මහදැන මුත්තාගේ දේශපාලනය දැන් පරණය

මොහොත වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින්නේ මහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරය. ඒ බ්‍රිතාන්‍යයේ නව රාජ්‍ය නායකයා ලෙස පත්වන් තෙවන චාලස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවීම
වෙනුවෙනි. බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ලැබුණු ආරාධනය අනුව ඔහු මේ සඳහා සහභාගී වෙයි.
කොහොම නමුත් මේ සංචාරය ගැන විපක්ෂ පිරිස් මතු කරමින් සිටින්නේ ජනාධිපතිවරයා රටේ මුදල් නාස්ති කරමින් පිටරට මළගෙවල්වලට, වැඩකට නැති උත්සවවලට යන බවය. මීට පෙර බ්‍රිතාන්‍යයේ දෙවන එලිසෙබෙත් රුජිණගේ අවමංගල්‍යයට සහ ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේගේ අවමංගල්‍යයට සහභාගීවීම විවේචනය කර තිබිණි.

එහෙත් මේ සහභාගිත්වය හරහා, ජාත්‍යන්තරයෙන් කොන් වී සිටි ශ්‍රී ලංකාව කෙරෙහි යළි අවධානය යොමු කරගැනීමට සහ ජාත්‍යන්තර සහයෝගය අත්පත් කරගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන සාධනීය ප්‍රතිචාරය දක්වන්ට ද විපක්ෂයට අවශ්‍ය වූයේ නැත. මෙවර චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගිවීම
තවමත් යටත් විජිත මානසිකත්වයෙන් කරන කටයුත්තක් බවටද විවේචන එල්ල වී තිබිණි. නමුත් මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාව බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැතීම මත සිදුකරන සංචාරයක් නොවේ. නමුත් චාල්ස් රජු මෙරටට වෙනත් ආකාරයකින් වැදගත්ය. ඒ ඔහු දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්වීමය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව පවතින පුළුල්ම ජාත්‍යන්තර සංවිධානය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයය. බි්‍රතාන්‍යයේ යටත් විජිතයන්ව පැවැති රටවල් සියල්ලම පාහේ මෙහි සාමාජිකත්වය දරමින් එකිනෙකාට උදව් පදව් කරමින් සාමුහික සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටියි.

ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපයක සිට මුහුණ දුන් අර්බුදකාරී අවස්ථාවන්හිදී එයින් මිදීම වෙනුවෙන් වූ සහයෝගය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලැබී තිබිණි. තවදුරටත් එහි සහය ලබාගැනීම විය යුතුය. එය අපතේ නොහැරිය යුතුය. මෙම රාජකීය උත්සව අවස්ථාව වෙනුවෙන් මෙම රටවල රාජ්‍ය නායකයන්, රාජ්‍යයන්හී විශේෂ නියෝජිතයන් හෝ සහභාගී වෙයි. ඔවුනොවුන් සමඟ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කරමින් රටට යම් ඵලදායි වුවමණාවන් වෙනුවෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව මෙහිදී ජනාධිපතිවරයාට තිබේ. පසුගිය විදේශ සංචාරයන්වලදී ද එය ඉ‍ටු කර ගැනීමට ඔහු සමත් විය. විශේෂයෙන්ම දේශගුණික සමුළුවට සහභාගීවීම හරහා ප්‍රතිලාභයන් රැසක් මෙරට ලබා ගැනීමේ එකඟතාවයන් ඇති විය. එහිදීද මෙරට දේශගුණික විපර්යාස සම්බන්ධ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ යෝජනාවට පොදුරාජ්‍ය මණ්ඩලයේ අනුග්‍රහය ලබා ගැනීමේ සාකච්ඡාව සාර්ථක විය.

මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමතව එහි වාරිකයකුත් ලැබී තිබිම මත එහි ඉදිරි වර්ධනයන් වෙනුවෙන් ජාත්‍යන්තර සහය රටට අවශ්‍යම මොහොතකි. මුල්‍ය අරමුදලේ සහය ලැබීම රට යළි ගොඩනැගීම සිදුවන බවට වන සහතිකයක් වන නිසා ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කරගැනීමට විශාල රුකුලකි. විශේෂයෙන්ම මෙරට විදේශ සංචිත යළි ගොඩනංවා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමේදී මේ සිදුවන රාජ්‍ය නායක හමුව අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉ‍ටු කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකමක් වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ඒ සඳහා එකඟ වන පොරොන්දු පත්‍රය නිකුත් කරනු ලැබ ඇති අතර ඒ අනුව විය යුතු ප්‍ර‍තිස්ංකරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය තහවුරු කරගැනීමට සහ එකී ණය පහසුකමට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීතී සම්පාදනයට ඇතුළත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ලබා ගෙන තිබේ. මේ නිසා නියත වශයෙන්ම මෙම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇත.

මේ වන විටත් මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියත්මක විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලැබී පවතී. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පුළුල් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, ආර්ථික පාලනය පරිවර්තනය, වර්ධනය හා තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 03 මත පදනම්ව ලෝක බැංකුව විසින් සිය සහාය ලබා දෙනු ඇත. එසේම ශ්‍රී ලංකා මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ද ලෝක බැංකුවේ සහය හිමිවේ.

ඒ අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇත. එසේම යළි ජපානය මෙරට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස තවත් රාජ්‍ය ගණනාවක් මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වන සාකච්ඡා ආරම්භ කර ඇත. මේවා නිකම් ලැබෙන දේ නොවේ, ජනාධිපතිවරයා මැදිහත්ව කළ සාකච්ඡාවන්ගේ ප්‍රතිපලයන්ය. එනම් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ ප්‍රතිපලය.

ඒවා එසේ වෙද්දි මෙරට විපක්ෂ කණ්ඩායම් තවමත් වැඩ කරමින් ඉන්නේ පරණ තාලයටය. මුග්ධ සහ විහිළු සහගත ආකාරයටය. ඔවුන් ප්‍රශ්න විසඳන්න කතා කරන්නේ මහදැන මුත්තාගේ ක්‍රමයටය.
මහදැන මුත්තාගේ කතා දැන් පරණ නමුත් ඒ සමහරක් විපක්ෂයේ වැඩ නිසා අදටත් අලු‍ත් වෙමින් තිබේ. එළුවාගේ හිසේ මුට්ටිය සිර කරගැනීමේ කතාව ඉන් එකකි. මේ කතාව අනුව, එළුවා මුට්ටිය ඇතුළේ ඔලුව සිර කරගත් විට එතැන පාර්ශ්වික ගැටලු‍ කිහිපයක් පැන නැග තිබිණි. එකක් එළුවාගේ පැත්තෙන් එළුවාට තමන්ගේ ඔලු‍ව මුට්ටියෙන් නිදහස් කර ගත යුතුය. අනෙක් පැත්තෙන් මුට්ටියේ හිමිකරුවාට හානියකින් තොරව මුට්ටිය නැවත අත්පත් කරගත යුතුය. නමුත් කෙසේ හෝ ගැටලු‍වට ඇති එකම විසඳුම වන්නේ එළුවාගේ හිස මුට්ටියෙන් ඉවත් කරගැනීමය. මෙය බැලු‍ බැල්මටම කාටත් වටහා ගත හැකි ගැටලු‍වක් මෙන්ම විසඳුමකුත් ඇති වැඩකි. නමුත් විසඳුම ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ දැයි කිසිවකුට අවබෝධයක් තිබුණේ නැත.

මහදැන මුත්තාව කැ‍ඳෙව්වේ විසඳුම ක්‍රියාත්මක කරගැනීම වෙනුවෙනි. ඔහු එළුවාත් මුට්ටියත් වෙන් කරගැනීමේ විසඳුම ක්‍රියාත්මක කළේ එළුවගේ හිස කඳින් වෙන් කරන්න මන්නා පිහි පහරක් ගැසීමය. මුට්ටියද ඒ ක්ෂණයෙන්ම බිම වැටී කුඩු වී ගියේය. මේ සිද්ධියෙන් කියවෙන්නේ ගැටලු‍වකට විසඳුමක් තිබුණ පලියට එය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රවේදය නොදන්නේ නම් ඒකයි මේකයි දෙකම නැති වී විනාශයක්ම සිදුවන බවය.

විපක්ෂයේ නායකයන් ෂඵත්‍ ගිවිසුම සම්බන්ධයෙන් මතුකරන ගැටළුවලට ඔවුන් යෝජනා කරන්නේ මහදැන මුත්තාගේ විසඳුම්ය. ෂඵත්‍ නිර්දේශ ප්‍රකාරව සිදුවීමට නියමිත ප්‍රතිසංස්කරණ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත්ම කරුණකි. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන දැනටම විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ. විපක්ෂය කියන්නේ මෙමගින් බැංකු පද්ධතිය බිඳ වැටෙන බවත් සේවක අර්ථසාධක අරමුදලට හිස්වනු ඇති බවය. මෙරට බැංකුකරුවෝද මෙවැනිම අදහසක් ප්‍රකාශ කර තිබිණි. මෙහි අනතුරක් තිබේ. ඒ පසුගිය කාලයේ හිටපු මහදැන මුත්තන් හිටි හැටියේ රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර නාඩගම නැටුවා සේ වැඩ කරන්න ගියොත්ය. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යංශයත්, මහ බැංකුවත් මෙහිදී කටයුතු කරන්නේ එවැනි කඩි කුලප්පුවකින් නොවේ. සිදුවන අනතුරු වලක්වා ගැනීමට ක්‍රමවේද තිබේ. නැතිනම් ක්‍රමවේද අලුතෙන් සැකසිය යුතුය. සියළු පාර්ශ්ව සමග සාකච්ඡාවෙන් එකඟතාවයකින් සියල්ල නිමිත පරිදි කිරා මැන බලමින්ය. වසරකට පෙර රට තිබු තැනින් ගොඩගත්තේ එසේය. එම නිසා බිල්ලන් මැවීමෙන් හෝ එක් පාර්ශ්වයක් බේරාගැනීමට පමණක් කතා කිරීමෙන් මේ ගැටළුව විසදාගත නොහැක. විසඳුමක් අනිවාර්ය වි තිබෙන තත්වය තුළ ඒ විසඳුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සොයාගත යුතුය.

අනෙක් ගැටලුවක් ලෙස විපක්ෂ දිගින් දිගටම මතුකරන්නනේ රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙනි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම නැමැති තාක්ෂණික වචනයෙන් කියවෙන්නේ ඒවා තවදුරටත් රජයට නැතිනම් ජනතාවට බරක් නොවන ලෙස සහ නැවත ලාබ ලබන ආයතන බවට පත් කිරීම ගැනය, රාජ්‍ය ආයතනයකට ලාබ ලැබිය හැක්කේ එක්කෝ රාජ්‍ය ඒකාධිකාරය යටතේ හෝ වෙළඳපොළ තරගකාරිත්වය දැඩිව පාලනය කිරීම යටතේය. ඉතිහාසය පිරික්සා බැලු‍ විට රාජ්‍ය ආයතන ලාබ ලැබුවේ වෙළඳපොළ ඒකාධිකාරයක් පවත්වාගෙන යෑම තුළය. පෞද්ගලික අංශයේ මැදිහත්වීම වලක්වමිනි.

නමුත් මේ නිෂ්පාදන පිරිවැයට අනුව එම නිශ්පාදන වෙනුවෙන් මිල ගෙවීමට ජනතාවට ඇති හැකියාවේ තරම සහ එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලු‍ම මත එම ව්‍යාපාරයේ පැවැත්ම තීරණය වෙයි. රාජ්‍ය ආයතන පාඩු ලබන තත්වයට පත් වන්නේ මිල අධිකකම, ගුණාත්මකභාවයේ ප්‍රශ්න සමග ඉල්ලු‍ම පහත වැටීමෙනි. එසේම මෙරට වෙළඳපොළ ඉල්ලු‍ම සපුරාලීමට තරම් සැපයුමක් දීමට නොහැකිවීම නිසාද කඩා වැ‍ටුණු ආයතන තිබිණි.

එමෙන්ම අද ලෝකය සමඟ විවෘත ගනුදෙනුවක් කරගෙන යන යුගයක මේ සෙල්ලම තවත් කළ නොහැක. මෙරට නිෂ්පාදනවලට වඩා ගුණාත්මක සහ මිල අඩු නිෂ්පාදන ආනයනය කිරීමට හැකියාව අද තිබේ. සේවා අංශ ගත්තත් රාජ්‍ය සේවාවන්ට වඩා ඉහළ ප්‍රමිතියෙන් කඩිනම් සේවා සැපයීමේ හැකියාව පෞද්ගලික අංශයට තිබේ. තරගකාරී වෙළඳපොළ තුළ දී තරගය නිසාම මිල පාලනයත් සිදුවේ. මේ නිසා අධික පිරිවැයක් යොදවා කරන නිෂ්පාදන හෝ සේවා සත්‍ය වශයෙන්ම රාජ්‍ය ආදායම් නිකරුනේ නාස්ති කිරීමක්ද වෙයි. මෙම ආයතන පාඩු ලබන විට ඒ සියලු‍ බර රජයටය. අද වන විට සිදුව ඇත්තේ රාජ්‍ය ආයතන පොදුවේ දරණ දැවැන්ත පාඩුව රාජ්‍යයට නැතිනම් ජනතා බදු මුදලින් පියැවීමට සිදුවීමය.

රාජ්‍ය ඒකාධිකාරිය යටතේ අප අත්පත් කරගෙන තිබුණේ මහා පාඩු කන්දකි. ජාතික සම්පත් ලෙස සුරැකීමට
ඉතිරිව ඇත්තේද මේ ගරා වැටුණු ආයතන සමූහයක් සහ පාඩු කන්දය. නමුත් වෙළඳපොළ තරගකාරිත්වය යටතේ රාජ්‍ය ව්‍යාපාර කිරීම රජයට පහසු නැත. පෞද්ගලික අංශයේ තරගකාරීත්වයට මුහුණදීම පවතින රාජ්‍ය යාන්ත්‍රණයේ හැඩගැස්ම අනුව කළ නොහැක. අද මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා වන්නේ මෙම වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණදීම වෙනුවෙන් නව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දී මෙම ආයතන රජයයෙන් නඩත්තු වෙනවා වෙනුවට එම ව්‍යපාර ස්වභාවය වෙතින්ම නඩත්තු වෙමින් ලාබ ලබන තැනකට පත්කර රජය මත පැටවී ඇති අනවශ්‍ය බර නිදහස් කරගැනීම වෙනුවෙනි.

එතැන දී ලාබ ලබන හෝ ලාබ නොලබන කියා වර්ග කිරීමක් නැත. රජයේ ප්‍රතිපත්තිය රජය ව්‍යාපාර නොකළ යුතුය යන්නය. නමුත් මෙය දැඩි තීන්දුවකි. මන්ද එසේ කියමින් රජයට මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇති වගවීමෙන් නිදහස් විය නොහැකි නිසාය. ඒ නිසා රජය ජනතාව වෙනුවෙන් මැදිහත් විය යුතු නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍ර තිබේ. රජයට වක්‍රව හෝ ඒ සඳහා මැදිහත්වීමේ අවස්ථාව තබා ගත යුතුය. ඒ කියන්නේ දෙපැත්තම බේරාගත යුතු බවය.

ඒ කොහොම නමුත් රජයේ ප්‍රතිපත්තිමය තීරණය ගැන වන සාකච්ඡාව පැත්තක තබා ‘පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තැනට පත් කළ යුතුමය… ලාබ ලබන ආයතන නොවිකිණිය යුතුමය… රජය ව්‍යාපාර නොකළ යුතුමය… ආදී වශයෙන් සටන් පාඨ ගෙනහැර පෑමෙන් සිදුවන්නේ ගැටලු‍වට ඇති විසඳුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවට අවසානයේදී එළුවාගේ බෙල්ල කැපීමට මහදැන මුත්තා ගත් තීන්දුව ක්‍රියාත්මක වන තැනට පත්වීමය. රජය යෝජනා කරන්නේ එළුවාත් මුට්ටියත් දෙකම බේරා ගැනීමේ ක්‍රමවේදයකි. නමුත් පිරිසක් මුට්ටිය බේරගන්නත් තව පිරිසක් එළුවා බේර ගන්නත් පෙනී සිටීයාට විසඳුම විය යුත්තේ දෙපැත්තම බේරා ගැනීමය.

මේ නිසා රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කවරෙක් නමුත් රට බංකොලොත් භාවයෙන් මුදවා ආර්ථිකය ශක්තිමත් කිරීම, රටේ අනාගතයත් ජනතාවගේ සුබ සිද්ධියත් වෙනුවෙන් වන නිවැරදිම විසඳුම, නිවැරදි ක්‍රමවේදයට ක්‍රියාත්මක කළ යුතුව ඇත. එසේම වැදගත්ම දේ නම් දෙපැත්ත බෙදී පාර්ශ්විකව තමන්ට වඩා වාසි ඇති දේ වෙනුවෙන් පමණක් කෑ කෝ ගැසීම නොවිය යුතුවීමය. එසේම ගැටළුව විසඳීම සඳහා පරිචයක් ඇති අයට ඒ සඳහා ඉඩ දීමය. ඒ වෙනුවෙන් සහයවීමය. ජනාධිපති රනිල් නිරන්තරයෙන් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ මහදැන මුත්තන් නොවී නියම විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන ඒ සහයෝගයය.

– ඝෝෂක