යන එන මං නැති විපක්ෂයේ අලුත් උගුල්

0

එළඹෙන 24 වැනි දින මහජන උපයෝගිතා ‌කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති යෝජනාව සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබීම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන බවට විපක්ෂය මත නිර්මාණය කරමින් තිබේ. ඇතැමෙකු මෙය මහින්ද රාජපක්ෂ යුගයේදී හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකව ඉවත් කිරීම සඳහා කළ මෙහෙයුමට සමාන කරන අතර මහින්දගේ ආණ්ඩුව බිඳ වැ‍ටුණේ ඒ නිසා යැයිද එම නිසා ජනක රත්නායකව ඉවත් කළොත් මේ ආණ්ඩුවද බිඳ වැටෙනු ඇතැයි ස්වයං මෝහනයක සිටී. එදා අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී මෙන්ම සදාචාරාත්මක නොවූ හුදු දේශපාලනික තීන්දුවක් විය. ඇයට මෙන්ම ස්වාධීන අධිකරණ පද්ධතියටද කළ අපහාසයක් මෙන්ම අභියෝගයක්ද විය. නමුත් එම තත්වයන් හා මෙම ජනක රත්නයකගේ සිදුවීම සමාන වන්නේ නැත. මෙහිදී මතු පිටින් පෙනෙන කරුණ නම් එදා අගවිනිසුරුවරිය රාජපක්ෂ රජය ගත් වැරදි පියවරයන්ට එරෙහිව රටේ නීතිය ප්‍රකාරව නිවැරදි තීන්දුදීම මඟින් වූ විරසකය මෙන්, මෙවර ජනක රත්නායක විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටීම නිසා ආණ්ඩුව විසින් ඔහුව ඉවත් කිරීමට පියවර ගැනීම සමාන අවස්ථා දෙකක් බවය. නැත. එය එසේ නොවේ. ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විදුලිය සහ ඉන්ධන සම්බන්ධයෙන් විටින් විට කරන ලද ප්‍රකාශයන්හී සත්‍යතාවයන් නැති බව මේ වන විටත් ඔප්පු වී ඇති දෙයකි. ඒ ගානට අරන් මේ ගානට දෙන්න පුළුවන් කියමින් කරන ඔහුගේ ගණන් හැදීම සරල ගණිතය අනුව නිවැරදි විය හැකි වූවත් රට සහ අදාල ආයතන මුහුණ දී ඇති සංකීර්ණ තත්වයන් හමුවේ විකාරයකි. විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් වන පිරිවැය සලකා බැලූ විට මෙතුවක් කලක් විදුලිය සපයා තිබුණේම රජය මිල සහනයක් නැතිනම් පාඩුවක් දරාගෙන බව පැහැදිලිව නිශ්චිතව පෙන්වා දෙනු ලැබ තිබෙන කරුණකි. ඒ අනුව එම පාඩුව තවදුරටත් වලක්වා ගැනීමට නම් විදුලි බිලෙහි වැඩි කිරීමක්වීම අනිවාර්ය තත්වයකි. හදිස්සියේ විදුලි බිල වැඩිවීම පාරිභෝගික ජනතාවට දරාගැනීමේ අපහසුවක් ඇති බව ඇත්තය. එහෙත් රටක් ලෙස මේ මොහොතේ මුහුණ දෙන සංකීර්ණ අර්බුදය හමුවේ එයින් ගැළවීමට නම් රජය දරණ දැවැන්ත පාඩුව පියවා ගැනීම සඳහා මේ දුෂ්කර පියවර ගැනීමට රජයට සිදුවිය. එයත් රටේ ජනතාව වෙනුවෙන් ගත් පියවරක් මිස වෙන මගඩියක් නොවේ. රට ගොඩගැනීමට නොහැකි වුවහොත් විදුලිය පමණක් නොව අනෙකුත් සියලු‍ ක්ෂේත්‍ර බිඳ වැටි සිදුවන විනාශයේ තරම ගැන ජනතාවට අවබෝධයක් මේ වන විට තිබිය යුතුය. මීට වසරකට පෙර යුගයේදී අත්දැක්කෙ එහි ප්‍රාථමික අවස්ථාවක් පමණි. එයින් යන්තම් ගොඩ ඒමෙන් පසුව දැනුන සහනය කෙතරම්ද කියා දන්නා ජනතාවට ඊට වඩා අමාරු තත්වයක් යටතේ ජීවත්වීමට සිදුවීම් ගැන සිතා ගැනීමේ අපහසුවක් නැත. එසේම රජය මේ වන විට ගනිමින් තිබෙන පියවරයන් ඉලක්ක වනුයේ තවදුරටත් වන අනෙක් පීඩාකාරිත්වයන් ගෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම වෙනුවෙනි.

මෙහිදී රත්නායක තමන්ගේ පැත්තෙන් පමණක් සලකා බලා කොමිසමේ රාජකාරිය මෙය යැයි ඔහු විසින් සකසා ගත් සීමාවක් තුළ හිතුවක්කාරීව කටයුතු කරන්න යෑමෙන් සමස්ත රජයම ගැටළුවකට මුහුණ දී තිබිණි. රජය කෙතරම් කරුණු කාරණා සියළු දත්ත තොරතුරු සහිතව අනාවරණය කර තිබුණත් රත්නායක කටයුතු කළේ තමන්ගේ බුද්ධියේ පමණට හිතුවක්කාර තීරණ මත හිඳිමිනි. පසුගිය කාලයේ මැතිවරණ කොමිසමද පෙන්නුවේ මේ අඳ බාල ක්‍රියාපිළිවෙතමය.

රටට ස්වාධීන කොමිසම් සභා ක්‍රමයක් සකස් කළේ මෙලෙස පිස්සු කෙළීමට නොව රජයටත් වඩා වගකීම් සහගතව ජනතාව වෙනුවෙන් නිවැරදිව කටයුතු කරන්නටය. රජයෙන් වන අඩුපාඩු සකසා වඩා නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමටය. කොමිසම් සභාවක්ට යම් බලයක් පවරා ඇත්තේ එහි සභාපතිට හිතුවක්කර තීරණ ගන්නටද නොවේ. එහි අනෙක් සාමාජිකයන්ගේ සහභාගිත්වය ඇතිව ඒකමතික තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතුය. නමුත් මෙහිදී එවැන්නක් ද තිබුණේ නැත. අනෙක් සාමාජිකයන් නොදැන ඔවුන් හා සාකච්ඡා නොකර සභාපතිවරයා තමන්ගේ හිතු මනාපෙට දේවල් කරමින් කියමින් මාධ්‍ය සංදර්ශන කරමින් සිටි අයුරු දකින්නට තිබිණි. ඒ අනුව මෙහෙම කොමිසම් සභා පවත්වගෙන යෑමෙන් රටට අවැඩක් මිස යහපතක් ඇත්තේ නැත. රටක විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය කියන බල කණු අතර බල තුලනයක් ඇතිවන ලෙස සකසා ජනතාවගේ පරමාධිප්‍ය බලය ක්‍රියාත්මක වන ලෙස සකසා ඇත්තේ ඒ එක් එක් ආයතනවලට හිතු හිතු පරිදි කටයුතු කිරීම වැලැක්වීමටය. ජනාධිපති ධුරයට පිස්සෙක් මෝඩයෙක් පත්වූ විට සිදු විය හැකි අනතුරු පාලනය කරන්නට අනෙක් ආයත්න දෙකට හැකියාව ඇත. එය එසේ නොවුණහොත් සිදු විය හැකි විනාශයන් ගැනද පසුගිය කාලයේ අත්දැකීම් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීන්දු තීරණ ගැන අනෙක් ආයතනවලින් බලපෑමක් නොවුණ තැන සිදුවූ විනාශය අප දනිමු. අවසානයේදී ජනතාව විසින්ම බල කණු තුනෙහි බලය ප්‍රතික්ෂේප කර ජනාධිපතිවරයාව බලයෙන් පහ කරන තැනට පත් විය.
එය නිවැරදි යැයි කියන විපක්ෂ කණ්ඩායම් අද රත්නායක කරන පිස්සු කෙලීම්වලට එරෙහිව ව්‍යවස්ථානුකූලව නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ ගන්නා පියවර වැරදි යැයි කීම විකාරයකි. වගකීම් සහගත ලෙස කටයුතු නොකරන ආයතන ප්‍රධානින් ඉවත් කර ඊට වඩාත් සුදුසු නිලධාරීන් පත් කිරීමේ හැකියාව හෝ වඩාත් නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඒ ඒ තලවලදී විධායකයට, ව්‍යවස්ථාදායකට සහ අධිකරණයට තිබේ. ඒ අනුව කටයුතු කිරීම වරදක් නොවේ. ඒ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන විදිහය. එදා ශිරාණි බණ්ඩාරනායකව ඉවත් කරනු ලැබුවේ එලෙස නොවේ. එය නෛතික හා සදාචාර විරෝධී දේශපාලනික තීන්දුවක් විය. විපක්ෂය මෙම සිදුවීම දෙක සමාන කරගෙන මේ මොහොතේ ආණ්ඩු විරෝධිවීමට ගන්නා තකක්ඩි උත්සාහය ඔවුන්ගේද ඇති බංකොලොත්කම ප්‍රදර්ශනය කිරීමකි.

මේ අතර දේවගැතිවරයෙක් යැයි කියන පුද්ගලයකු බුදුන් වහන්සේ සම්බන්ධයෙන් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද උණුසුම් තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත. බුදු දහමට අපහාසයක් කළා යැයි කියමින් බුද්ධාගමේ නිල ආරක්ෂකයන් ලෙස පෙනී සිටින ආගම්වාදී තක්කඩියන් පිරිසක් මේ ඝෝෂාව පෙරට ගනිමින් ඇත. මේ කියන පුද්ගලයා කළ බව කියන ප්‍රකාශයෙන් බුදු දහමට අපහාසයක් වන්නේද නැද්ද යන්න රටේ මේ මොහොතේ පවතින නීතියක් යටතේ විභාග කර අධිකරණයට යම් තීන්දුවක් දිය හැකිය. එසේම රජයට ද ආගමික ප්‍රජාවකට එරෙහිව යමක් සිදුවන විට ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට සිදුවේ. ඒ ආගමික නිදහස ආරක්ෂා කිරීමට සහ මහජන සාමය වෙනුවෙනි. ඒ කෙසේ නමුත් බුදු දහම අනුව එලෙස තීන්දුවක් තබා එලෙස පැමිණිල්ලක්වත් ගොනු කළ හැකිද කියන ප්‍රශ්නය ඇතිවේ. බුදුන් වහන්සේ තමන්ට එරෙහිව වන කවර විවේචනයක් අපහාසයක් බධා කිරීමක් ඉවසුවා මිස ඊට එරෙහිව ගියේ නැත. සතුරාටත් මෛත්‍රියම කරන ලෙස ඉගැන්නුවා මිස පෙරළා පහර දෙන්නැයි දේශනා කළේ නැත යේසුස් වහන්සේ පවා දේශනා කළේ වම් කම්මුලට පහර දුනහොත් දකුණු කම්මුලත් හරවන්න කියා මිස නඩු දාන්න යැයි නොවේ.

කොහොම නමුත් අද ආගම යන්න ව්‍යාපාරික ආයතනයක් නැති නම් ජාවාරම්කාරී තකක්ඩියන්ගේ යැපුම් මාර්ගයක් වන තැනට පත්ව තිබේ. ආගමික විශ්වාසයන් දඩමීමා කරගෙන එය තමන්ගේ බඩගෝස්තරය කරගත් වසලයන් අද බහුලය. තමන්ගේ ආගමට අපහාසයක් සිදු වෙනවා යැයි කියමින් අන් ආගමකට ඇඟිල්ල දිගු කරන බහුතරය මේ වසලයන්ය. නමුත් තමන් සිටින තැන නිවැරදිද කියා බලන්නේ නැත. තමන්ගේද දායකත්වය අනුමැතිය යටතේ තමන්ගේ ආගමික සංස්ථාව තුළ සිදුවන නොපනත්කම් ගැන සොයා බැලමක් නැත. තමන්ගේ ආගමික ශාස්තෘවරයාට හෝ ඒ ධර්මයට අපහාස වන ඊට හානි වන විකෘතතා ආදිය ඒ තුළින්ම සිදුව ඇතිදැයි විමසන්නේ නැත. අද බුදු දහම මැයෙන් ඇතැම් සංඝයා වහන්සේලා මෙන්ම කිතුනු දහම හෝ ඉස්ලාම් දහම මැයෙන් විවිධ පූජකයන් විසින් කරමින් තිබෙන විගඩම් හා අන්තවාදී කටයුතු මගින් ආගමට වැඩිම හානියක් කරමින් සිටින්නේ කවුරුන් විසින් ද බව පසක් කරගැනීමේ හැකියාව පහසුවෙන් තිබේ.

ඒ කොහොම වෙතත් මෙම ආගමික ප්‍රශ්නවලට වඩා රජයට බේරාගන්න වැදගත් බරපතල ප්‍රශ්න තිබේ. අහක යන කුණු කසල ගොඩවල් බදාගෙන රජයකට කටයුතු කළ නොහැකිය. මේවා දේශපාලන ප්‍රශ්න බවට පත්නොවන තැනට සමනය කරගැනීමට නම් රජය පරිණත විය යුතුය. මෙම ප්‍රශ්නය ඔඩු දුවන එක නතර කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පුර්ණ පරික්ෂාවක් සිදුකර ආගමික විගඩම්වලින් සමාජය නොසන්සුන් කරන තැන දක්වා නොයැවීමට පියවර ගෙන තිබේ.

මේ සතියේ වැඩි අවධානයක් ගත් මාතෘකාව මේ ආගමික ප්‍රශ්නය බවට පත්ව තිබුණද මේ දිනවල දේශපාලන පිටියද උණුසුම් වෙමින් තිබේ. මැතිවරණයක් ආසන්යේ නැති වූවද දේශපාලන පෙරෙළි සිදුවෙමින් තිබේ. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ උප සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය නායකයන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයාට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සිදුව ඇත. රට පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ මේ ප්‍රවණතාවය දකින්නට ලැබෙමින් පවතී. කොහොම නමුත් ජනාධිපතිවරයා බංකොලොත් වූ රට යළි ගොඩගැනීමට සමත්වීමත් දියුණු සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔස්සේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් ගෙන තිබෙන පියවරයන් සම්බන්ධයෙන් සබුද්ධික ජනතාවගේ ප්‍රසාදය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. ඒ අනුව සජබ පාක්ෂිකයන් පමණක් නොව අනෙක් දේශපාලන පක්ෂවල පාක්ෂිකයන් හිතවතුන් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබමින් තිබේ. ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු දිගින් දිගටම ගනිමින් ජනාධිපතිවරය කටයුතු කළද එම නිවැරදි පියවරයන් නිසා ජනාධිපතිවරයා ජනප්‍රිය වෙමින් සිටින බවත් පැහැදිලිය.

මේ වර්ධනයන් විපක්ෂයට දරා ගැනීමට අපහසුව තිබෙන බවත් ඉතාම පැහැදිලිව පෙන්නුම කර තිබේ. රජයේ වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමේ උත්සාහයන් රැසක දියත් කර තිබුණු බව යළි මතක කරන්න තරම් දේ නොවේ. නමුත් ඒ සියල්ල අසාර්ථක වී විපක්ෂය දේශපාලනික වශයෙන් කුජිත වූ බවත් කිව යුතු නොවේ. දැන් පතුරු පිටින් ගැලවී විපක්ෂය සෝදා පාළු‍වට ලක්වීමට තවත් එක හේතුවක් වී ඇත්තේ මේ විපක්ෂය විසින් තමන්ගේ පාක්ෂිකයාවත් රවටමින් බොරු කතන්දර සමාජ ගත කරමින් සිටි බව හෙළිවීම නිසාය.

විපක්ෂයට සත්‍ය ලෙසම රට මුහුණදෙන අර්බුද හමුවේ ඊට විසඳුම් ලෙස කිසිවක් කියන්න තිබුණේ නැත. හුදු විවේචනයම පමණක් සිදු කළේ රටේ නැති බිල්ලන් මවමින් නැති අර්බුද මවමින් කළ ජඩ දේශපාලනය හෙළිවීමෙන් සමස්ත විපක්ෂයම අර්බුද්යකට ගොස් ඇති බව පැහැදිලිය. සජිත් පසුගියදා තමන්ගේ මිතුරු කල්ලිය කැඳවා එළැඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ එකම පොදු අපේක්ෂකයා බවට ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීමෙන් පෙනී යන්නෙ ඔවුන් මුහුණ දී තිබෙන අර්බුදයේ තරමය. ජනාධිපතිවරණයක් පෙනෙන තෙක් මානයක නැති කාලයක මෙහෙම තීන්දු ගන්න සිදු වන්නේ තවදුරටත් පක්ෂයේ ඉතිරිව සිටින පිරිසට මැතිවරණ බලාපොරොත්තුවක් දී රඳවා ගැනීම වෙනුවෙනි.

අඩුම තරමින් තමන්ට පසුගිය මැතිවරණවලදී ඡන්ද ලැබුණේ කෙසේදැයි ගැනවත් අවබෝධයක් තිබෙනවා නම් සජිත් මෙහෙම කතා කියන්නේ නැත. එදා සජිත්ගේ සහයට සිටි ප්‍රබලයන් විශාල පිරිසක් දැනටමත් සජබය අත්හැර ගොසිනි. ඉතුරුව සිටින පිරිසෙනුත් වැඩි හරියක් සිටින්නෙ ජනාධිපති රනිල් සමඟය. ඒ අය අවශ්‍ය වෙලාවෙදී තමන්ගේ ඇත්ත පාක්ෂිකත්වය පෙන්වනු ඇත. ඒ අනුව සජිත්ට සිදු වන්නේ කුමක්ද යන්න ගැන කිව යුතු නැත. එසේම ජනතා විමුක්ති පෙරමුණ හෝ වේවා අනෙක් දේශපාලන පක්ෂයකින් සන්ධානයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ හෝ තත්වය මීට වඩා ඛේදනීය වෙනු ඇත.

ජනාධිපති රනිල් මේ විපක්ෂ කට්ටියටම මල් වට්ටියට අත ගසා තම තමන්ගෙ ජාමෙවත් බේරා ගන්නා ලෙස මිට පෙර අවස්ථා ගණනාවකදී කියා ඇත. මන්ද ඉදිරියේ සිදුවන දේශපාලන පෙළගැස්ම ගැන ඔහුට ඇති ඉව නිසාය. රනිල් වැඩ කරන්නේ, තීන්දු ගන්නේ කෙටි ඉලක්ක අනුව නොවේ. ඔහු දාම් ලැල්ලේ ඉත්තො අදින්නේ එළඹෙන මොහොතක පළාතක්ම කපාගෙන සුද්ද කරගෙන යන්න බලගෙනය. රනිල්ගේ දේශපාලන ඉතිහාසය එහෙමය. එහෙම නොවුනා නම් තනි මන්ත්‍රී ධුරයක් තියාගෙන මේ රටේ ජනාධිපති වන්නට ඔහුට නොහැකිය. ඒ මොහොත එන බව ඔහු කල් තියා දැනගෙන ඒ අනුව කටයුතු කළ බව දේශපාලනයේ අභ්‍යන්තර කවයන්ට රහසක් නොවේ.

කොහොම නමුත් ජනපති රනිල්ගේ දේශපාලනය එහෙම පහසුවෙන් ගොඩ නැගුනක් නොවේ. ඊට වූ බාධා කිරීම එමටය. අදත් එය ඉතාම ප්‍රබලව සිදුවෙමින් තිබේ. අද ජනක රත්නායක ඉවත් කිරීමට එරෙහිවීම, ආගමික ගැ‍ටුමක් නිර්මාණය කිරීම කැසකැවීම වෙනුවෙන් යම් යම් පාර්ශ්ව අර අදින්නේද ඒ වෙනුවෙන් විය හැකිය. යන එන මන් නැතිව සිටින ඇතැම් ආගම්වාදී ජාතිවාදී පාර්ශ්ව මේ වන විටත් මේ ආගමික ප්‍රශ්නය පෙරට ගෙන එය දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් යොදාගැනීම අරම්භ කර ඇත. ආගම සම්බන්ධයෙන් ජනතාවට තිබෙන සංවේදිකම නිසා ඉතා පහසුවෙන් මෙ දුෂ්ඨයන්ට රට අවුළු‍වාලිය හැකිය. මේ උගුල්වල නොපැටලී සිටීමට නම් ජනතාව වඩාත් බුද්ධිමත් විය යු‍තුසේම රජයද වඩාත් සුක්ෂමව මෙම ප්‍රශ්න සමනය කරදැමීමට සමත් විය යුතුය.

– ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *