රතු මල්ලිලාගේ ෂැර

කාලෙකට පස්සේ සයිමා ඩප්පියා එක්ක පොඩි රවුමක් දාන්න හිතාගෙන මහරගම පැත්තේ සාප්පු සවාරියකට සෙට් වුනේය. ඩල්සි එක්ක මේ ගමන ගියොත් අතේ පිච්චියටත් තට්ටු වෙන නිසා ඩප්පියාව සෙට් කරගෙන ගියේය. නුගේගොඩත් පහුවෙලා දෙල්කඳ හන්දියට පහුකරද්දී කොල්ලෝ දෙන්නෙක් ත්‍රීවිලරයට අත දැම්මේය.

” සයිමයියා මොකද කරන්නේ නතර කරන්නද කැම්පස් කොල්ලෝ දෙන්නෙක් වගේ ”

” දාගෙන යමං මං විතරයිනේ පිටි පස්සේ ”

ඩප්පියා ටුක් ටුක් නතර කොට කොල්ලෝ දෙන්නා නංවාගෙන ඇද්දේය.

” මල්ලිලා කොහේද යන්නේ ” සයිමා කොල්ලෝ දෙන්නාගෙන් ඇසීය.
” කැම්පස් ඒකට අයියේ.. ”
” මේ හවස මොන කැම්පස්ද ? ”
” නෑ පොඩි වැඩක් තියෙනවා හවස අපේ සෙට් එකක් දාගත්තු ඒකට යන්නේ ”

”ආහ්.. හොදයි හොදයි. අපි ඉතිං ඔව්වා ගැන දන්නේ නෑනේ මල්ලී අධ්‍යාපනය කියන ඒක ඉතිං කොයි වෙලාවේ ලැබුනත් මොකද නේද ?

කොල්ලා මද සිනාවක් පෑ අතර ” අපි ඔය ඉස්සරහින් බස්සන්න අයියේ යැයි කීය. ”

විජේරාම හන්දියට ලං වෙද්දී සයිමා ඩප්පියාට අතින් කැම්පස් ඒක පැත්තට හරවන ලෙස කීය. ඒ අනුව විජේරාමෙන් කැම්පස් ඒක දෙසට ටුක් ටුක් ඒක ගමන් කළේය.

කැම්පස් ගේට්ටුව ලගට එන විට විශාල පිරිසක් ගේට්ටුව අසල පොදියට ගුටි බැට හුවමාරුවකය. පොලු රැගෙන පිරිසක් තවත් පිරිසකට හොදට නෙළන්නේය.

” අඩෝ කවුද යකෝ අපේ උන්ට ගහන්නේ යැයි කියමින් ත්‍රීවිලරයේ ආ කොල්ලෝ දෙන්නා පැන ඒ දෙසට දිව්වේය. සයිමාට තත්වය පැහැදිලි විය. අපි බං මේවාට මැදිහත් නොවී යමු යැයි කියන විටත් ත්‍රී විලය නතර කළ ඩප්පියා ගේට්ටුව ළඟට ගොස් කොල්ලෙකුට වදින්නට ආ පොලු පාරක් වළක්වා ඒකාව බේරා ගත්තේය.

සයිමාටත් නිකන් ඉද පුරුද්දක් නැති නිසාම ඩප්පියාගේ පසු පස්සේ වැටී රණ්ඩුව බේරීමට පිරිස අතර මැදට පැන්නේය.

සයිමා කොල්ලෝ දෙන්නෙක් ඇදගෙන ඇවිත් බංකුවක් උඩ ඉන්දුවේය. ඩප්පියා ද කොල්ලෙක්ව අමාරුවෙන් කුදලාගෙන බංකුවට අසලට ආවත් එතැනත් ගැටුමකට සෙට් වුණේය.

” අඩෝ උඹලව ඉතුරු කරන්නේ නෑ හරිද අපි මේකේ බලේ ගන්වා කෝම හරි දැන් රැල්ල අපිට හැදිල තියෙන්නේ බලපං දෙනවා පැණි බේරෙන්න ” යැයි සයිමා අසල උන් එකෙක් ඩප්පියා කුදලාගෙන ආ එකාට තර්ජනය කළේය.

” හා හා මල්ලිලා දැන් ෂේප්, කරගන්න මගුලක් පස්සේ, ගුටි ඇණගෙන දිනාගන්න පුලුවන් මගුලක් නෑ, මෙච්චර කල් එහෙම වුනෙත් නෑ ” සයිමා කියාගෙන ගියේය.

” නෑ අයියේ මුන් මේ පොඩි හුච්චං පක්ෂයකට සෙට් වෙලා, මේකේ දෙයක් කරන්න පුළුවන් උන් එකක සෙට් වෙන්න එපැයි ” කොල්ලා කියාගෙන යද්දී සයිමා කොල්ලාව බැලන්ස් කළේය.

” හරි දැන් ෂේප් … දැන් කියමු බලන්න මොකද්ද ඔය හුච්චං කතාව ”

” මේකයි අයියේ මුන් පෙරෙට්ටන්ට කඩේ යනවා. අපිත් සෙට් වෙනවා උද්ඝෝෂණ වැඩවලට, හැබැයි එළියේ අනිත් හැම මගුලක්ම කරන්නේ අපේ පක්ෂයේ අය, බලය තියෙන්නේ අපිට, මුන් මේක බලෙන් අල්ලගෙන ඉන්නවා ”

” දැන් මොකද්ද මල්ලිගේ පක්ෂය ඔය කියන ”

” අපි මාලිමා අයියේ ”

සයිමාට වැඩේ මීටර් විය. දැන් මේ වැඩේ යන්නේ එහෙමය. ඉදිරියේදී මහා ව්‍යයසනයක් ඇති වීමේ අවධානමක් ඇති වන බව සයිමාට සිතුනි.

” මේකයි මල්ලිලා, පක්ෂවල බලය බේරන්න උඹලා ගුටි බැට හුවමාරු කරගෙන ලේ පෙරේගෙන හරි යන්නේ නෑ . ඒවා උන් වෙන විදිවලට බේරගන්නවා. ඒවා උඹලා මේ ඉගෙන ගන්න ඇවිත් ජීවිත නැති කරගෙන, බලය අත්පත් කරගන්න ඕන දේවල් නෙවෙයි. මමත් මේ මගුලවල කප්පරක් සෙල්ලම් දාපු එකෙක්, ඒත් මල්ලී දැන් තේරෙනවා. බලය කාට ගියත් අපිට අපිමයි අන්තිමට ඉතිරි වෙන්නේ. ඒ නිසා මේවා තව එකෙකුට ගහල බලේ ගන්නවා කියන වැඩ හෙන ම්ලේච්ඡ වැඩ. ඒවාට උඩ ගෙඩි දෙනවා පක්ෂ, උන් ඉන්නෙත් තවමත් ගල් යුගයේ, තේරුම් ගනින් මල්ලිලා. හරි දැන් ෂේප් වැඩේ. අපි ගියා එහෙනම් ” යැයි කියමින් ඩප්පියා සමග සයිමා එළියට ආවේය.

තව්තිසා