‘Dover – කොළඹ’ නගරාන්තර බස්රථ සේවාව – දින 42 ක් – කිලෝමීටර් 20,000 ක්

0

ගමන් මාර්ගය :

Dover – Dunkirk – පැරිස් – වැනීසිය – ඉස්තාන්බුල් – ටෙහෙරාන් – කාබුල් – ලාහෝර් – දිල්ලි – රාමේෂ්වරම් හරහා කොළඹ

එංගලන්තයේ Penn Overland Tours සමාගම විසින් 1959-08-17 දින මෙම Dover – කොළඹ බස්රථ සේවය ආරම්භ කර ඇත.

කාර්යමණ්ඩල සාමාජිකයින් 4 දෙනෙක් සහ මගීන් 10 දෙනෙකු එක් ගමන් වාරයක් සදහා ඇතුළත් විය.

ගමන සදහා එක් අයෙකුගෙන් £78 ක් (රු. 32, 930) අය කර තිබුණි.

එය වර්තමානයේදී ගතහොත් £2300 කට (රු. 970, 000) ආසන්න ගණනකි.

ගමන් කාලය පුරාවටම බස්රථය තුළදීම ආහාර පාන පිළියෙළ කරගෙන ඇති අතර, මගීන් සදහා කුඩා නිදන ඇදන්, විදුලි පංකා සහ heaters සහිත විය.

එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය – ඇෆ්ගනිස්තානය – පාකිස්තානය – ඉන්දියාව – රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.

ඒ වන විටත් ලොව දීර්ඝතම බස්රථ සේවාව වූ ලන්ඩන් – කොල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර තිබූ අතර, ඒ සදහා දින 50 ක් ගතවූ අතර ටිකට්පතක මිල £85 ක් විය. ඔවුන් කොල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්හි නතර කරමින්, ඒවා මගීන්ට දැක බලා ගැනීමට අවස්ථාවද සැලසීම නිසා වැඩි ගමන් කාලයක් ගතවූ අතර, ගාස්තුවද වැඩිවිය.

අඩු වියදමකින්, අඩු ගමන් කාලයකින් මගීන්ට සේවාව සැපයීමේ අරමුණින් Penn Overland Tours ආයතනය විසින් මෙම Dover – කොළඹ බස් සේවය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ලන්ඩන් – කල්කටා බස් සේවාව 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී ඇති නමුදු, Dover – කොළඹ බස් සේවාව කොපමණ කලක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව නිශ්චිත සදහනක් නැත.

====================================================================

බොහෝ තැන් ලන්ඩන් – කොල්කටා ලොව දීර්ඝතම බස් රූට් එක ලෙස සදහන් වේ.

නමුත් සත්‍ය එය නොවේ.

1968 වසරේදී Albert Tours විසින්ම ආරම්භ කළ ලන්ඩන් – සිඩ්නි බස් සේවාවට ලොව දීර්ඝතම බස් සේවාවේ ගෞරවය හිමිවිය යුතුය.

එය London – Dover – Dunkirk – Paris – Venice – Istanbul – Tehran – Kabul – Peshawar – Lahore – New Delhi – Agra – Banaras හරහා කොල්කටාවට පැමිණ ඉන්පසු මියන්මාරය – තායිලන්තය හරහා සිංගප්පූරුවට පැමිණේ.

සිංගප්පූරුවේ සිට බස්රථය නැවකට පටවා ඕස්ට්‍රේලියාවේ Perth දක්වා රැගෙන ගොස් එතැන් සිට 4000 km දුරක් ගෙවා සිඩ්නි වෙත පැමිණ ඇත. ගමන් සදහා දින 132 ක් ගතවී ඇත.

1976 වසරේදී බස් සේවාව නවතා දමන තෙක් ලන්ඩන් සිට සිඩ්නි දක්වා මෙලෙස ගමන්වාර 15ක් පමණ සාර්ථකව නිමා කර ඇත.

දෙවැනියට ලොව දීර්ඝතම බස් සේවාව ලෙස Dover – කොළඹ හැදින්විය හැක.

එංගලන්තයේ සිට සිඩ්නි/ කොල්කටා/ කොළඹ දක්වා ධාවනය වූ බස් සේවාවන් සදහා යොදාගෙන ඇත්තේ AEC, BMC, British leyland බස්රථයි.

====================================================================

වර්තමානයේදී ලොව දීර්ඝතම බස් රූට් එක ලෙස පේරුහි ලීමා නුවර සිට බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ දක්වා ධාවනය වන බස් සේවාව හදුන්වන බව අන්තර්ජාලයේ සහ බොහෝ ලිපි වල දැක ඇත.

එහි මුළු දුර 6200 km වූ අතර, ගමන් කාලය පැය 102 කි.

Ormeño S.A බස් සමාගම විසින් Marcopolo බද සහිත Scania, Volvo බස්රථ මේ සදහා යොදවා තිබූ අතර, සතියේ සෑම බදාදා සහ ඉරිදා දිනකම බස්රථයක් ධාවන‍ය විය.

කෙසේවෙතත් 2018 වසරේදී මෙම සේවාව ඔවුන් විසින් නවතා දමා ඇත.

දැනට වසර 5 ක් ගතවී ඇතත් අදටත් බස් ධාවනය වන ලොව දීර්ඝතම බස් සේවාව කුමක් දැයි මේ වනතුරු හදුනාගෙන නොමැත.

ඒ අනුව වර්තමානයේදී ධාවනය වන ලොව දීර්ඝතම බස් සේවාව කුමක්දැයි නිශ්චිතව සදහනක් නොමැත.

Old Bus Photos Collectors Association – 2k23

උපුටා ගැනීමකි. -Rajith Keerthi Tennakoon- (Anil Ranaweera)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *