අන්තේවාසික නොවීමට

0

දෙවන ලෝක යුද්ධයේ භයානක මොහොත විය හැකිව තිබුණේ, සතුරා ශ‍්‍රී ලංකාව අත්පත් කරගැනීම වුවහොත් ඉන්දියන් සාගරයේ බලය අහිමිවීමෙන් බවට එම යුධ සමය තුළදී බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පීඩාවට පත්ව සිටි බව ජනාධිපති රනිල් ඊයේ පෙරේදා දවසක කියල තිබුණා. ඒ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිය අතරවාරයේදී පැවැත්වුණු ඉන්දු-පැසිපික් කලාපය ගැන සංවාදයක දී. ඒ ලංකාවේ භූ පිහිටීමෙහි උපායමාර්ගික වැදගත්කම නිසායි. කුඩා දුපතක් වුව එය ඉන්දියානු සාගරය තරම් විශාල භූ-දේශපාලනික වටිනාකමක් ඇති දූපතක් බවට කරන හැඟවුමයි. නමුත් මේ භූ-දේශපාලනික විශාලත්වයෙන් වැඩක් ගන්න අපට මෙතෙක් හැකි වුණේ නැහැ. මේක දැනගෙන හිටපු මෙරට රාජ්‍ය නායකයෝ හිටියෙත් නැති තරම්. සිරිමාවෝ බණ්ඩාරනායකට ඒ ගැන අවබෝධයක් තිබුණා. නමුත් රට තුළ ක‍්‍රියාත්මක කළ දේශපාලන අර්ථික ප‍්‍රතිපත්ති නිසා ඒකෙන් රටට වැඩක් ගන්න පුළු‍වන්කම ඇයට තිබුණේ නැහැ. අඩු තරමින් ජාත්‍යන්තරය සමඟ ලොකු ගනුදෙනුවක් කරපු ජේ.ආර්. ජයවර්ධනවත් මේකෙ තරම හරි හැටි දැනගෙන හිටියේ නැහැ. එයා කළේ තමන්ගේ මිතුරු රාජ්‍යයන් සමඟ කදේ ගහගෙන හිටපු එක මිසක් තමන්ගේ තරම පෙන්නලා ලෝකයෙන්ම වැඩ ගන්න එක නෙවෙයි.

ඒත් දැන් ඒක වෙනස්. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ‍්‍රී ලංකාව තමන්ගේ තරම ලෝකෙට පෙන්වන්න, ඒකෙන් රටට වැඩක් ගන්න පටන් අරගෙන තියෙන්නෙ දැන්. ඒ රනිල් වික‍්‍රමසිංහගේ විදේශ ප‍්‍රතිපත්තිය නිසා. ඒක නිකම්ම නිකම් පාරම්බෑමක් නෙවෙයි. රටේ විදේශ ප‍්‍රතිපත්තිමය පදනම නමට හරි හැමදාම තිබුණේ මධ්‍යස්ථව නැති නම් නොබැඳිව. අදත් එහෙමයි. ඒත් අද මේ නොබැඳියි කියන්නේ කොහෙටවත් නැති නෝන්ජල් එකක් නෙවෙයි. හැමෝටම යටහත් පහත් කියන එකකුත් නෙවෙයි. ඒකට දැන් වෙනස් අර්ථයක් ලැබිල තියෙනවා. ඒ කාගෙවත් අන්තේවාසිකයකු නොවීම කියන එක.

රනිල්, යැංකි ඩිකීගේ බැණා වුණ නිසා හැමෝම කිව්වෙ රනිල් බටහිර හරි ඇමරිකානු හරි ගැත්තෙක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියන එක දන්නේ රනිල් ඒ පැත්තට දබරැුඟිල්ල දිග් කරනව දැකපු කට්ටිය විතරයි. එහෙනම් චීන ගැත්තෙක්ද ඉන්දියන් ගැත්තෙක් ද? ඒත් නැහැ. රනිල් ගැත්තෙක් වෙන්නේ ශ‍්‍රී ලංකාවට. ඒක තමයි එයාගේ විදේශ ප‍්‍රතිපත්තියේ පදනම. අංක එක රට. ලංකාවට අවශ්‍ය දේ නොවෙනවා නම් එතැන ගනුදෙනුවක් නැහැ. නොබැඳියි, ඒත් අදීනයි. රනිල් නොබැඳියි කියන්නේ අදීනත්වයට.

ගිය අවුරුද්දෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වෙලා ඉන්දැද්දි තමා රනිල් යුක්‍රේන් යුද්ධය ගැන රුසියාවට වගේම බටහිරට චෝදනා කළේ. කවුරුවත් එහෙම රැුඩිකල් ප‍්‍රකාශයක් රනිල්ගෙන් බලපොරොත්තු වුණේ නැහැ. රනිල් කිව්වේ යුක්රේන් යුද්ධයේදී ආසියානු රටවල් පැත්තක් නොගත යුතුයි කියලා. රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීම වැරදියි. නමුත් යුක්රේන ජනාධිපතිට රුසියාව සමඟ සාකච්ඡා කිරීමෙන් යුද්ධය වලක්වා ගත හැකිව තිබුණා. ඇමරිකන් ජනාධිපති බයිඩන් රුසියාව සහ චීනය එක්ක ගැටුමකට ගිහින් බටහිර ආධිපත්‍යය ස්ථාපනය කිරීමට උත්සාහ කරන බව රනිල් කිව්වා. යුක්‍රේනය තුළ ඇමරිකන් මිසයිල ස්ථානගත කරයි කියලා රුසියාව බයෙන් හිටියේ. ඒකයි යුක්‍රේනය ආක‍්‍රමණය කරල යටපත් කරන්න හැදුවේ. මේ සිද්ධියට මැදිහත් වෙන්න කලින් බටහිර රටවල්, ආසියාවේ අදහස් විමසන්නේ නැතිව හිතුවක්කාරකමක් කළේ, එය එසේ නොවිය යුතුව තිබුණා කියලා රනිල් කිව්වා. ඒ වෙලාවේ මේ කතාව බරපතල ප‍්‍රකාශයක් විදිහට ලෝක අවධානයට ලක් වුණා.

රනිල් ජනාධිපති විදිහට ජපානයට ගිහින් කිව්වෙත් ඇමරිකන්-චීන එදිරිවාදීකම් නිසා බටහිර විසින් ආසියාවට ආර්ථික බලපෑම්, වෙළෙඳ බාධාවන් ඇති කරනවා, මේවා ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලටත් පටහැනියි කියලා. ක‍්‍රීඩාවේ නීති ඒක පාර්ශ්විකව වෙනස් නොකළ යුතු බවත් මේකෙන් පරාජිතයන් වන්නේ ශ‍්‍රී ලංකාව වගේ ආසියාවේ සිටින මැදි ආදායම් ලබන රටවල් බවත් කිව්වා. එදා ඔහු රට වෙනුවෙන් ජපානයෙන් උදව් ඉල්ලා සිටියත් ජපානයත් මුල් වෙලා හදපු ූඹ්ෘ සංවිධානයේ ක‍්‍රියාකලාපය විවේචනය කළා. ඒ වගේම ඇමෙරිකාව හෝ චීනය හෝ දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාවේ බොහෝ රටවල් එකඟ නොවන බව නැවත අවධාරණය කළා.

කොන්ද පණ ඇතිව මෙහෙම ප‍්‍රකාශයන් කරන්න රනිල් හයියක් තිබුණා. ඒක එන්නේ මෙරට භු-දේශපාලනික බලය ගැන ඔහුට තිබෙන අවබෝධය නිසා. රනිල් රටට වාසි වෙන විදිහට මේ ජාත්‍යන්තරය සමඟ සෙල්ලම් කරන්න ඕන විදිහ දන්නවා.

අන්තිමට රනිල් බලයට එන්නේ ඇමරිකාවෙවත් ඉන්දියාවෙවත් චීනයේවත් අන්තේවාසිකයකු වෙමින් නොවෙයි. ඔහු අද ඒ රටවල් ශ‍්‍රී ලංකාවේ අන්තේවාසිකයන් බවට පත්කරමින් තිබෙනවා. මොකද මේ රට එතරම්ම ලෝකයට වැදගත් කියලා රනිල් දන්න නිසා. ඉන්දියාවට කියන්න සිදුවුණා තමන්ගේ වටිනාම අසල්වැසියා ලංකාව කියලා. අද ඇමරිකාව, එංගලන්තය, ජපානය, ප‍්‍රංශය, ජර්මනිය වගේ බටහිර කඳවුරේ ප‍්‍රබල රාජ්‍යයන්ට වගේම චීනයටත් මේ රට රැුකගැනීමේ අවශ්‍යතාවය ඇති කරලා තියෙනවා. මෙතැනදී රනිල්, ජාත්‍යන්තරය තුළ නායකත්වය දෙන්නේ ශ‍්‍රී ලංකාවට විතරක් නොවෙයි.

බලවත් රාජ්‍යයන්වල බලපෑම් නිසා ආසියානු කලාපයේ රටවල් අතර ගොඩනැඟී තියෙන එදිරිවාදීකම්වලට රනිල් විරුද්ධයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ සීතල යුද සමයේ ඇමරිකාවේ සහ රුසියාවේ බල ව්‍යපෘති ඉන්දියානු සාගර සාම කලාපයේ රටවල් භේද කළා. අද රනිල් එක ආසියාවක්, නැතිනම් ඉන්දු-පැසිපික් සාගර කලාපය පිළිබඳ යෝජනාව වෙනුවෙන් පෙනී සිටින්නේ ඇමෙරිකානු සහ චීන බල ව්‍යපෘතිවලට ද ඊට යට වී එම රටවලට ආධාර කරන කලාපීය රටවල ක‍්‍රියා කලාපයටද එරෙහිවයි. මේ නිසා අද ආසියනු කලාපයේ දූපත් රාජ්‍යයන්, සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්වල ගැලවුම්කරුවා වී ඇත්තේත් රනිල්. එයා එතැනට පත්වෙන්නේ තමන්ගේ අදීන විදේශ ප‍්‍රතිපත්තිය නිසා. අන්තේවාසික දියාරු විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා නම් රනිල්ට ජාත්‍යන්තර වේදිකාවේ මෙහෙම ස්ථිරව, අපක්ෂපාතිව සහ භය නැතිව කතාකරන්න බැහැ. මොනවා වුණත් මේ සියල්ලේ අවසානය ශ‍්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය බවට ඔහු ඉලක්කකර තිබෙනවා. රාජ්‍ය නායකයකු වශයෙන් රනිල් අතිශය වැදගත් වන්නේ මේ නව ප‍්‍රවේශය නිසාය.

– ලොකු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *