දුප්පත්කම තහනම් කරන අස්වැසුම ක්‍රියාත්මකයි

0

”‍අස්වැසුම සභාපති ඉල්ලා අස්වෙලා. දැන් ඉතින් ඒ වැඩෙත් හබක්”‍ මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල හරි හරියට පැතුරුණු අදහසක්. මේකෙන් සතුටු වුණු අයත් හිටියා. හැබැයි ඉතින් මේ අදහසට වැඩි ආයුෂ තිබ්බේ නෑ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍යයට කරුණු දක්වමින් කිවුවේ අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය, සභාපතිවරයා ඇතුළු තවත් සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත බැවින්

සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් අස්වැසුම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නොවන බවයි. කෙසේ නමුත් නව සභාපතිවරයකු කඩිනමින් පත් කිරීමටත් රජය කටයුතු කර තිබුණා. ඒ අනුව එම වැඩසටහන අඛණ්ඩව බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වෙනවා.

 මේ වෙන විට අස්වැසුම වැඩපිළිවෙලට අදාලව මෙතෙක් සමෘද්ධි ක‍්‍රියාවලිය තුළ සිදු කරපු ගෙවීම් සියල්ලම ඉහළ නංවන්න කටයුතු සලසල තියෙනවා. ඒ අතර අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වගේම ආබාධිත පිරිස් වෙනුවෙන් කරන ගෙවීම් සුවිශේෂයි.

  • අධ්‍යාපනය සඳහා මෙතෙක් ලබා දුන් රු. 10,000ක මුදල රු. 20,000ක් දක්වා ඉහළට
  • ස්වයං රැකියා සඳහා මෙතෙක් දුන් මුදල රු. 25,000ක මුදල රු. 40,000ක් දක්වා ඉහළට
  • ශ‍්‍රවණාධාර උපකරණ සඳහා මෙතෙක් දුන් රු. 15,000ක මුදල රු. 35,000 දක්වා ඉහළට
  • ආබාධිත වූවන් සඳහා නව නිවාස ඉදි කිරීමට මෙතෙක් දුන් රු. 250,000ක මුදල රු. 500,000 දක්වා ඉහළට
  • ආබාධිත වූවන්ට නිවාස අලූ‍ත්වැඩියාව සඳහා මෙතෙක් දුන් රු. 150,000ක මුදල රු. 250,000 දක්වා ඉහළට
  • ඖෂධ, සායන, සැත්කම් සඳහා (වයස 60ට අඩු ආබාධිත අඩු ආදායම්ලාභීන්ට* මෙතෙක් දුන් මුදල රු. 20,000ක මුදල රු. 30,000 දක්වා ඉහළට
  • ඖෂධ, සායන, සැත්කම් සඳහා (වෙනත් වයස් කාණ්ඩවල ආබාධිත අඩු ආදායම්ලාභීන්ට* මෙතෙක් දුන් රු. 20,000ක මුදල රු. 25,000 දක්වා ඉහළට
  • රෝද පුටු භාවිත කරන්නන්නට අවශ්‍ය වැසිකිලි ඉදිකර ගැනීමට සඳහා ලබා දෙන මුදල රු. 100,000 දක්වා ඉහළට

මේ ආකාරයෙන් සමෘද්ධි ක‍්‍රියාවලිය යටතේ මෙතෙක් අඩු ආදායම්ලාභීන්ට හා ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සමාජ සුබසාධන ක‍්‍රියාවලයට අදාලව ලබා දුන් මුදල් ඉහළ නැන්වීමට අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙල යටතේ කටයුතු කර ඇත.

මේ අතරම නව ගෙවීමේ ක‍්‍රමවේදයක් සකස් කරන තුරු අස්වැසුම ප‍්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා වෙනුවෙන් පුද්ගලයින් 647,683ක් සඳහා ප‍්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු සලසා ඇති අතර, අදාල ගෙවීම් ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් ප‍්‍රකාශ කළා.

මේ අනුව අඩුආදායම්ලාභීන් 82,150 දෙනෙකුට, අබාධිත පුද්ගලයින් 88,602 දෙනෙකුට හා වැඩිහිටි දීමනාව 510,447 දෙනෙකුට ජූලි හා අගෝස්තු මාසයට අදාල ප‍්‍රතිලාභ ගෙවීමට කටයුතු සලසමින් ඇත. එමෙන්ම පොරොත්තු ලේඛනවල ඇතුළත්ව සිටි වැඩිහිටි 51,7962 දෙනෙකු, ආබාධිත 88,602 දෙනෙකු, වකුගඩු රෝගීන් 41,119 දෙනෙකු සඳහා ද මෙම ප‍්‍රතිලාභ ලබාදීමට නියමිතයි. මෙම ප‍්‍රතිලාභ ගෙවීම් අතුරින් වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින්ද, ආබාධිත සහ වකුගඩු දීමනා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද ලබා ගත හැකියි.

කෙසේ වෙතත් මෙම ප‍්‍රතිලාභයන් මෙලෙස ලබා දෙන අතරතුර අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ක‍්‍රමය යටතේ එම ගෙවීම් වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් එය බැංකු ගත කිරීමේ ක‍්‍රියාවලියට අදාල නව ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය කටයුතු සලසමින් ඇත. ඒ අනුව මේ වන විට බැංකු ගිණුම් 546,829ක් තහවුරු කරගෙන ඇති අතර, ජූලි මස 7වැනිදා සිට 27 වැනිදා දක්වා නව බැංකු ගිණුම් 155,506ක් එක් කර ඇත. පසුගිය ජුලි මස 27 වැනි දින වන විට තහවුරු කර ගත් බැංකු ගිණුම් සංඛ්‍යාව 702,335ක් වන අතර, තවත් බැංකු ගිණුම් 886,500ක් මෙම වැඩසටහන සඳහා එකතු විය යුතුය. මේ සියලූ‍ ගිණුම් තහවුරු කරගත් පසු අස්වැසුම ප‍්‍රතිලාභ අදාල ප‍්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට මාසිකව බැර වන අතර, මේ හරහා මෙම වැඩපිළිවෙල විධිමත් සහ කාර්යක්ෂම වනු ඇත.

සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මුලික වටයේ දී ප‍්‍රතිලාභීන් 1,792,265ක් තෝරාගෙන ඇති අතර, ඒ අතරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප‍්‍රතිලාභීන් 1,588,835ක් සඳහා ගෙවීම් කිරීමට නියමිතය. ප‍්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිලාභීන් 84,374 දෙනෙකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩය යටතේ හිමි ප‍්‍රතිලාභ ගෙවීමට තීරණය කර ඇත.

තෝරාගනු ලැබු ප‍්‍රතිලාභීන් අතුරින් 119,056 දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාලෝචන ක‍්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප‍්‍රතිලාභ ගෙවීමට ද මෙහිදී තීරණය වී තිබේ. වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ සඳහා අයඳුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප‍්‍රතිලාභ භූක්ති විඳින 393,097ක් අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචනය සම්පුර්ණය අවසන් වන තෙක් ඔවුන්ට සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ලබා දුන් ප‍්‍රතිලාභ ගෙවීමට නියමිතය.

මෙයට අමතරව දැනට ආගමික ස්ථානවල සිටින පුජ්‍ය පක්ෂයට, වැඩිහිටි, ළමා නිවාස හා ආබාධිත මධ්‍යස්ථානවල සිටිය පුද්ගලයින් 11,660 දෙනෙකු සමෘද්ධි ප‍්‍රතිලාභය හිමිව තිබු අතර, මෙම සියලූ‍දෙනාට පෙර පරිදිම සිය දීමනාව ලබා දීමට කටයුතු සලසා ඇත.

සමාජ සුබසාධන ප‍්‍රතිලාභ ලබාදීමේ ක‍්‍රියාවලිය යටතේ ප‍්‍රතිලාබ ලැබිය යුතු කිසිවකුත් අත්නොහැරෙන ලෙස විධිමත් සහ කාර්යක්ෂම කිරීම අස්වැසුම වැඩපිළිවෙල යටතේ සිදුවන අතර පවතින් ආර්ථික අර්බුදය හමුවේ එම පිරිස් මුහුණ දෙන පීඩාවන් සමනය කිරීමට සමත් වෙනු ඇත. ඒ අනුව මෙම ලක්ෂ ගණනක ප‍්‍රජාව නැවත රටේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා දායක කරගැනීම සිදුවෙනු ඇත. මෙම අස්වැසුම වැඩපිළිවෙළහි දිගුකාලීන අරමුණ වන්නේ නැති බැරි ජනතාව සදාකාලිකව රජය මඟින් නඩත්තු කරනවා වෙනුවට රටේ ආර්ථික යාන්ත‍්‍රණයට සම්බන්ධ කරගැනීම හරහා ඔවුන්ගේ ජීවන තත්වයන් තවදුරටත් ඉහළ නංවා ස්වයං විශ්වාසයෙන් යුතුව නැඟිසිටිමට හැකි සංවර්ධනාත්මක තත්වයක් ගොඩනැඟීමය. එහිදී ඉදිරි කාලයේදී වුව යම් පුරවැසියකු ආර්ථික පීඩාවකට පත්වන්නේ නම් මෙම වැඩපිළිවෙල යටතේ සහය හිමිවෙනු ඇත. මේ අනුව මෙරටේ දරිද්‍රතාවය හෝ දුප්පත්කම ගැන කතා කිරීමට මාතෘකා ඉතිරි නොවනු ඇත. එසේම තවදුරටත් පීඩාවට පත් ප‍්‍රජාව දඩමීමා කරගනිමින් ඔවුන් රවටමින් කරන සහන මළු දේශපාලනයට ද තිත තැබෙනු ඇත.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *