ජනාධිපතිවරණය කඳවුරු දෙකක සටනක් – සජිත් ඩලස් පසුපස – ඩලස් අනුර පසුපස

0

ලබන වසරේ මැද භාගයේදී පැවැත්වෙතැයි අනුමාන කරන ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ තීරණාත්මක මැදිහත්වීමක් කරනු ඇති බව පැහැදිලිය.

මේ වන විට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තහවුරුවන පුවත් සැරි සරමින් තිබේ. ජනාධිපතිවරයා මේ වන විට රට වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන දැවැන්ත වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට නම් ඔහු නැවත ජනාධිපති ධුරයට පත්වීම විය යුතු බව පැහැදිලි තත්වයකි. එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් සූදානම් වන බවත් පෙනෙන්නට තිබේ. එමෙන්ම පොදුජන පෙරමුණේ පිරිසක් ජනපතිගේ සහයටත් තවත් පිරිසක් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසකත් සිටින බව පෙන්වමින් තිබේ. ඒ කොහොම නමුත් පොදුජන පෙරමුණේ නිමල් ලන්සා, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූ‍ත්ගමගේ ප‍්‍රමුඛ කණ්ඩායමක් එම පක්ෂයේ බහුතරයක් දෙනා දිනාගනිමින් නව දේශපාලන සංධානයක් ගොඩ නැගීමේ කටයුතු සාර්ථක කරගනිමින් තිබෙන අතර එහි සහය නිශ්චිතවම ජනාධිපතිවරයාට ලැබෙනු ඇතැයි පෙනෙන්නට තිබේ. එම සන්ධානයට විපක්ෂයේ සෙසු පක්ෂ ගණනාවක ප‍්‍රබලයන්ද එකතුව සිටින බවත් දැන ගැනීමට තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් එළඹෙන ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට සජබයේ මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කරමින් තිබෙන නමුත් සජිත් පේ‍්‍රමදාස එවැනි නිශ්චිත ප‍්‍රකාශයක් මෑතකදී කර නැත. සජිත් මේ වන විට පොදුජන පෙරමුණට සම්බන්ධව සිටි වියත්මඟ, ජී.එල්. – ඩලස් කණ්ඩායම, ශ‍්‍රී ලනීපය හා තවත් කොටස් සමඟ විපක්ෂයේ සංධානයක් ගොඩ නැගීම ගැන බලාපොරොත්තු තබාගෙන ඒ වෙනුවෙන් සාකච්ඡුා වට ගණනාවක් සිදු කරමින් තිබේ. මෙහිදී දේශපාලන ආරංචි මාර්ග පවසා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් නොවී ඒ වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කිරීමේ සැලැස්මක් ගැන සාකච්ඡුා වන බවය. සජිත් අගමැති අපේක්ෂකයා වීමේ සූදානමක පසුවන බවත්ය. කෙසේ නමුත් එම සාකච්ඡුා මෙතෙක් සාර්ථකව නැත. එහෙත් සජිත්ගේ සමීපතම අනුගාමිකයන්ගේ බලාපොරොත්‍තුව සජිත් අපේක්ෂකයා කිරීමය. පසුගියදා සජබයේ හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා නිශ්චිත ලෙස ප‍්‍රකාශ කර තිබුණේ සජිත් ඉදිරිපත් වන බවය. මෙය සජිත්ට කරන බලපෑමක්ද විය හැකිය. ඒ අතර සජබයේ සරත් ෆොන්සේකාද සජබයෙන් ඉවත් වුණු පාඨලී චම්පිකද ජනාධිපති සිහිනයක සැරිසරමින් සිටී. මේ තත්වය මත මේ වන විටත් සජබය කණ්ඩායම් කිහිපයකට වෙන්වී සිටින අතර බහුතරයක් දෙනා ජනපති රනිල්ට සහය දැක්වීමට ඉදිරිපත් වෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සජබය යනුවෙන් ශක්තිමත් කණ්ඩායමක් මේ වන විටත් නොපවතින බව පැහැදිලිය.

එමෙන්ම ජාතික ජන බලවේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බවත් තහවුරුව තිබේ. අනුර කුමාර පවසන පරිදි ඉදිරි ජනාධිපතිවරණය තමන් සහ අනෙක් කඳවුරක් අතර වන ද්වන්ධ සටනකි. ඒ අනුව අනුර වෙනත් කිසිදු පක්ෂයක් හා සන්ධාන ගතවීමක් නොවන බව හඟවා ඇත. එහෙත් ජී.එල්. – ඩලස් කණ්ඩායම අනුරට සහයෝගය ලබා දී ජාජබය සමඟ වන සංධානයක් අපේක්ෂාවෙන් සාකච්ඡුා කරන බවත් දැනගැනීමට තිබේ. ඒ එම සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ඩලස් ඉදිරිපත් වීමේ සුදානම ඇතිවය. කෙසේ නමුත් එම එකඟතාවයන් ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ඒ කොහොම නමුත් මෙවර ජනාධිපතිවරණය පැහැදිලිවම කඳවුරු දෙකක් අතර වන තීරණාත්මක මැතිවරණයක් වීම වලක්වාලිය නොහැක. නමුත් ඒ අනුර පවසන ආකාරයේ කඳවුරු දෙකක් නොවේ. මෙහිදී කඳවුරු බෙදෙනු ඇත්තේ ”රට ගොඩදාන කඳවුර” සහ ”රට වළදාන කඳවුර” ලෙසය. මන්ද යත් මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන සාධකය වන්නේ පුද්ගලයන් නොව ප‍්‍රතිපත්තීන් වන නිසාය.

රට ගොඩදාන සැලැස්මක් සහිතව මේ වන විට දේශපාලන කරලියේ සක‍්‍රීයව සිටින්නේ ජනාධිපති රනිල් සමඟ වන කණ්ඩායම පමණය. අනෙක් සියළු පාර්ශ්ව පුද්ගල සාධකය පදනම් කරගෙන දේශපාලන මෙහෙයුම්වල යෙදෙනවා විනා ස්ථිර සාර, ප‍්‍රයෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටී.

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙලට, විකල්ප වැඩ පිළිවෙලක් මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් ඉදිරිපත්ව නැති බව පැහැදිලිව පෙනෙන තත්වයන් හමුවේ සහ මේ වන විටත් ජනාධිපතිවරයා සිය වැඩපිළිවෙල සාර්ථකත්වය කරා ගෙනයමින් ජනතාව අත්වි`දි බරපතල පීඩාකාරිත්වයෙන් මුදවා, රට සංවර්ධනයේ දිශාවට යොමු කරන දැවැන්ත වැඩපිළිවෙලක් සමඟ කටයුතු කරමින් සිටින බව පෙන්වා තිබීම මත ජනාධිපතිවරණයේ එක් කඳවුරක් බවට එය නිතැතින්ම පත් වේ. ඊට එරෙහිව ඉදිරිපත් වන කවරකුගේ වූවද රනිල්ගේ වැඩපිළිවෙල අභිබවා යන සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම විය යුතුය. නමුත් විපක්ෂ කණ්ඩායම්වල යෝජනා රට යළි වළටම තල්ලූ‍ කරන විසුළුකාරී සහ මුග්ධත්වයෙන් යුතුවුවා මිස සාකච්ඡුාවකට ගත හැකි මට්ටමේවත් නොවීය. කෙසේ නමුත් මේ වන විට තිබෙන දේශපාලන පෙළගැස්ම අනුව ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් සහ ජනප‍්‍රිය චරිතයක් ලෙස අනුර අතර ද්වන්ධ සටනක් වීමෙහි ඉඩ කඩ වැඩිය. තවත් ලෙසකින් කිවහොත් ප‍්‍රතිඵල පෙන්වූ අපේක්ෂකයා සහ ප‍්‍රතිඵල පොරොන්දුවන අපේක්ෂකයා අතර සටනක් වෙනු ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක කාරණය බවට නිතැතින්ම පත්වන්නේ ජනපති රනිල් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙලය. සමාජ වෙනසක් අපේක්ෂා කළ පුරවැසි ජනතාව ඒ අපේක්ෂාව යථාර්ථයක් කළ හැකි බව පෙන්වා සිටින පාර්ශ්වයට තවදුරටත් ඉඩ දෙනවා මිසක කටකයිවාරු කියවන හුදු ජනප‍්‍රිය පුද්ගල සාධක පස්සෙ වැටීමේ ඉඩ මෙවර සීමාසහිතය. මෑත කාලීනව පුද්ගල සාධක විශ්වාස කරමින් ගනු ලැබු තීරණයන්හි ඵල විපාක තේරුම් ගෙන ඇති බහුතර ජනතාව, ඒ ලැබු අත්දැකිම් අනුව මෙවර වඩාත්ම නිවැරදි ප‍්‍රායෝගික ප‍්‍රතිපත්තිමය දේශපාලන මාවතක් තෝරගැනීම පහසුවෙන් සිදු කරනු ඇති බවත් පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *