සර්ලා ආවම අපි මැච් එක දිනනවා

0

එබ්‍රහම්ගෙන් පිළිතුරු

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය වසර 30ට වැඩි කාලයක් තිස්සේ ඇදෙමින් පවතින ගැටළුවකි. ජනපති රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙසත් විපක්ෂ නායක ලෙසත් 13 ගැන දැරූ ආකල්පයේ වෙනසක් වූවේ නැත. ජනපති වූ පසුත් ඔහුගේ අදහස වූවේ මේ ගැටළුව කෙසේ හෝ විස`දිය යුතු බවකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බැවින් 13 වැනි සංශෝධනය කිසිවෙකුට වෙනස් කළ නොහැකි බව ජනපති කීවේ ඒ නිසාය.

පළාත් සභා බල ගන්වන්නේද නැතිද යන්න තීන්දු කළ යුත්තේ පාර්ලිමේන්තුව බව ජනපති රනිල් දැඩිව විශ්වාස කරන්නකි. එබැවින් සිය ජනාධිපතිධූර කාලය තුළ මේ තීන්දුව ගැනීමට ජනපති රනිල් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවට තම ස්ථාවරය ඉදිරිපත් කළේය. 13 බලාත්මක කිරීම වෙනුවෙන් කරුණු 10 කින් යුතු යෝජනාවලියක් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ අනුවය.

සර්ව පාක්ෂික සමුළුවේ අදහස් ද කැටිකර ගනිමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බව ජනපති කල් තියාම රටට දැනුම් දී තිබුණ ද බදාදා පර්ලිමේන්තුවට දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රබලයන් පැමිණ සිටියේ නැත. ජනපති රනිල් බදාදා පාර්ලිමේන්තුවට ගියේ ඔහු 13 සම්බන්ධයෙන් දරණ ස්ථාවරය පිළිබඳ ලේඛන ගොන්නක් ද රැගෙනය.

පාර්ලිමේන්තු පැමිණි ඔහු කෙලින්ම ගියේ සභාගර්භය වෙතය. 13 ගැන සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ප‍්‍රශ්න නගන්නට වූ අතර ඒ සියල්ලටම ජනපති ලග පිළිතුරු තිබුණේය. විපක්ෂ නායක සජිත් ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන්ගේ ප‍්‍රකාශයක් උපුටා දක්වද්දී ජනපති රනිල් ඔහු ප‍්‍රාන්ත සභා විසුරුවා හැරි ආකාරය ඇමරිකානු ඉතිහාසය සිහිපත් කරමින් දුන් පිළිතුර ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශංසාවට හේතුවිය.

එහෙත් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමඟ සිද්ධාර්ථන්, අඩෙක්කලනාදන් වැනි දමිළ පක්ෂ නායකයින් සිටියද ඔවුන් කිසිවක් ජනපතිගෙන් විමසා සිටියේ නැත.  විග්නේෂ්වරන්, සුමන්තිරන්, රාසමානික්කම් වැනි මන්ත‍්‍රීවරු ඒ මොහොතේ සභාවේ නොසිටීම ද කැපී පෙනිණි.

පැයකට ආසන්න කාලයක් සභාවේ රැදි සිටි ජනපති රනිල් ඉන් පිටවී එද්දී ලොබියේ රැදී සිටි ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත‍්‍රීවරු ජනපති වට කරගත්තේය.

”මොනවද අර විපක්ෂ නායකතුමා කියන්නේ. එතුමා කොලයක් බලාගෙන ඒබ‍්‍රහම් ලින්කන් කියපු කතාවක් කියද්දී සර් දුන්නානේ ලින්කන් නිෂේදනය කරපු නඩු තීන්දුවක් ගැන කතාවක්.” ඇමති චාමර සම්පත් කී ආකාරයට පිරිසට සිනහව නතරකර ගත නොහැකි වූහ.

”ජනාධිපතිතුමාගේ 13 හින්දා එයාලා හිර වෙලා ඉන්නේ. සුමන්තිරන් උත්සාහ කළේ විපක්ෂය එකතු කරන්න. හැබැයි දැන් දිගටම බෙදෙන එක තමයි වෙන්නේ.” ඇමති ප‍්‍රසන්න රණතුංග කීවේ එවැන්නකි.

”විපක්ෂයේ කවුරු ගාවවත් හරි පිළිතුරක් තිබුණේ නෑ. විපක්ෂ නායකතුමාට තිබුණේ නිෂ්ශබ්ද වෙලා යෝජනාවලිය අධ්‍යයනය කරලා කතා කරන්නයි.” එහි සිටි විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු කීවේ බැ?රුම්වය.

”ජනාධිපතිතුමා මෙතනදි කරුණු තුනකින් විපක්ෂය හිර කළා.  එකක් 13 වැනි සංශෝධනයට යෝජනා ඉදිරිපත් කරපු එක. අනෙක කතානායකතුමා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරලා පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන කියපු එක. තුන්වෙනි එක

විශ්වාසභංගයට ජනාධිපතිතුමා දින දුන්නත් විපක්ෂ නායක ලෙස සජිත්ට එකඟ වෙන්න බැරි වුන එක. විපක්ෂයට නිවැරදි උපක‍්‍රමයක් තිබුණේ නෑ මේවට මුහුණ දෙන්න.” මන්ත‍්‍රී වජිර කියද්දී සැවොම හිස සැලූ‍හ.

”විපක්ෂයේ ප‍්‍රධානීන් කවුරුවත් හිටියේ නෑ. චම්පිකලා වගේ අය නැගිටලා ගියා. ජනාධිපතිතුමා බලයට ඇවිත් අවුරුද්දක් යනකොට ඇතිවෙච්ච වෙනස කොහොමද? ”මහාචාර්ය ආශු මාරසිංහ කීවේ කට කොනකට සිනාවක් ද එක් කර ගනිමිනි.

”එදා ආණ්ඩුව ගන්නත් බය වුනා. අද විශ්වාසභංගයටත් බය වුනා. හැම එකටම ඡුන්දයක් ඉල්ලන එක තමයි මෙයාලා කරන්නේ. මිනිස්සුට ඡුන්දයක් වැඩක් නෑ.” ඇමති ශෙහාන් ද කතාවට එක්වූවේ එලෙසිනි.

”දෙමළ සන්ධානයේ බෙදීමත් පැහැදිලිව පෙනුනා. අනෙක විග්නේෂ්වරන් කියන දේ ජනාධිපතිතුමාගේ යෝජනාවල තියෙනවා. ඒ නිසා එයාලගේ අනෙක් අය ආවේ නැද්ද දන්නේත් නෑ.” ආශු කීවේ සිනාසෙමිනි.

”හර්ෂණ මැදින් පනිද්දි එයා ගැන සර් කියපු දේ ගොඩක් අයට තේරුණේ නෑ.” ඇමති සියඹලාපිටිය විමසුවේ අනෙක් පිරිස ද හිස සලද්දීය.

”ඇයි ඔයාලා දන්නේ නැද්ද එයා මහින්ද ජනාධිපතිතුමාගේ ඥාතිනේ.” කියමින් ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව යන්න සැරසෙද්දී වීරසුමන වීරසිංහ මන්ත‍්‍රීවරයා එහි පැමිණියේ 13 ගැන කොමියුනිස්ට් පක්ෂයේ යෝජනාවලිය භාරදීමටය.

”ප‍්‍රතිවිරුද්ධ අදහස් තියෙන දෙන්නෙක් එක ලග වාඩිවෙල ඉන්නවා නේදැයි” වීරසුමන මන්ත‍්‍රීවරයාගෙන් විමසමින් ජනපතිවරයා පිටත්ව ගියද මන්ත‍්‍රීවරුන්ට මතුවූ ඒ ගැටළුව විසදුවේ ආශු මාරසිංහය.” ඇයි ගෙවිදු මන්ත‍්‍රිතුමයි මෙතුමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ එකතැනනේ.” ආශු කියද්දි සැවොම කොක් හැඩලූහ.

විශ්වාසයෙන් හැදුණු ආත්ම විශ්වාසය

ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා කොළඹ රාජකීය විද්‍යාල ක‍්‍රීඩාංගණය වෙත ගියේ ”බ‍්‍රැඞ්බි පලිහ” රග්බි තරඟය නැරඹිමටය. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක ඇතුළු රාජකීය ආදි සිසුන් රැසක් ඊට සහභාගී වී සිටියහ. කුසලානය රාජකීය විද්‍යාලය දිනාගැනීමට ප‍්‍රථම ඒ අසලට ආ සිසුන් පිරිසක් ජනපති හා සාගල රත්නායක දෙස බලමින් කීවේ සර්ලා අපේ මැච් බලන්න එනවට අපි කැමතියි කියාය. දෙදෙනා මුහුණට මුහුණ බලද්දි අසල සිටි ආදී සිසුවෙක් කීවේ ”සර්ලා ආවම අපි මැච් එක දිනනවා කියලා දරුවෝ අතර විශ්වාසයක් තියෙනවා” කියාය.

ස`දුදා සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර සමනල වැව ජලය ගොවීන් වෙනුවෙන් නිකුත් කිරීම ගැන මෙහිදි සාකච්ඡුා කෙරිනි. ජලය නිකුත් කිරීමේ තීන්දුව හා අඛණ්ඩව විදුලිය ලබාදීමේ තීන්දුව ගැනුණේ මෙහිදීය.

ඉන් පසුව පැවැති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම වෙත ද ජනපති රනිල් මේ තීන්දුව දැනුම් දුන්නේය.  විදුලිබල ඇමති කාංචන විදුලිය ගැටළුව ගැන පැහැදිලි කීරිමක් කළේය. එහිදි රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා විසින් ඉදිරියේදි ගෙන ඒමට නියමිත කැසිනෝ බදු වැඩි කිරීමේ පනත් කෙටුම්පත් ගැන පැහැදිලි කිරීමක් කළ අතර ඒ ගැන වැඩි වශයෙන් කරුණු විමසන්නට වූවේ ඩයනා ගමගේ, ප‍්‍රසන්න රණවිර හා නලීන් ප‍්‍රනාන්දු යන ඇමතිවරුය.

ඔවුන් විසින් ලෝකයේ රටවල් උදාහරණ ලෙස ගනිමින් මුදල් අමාත්‍යාංශ හා ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරද්දී ඒ දෙස බලා සිටි ජනපති හා අගමැති දෙපළ මුහුණට මුහුණ බලා ගනිමින් කීවේ

”අපිට නම් මේවා තේරෙන්නේ නෑ” කියාය.

කෙටුම්පත අවසන් කර නොමැති බවත් මැති ඇමතිවරු ඉදිරිපත් කළ කරුණු තවදුරටත් අධ්‍යයනය කරන බවත් රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා කියද්දී ජනපති රනිල් කීවේ ඔව් මේ මැති ඇමතිවරුන් ගෙනුත් උපදෙස් ගන්න කියාය.

සංජීවට රනිල්ගෙන් කේක්

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරමැදදී මන්ත‍්‍රී සංජිව එදිරිමාන්නගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් ගෙන ආවේ ජනපති රනිල්ය.

රැස්වීම මැද්දේම උපන්දින කේක් කපා සුබ පැතුම් එක් කරද්දී ජනපති රනිල් හා හිටපු ජනපති මහින්ද ද ඊට එක්වූවේය.

ජනපති රනිල් ඉන්පසුව ජල ප‍්‍රශ්නයත් විදුලිය ප‍්‍රශ්නය වගේම නියගය ගැනත් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. නියගය දඩමීමා කරගනිමින් විපක්ෂ දේශපාලන පක්ෂයක් හා මාධ්‍ය ආයතනක් එක්ව කරන්නට උත්සාහ කරන ආණ්ඩු පෙරළිය ගැනද කරුණු හෙළිදරව් කළේය.

”ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් ජනතාව පාරට බස්සන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙනවා. මේකට ජ.වි.පෙ පෙරමුණ අරගෙන සිටින බවට මට වාර්තා ලැබිලා තියෙනවා. ඒ වගේම සිරස මාධ්‍ය ආයතනයත් ඒකට සහාය දක්වනවා” එසේ කියු ජනපති ඊට අදාළ වාර්තා හා වීඩියෝ පට මන්ත‍්‍රීවරුන්ට පෙන්වා සිටියේය.

ඉහත කාරණය ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට තීන්දු වූවේ ඒ අනුවය.

අ`ගහරුවාදා පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ජනපති ගියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමටය. එදින දහවල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහනුවර උසස් බාලිකා පාසලේ සිසුවියන් පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණ සිටියහ.

ඔවුන් මුණ ගැසුණු ජනපති රනිල්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතිහාසය ව්‍යවස්ථාදායක සභාව පැවැති කාලයේ සිට වර්තමානය දක්වා විස්තර කළ අතර එහි තිබෙන වටිනා පුස්තකාලය ගැන ද හෙළිදරව් කළේය. අනතුරුව ජනපති එක්වූවේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමටය.

77  මහජන පීඩාවක් නොවන පරිදි

පක්ෂ 77 වන සංවත්සරය හා සම්මේලනය ගැන මෙහිදි අදහස් හුවමාරු විය. නෙළුම් පොකුණ රඟහල් භූමියේ සංවත්සර සම්මේලනය පැවැත්වීමට කළ යෝනාව අනුව ඒ ගැන සොයා බලද්දී සැප්තැම්බර් 10 දින වෙනත් වැඩසටහනකට රඟහල වෙන් කර ඇති නිසා සැප්තැම්බර් 06 වැනි දින සමුළුව පැවැත්වීමට යෝජනාවක් පැමිණියේය.

එහිදි පිරිස කීවේ එදින කාර්යාලීය දවසක් බැවින් සම්මේලනයට පැමිණෙන ජනතාව හේතුවෙන් රාජකාරි නිමවා නිවසට යන පිරිසට බාධාවන් ඇතිවිය හැකි බවය. අවසානයේ පොදු මතය වූවේ ජනතාව පීඩාවට පත්වන දිනයක එය නොපවත්වා සති අන්තයේ දිනයක් වන 10 වනදාම එය පැවැත්වීම සුදුසු බවය. ඒ අනුව විහාරමහාදේවි උද්‍යානයේ එය පැවැත්විය යුතු බවට යෝජනා සම්මත විනි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර කීවේ සංවත්සර සමුළුවට ජනතාව සහභාගී කරවීමට අවශ්‍ය සියළු සැලසුම් සකස් කර අවසන් බවයි. පක්ෂ බල මණ්ඩල 143 ක් සම්මේලනයට පෙර අවසන් කළ හැකි බව මහලේකම්වරයා ජනපති දැනුම්වත් කළේය.

එදින පෙරවරුවේ සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවැති සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ගැන මෙන්ම පක්ෂයේ විදෙස් සංවිධාන ආරම්භ කිරීම ගැනත් තොරතුරු ඔහු හෙළි කළේය.

සවස ජනපති ගියේ ඉන්දුනිසියනු තානාපති කාර්යාලයේ පැවැති ආසියානු දිනය වැඩසටහනට එක්වීමටය. ඊට නැගෙනහිර ආසියාවේ තානාපතිවරු එක්ව සිටියෝය. ආසියාවේ සිට  ඕස්ටේ‍්‍රලියාව දක්වා  විහිදෙන ආර්ථික කලාපය ගැන ජනපති කළ කරුණු දැක්වීම රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ පැසසුමට හේතුවූහ.

ජනපති රනිල් බදාදා පාර්ලිමේන්තු ගොස් පැමිණියේ රැස්වීම් කිහිපයකට සහභාගී වීමටය. ඒ අතර ජනපති උපදෙස් මත කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක නීතිඥවරුන්ගේ සමුළුවකට එක්වූ අතර එහි ප‍්‍රධාන ආරාධිතයා වූවේ අගවිනිසුරු ජයන්ත ජයසූරියය. කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල එහි විශේෂ ආරාධිත දේශණය පැවැත්වූවේය.

බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සතියේ ආර්ථික සමාලෝචනය උදෙසාය. ජනපති මුදල් අමාත්‍යංශය වෙත එද්දී මහජන ආරක්ෂක අමාතය ටිරාන් අලස් දුරකතනයෙන් ජනපති අමතා දැනුම් දුන්නේ තමන් හමුවට පැමිණි දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරු පොලිස් බලතල ගැන කතා කිරීමක් ගැනය.

MEDIAMAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *