මැතිවරණ උගුල අටවන්න සල්ලිත් දෙන්න ඔනෙද ?

පසුගිය සිකුරාදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සිදු කරන්නැයි මැන්ඩමස් ආඥාවක් ඉල්ලා සිටිමින් ශේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම් දෙකක් නොසලකා හරිමින් අධිකරණය දැනුම් දී තිබුණේ මැතිවරණ කොමිසම විසින් මේ වන විටත් මැතිවරණය පැවැත්වීමට දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් එම පෙත්සම්වල අර්ථයක් නැති බවය. ඒ අනුව මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් 2 ක ඔවුන් විසින්ම ඉල්ලා අස්කරගනු ලැබිණි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත. මැතිවරණ පැවැත්වීම කොමිසමේ වගකීමකි. එයට අධිකරණයෙන් තීන්දු දිය යුතු නැත. මැතිවරණය නොපවත්නේ නම් හෝ ඒ පැවැත්වීම අත් හිටුවීම ගැන කිසිවකු හෝ අයිතිවසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නේ නම් අධිකරණයට මැදිහත් විය හැකිය.. ඒ අනුව වත්මන් ආර්ථික අරබුද හමුවේ මැතිවරණය පැත්වීම අත්හිටුවීම සඳහා තීන්දුවක් දෙන ලෙස කරුණු කාරණ ගොනු කරමින් ඉදීරිපත් කර තිබෙන පෙත්සම එළැබෙන 23 වනදා තීන්දුවක් දිමට නියමිතය.

කෙසේ නමුත් ඒ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්බ වී තිබෙනු ඇත. ඒ අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි බරක් තැබිය හැකිය. ඒ කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ මැතිවරණ වියදම් සඳහා රුපියල් මිලියන 770ක් ලබා දෙන්නැයි පසුගියදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ ය. එය මේ වන තෙක් සපුරා දීම සිදුකර නොතිබිණි. හේතුව එලෙස ලබා දීමට මුදල් නොමැති කමය. මේ අතර රජය සිය සීමිත ආදායම් මත රජයේ වියදම් කලමනාකරණය වෙනුවෙන් පියවර රාශියක් ගෙන තිබෙන අතර මීට දිනකිහිපයකට පෙර අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු නොකළ යුතු බවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව භාණ්ඩාගාර ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සියළු රාජ්‍ය අයතන ප්‍රධානින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. එලෙස අත්‍යාවශ්‍ය නොවන දේට වැය කරන්නේ නම් ඊට අදාල වියදම අදාල ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව එම වියදම් දැරිය යුතු බවත් සඳහන් කර ඇත. කොහොම නමුත් මේ මොහොතේ පළාත්පාලන මැතිවරණය අත්‍යවශය සේවාවක් වන්නේ නැත. එම නිසා මැතිවරණයට කියා මුදල් නිකුත් කිරීම මහ භාණ්ඩාගාරයෙන් සිදු වෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

මේ අතර සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑම ගැන විශේෂඥ වෛද්‍යවරු අනතුරු හැඟවීමක් කර ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්වය ඉදිරියේදී තවත් බරපතළ වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු හැඟවීම බරපතල තත්වයකි. මේ අර්බුදයට හේතුව මේ වෙනුවෙන් වැය කිරීමට රජයට ආදායම් නොමැති වීමය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු යනු කල් දමා සිටිය හැකි දේ නොවේ. එය මිනිස මෙන්ම සත්ව ජීවිත පිළිබඳ ගැටළුවකි. එය විසඳීමට ප්‍රමුඛතාවය දිය යුතුය. එය පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා දීමට වඩා වැදගත් බව තේරුම් ගන්න අමුතු දැනුමක් අවශ්‍ය නැත. රටේ ගැටළුව එය පමණක් නොවේ. වහා විසඳා ගත යුතු තවත් ආර්ථික සහ සමාජීය ගැටළු රැසකට රජය මැදිහත්ව ඇත.

ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශවල පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල අදායම අඩුවීම එයට ප්‍රධාන හේතු වී ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ද එම වාර්ථාන පෙන්වා දෙයි. මෙම ආහාර ගැටළුව විසඳීම රජය මුහුණ දී තිබෙන තවත් දැවැන්ත අභියෝගයකි. ජාත්‍යන්තර සංවිධාන හරහා මේ වෙනුවෙන් මානුෂීය ආධාර ලැබුණත් ඒ ප්‍රමාණවත්ව නැත. මේ වෙනුවෙන් වන සුබසාදන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම වෙනුවෙනවත් අවශ්‍යතරම් මුදල් ප්‍රතිපාදන රැස්කර ගැනීමේ ගැටළුවක් තිබේ. මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවීමත් ජාත්‍යන්තර ණය නොලැබීමත් මත රජයට ආදායම් ලැබෙන්නේ බදු ආදායම් වලිනි. නව බදු ප්‍රතිපත්තිය යටතේ බදු ආදායම් වැඩි කිරීමට පියවර ගත්තත් බලාපොරොත්තුවන තරමින් එම ආදායම් උපදවා ගැනීමට තවත් මාස කිහිපයක් ගතවෙනු ඇත.

ඒ අතර බදු අය කිරීමට එරෙහිව සහ ඊට සහන ඉල්ලා ඉහළ වැටුප් ලබන පිරිස් වැඩවරමින් පිස්සුවක් නටමින්ද තිබේ. මේ අයට බදු සහන දීමෙන් රටට අහිමි වන ආදායම් ගැන ජනාධිපතිවරයා පසුගියදා ගනන් හිලව් ඇතිව පෙන්වා දී තිබිණි. මේ මොහොතේ මෙම කැපකිරීම කරන ලෙසත් ඔහු ආයාචනය කර තිබුණේ තව මාස කිහිපයක් මේ දුෂ්කරතාවයන් සහිතව හෝ ගත කළහොත් සියලු දෙනාට පවතින පීඩාකාරිත්වයෙන් මිදීමේ හැකියාව ලැබිය හැකි බවට සහතික වෙමිනි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පැකේජය ලබාගැනීමෙන් යම් සහනයක් ලැබීමේ හැකියාව ලැබෙනු ඇත.

එහෙත් තවමත් මේ සාකච්ඡා ඇදී යමින් තිබේ. මුල්‍ය අරමුදල පසුගියදා නිවේදනය කළේ මෙරටට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා අනුමැතිය ලබා දීම රඳා පවතින්නේ ශ්‍රී ලංකාව තම ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම මත බවය. ශ්‍රී ලංකාව තම නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවශ්‍ය මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් එසේම ශ්‍රී ලංකාව අවශ්‍ය දේශීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා යෑමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එහි ප්‍රකාශකයෙකු මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාව ප්‍රමාණවත් මූල්‍ය සහතික ලබා ගත් සැණින් සහ අනිකුත් අවශ්‍යතා සැපිරූ සැණින් ණය මුදල ලබා ගැනීමට විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමුකළ හැකි යැයි ද එම ප්‍රකාශයේ දැක්වේ. පැරිස් සමාජය සහ ඉන්දියාව මේ වන විට නිල වශයෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත ලබා දී ඇත. එහෙත් ප්‍රධානම ණය හිමියකු වන චීනයෙන් තවමත් ස්ථිරසාර නිවේදනයක් ලැබුණේ නැත. මේ නිසා මේ සහන ලබා ගැනීම තව දුරටත් ප්‍රමාද වෙමින් තිබේ.

සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලකයන් කියන කතන්දර, දෙන පොරොන්දු විශ්වාස කිරීමට රටේ ජනතාව කොහොමත් මැලිය. මන්ද ඒවායේ ඇති රැවටිලිකාරී බව නිතර අත්දැක ඇති නිසාය. එහෙත් දැන් ජනාධිපතිවරයා කියන කතාව ජනතාවට විශ්වාස කිරීමට සිදුව තිබේ. මන්ද ජනාධිපති කරන යෝජනාව නැතිනම් ඉදිරිපත් කරන සැලසුම මිසක් වෙනත් විකල්ප රට සතුව මේ මොහොතේ නැති නිසාය. එකම විසඳුම ජනාධිපතිවරයාගේ සැලසුම ක්‍රියාත්මක කිරීම නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුව එය සිදු කිරීමට සියලු දෙනාට එකතුවන්න සිදුනෙු ඇත. ඒ වෙනුවෙන් වන කැපකිරීම කළ යුතුය. දැන් ඒ ගැන කරන්න තවත් විවාදයක් ඉතිරිව නැත. ඒ අස්සේ මැතිවරණයත් කියන්නේ මේ සැලසුම් සියල්ල අවුල් කරන විපක්ෂයේ වුවමණාවය.

ආර්ථිකය එසේ හසුරුවමින් රට කෙසේ හෝ ගොඩගැනීමට දරණ ප්‍රයත්නය තිබියදී ඊයෙ පෙරේදා තවත් අසුබදායක දෙයක් සිදුව තිබිණි. ඒ ජපානයේ මිට්ෂුබිෂී සමාගම මෙරට සියලු ව්‍යාපාර කටයුතු අත්හිටුවා යෑමට තීන්දු කිරීමය. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා රට බංකොලොත් බව නිල වශයෙන්ම ප්‍රකාශයට පත්කර තිබීම මත මේ ජාත්‍යන්තර සමාගම් වල ව්‍යාපාර කටයුතු වලට බාධාවීම සිදුව තිබිණි. ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.46 ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබුණි. එමෙන්ම ජපානය මීට පෙර මෙරටට ලබා දුන් දැවැන්ත ආයෝජනයක් වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අදාල ගිවිසුම පසුගිය ගෝඨා පාලනය තුළ කිසිදු වගවිභාගයක් නැතිව අත්හිටුවීම, ජපාන රජය සමග සහයෝගීතා සහ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ විදුලි බලාගාර සඳහා කෙරවළපිටියේ ස්වභාවික ද්‍රව වායු සැපයීමේ ව්‍යාපෘතිය(ඛභඨ) ඇතුළු ජපානය විසින් සිදු කළ නව ව්‍යාපෘති යෝජනා රැසක් අවලංගු කිරිම, මේ වන විට පහළටම ඇද දමා තිබෙන ජාත්‍යන්තර ණය ශේණිගත කිරීම් සහ තවමත් මෙරට ආර්ථික අර්බුදය පැවැතීමත් ඒ වෙනුවෙන් ගන්නා ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම ආදී හේතු නිසාත් වසර හැටකට තරම් කාලයක් පැවැති මිට්සුබිෂි සමාගමේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වූ කාරණා වී ඇති බව පැවැසේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට බොහෝ යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ. මිට්සුබිෂි සමාගමේ ශ්‍රී ලංකාවේ කාර්යාලය එතෙර රටක විවෘත කළ මුල්ම කාර්යාල වලින් එකක් වන අතර ශ්‍රී ලංකා සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂි සමාගම දායකත්වය ලබාදී ඇත. එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සපයා ඇත.

මේ අතර ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවැති මිත්‍රත්වය බිඳ වැටී ඇති බවත් එය යළි ගොඩනගා ගැනීමට නම් ශ්‍රී ලංකාව දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසා ඇතැයි මාධ්‍ය වාර්ථා කර තීබිණි. මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කිරීම මෙරට පුද්ගලික ව්‍යාපාරික අංශයට දැඩි කම්පනයක් ගෙන දෙන සිදුවීමක් වී ඇත. මේ තත්වය හේතුවෙන් දේශීය හා විදේශීය සමාගම්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක් වනු ඇතැයි බිය පලකරයි. මේ ආදර්ශය අනෙක් ජාත්‍යන්තර සමාගම වලටත් බලපෑමත් වුවහොත් රට මුහුණ දෙන අර්බුදයයන් පැටව් ගසනු ඇත. විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් මෙරටට පැමිණිම කෙරෙහි යම් කැමැත්තක තිබුණානම් ඊට ඉතා අහිතකර ලෙස මෙය බලපෑමක් කරනු ඇත. මෙවැනි ජාත්‍යන්තර ගැටළු විසඳා ගැනීම පහසු නැත. විපක්ෂය කියන්නේ ජාත්‍යන්තරයේ සහය ලැබෙන්නේ ශක්තිමත් ජනවරමක් තිබෙන ආණ්ඩුවකට පමණක් යැයි නිතර කියමින් තිබේ. නමුත් මහා ජනවරමක් තිබු ආණ්ඩු සමයකදී මේ අලකලංචි සිදුව තිබු අතර රටේ පාලනය රනිල් අතට ගන්නා තෙක් කිසිදු රටක මානුෂිය ආධාරයක් හෝ ලබාගැනීමට ඒ ශක්තිමත් ජනවරමක් තිබූ ආණ්ඩුවට හැකි වුයේ නම් නැත. කොවිඩ් වසංගත සමයේදී පවා ආධාර ලෙස එන්නත් ලබා ගැනීමටද රනිල් සහ දිවන්ගත මංගල සමරවීරට මැදිහත්වන්නට සිදුව තිබිණි.

මේ අනුව මේ මොහොත වනවිට රට පත්ව ඇති තත්වයෙන් ගොඩ එන්න පළාත් පාලන මැතිවරණයකින් ලැබිය හැකි ඉටි ගෙඩියක් නැත. විපක්ෂය මැතිවරණය ජය ගන්නා බවට දොඩන වහසි බස් අනුව ඔවුන් ඉන් පසුව කරන්නේ මහ මැතිවරණයක් ඉල්ලා යළි රට ව්‍යාකූල කිරීමය. ඒ අනුව මහ මැතිවරණයකුත් පවත්වා ආණ්ඩු පෙරළියකුත් සිදුකිරීම හරහා විය හැක්කේ එක දෙයකි. ඒ, මෙරට පුරවැසින්ට කරන්න ඉතුරුවන්නේ තමන්ගේ වළ තමන්ම කපාගෙන වැළලීම පමණය. වෙන දෙයක් සිදුවීමට නියමිත නැත. විපක්ෂයත් රට ගැන වගවීමක් නැති මැතිවරණ කොමිසමත් රට තල්ලු කරන්න එතැනටය.