තරගකාරී වෙළෙඳපොළෙන් වැසී ඇති සමූපකාර ක‍්‍රමයේ වටිනාකම්

0

අද සමාජය වැළඳගෙන ඉන්න තරගකාරි වෙළෙඳපොළ රටාවන්, සුපිරි වෙළෙඳසැල් සංස්කෘතිය මෙන්ම නව ප‍්‍රවණතාවක් වන මාර්ගගත වාණිජ කටයුතු නිසා සාම්ප‍්‍රදායිකව අපගේ මනසේ මුල් බැසගෙන ඇති සමූපකාරයට එතරම් ඇල්මක් නැති තරම් යැයි කිවහොත් ඇතැමුන් ඒ හා එකඟ වනු ඇත. සමූපකාරය යැයි කී පමණින් අප මනසට එන්නේ ගමේ නගරයේ තිබෙන විවිධ ‍සේවා සමූපකාර වෙළෙඳසැල එහෙම නැතිනම් අලූත් පරම්පරාව දකින කෝප්-සිටි වෙළෙඳසැල්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග

තවද සමූපකාරය සමඟ මතක් වන්නේ සමූපකාර ඡන්දය යි. ඒ රටේ ජනමතය ”මෙන්න බලන්න” යැයි කීමට සමූපකාර ඡන්දය මත පදනම්ව ඇතැම් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අදහස් උදහස් නිසාය. ‘හැබැයි ගමේ සමූපකාරයට කාරක සභාවක් තෝරන්න වුණත් ඡන්දය දෙන්නේ සමූපකාරයේ සාමාජිකත්වය ගත්ත අය විතරයි. එහෙම නැතිව ගමේ ඉන්න හැම පුද්ගලයාටම සමූපකාර ඡන්දය දෙන්න බැහැ. ඒක නිසා සමූපකාර ඡන්දය කියන්නේ සමූපකාර ක‍්‍රමය ගැන උනන්දුවක් දක්වන සමාන අරමුණු සහිත සමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් තමන්ගේ සමිතියේ නිලධාරීන් පත්කර ගන්න පවත්වන ඡන්දයක් මිසක් ගමේවත්, පළාතේවත්, රටේවත් ජනමතය තීරණය කරන එකක් නෙවෙයි.’ යැයි තේරුම් ගැනීමත් වැදගත්ය.

මා ඉහත ජේදය අවසානයේ උපුටා දැක්වූ කොටස දේශපාලන අර්ථයකින් කියන දෙයකට වඩා එයින් මා කීමට උත්සහ කරන දේ හී අර්ථය වන්නේ, සමූපකාර ක‍්‍රමය තුල නිලබල ක‍්‍රමය ගොඩනැගීමට භාවිතා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ පදනම සාමාජිකයින්ගේ ඡන්දය බවයි. සාමාජිකයින්ගේ ඡන්දයකින් පත්වෙන පාලක මණ්ඩලයකින් ක‍්‍රියාත්මක වෙන මෙවැනි වාණිජ අරමුණු සහිත ව්‍යාපාරයක තියෙන විශේෂත්වය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ”සාමාජික පාලනයක්” පැවැතීමයි. එහිදී තම සාමාජික ප‍්‍රජාවගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික සුරක්ෂිතතාවය ඇති කිරීම මෙන්ම එම ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී ඔවුන් නිපදවන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ම`ගින් සම්බන්ධ වන බාහිර පුද්ගලයින්ටද ප‍්‍රතිලාභ අත්කරදීම වැනි අරමුණු හා ගුණාංග ”සමූපකාර” සංකල්පයේ අන්තර්ගතය.

සැඟවුණු වටිනාකම් සමුදායක්

කවර තත්ත්වයන් යටතේ වුවද සමූපකාරය ක‍්‍රමය සමාජය තුළ අදත් යම් ආකාරයකට සක‍්‍රියව පැවැතීමට හේතුව, ඒ තුළ අන්තර්ග‍්‍රහණය වී පවතින සැඟවුණු වටිනාකම් සමුදායයි. ඒ වටිනාකම් සමුදාය සමූපකාර ක‍්‍රමය තුළ ගොඩනැගෙන්නේ, ඕනෑම සමාජයක පුද්ගලයින්ට තම සමාජ, ආර්ථික හා සංස්කෘතික අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේදී අවශ්‍යවන සාමූහිකවත්වය සමූපකාර ක‍්‍රමය තුළ සංවිධානයවීමෙන් ලබාගත හැකි නිසාය. ඒ නිසාම සමූපකාර ක‍්‍රමය හඳුන්වන්නේ ”එකා සැමටත් සැම එකටත්” යන තේමාවෙන්ය.
සාමුහිකත්වය ගොඩනැගෙන්නේ පුද්ගලයින් සංවිධාන ගතවීමෙනි. එම සංවිධාන ගතවීම තුළ හවුල් අයිතියක් පවත්වා ගනී. එසේ හවුල් අයිතියක් සහිතව ගොඩනැගෙන සංවිධානය නැතිනම් ව්‍යාපාරය පාලනය කිරීමේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග පවත්වා ගනී. එමෙන්ම ඒ සඳහා සමාන අරමුණු සහිත පුද්ගලයින් එකමුතුවීම ස්වෙච්ඡුාවෙන් සිදුවේ. උදාහරණ වශයෙන් ධීවරයින්, කිරි ගොවීන්, ධාන්‍ය නිෂ්පාදකයින්, ඇඟළුම් නිෂ්පාදනයින්, රෙදි වියන්නන්, මල් නිෂ්පාදකයින් වැනි තමන් සිදුකරන ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ මෙසේ සමාන අරමුණු සහිත පුද්ගලයින් සංවිධානගත වීමෙන් ගොඩ නැගුණ සමූපකාර ලෙසය. එසේ පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු තුළදී සංවිධානයවී ඇති සියළු දෙනාගේ අවශ්‍යතා ඉටු කරගැනීමට තනිව කටයුතු කිරීමට වඩා හවුලේ කටයුතු කිරීමෙන් සාර්ථකව අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි. මෙකී අදහස් මත පදනම්ව ගොඩනැගුන සංවිධාන ව්‍යුහයක් ලෙස සමූපකාර ක‍්‍රමය සැලකීමට හැකි අතර එහි වටිනාකම් මිනිස් සමාජයේ පැවැත්මට නිරන්තරයෙන් අවශ්‍ය බැවින් සමූපාකාරය යනු සමාජයේ බැහැර කළ නොහැකි සංවිධානයකි.

සමස්ත සමාජයටම ප‍්‍රතිලාභ අවස්ථා

ඉහත දැක්වූ පරිදි සමූපකාර ක‍්‍රමයක් ක‍්‍රියාත්මකවීමේදී විවිධ අංශයන්ගෙන් තම සාමාජිකයින්ගේ ”සුරක්ෂිතභාවය” ඇති කිරීම උදෙසා කටයුතු කරයි. එනම් සාමාජිකයින්ගේ ආර්ථික – සුරක්ෂිතභාවය, නිෂ්පාදන – සුරක්ෂිතභාවය, වෙළෙඳපොල – සුරක්ෂිතභාවය මෙන්ම මූල්‍ය – සුරක්ෂිතභාවය ඇති කිරීම වැනි අරමුණු පෙර දැරිව කටයුතු කරයි. ඒ තුළින් අවසානයේ සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් එම ප‍්‍රතිලාභ බෙදි යනු ඇත.

ඒ අනුව අවසානයේ සමාජයක ජීවත්වන්නන්ගේ මූලික අවශ්‍යතාවන ආහාර, ඇදුම්-පැලඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් සාධාරණ අවස්ථා ඇති කිරීමට සමූපකාර ක‍්‍රමයට හැකිය. මේ නිසා සමූපකාර ක‍්‍රමය යනු සමස්ත සමාජයටම ප‍්‍රතිලාභ අවස්ථා ඇතිකළ හැකි විධිමත්ව සංවිධානගත වෙමින් තමන්ට පහසුකම් සපයන හෝ තමන්ගෙන් පහසුකම් ලැබිය හැකි ව්‍යාපාර සංවිධාන ඒකාබද්ධ වූ ව්‍යාවසායකත්ව ව්‍යුහයක් ලෙස තේරුම්ගත හැකිය.

නිෂ්පාදකයාට වෙළෙඳපොල ගැටළුවක්ද නැත

මේ ආකාරයට සමූපකාර ක‍්‍රමය තුළ පවතින ගුණාංග යහපත්වුද, විවෘත ආර්ථිකය තුළ ක‍්‍රියාත්මක වඩා තරගකාරී වෙළෙඳපොළ ක‍්‍රමයකට එය ගලපන්නේ කෙසේද? යන්න සාකච්ඡා කළ යුතුය. හේතුව සමූපකාර ක‍්‍රමය කඩා වැටුණේ විවෘත ආර්ථිකය නිසාය යන තර්කය සමාජයේ මතුව ඇති නිසාය. බැලූ බැල්මට එහි මතුපිට පෙනෙන සත්‍යයක් ඇත. ඒ සම්ප‍්‍රදායික සමූපකාරය, වෙළෙඳපොළ තරගයට මුහුණ නොදුන් නිසාය. නමුත් බහුතරයක් දෙනා නොදන්නා කරුණක් වන්නේ තරගකාරී වෙළෙඳපොළ තුළ විශාල ව්‍යාපාරික සමාගම් කටයුතු කරන්නේ, සමූපකාර ක‍්‍රමයේ සැඟවුණු ගුණාංග තමන්ගේ ව්‍යාපාර සඳහා වක‍්‍රව භාවිතා කරමින්ය. අද මෙරට ආහාර නිෂ්පාදන අලෙවි කරන විශාල සුපිරි වෙළෙඳසැල් ජාලයන්ගේ සැපයුම් අංශ මුළුමනින්ම ගොඩනැගී ඇත්තේ සමූපකාර ක‍්‍රමය ඇති ගුණාංග පදනම්වය. එහි වරදක් නැත.

විශාල සුපිරි වෙළෙඳසැල් ජාල හිමි ව්‍යාපාරිකයින්, සමූපකාර ක‍්‍රමයට ගම් මට්ටමින් එළවලූ‍, ධාන්‍ය, පලතුරු ගොවීන්, කිරි ගොවීන් සංවිධානයකර ඇත. ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගැනීමට මෙම ව්‍යාපාරිකයින් කටයුතු කරන බැවින්, නිෂ්පාදකයාට වෙළෙඳපොල ගැටළුවක්ද නැත. මේ අතර ගොවියාට නැතිනම් නිෂ්පාදකයාට අවශ්‍ය යෙදවුම් ලබාදීම, පුහුණුව ලබාදීම, පමණක් නොව අද වනවිට ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය ඇති කිරීම වැනි කරුණුවලට මැදිහත්වීම සඳහාද මහ පරිමාණයේ ව්‍යාසායකයින් කටයුතු කරයි.

ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මෙන් 9 ගුණයක්

ඇමරිකාව, ජපානය, ඊශ‍්‍රාලය, ඉන්දියාව මෙයට කදිම උදාහරණ සපයයි. ඇමරිකාවේ ජාතික සමුපකාර ව්‍යාපාරික සංගමය විසින් හඳුනාගෙන ඇති පරිදි, මිලියන 2කට වැඩි පිරිසක් සේවය කරන සමුපකාර ව්‍යාපාර 29,000කට අධික සංඛ්‍යාවක් ඇමරිකාවේ හඳුනාගෙන ඇත. ඒවායේ අතර වාර්ෂික ආදායම ඩොලර් බිලියන 650 ඉක්මවයි. එනම් ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මෙන් 9 ගුණයක් පමණ විශාල පිරිවැටුමක් වාර්ෂිකව ලැබීමට තරම් විශාල සමූපකාර පද්ධතියක් ඇමරිකාව සතුය. එමෙන්ම ඉන්දියාවේ අමූල් කිරි නිෂ්පාදන ව්‍යාපාරය ලෝකයේ තුන්වන කිරි නිෂ්පාදන කාර්මාන්තය වන අතර එය මුළුමනින්ම ගොඩ නැගී ඇත්තේ සමූපකාර සංකල්පය මතය. මේ අකාරයට උදාහරණ වර්තමානයේ අන්තර්ජාලය පරිශීලනයෙන් ඕනෑ තරම් සොයා ගැනීමට පුළුවන.

මෙරට විවෘත ආර්ථික ක‍්‍රමය ඇති කිරීමට පෙර මාර්ක්ෆෙඞ් ආයතනය හරහා සිදුවූයේද සමූපකාර ක‍්‍රමය තුළ නිෂ්පාදන බෙදාහැරීමේ ජාලය පවත්වාගෙන යාමය. එම ආයතනය විසින් ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගැනීමත්, ඔවුන්ට අවශ්‍ය යෙදවුම් ලබාදීමත් සිදුකරන ලදි. ඒ සඳහා එම ආයතනයට රටපුරා විධිමත් බෙදාහැරීම් ජාලයක් පැවැතියේය. එමෙන්ම දේශියව නිෂ්පාදනය නොකරන හා ආනයනය මත රඳා පවතින ආහාර ද්‍රව්‍ය ආනයනය කර රටපුරා සාධාරණ මිල ගණනන් යටතේ බෙදා හැරීමට අවශ්‍ය යාන්ත‍්‍රණය සැකසීම සඳහා 1989 දී කොප්ෆෙඞ් ආයතනය ආරම්භ කරන ලද්දේ විවෘත ආර්ථිකය ඇති කිරීමේ නිර්මාතෘවරයෙක්ම වූ ලලිත් ඇතුලත්මුදලි මහතා සමූපාකාර අමාත්‍යවරයාව සිටියදීය.

සමාජයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරුවීමට නම්

මෙයට අමතරව මෙරට සමූපාකර ක‍්‍රමය සංවිධිතව පවත්වාගෙන යාම සඳහා ගොඩනැගුන සමූපකාර සම්මේලන 13ක් පමණ සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇත. ඒවා තුළින් අරමුණු කරන ලද්දේ යෙදවුම හා නිෂ්පාදන, වෙළෙ`දපොළ මෙන්ම මූල්‍ය අවශ්‍යතා සැපිරීමය. උදාහරණ ලෙස සමූපකාර ග‍්‍රාමීය බැංකු සම්මේලනය සලකමු. අද වනවිට ලංකාවේ ග‍්‍රාමීය බැංකු ශාඛා 2,500ක් පමණ ඇති අතර එය මෙරට විශාලතම බැංකු ජාලය වශයෙන් හැඳින්වීය හැකිය. වර්තමානයේ ඒවායේ ක‍්‍රියාත්මක බැංකු කටයුතු වඩාත් සක‍්‍රිය කරන්නේ නම්, විධිමත් සාධාරණ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට මේ හරහා හැකි වනු ඇත. එමෙන්ම රජයේ විවිධ සහනාධාර ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ද මූල්‍ය ප‍්‍රතිලාභින් සම්බන්ධ කරගෙන උද්ධමනීය නොවන ක‍්‍රම ඔස්සේ සහනාධාර බෙදිදීමට විවිධ සේවා පාරිභෝගික සමූපාකර ක‍්‍රමය හා ග‍්‍රාමීය බැංකු පද්ධතිය ඒකාබද්ධව භාවිතා කිරීමට පුළුවන. මේ අකාරයට සමූපාකර ක‍්‍රමයේ සංවිධානගත ආයතන ව්‍යුහය භාවිතා කිරීමෙන් නිෂ්පාදන සුරක්ෂිතතාවත්, වෙළෙඳපොල සුරක්ෂිතතාවත්, මූල්‍ය සුරක්ෂිතතාවය ඇති කිරීමට හැකි අවස්ථා ඇත. එය පොදුවේ සමස්ත සමාජයේම ආර්ථික සුරක්ෂිතතාවය ගොඩනැංවීමට හේතුවනු වන කාරණයකි.

සමාජ ප‍්‍රාග්ධනය ගොඩනැගීම

අවසාන වශයෙන් රටක ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වැදගත් වන්නේ යම් සේද, ඒ හා බැදුණු ආර්ථික පද්ධති මනාව පවත්වාගෙන යාමද වැදගත්ය. එහිදී සමූපාකාර ක‍්‍රමය අතිශය වැදගත් ආර්ථික පද්ධතියකි. එයට තවත් හේතුවක් ඇත. ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස් කම් ඇතිවන විට කෘෂි අංශයේ දායකත්වය අඩුවන අතර නිෂ්පාදන සාධක යොමු වන්නේ කර්මාන්ත හා සේවා අංශට වෙතටය. ලංකාවේ නම් සේවා අංශයේ වර්ධනයක් දැකිය හැකිය. එවිට ආර්ථිකයේ ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් බලපාන කෘෂි අංශයේ ආර්ථික දායකත්වය අඩුවෙමින් පැවැතීම නිසා ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීම සඳහා සමූහික නිෂ්පාදනය වැදගත් තැනක් ගනී.

එම නිෂ්පාදන කාර්යක්ෂමතාවය තාක්ෂණය තුලින්ම අත්කර ගැනීමට නොහැකිය. නිෂ්පාදනය වැඩිවීමත් සමඟ පිරිවැය අඩුවීමද වැදගත්ය. මේ සඳහා වැදගත් සාධකයක් ලෙස සමාජ ප‍්‍රාග්ධනය :ීදජස්ක ක්‍්චසඒක* අද වැදගත් සාධකයක් ලෙස ගෝලීය අර්ථශාස්ත‍්‍රඥයින් පිළිගන්නා දෙයකි. එම සමාජ ප‍්‍රාග්ධනය ගොඩනැගීම යනු සමූහිකව කටයුතු කරමින් නිෂ්පාදනයේ යෙදීමය. මෙරට චිරාත් කාලයක් පැවැත එන අත්තම් ක‍්‍රමය මෙයට උදාහරණයකි. මෙවැනි මානව ප‍්‍රාග්ධනය භාවිතා කරමින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීමටත්, නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමටත් සමූපකාර ක‍්‍රමයක් පවතින විට සමාන උවමනාවන් ඇති නිෂ්පාදකයින් සමූහිකව කටයුතු කිරීම යන ගුණාංගය භාවිතා කිරීමට පුළුවන. එය රටක ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීමට වැදගත් සාධකයක් ලෙස ගත හැකිය.

එමෙන්ම සමූපකාරය තුළින් වෙළෙඳපොල සාධාරණත්වය මත පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීම පාලනය කිරීම මෙන්ම පාරිභෝගික විශ්වාසාය, පුළුල් වෙළෙඳපොල අවස්ථා ඇතිවීම සිදුවනු ඇත. අනෙක් අතට සාධාරණ වෙළෙඳපොලක, සාධාරණ ලාභයක් තුලින් තම සමාජිකත්වයට ලැබෙන ප‍්‍රතිලාභ මෙන්ම තමන්ගේ පාරිභෝගිකයින් වන සමාජයට ලැබෙන ප‍්‍රතිලාභද ඉහළ යනු ඇත.

සරත් හේවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *