්ලම දැන්ම අවසන් වන්නේ නැත. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නා සේ ඉදිරියේදී රට ජය ගන්නා මොහොත වන තුරුත් මේ දේශපාලන සෙල්ලම් දකින්න ලැබෙනු ඇත.

  • ජයතුංග බණ්ඩාර