හිල් මුට්ටිවලට වතුර පුරවන විපක්ෂ දේශපාලනය

0

පසුගිය වසරේ ගාලූ‍ මුවදොර කේන්ද්‍ර කරගත් අරගලය ක‍්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව බලයෙන් පහකිරීම වෙනුවෙනි. ‘ගෝඨා ගෝ හෝම්‘ සටන් පාඨයට පමණක් මෙම පිරිස ලඝු වූ අතර අනෙක් මතයකට ඉඩ නොදෙන බලහත්කරයක්ද එම අරගල භූමිය තුළ ක‍්‍රියාත්මක විය. කෙසේ නමුත් ගෝඨා එළවීමෙන් පසුව රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවාද කියන ගැටළුවට මේ අයට උත්තර තිබුණේ නැත. ඒක ඊට පස්සේ බලාගමු, දැන් ගෝඨා එළවීම විය යුතු බව දිගටම ගෙන ගිය මතය වේ. එහෙත් ඊට එරෙහිව දේශපාලන සබුද්ධිකත්වය ඇති පිරිස අර්බුදයට හේතු භූත වූ කාරණා මතු කර, විය යුතුව තිබෙන්නේ දේශපාලන හා ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක වීම බවත් අරගලය ඒ වෙනුවෙන් යොදාගත යුතු බවත් පෙන්වමින් සිටියේය. ගෝඨා පන්නා රට අරාජික වීමට ඉඩ දී තවත් බරපතල අර්බුද මතු කර ගැනීමට වඩා ගෝඨා පාලනයට බලපෑම් කරමින් දේශපාලන හා ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් දිනා ගන්නා තෙක් අරගලය පවත්වා ගැනීම විය යුතු බව මේ අය පෙන්වා දෙන ලදී. නමුත් ඊට යහපත් ප‍්‍රතිචාර ලැබුණේ නැත. කොටින්ම මේ වන තුරුත් මේ අරගලකරුවන්ගේ සාකච්ඡාව බවට පත්ව ඇත්තේ පාලකයන් පන්නා දමා මහජන බලයක් ගොඩ නඟන්නේ කෙසේද යන්න ගැනය. ඒ අනුව එදා රාජ්‍ය පාලනය මේ අරගලකරුවන් අතට පත් වූයේ නම් සිදුවිය හැකිව තිබු බරපතල තත්වයන් ගැන අවබෝධයක් ලබා ගත හැකිය. කෙසේ නමුත් සිදුවිය හැකිව තිබු විනාශය ජනාධිපති ගෝඨාභය පවා වටහාගෙන සිටි අතර එය වැලැක්වීමට අවශ්‍ය පියවරයන් ගැනීමට සූදානම් විය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කිරීම මෙන්ම දේශපාලන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් යෝජනා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගැනීමේ සිට මුලික කරුණු කාරණා ඉ‍ටු කළ යුතු තැනකට ඔහු වෙනස්ව තිබිණි. කෙසේ නමුත් ඔහුට බලය පවත්වාගෙන යෑමට තරම් දේශපාලන පරිචයක් නොතිබීම සහ ඔහු වටා ඊට ගැලපෙන කණ්ඩායමක් නොසිටීමත් ආදී හේතු මත ඔහුට තනතුර අත් හරින්නට සිදු විය. අවසානයේ රනිල් වික‍්‍රමසිංහ බලය අත්පත් කරගැනීමට සමත්වීම තුළ රට අරාජිකවීම වැලැක්වුණු අතර ක‍්‍රමයේ වෙනසක් වෙනුවෙන් ඔහු දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් වෙත යොමු විය. ඔහු ගත් කඩිනම් පියවරයන් නොවන්න අද රට අමු සොහොනකට වඩා පත්වෙන්න වෙනත් තැනක් තිබුණේ නැත.

මෙම සිදුවීම් පෙළ යළි මතක් කළේ විපක්ෂයේ ඡන්ද ගාය නැවත උත්සන්නවීම නිසාය. පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් රජයට දැඩි බලපැමක් කරමින් සිටි අතර රටේ ආර්ථික ගැටළු සහ ඒ මොහොතේ ඡුන්දය පැවැත්වූවා නම් විය හැකිව තිබු දේශපාලන සහ ආර්ථික වියවුල ගැන වන අනතුර නිවැරදි ගණන් බැලීමක සිටි රජය මැතිවරණය කල් තැබීමට අවශ්‍ය පියවරයන් ගන්නා ලදී, කීම වඩා සත්‍යට ආසන්නය. එසේම පවතින පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ සහ ආයතන ව්‍යුහයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමකින් තොරව යළි මැතිවරණය පැවැත්වීම අර්ථාන්විත නොවන බවද රජය පෙන්වා දී තිබිණි. ඒ අනුව එම මැතිවරණ උණුසුම පහව ගිය අතර මේ වන විට යළිත් විපක්ෂය පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව කියමින් නැවත තමන්ගේ ඡුන්දගාය පෙන්වමින් තිබේ.

පළත් සභා මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට තිබූ කාලය පසුවී දැන් වසර පහකට ආසන්න කාලයක් වී ඇති නමුදු ඊයේ පෙරේදා ඡන්දගාය උත්සන්න වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත ප‍්‍රකාශ වීම සමඟය. 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ දී පොලිස් බලතල ලබා දීම ගැන යම් ගැටළුකාරිත්වයකට මුහුණ දීමට සිදුවීම මත එය පාර්ලිමේන්තුවේ බහුතරයෙන් කැමත්ත ලබා ගත යුතු බවට ජනාධිපතිවරයාගේ යෝජනාව විය. එවැනි පියවරකට යන්නේ පොදු එකඟතාවයකින් ගැ‍ටුම් නිරාකරණය කරගැනීමෙන් අනාගතයේ විය හැකිව තිබෙන අනතුරු පාලනය කරගැනීමටය. කොහොම නමුත් විපක්ෂය 13 ක‍්‍රියාත්මක කිරීම ගැන යම් ප‍්‍රතිපත්තිමය එකඟතාවල සිටියත් දැන් ඊට ඉඩ නොදෙන බව කියමින් හෝ එය ක‍්‍රියාත්මක කිරීමට බාධා කරවන ලෙස කටයුතු කරමින් තිබේ. ඔවුන් රජයට බල කරන්නෙ 13 ක‍්‍රියාත්මක කිරීමට නම් පළාත් සභා මැතිවරණය පවත්වා තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ අදහස්ද සැලකිල්ලට ගෙන 13 ගැන තීන්දුවක් ගත යුතු බවය. මේක හරියට පතුල සිදුරු වී ඇති බව පෙනි පෙනීම මුට්ටියේ සිදුර වහන්න නම් යළි වතුර පුරවා සිදුර සොයා ගැනීම විය යුතු බව කියන්නා සේ වැඩකි. ප‍්‍රශ්නය ගැන පැහැදිලි අවබෝධයක් තිබියදී ඊට විසඳුමත් තිබියදී යළි ප‍්‍රශ්නය කුමක්දැයි සෙවිය යුතු නැත.

මේ විකාර අදහස ඔවුන් ගෙන එන්නේ මෙම ප‍්‍රශ්නය විසඳීමට තිබෙන මාර්ග අවහිර කිරීමට බව පැහැදිලිය. 13 සංශෝධනය හරහා පිහි‍ටුවා තිබෙන පළාත් සභාවලට ව්‍යවස්ථාමය වශයෙන් ලැබිය යුතු වූ බලතල නොලැබීම සහ පළාත් සභා ක‍්‍රමයෙන් අපේක්ෂිත අරමුණු මෙතෙක් ක‍්‍රියාත්මක නොවීම නිසා පළාත් සභා යනු රාජ්‍ය මුදල් කාබාසීනීයා කරන සුදු අලියකු බව බැහැර කළ නොහැකි සත්‍යකි. ඒ අනුව මේ අංග විකල දුර්වල පළාත් සභා ක‍්‍රමය යළි ක‍්‍රියාත්මක කිරීමෙන් අමුතුවෙන් ලැබෙන්න නියමිත දෙයක් නැත. ක‍්‍රමය නිවැරදි වන්නේත් නැත. විය යුතුව තිබෙන්නේ ක‍්‍රමයේ වැරැද්ද නිවැරදි කර පළාත් සභා පිහි‍ටුවීමට අවශ්‍ය පියවර ගැනීමය. එසේ නොවුණහොත් වන්නේ අරගලයේ අපේක්ෂාව වූ ලෙස ගෝඨා පන්නා දැමීමෙන් පසුව අර්බුදය විසඳන්නට අවශ්‍ය කිසිවක් සිදු නොවී රට අරාජිකවන්නට ඉඩ තිබුණා මෙන්ම පළාත් සභා දැනට පවතින තත්වයෙන් ක‍්‍රියාත්මක කර, යළි ගැටළු වර්ධනය කර ගැනීම පමණි. මෙමඟින් ජාතින්ගේ ප‍්‍රශ්නයට විසඳුමක් නොලැබෙන අතර, පළාත් සභා හරහා රටේ සංවර්ධනයට අවශ්‍ය ක‍්‍රියාකාරිත්වයත් සිදු නොවී තවත් කාලයක් යන තුරු ප‍්‍රශ්න කුරුවල් කරමින් සුදු අලියකු නඩත්තු කිරීමට ජාතික ධනය නාස්ති කිරීමත් පමණක් සිදු වෙනු ඇත. සිදුර වැසීමට අවශ්‍ය ප‍්‍රතිකර්ම ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබේ නම් අබලං මුට්ටිය විසිකර දැමිය යුතුය. ජනාධිපතිවරයා පළාත් සභා සම්බන්ධයෙන් කියන්නෙත් ඒ අදහසමය. 

බොහෝ විට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට මෙන්ම දකුණේ විපක්ෂ පක්ෂවලටත් මෙම ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය නොවන්නේ මෙය හිඟන්නාගේ තුවාලය මෙන් තබාගෙන එය තමන්ගේ බඩගෝස්තර දේශපාලනය ඉදිරියට පවත්වාගෙන යෑමේ අභිලාශ පවතින නිසා විය හැකිය. විපක්ෂය තමන්ගේ විසඳුම මේ යැයි නිශ්චිතවම නොපැවැසීමට පරිස්සම් වීම තුළත් වෙන වටවංගු ගසමින් කැරකි කැරකී සිටීම තුළත් ඇත්තේ මේ තක්කඩිකමය. තමන්ගේ පාක්ෂික ජනතාවගේ පාක්ෂිකභාවය තවදුරටත් පවත්වාගෙන යෑමට නම් රටේ අර්බුද තිබිය යුතු අතර ඒ වෙනුවෙන් තමන් සතුව විසඳුම් තිබෙන බව මවා පෙන්විය යුතුය. උතුරු නැගෙනහිර බොහෝ පක්ෂවලට මෙම ප‍්‍රශ්නය විසඳුනහොත් ඊළඟට මුහුණ දෙන්න වන ගැටළුව වන්නේ එම ප‍්‍රදේශ සංවර්ධනය කර ජනතාවගේ ජීවන තත්වයන් උසස් කර යහපත් අනාගතයක් උදාකරලීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමය. දැනට එම ප‍්‍රදේශවල කිසිදු ප‍්‍රශ්නයක් නොවිසදෙන්නේ 13 හරහා බලය ලබාදීමක් නොවන නිසා බව ඔවුන් ජනතාවට පෙන්වා තිබෙන චිත‍්‍රයයි. ඒ චිත‍්‍රය ඉවත්වීම මත ඇත්ත ප‍්‍රශ්නවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවේ. කොහොම නමුත් ජනාධිපති රනිල් 13 පිළිබඳ ගැටළුව නිරාකරණය කිරීම ගැන පැහැදිලි ස්ථාවරයක සහ අධිෂ්ඨානයක සිටින තත්වය තුළ සහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් විශාල ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන තත්වය තුළ තමන්ට දේශපාලන භුමිය අහිමි වෙනවා කියන බිය එම පක්ෂවලට තිබේ. ඉන්දියාව සමඟ ජනාධිපති පසුගියදා එකඟවූ ආර්ථික සහසම්බන්ධතාවය ගොඩනැගෙන විට වඩාත්ම වේගවත් සංවර්ධනයක් අත්පත් කර ගනු ඇත්තෙත් මේ දෙපළාත වෙනු ඇත. මෙම සංවර්ධන ක‍්‍රියාදාමය තුළින් එම දෙපළාත් ජනතාවට බලය පිළිබඳ ගැටළුවද පැන නැඟිමේ ඉඩ ඇහිරෙනුද ඇත. මේ තත්වයන් තුළ අර්බුද වවාගෙන කන පක්ෂවලට මාරාන්තිකවීම නොවැලැක්විය හැකිය. මේ වන විට 13ට එහා ගිය පෙඩරල් විසඳුමක් අවශ්‍ය බවට කන්කෙදිරි ගෑමක් සිදු වන්නේ ඒ නිසාය. පෙඩරල් අවශ්‍ය නෑ 13 දුන්නාම ඇතිය කියන ස්ථාවරයෙන් එහාට යන්න උත්සහ කරන්නේ අලූ‍ත් ප‍්‍රශ්නයක් නොමැතිව පැවැත්ම අහෝසි වන නිසාය.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ඉන්දියාව හරහා ජනපති රනිල්ට බලපෑම් කිරීමට ගන්නා උත්සාහයක්ද ක‍්‍රියාත්මක වෙයි. එහෙත් ඉන්දියාව තවදුරටත් පසුවන්නේ මේ දෙමළ ජාතික සන්ධානයේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් නොවන තැනකය. 13 ක‍්‍රියාත්මක කිරීම ගැන රනිල් ගෙන තිබෙන ස්ථාවරයෙන් ඉන්දියාව ඉවත් නොවෙනු ඇත. මේ ප‍්‍රශ්නය තවදුරටත් වණ කරමින් ලංකාවට බලපෑම් කරමින් තමන්ගේ කලාපීය වුවමණාවන් සහ ගෝලීය භූ-දේශපාලනික වුවමණාවන් සපුරා ගන්නට නොහැකි බව ඉන්දියාවට අවබෝධයක් තිබේ. නරේන්ද්‍ර මෝදි අද කලාපීය එකමුතුවත් ගොඩනගා ගෝලීය වශයෙන් දේශපාලන සහ ආර්ථික පිම්මක් පැනීමට සැරසීම යුද්ධයක් ලෙස හැඳින්විය හැකි, නම් අද එහි ප‍්‍රධාන අණ දෙන නිලධාරියා වී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහය. පසුගිය කාලය තුළ ලෝකයේ බටහිර කොණටත් නැගෙනහිර කොණටත් යමින් රනිල් මෙම මෙහෙයුමේ යෙදී සිටියේය. ප‍්‍රංශ ජනාධිපතිවරයා, ජපන් විදේශ ඇමැතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රබලයෙක් ඇතුළු ලෝක සංවිධාන ගණනාවක් නියෝජිතයන් එක පෙළට මෙරටට පැමිණියේ තෙල් ගහගෙන යෑමට නොවන බව ජාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් තිබෙන අයට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මේ නිසා ඉන්දියාව මේ මොහොතේ වැඩ කරමින් සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ සමඟ මිස පටු දේශපාලනික වුවමණාවන් මත සිල්ලර වැඩකරමින් සිටින වුන් සමඟ නොවේ. මේ නව තත්වයන් ගැන මෙරට දකුණේ විපක්ෂ දේශපාලන පක්ෂවලටත් අවබෝධයක් නැත. තවම කල්පනා කරන්නේ ජාතික ප‍්‍රශ්නය දඩමීමා කර ගනිමින් තවදුරටත් තමන්ගේ පැවැත්මට මොන මොනවා හෝ කරගත හැකි බවය.

සජිත් පේ‍්‍රමදාසට තිබෙන ගැටළුව ජාතික ප‍්‍රශ්නය විසඳුනහොත් ජාතිකත්වයන් මත ගොඩනැඟී ඇති සුළු පක්ෂවල සහය තමන්ට ලබා ගැනීමට තිබෙන හැකියාව අහිමි වන බව දැනගෙන සිටීමය. සජබය මීට පෙර 13 මුළුමනින්ම ක‍්‍රියාත්මක කළ යුතු බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක සිටියේ සුළු පක්ෂවල සහය ලබාගැනීම වෙනුවෙනි. අද ඒ ගැන කිසි කතාවක් නොමැතිව ප‍්‍රශ්නය විසඳන්න නම් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට පදනමක් නැති කතාවක් එළියට ඇද ගන්නේ ප‍්‍රශ්නය නොවිසදෙන තැනට කටයුතු කර තවත් කාලයක් අල්ලගෙන යා යුතු බැවිනි. එය පැහැදිලිය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණත් අලි අමාරුවක් වැටී සිටී. ජවිපෙ පතුරු සංවිධානයක් වන ජාතික ජන බලවේගය නියෝජන කරන මන්ත‍්‍රීවරිය වූ හරිනි අමරසූරිය 13 සංශෝධනය, පවතින ව්‍යවස්ථාමය නීතියක් බවත් එය මුළුමනින්ම ක‍්‍රියාත්මක විය යුතු බවත් කියා ඉන් නොනැවතී ඊට එහා ගිය යමක්ද සිදු විය යුතු බව පවසා තිබිණි. නමුත් එය ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනිකව අර්බුදයට යවන ප‍්‍රකාශයක් විය. ජවිපෙ සිය ඊනියා ජාතිකවාදී දේශපාලනය පවත්වාගෙන යන්නේ දෙමළ විරෝධය පදනම් කරගත් ස්ථාවරයක සිටිමින්ය. ඒ අනුව 13 දීමට එකඟවුවහොත් තමන්ගේ ඉතිරිව සිටින ඡන්ද දායකයාත් අහිමි වේ යැයි බියක් ඇතිවීම ස්වභාවිකය ඊටත් වඩා පක්ෂ සාමාජියන් දසදහස් ගණනක් දිවි පිදුවේ 13 සංශෝධනයට මග පෑදු ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවය. ඒ අනුව 13ට පක්ෂවීම පක්ෂය වෙනුවෙන් දිවි පිදුවන්ට කරන බරපතලම ද්‍රෝහීකමක්, අපහාසයක්වීම වැලැක්විය නොහැක. මේ නිසා 13 ක‍්‍රියාත්මක කිරීමට කිසිසේත්ම සහය නොවන බවට ප‍්‍රකාශයක් කරන්නට සිදු විය. නමුත් විහිළුව නම් ජවිපෙත් පළාත් සභා මැතිවරණය පැවැවීම විය යුතු බවට ගෝරණාඩුවක යෙදී සිටීමය. පළාත් සභා සුදු අලියකු බවත් එය අහෝසි කළ යුතු බවත් පෙන්වා දීමට සිය දේශපාලනය තුළ වැඩිම කාලයක් අරගත්තේද ජවිපයය. එහෙත් නැවත මේ සුදු අලියාව නැගිට්ටවීමට අවශ්‍ය වන්නේ ප‍්‍රශ්නය වවාගෙන කමින් තළුමරමින් කාලය ගත කිරීම හැර වෙන විසඳුම් නැති නිසාය. මේ ගැන හරිනි අමරසූරියලාත් දැන් නිහඩය. ජාතික ජන බලවේගය මතින් ලිබරල් ප‍්‍රජාතන්තන්ත‍්‍රවාදී මතයක් පෙන්වා මධ්‍යම පාන්තිකයන් දිනාගැනීමේ ජවිපෙ ව්‍යාජ රැවටිලිකාර දේශපාලනයත් මෙමඟින් යළි හෙළිදරව් වී ඇත.

කොහොම නමුත් මේ දක්වා කාලය තුළ පෙන්නුම් කර ඇත්තේ රටේ මතුවන අර්බුද හෝ අර්බුද මවමින් හෝ විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ තම තමන්ගේ හුදු පැවැත්ම වෙනුවෙන් බවය. නමුත් අද රටට අවශ්‍ය වන්නේ රටේ පැවැත්ම ගැන හිතන, ජනතාවගේ පැවැත්ම ගැන හිතන, පරිණත දේශපාලන නායකත්වයකි. ජනපති රනිල් සපුරා ඇත්තේ ඒ ඉඩකඩය. ඊනියා අරගල අවසන් වන්නෙත් විපක්ෂයේ තක්කඩිකම්වලට ඉඩක් නොලැබෙන්නේත් ඒ අනුවය.

ඝෝෂක

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *