ඉලක්කය සංවර්ධනය නම් රජයෙන් ආර්ථිකය නිදහස් කරනු !

“ජර්මානු සමාගමක් සමග එක්ව විදුලි දුම්රිය මැදිරි නිර්මාණය කොට ප්‍රති අපනයනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ’කිරීමට සැලසුම් කළ මාගේ මිත්‍රයෙකු මීට කලකට පෙර ලියුම්කාරිය වෙත පැවසූ දෙයක් විය. එනම් ලංකාව කිසි දිනක දියුණු නොවෙන රාජ්‍යයක් බවයි. ඒ සදහා කරුණු විමසූ’විට ඔහු ප්‍රකාශ’කොට සිටියේ මේ කාර්මාන්ත ශාලාව ලංකාවේ ආරම්භ කිරීමට ඉහල දේශපාලන අධිකාරියේ පූර්ණ එකඟත්වය පළ කළත් ඉන් පහල සිටි විෂයානුබද්ධ ඇමතිවරයා හා රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන් විසින් මෙය ලංකාවේ ස්ථාපිත නොවීමට වැඩ කළ බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වර්ෂයකට අධික කාලයක් ලියකියවිලි ඒ ආයතනයෙන් මේ ආයතනයටත් මේ ආයතනයෙන් ඒ ආයතනයටත් හුවමාරු වෙමින් පැවැති බවයි. එක් ආයතනයක දින හත අටක් රස්තියාදු වී එහෙත් අදාළ’කාර්යයෙහි කිසිදු ධනාත්මක පිවිසුමක් නොමැති තැන, මෙම කර්මාන්ත ශාලාව වෙනත් රටක ස්ථාපිත කිරීමට ජර්මානු පිරිස කටයුතු කළ බවයි.

ඉහත දැක්වූයේ ලංකාවට විදෙස් ධනය ගලාගෙන ඒමේ ව්‍යාපෘතියකට අත් වූ සත්‍ය’ඉරණමය. මෙය මේ ලෙසම අත්විදින්නට සිදු වූ තවත් ආයෝජන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තිබේ. ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හැත්තෑපස්වසක් සපිරෙන කලකත් සිදුව ඇත්‌තේ ඉහත කී’ජරාජීර්ණ රාජ්‍ය යාන්ත්‍රණයේ විපාකයෙන් බව අමුතු වෙන් කිව යුතු නොවේ. ආර්ථිකය සංවර්ධනයේ දිශාවකට හෝ පා තැබීමට නම් ආයෝජනය සඳහා මෙන්ම ව්‍යාපාර සඳහා වන අවැඩදායක බාධාවන් ඉවත්වීම සිදු විය යුතුය.

මේ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනයේ දියුණු රටවල් විසින් සම්මත කරගත් නියාමනික සංකල්පයක් බිහි කොට ඇත.

ඒ අනුව ෘැරුටමක්එසදබ හෙවත් නියාමන බාධා ඉවත් කිරීම යනු සාමාන්‍යයෙන් ආර්ථික ක්ෂේත්‍රයේ වර්ධනයට බාධා වන දැඩි රාජ්‍ය රෙගුලාසි ඉවත් කිරීම හෝ අඩු කිරීමේ ක්‍රියාවලියයි. එනම් ආර්ථික සංවර්ධනයේ රජයේ පාලනය අවලංගු කිරීමයි.”‍

ජාත්‍යන්තර වශයෙන් 1970 ගණන්වල සහ 1980 ගණන්වල දියුණු කාර්මික ආර්ථිකයන් තුළ එය සාමාන්‍ය දෙයක් බවට පත්වීම දැකිය හැකි විය. ආයෝජනය වෙනුවෙන් රටවල් විවෘත කිරීමේ ප්‍රමාණය අනුව එම රටවල සංවර්ධනය සිදුවූ බව පැහැදිළිය.

ජාත්‍යන්තර මට්ටමේ තත්වයන් මෙසේ වුවද ලංකාවේ පරිපාලනමය හා නීති රෙගුලාසි හෝ අණපනත් සකස් කරනු ලැබූවේම ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් නිදහසේ සිදුකිරීම සඳහා නොවේ. මෙයට හේතු වූයේ නිදහසෙන් පසු යුගයේදී ජාතික ආර්ථිකයක්, දේශීය ආර්ථිකයක්, ගොඩනැංවීම වෙනුවෙන් යැයි කියමින් රජය ව්‍යාපාරකරණයට සම්බන්ධ වීමය. රාජ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමය. ඒ තත්වයන් අද දක්වාම නොවෙනස්ව නැතිනම් වෙනස් කරගැනීමට නොහැකි වීම සිදුව තිබේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාව එද්දීම ඊට විශාල විරෝධයක් එන්නේ මේ පුරුද්ද නිසාය. කොහොම නමුත් එදා සිටම මේ තත්වයන් ආයෝජකයා විඩාවට පත් කරන ලදී.

ඒ අනුව ඊටම අනුගත වූ රාජ්‍ය නිලධාරී නඩයක් සහ දේශපාලන බලඅධිකාරිත්වයක් නිර්මාණය වූ අතර’ආයෝජකයා ගසා කෑමට නැතිනම් කොමිස් ජාවාරමේ යෙදීමට අවශ්‍ය පසුබිම නිර්මාණය විය. රට දූෂිත රාජ්‍යයක් වීමට මේ තත්වය තදින්ම බලපෑවේය. මෙසේ නතර වූ’ව්‍යාපෘති ඕනෑ තරම් ඇත. රාජ්‍යය මූලික කරගත් ආර්ථිකය නඩත්තු කිරීමේ තවත් පිරිසක් ඊටම සරිලන ලෙස නිර්මාණය වන්නේ වෘත්තීය සමිති නැමැති මාෆියාවන්ගේ මැදිහත්වීමෙනි. රට සංවර්ධනය කිරීම සඳහා ගෙන එන ආර්ථික ආයෝජනයන් කුමන හෝ හේතුවක් පෙන්වා වලක්වාලීම ඔවුන්‌ගේ අරමුණය. ඒ සඳහා දේශාභිමානය, ජාතික සම්පත් කොල්ලය, දේශීය සම්පත් විකුණා දැමීම, විජාතිකකරණය වැනි සැහැසි සටන් පාඨ ගෙනැවිත් ජනතාව කුපිත කිරීම දිගින් දිගටම සිදුවිය. මේවාට උල්පන්දම් දෙන වාමාංශික සහ ජාතිකවාදී දේශපාලනයක්ද රටේ පැවැතීම මේ දූෂිත රාජ්‍යය බිහිවීමට පොහොර සැපයීය.

සාම්පූර් විදුලි බලාගාරය නතර වන්නේ එවැනි තකතීරු තීරණයකට අනුවය. ඒ සඳහා වෘත්තීය සමිති හා වාමාංශික යැයි කියා ගන්නා පක්ෂයන්හි මැදිහත්වීම සිදුවිය. මේ නිසාම පසු කාලයක එම ව්‍යාපෘතියේ අවශ්‍යතාවය ඔවුන් විසින්ම පිළිගන්නා තැනකට පැමිණෙන විට සිදුවීමට ඇති සියල්ල සිදුවී හමාරව තිබුනි.
විදුලි නිෂ්පාදනයේදී සූර්ය විදුලි ජනන ව්‍යාපෘති නතර වන්නේ රාජ්‍ය’නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. විදුලි ඉන්ජිනේරුවන්ට ඉන්ධන බලාගාරයන්ගෙන් ලැබෙන කොමිස් කුට්ටියේ අපේක්ෂාව නිසා පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘතිවලට බාධාකිරීම් සිදුවෙයි. මෙලෙසම රටේ ආර්ථිකයට බලපානු ලබන ව්‍යාපෘති ගණනාවක් මෙම වෘත්තිය සමිති මාෆියාව කඩාකප්පල් කාරී ක්‍රියාදාමයක නිරත විය. ඒ රාජ්‍ය තන්ත්‍රයේ හා දේශපාලන මෙන්ම වෘත්තීය සමිති කෙරුවාවය.

අනෙක් අතට ලංකාව තුළ’සංවර්ධන කාර්ය භාරයය පසුපසට යැවූ නීති හා අණ පනත් කෙරුවාවය. සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩම් වෙන් කරගැනීමේදී’එම ඉඩම් සම්බන්ධව පවතින නීති රීති ද විශාල බාධාවක්ව ඇත. ඇතැම් අණපනත් තවම සුද්දාගේ කාලයේ ඒවාය. විටින් විට රජය නිකුත් කරන් චක්‍ර ලේඛ ආදිය නිසා නෛතික කටයුතු අති සංකීර්ණ වී ඇත. සාමාන්‍යයෙන් යම් ව්‍යාපෘතියක් සඳහා පරිසර වාර්තාවක් ගැනීමටත් ආයතන 14 කට ආසන්න ප්‍රමාණයක රස්තියාදු ගැසීමට සිදුවේ. ව්‍යාපාර ලියාපදිංදියත් පහසු නැත. අනෙක් අතට රටට ආයෝජන ගෙන ඒම වෙනුවෙන් ඇති ආයෝජන මණ්ඩලය ඊධෂ වැනි ආයතන වලටද ක්‍රියාත්මක වන්න සිදුව ඇත්තේ මේ පරණ නිතිරීති පදනම් කරගෙන වීම නිසා අයෝජන මණ්ඩලයෙන් මෙහාට ව්‍යාපෘති එන්නේ නැත. මේ දුෂ්කර තත්වයන් මත ජාත්‍යන්තරව ලංකාව හැඳින්වෙන්නේ ආයෝජනයට, ව්‍යාපාරකරණයට ඉහළම මට්ටමෙන් බාධාකාරී රටක් ලෙසය.

කෙසේ නමුත් මේ වන විට රටවල් 80 ක පමණ ආයෝජකයින් විවිධ කේෂ්ත්‍රයන් හි මෙරට ආයෝජනය කර ඇත. ආයෝජන කලාප තුළත් ඉන් බැහැර වත් 1,700ක් පමණ කර්මාන්ත ක්‍රියාත්මකවේ. මේ තුළින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 7 ක ට වැඩි අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයයි. මේ ආදායම හෝ ලැබෙන්නේ පෙරකී දුෂ්කර කොනදේසි අතික්‍රමණය කිරීමෙන් පසුවය. බාධාකාරී නීති රීති නොවෙන්න අද ලංකාව බංකොලොත් රාජ්‍යයක් වන්නට ඉඩක් තිබුනේ නැත.

රාජ්‍යය සංවර්ධනය සඳහා සැලසුම් කරන්නේ නම් ආයෝජන අවස්ථා උදාකිරීම වෙනුවෙන් පවතින නීති රීති සහ එම ක්‍රමවේදයන් ලිහිල් කිරීම විය යුතුය. එය අනිවාර්ය ය. භූමි ප්‍රමාණය අනුව වැඩි ජනගහන ඝණත්වයක් ඇති සහ සම්පත් හිඟ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ කාර්මික හෝ කෘෂිකාර්මික හෝ නිෂ්පාදන ආර්ථිකයක් නඩත්තු කිරීම දැන් යල් පැන ගිය ක්‍රියාවලියකි. ඒවාට රටක් නඩත්තු කරන්නට තරම් හැකියාවක් අද නැත. ඒ නිසා එතැනින් ඔබ්බට ගොස් අද උත්සාහ කළ යුත්තේ සේවා පදනම් කරගත් ආර්ථිකයක් වෙත මාරුවීමය. සංචාරක ක්ෂේත්‍රය, ජාත්‍යන්තර නාවික හා ගුවන් ප්‍රවාහන සේවා, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණ සේවා ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයෝජන අවස්ථා වැඩි වැඩියෙන් උදාකර ගැනීමය. එම ආර්ථික උපනතීන් භාවිතා ‌කොට ආර්ථිකය ගොඩනගා ගැනීමය.

කොහොම නමුත් මෙතෙක් භාවිතා කළ ක්‍රමවේදයන්ට ආයුබෝවන් කීමට කාලය පැමිණ ඇත. ඒ සඳහා දේශාපාලනික හයියක් සහ ආර්ථික දැක්මක් සහිත නායකයෙකු විසින් අද රට මෙහෙය වීම ද අදාළ’ඉලක්ක සපුරා ගැනීමට රුකුලක් වී ඇත. ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මේ සම්බන්ධව වැඩිදුර කරුණු පැහැදිලි කළේය. එනම්, “මෙතෙක් ලෝකයේ ආර්ථික බලවතුන් වුයේ බටහිර රටවල්, නමුත් 21 වන සියවස නිමා වන්නට පෙර ලෝකයේ බලවත්ව ආර්ථිකය ඉන්දීය සාගර කලාපයට හිමි වෙනවා. එවැනි පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. අප මේ වාසිදායක පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි. මේ බැව් සිහි තබා ගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කළයුතුයි. හැමදාමත් ණය ගනිමින් රටක් ගෙන යන්නට අපට බැහැ. ණය ගැනීම් හැකිතාක් අවම කර ගැනීමට අප කටයුතු කළයුතුයි. ඒ නිසා ඉන්දීය සාගර කේන්ද්‍රිය නව ආර්ථික බලයෙන් අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි නීති – රීති හා ප්‍රතිපත්ති මම ඔබ සමඟ එකතු වී සම්පාදනය කරනවා.

කවුරුන් හෝ කියන දෙයක් සොයා බැලීමෙන් තොරව පිළිගෙන, විදේශ ආයෝජන සඳහා විරුද්ධවීම නිසා අපේ රටට සිදුවුණු පාඩුව මිළ කරන්න බෑ. දූෂණ සහ වංචා නිසා රටට සිදු වූ අලාභයන් ගැන ජනතාව දන්නවා. ඒත් බොරු බිල්ලන් මවා පාමින්, විදේශ ආයෝජන කඩාකප්පල් කරමින් රටට සිදු කළ පාඩුව ගණන් හදන්න බැරි තරම් විශාලයි.

මම උදාහරණ කීපයක් පමණක් ගෙනහැර දක්වනවා නම්. ඉන්දියාව සමඟ එක්වී ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට සැරසෙද්දී ඉන්දියාවට ලංකාව විකුණනවා කියමින් සංවර්ධන ව්‍යාපෘතිය අඩාල කළා. එදා අපට තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කර ගැනීමට අවකාශ ලැබුණා නම්, අද ජනතාවට ඉන්ධන පෝලිම්වල දින ගණන් රස්තියාදු වෙන්නට සිදු වෙන්නේ නෑ.

සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරද්දීත් ඒ හා සමානම විරෝධයක් පෑවා. සුවසැරිය ගිලන් රථවලින් රෝහලට ආවොත් අත්වෙන්නේ මරණය කියා කියමින් සමහර වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. නමුත් අප කෙසේ හෝ සුවසැරිය ආරම්භ කළ නිසා මේ වන විට ජීවිත දහස් ගණනක් ආරක්ෂා වී තියෙනවා.

සැහැල්ලු‍ දුම්රිය සේවය ස්ථාපිත කරන්නටත්, වරාය වැඩි දියුණු කරන්නටත් ජපානය ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරුද්ධ වුණේ පදනම් විරහිත බොළඳ හේතු ගණනාවක් දක්වමින්. මේ නිසා අපේ රටට ලැබීමට තිබුණු ඩොලර් බිලියන 3කට අධික ප්‍රමාණයක් අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර තිබුණු ඉපැරණි මිත්‍රත්වයත් දෙදරා ගියා.

සංවර්ධන ආර්ථිකයක් කරා අප යන ගමන් මඟ වඩාත් ශක්තිමත් කර ගැනීමට නම් අප අතීතය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. අපේ ආර්ථිකය මේ තරම් පහළ තලයකට ඇද වැටුණේ ඇයි? ඝෘණාත්මක ප්‍රතිඵල අපට උරුම වුණේ ඇයි? පුද්ගලයන් සිදුකළ වැරදි නිසාද? එසේත් නැතිනම් ප්‍රතිපත්තිය‍මය අඩුපාඩුකම් නිසාද? එක් එක් පුද්ගලයන්ට තමන්ට කැමති විදියට ආර්ථිකය හැසිරවීමට ඉඩ ලැබුණේ කොහොමද? පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් විය හැකිද? කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීමට රටට හිතකරද? නැත්නම් අහිතකරද?

මේ තත්ත්වය අපි ගැඹුරින් විමසා බැලු‍වා. ඊට පිළියම් ලෙස ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් සහ ව්‍යවසායකයන් දිරිමත් කරමින් නිර්මාණය කරන්නා වූ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම සකස් කිරීම අනිවාර්යයි.”‍
ජනාධිපතිවරයා මෙය ප්‍රකාශනයන්ට පමණක් සීමා නොකොට ඊට අදාළ’ක්‍රියාමාර්ගද ගැනීමට උත්සුක වී’ඇති බව පසුගියදා දක්නට හැකි විය- ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක ගැටළු නිරාකරණය කිරීමට පියවර ගෙන තිබිණි. ව්‍යාපාර ප්‍රවේශය පහසු කිරීම සඳහා සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ නීතිමය පද්ධතීන් යාවත්කාලීන කිරීම හා මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ‘ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බලකාය’, ඉඩම් ලියාපදිංචිය අවශ්‍ය සහතික සහ අදාළ’ගෙවීම් සම්බන්ධ පියවර වැඩිදියුණු කිරීම අරමුණ කරගත් ‘දේපල ලියාපදිංචි කිරීමේ කාර්යය සාධක බලකාය’ ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

එසේ නම් 2048 දී’සංවර්ධනය සදහා වන මාවත විවෘත වන්නේ ආයෝජන වැඩි කිරීම තුළ හා ආර්ථිකයට අදාළ වන රාජ්‍ය ඒකාධිකාරී බලපෑම අඩපණ කිරීම තුළිනි. එවැනි කාර්ය භාරයකට අදාළ’නීති රීති ගෙන ඒම අනිවාර්යය කාර්යයකි. එසේ වන්නේ නම් එළඹෙන 25 වසර තුළ රට සංවර්ධනයේ සීමාවන් දක්වා කැඳවාගෙන යාමට හැකි වනු ඇත.

  • කේ.පී.අයි. ප්‍රියංගනී