යුක්තිය පසිඳලීම හා පුද්ගල නිදහස

0

කඩපිල් ගානේ, හන්දි ගානේ යුක්තිය පසිඳලීම හෝ තමන්ට රිසි පරිදි දඬුවම් පැමිණවීම, යල්පිනූ නොදියුණු ගෝත‍්‍රික සම්ප‍්‍රදායකි. එහෙත් පුද්ගල නිදහස ඉහළින් අගය කරන දියුණු මිනිස් සමාජයක එවැනි ගෝත‍්‍රික කැළෑ නීතියකට කිසිසේත්ම ඉඩක් නැත. යම් තැනක හුදකලාව හෝ ඇත්නම්, එය ද පිළිගත් ව්‍යවස්ථාපිත නීතියට වහාම යටත් කළ යුතුය.
එසේ හෙයින් ‘වරද’ කාගේ, කෙසේ, කුමන ප‍්‍රමාණයේ වුවද ‘වරද’ කුමන වර්ගයේ වුවද සමස්ත සමාජයේ ජනසමූහය එකඟ වූ ව්‍යවස්ථාපිත නීති රාමුවට පිටින් හා/හෝ ඉන් පරිබාහිරව යුක්තිය පසිඳලීම හෝ දඬුවම් පැමිණවීමට කිසිදු පුරවැසියෙකුට අයිතියක් නැත.

මේ කතාව යළි යළිත් අපේ සමාජයට සිහිපත් කිරීමට සිදුව තිබීම අතිශය ඛේදජනකය. මන්ද අතීත අත්දැකීම් කොතෙකුත් තිබුණ ද ඒවායින් කිසිදු පාඩමක් (නො) ඉගෙන ගැනීමට සමත් මුග්ධයන්ව සිටින බැවිනි. කොහේ හෝ හිංසනයක්, පීඩනයක් සහිත සිදුවීමක් දුටු පමණින් හෝස් ගාලා උණුවෙන බව අනෙකා ඉදිරියේ සානුකම්පිතව පෙන්වන්නේ අපට අවස්ථාව එනතුරු පමණක් දැයි කල්පනා කළ යුතුය.
එකක් දෙකක් නොව මෑත කාලයේ තනි තනි පුද්ගලයාට රිසි පරිදි යුක්තිය පසිඳලන ආකාරයේ සිදුවීම් ගණනාවක් එක පෙළට අප ඉදිරියේ දර්ශනය වෙමින් අලූ‍ත් වෙමින් තිබේ. මෙම නොහික්මුණු නොමිනිස් ක‍්‍රියාකාරකම යම් නිශ්චිත තැනකින් අවසන් කළ යුතුය. එය ද පිළිගත් නීතියට යටත්වය.

ඔබට මතකද? බට්ටි නම් කාන්තාවකට රත්නපුර නගර මධ්‍යයේ පොලිස් නිලධාරියකු අනීතිකව පහර දුන් සිදුවීම.

ඔබට මතකද? ආගමික සහ ජාතිවාදී වෛරය සමාජය පුරා පතුරුවා හළ අන්තවාදී දේශපාලනික කණ්ඩායම්වල සමාජ හැසිරීම. ඔවුන්ගේ ඒ නින්දිත හැසිරීම නිසාම සමස්ත සමාජයටම අත්වූ දරුණු ඛේදවාචකය.

ඔබට මතකද? කොරෝනා සමයේ එක්තරා ලීසිං සමාගමක් ඉදිරියේ එහි පාරිභෝගිකයකුට අමානුෂික ලෙස පහර දී මරණයට පත් කළ වග.

ඔබට මතකද? චීවරධාරියකුට හා කාන්තාවන් දෙදෙනෙකුට මැර පිරිසක් විසින් කතුන් නිරුවත් කරමින් පහර දුන් සිදුවීම.

ඔබට මතකද? ගෝස්ෆෙස් අරගලයට මැර පිරිසක් පහර දුන් සිදුවීම සහ එසේ පහරදීමට පැමිණි මැර පිරිසට අත් වූ ඉරණම.

ඔබට මතකද? අරගලයට සම්බන්ධ වූ ඇතැම් කඩකප්පල්කාරී මැර කණ්ඩායම් රට පුරා ගෙවල් ගිනි තබා මිනිස් ඝාතන සිදුකළ සිදුවීම් පෙළ.

ඔබට මතකද? අරගලයේ නීති රටේ නීතිය යැයි වහසි බස් කියූ ඇතැම් අරගල නායකයන්ගේ ප‍්‍රකාශ.
ඔබ දුටුවද? ෆුඞ්සිටියක සිරකරගත් තරුණ කාන්තාවකට, ආයතනයේ සේවක සේවිකාවන්ගෙන් යුත් නොමිනිස් කැළ අතිශය අමානුෂික ලෙස පහර දෙන දර්ශන ඇතුළත් වීඩියෝව…

මේ සියලූ‍ සිදුවීම් පිළිගත් ව්‍යවස්ථාපිත නීතියට සහමුලින්ම පටහැනිය. නමුත් අප පිළිගත යුතු සත්‍ය නම් පිළිගත් නීති රාමුව එකිනෙකාට වෙනස් අයුරකින් හෝ බලධාරීන්ගේ ඕනෑ එපාකම් අනුව ක‍්‍රියාත්මක වන්නේ නම් හා/හෝ කිසියම් ලිහිල් අයුරකින් කටයුතු සිදුවනවා යැයි පුරවැසියාට ඒත්තු ගැන්වෙන්නේ නම් ඔවුන් තමන්ට රිසි පරිදි නීතිය ක‍්‍රියාවේ යෙදවීමට පෙළඹෙන බවය.

හෙට දවසේ අපේ සමාජයේ මෙවන් ඛේදවාචකයන් සිදු නොවීමට නම් අපි සියල්ලෝ නීතිගරුක පුරවැසියන් විය යුතුය. ඒ සඳහා පූර්ව ළමා වියේ සිට අප නීතිය යනු කුමක් දැයි, අප එයට අවනතව කටයුතු කළ යුත්තේ මන්දැයි මනා සේ උගත යුතුය. දියුණු මිනිස් සමාජයක පුරවැසියන් විය යුත්තේ මානව සාධාරණත්වය අගයන, අනෙකාගේ නිදහසට ගරුකරන සැබෑ මිනිසුන්ය. එවන් සමාජයක් නිර්මාණය කිරීම රටේ පාලකයන්ගේ වගේම සමස්ත සමාජයේම වගකීමක් වන්නේය. එසේ නොවන තාක් අපට ”මම නම් ෆුට්සිටි යන්නෙ නෑ” කියන්නට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *