කෘෂි රමණය සකි පරණය

0

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය වසර දස දහස් ගණනක ඉතිහාසයක් පුරා දිවයයි. ඉතිහාසයේ පැරණි පොතපතෙහි සඳහන් කර ඇති ආකාරයට වගේම ඵෙතිහාසික කැණීම් කරන ලද පොසිල සාධක පරීක්ෂා කිරීම් හමුවේ ලංකාව යනු එකලත් ආහාර පිණිස ධාන්‍ය භාවිතය පැවැති රාජ්‍යයක් බව පිළිගනිති. එසේම මෑත ඉතිහාසය පුරා ලංකාවේ ආර්ථික දේහය නියෝජනය කිරීමට ගොවිතැන නැත්නම් කෘෂි කර්මාන්තය තරම් ප‍්‍රමාණවත් වූ වෙනත් ආර්ථික සාධකයක් නොතිබිණි.

කෘෂිකර්මයේ විකාශනය

දීර්ඝ කාලීන ඉතිහාසයක් පුරා විකාශය වූ දේශීය කෘෂිකර්මාන්තය ප‍්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ අභිලාශය මූලික කොටගත් ජීවනෝපායක් විය. දේශීය කෘෂිකර්මාන්තයේ ප‍්‍රධාන බෝග වගාව, වී ගොවිතැනට හිමි වන අතර ඊට අතුරු බෝග වගාවන් ද ඇතුළත්ය. දේශීය කෘෂිකර්මාන්තයේ විකාශය මූලික අවදි තුනක් යටතේ පැහැදිලි කරගත හැක.

1. පූර්ව යටත් විජිත සමය

2. යටත් විජිත කාල සීමාව

3. පශ්චාත් යටත් විජිත කාලය හෙවත් නිදහසින් පසු ගෙවුණු 75 වසර

කෘෂිකර්මයේ මුල් සමය හේන් වගාව මූලික කොටගෙන මුළුමනින්ම යැපුම් ආර්ථිකයට සීමාවී පැවැති බැවින් එදිනෙදා ආහාර වේල සකසා ගැනීමට අවශ්‍ය වී සහ අල වර්ග වගාවන් ලෙස පවත්වා ගෙන තිබේ. ඉන්දියන් සංක‍්‍රමණයයෙන් (විජය ඇතුළු පිරිස* පසු කාලයේ ජනගහනය ක‍්‍රමිකව වැඩිවීමත් සමග මෙරට ජනයාගේ ප‍්‍රමුඛ ආහාරය සකසා ගැනීම වෙනුවෙන් වී නිෂ්පාදනය කෙරේ වැඩි අවධානයක් යොමු කොට තිබේ. ඒ අනුව වැව් අමුණු නිර්මාණය කිරීමට පාලකයෝ වැඩි වෙහෙසක් ගෙන කටයුතු කර තිබේ. එකල මෙරට ජනතාවගේ ජීවන රටාව, සංස්කෘතිය, ඇදහිලි හා විශ්වාස මෙකී යැපුම් කෘෂිකර්මය වටා නිර්මාණය වූ සමාජ සම්මතයන් විය. එසේ දීර්ඝ කාලයක් පුරා යැපුම් මාධ්‍ය ලෙස පමණක් පැවැති කෘෂිකර්මය යටත් විජිත සමයත් සම`ග පැහැදිලි වෙනසකට ලක් විය.

විදේශ ආක‍්‍රමණිකයන් වූ පෘතුගීසින් හා ලන්දේසීන් පාලන කාලයේ දී දේශීය කෘෂිකර්මයට බරපතල හානියක් සිදු නොවූ අතර පෙර ලෙසම පවත්වා ගෙන ආ බව කියැවේ. නමුත් දේශිය යැපුම් ගොවිතැන පැහැදිලි වෙනසකට ලක්වන්නේ ක‍්‍රි:ව: 1815දී ඉංග‍්‍රීසින් ලංකාව යටත් කර ගැනීමෙන් පසු කාලයේය. ඔවුන් මුළුමණින්ම වෙළඳාම ඉලක්ක කොටගත් වතු වගා සිදුකිරීමට සුදුසු බිමක් ලෙස ලංකාව තෝරා ගෙන තිබිණි. ඒ අනුව මෙරට කෝපි, කුරුª, සිංකෝනා, තේ, පොල් සහ රබර් වැනි වැවිලි බෝග වගාවන් හඳුන්වා දුන්නේය. ඒ සමග ලංකාවේ දේශීය යැපුම් කෘෂි ආර්ථිකය සහ වැවිලි ආර්ථිකය වශයෙන් සමස්ත ආර්ථිකය ප‍්‍රභේද දෙකක් යටතේ ක‍්‍රියාත්මක විය. මෙහි අනිවාර්ය ප‍්‍රතිඵලය වූයේ දේශීය කෘෂිකර්මය බිඳ වැටීම සහ වැවිලි කෘෂිකර්මය දියුණු වීමය.

කෙසේ වෙතත් 19 වන සියවසේ මධ්‍ය කාලයේ දී දේශීය ආහාර අර්බුදය මෙන්ම ලෝකයේ ආහාර මිල නොසිතූ ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඉංග‍්‍රීසි පාලකයන් ආහාර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරන්නට විය. ඒ අනුව වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීම (1850), 1872 දී ධාන්‍ය බද්ධ අහෝසි කිරීම වැනි පියවරයන් අනුගමනය කළේය. 1900 වන විට අක්කර 700,000ක් තරම් භූමි ප‍්‍රදේශයක වී ගොවිතැන සිදුකිරීමට ඔවුන් සමත් වූ බව සංඛ්‍යා සටහන් පෙන්වා දෙයි. තවද වී ගොවිතැන ප‍්‍රවර්ධන කිරීම සඳහා 1900දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීම සහ රජය සතු ඉඩම් විකිණීම වළක්වා බදු දීමේ ක‍්‍රමවේදය අනුගමනය කිරීම වගේම වී ගොවිතැන සඳහා සුදුසු ඉඩම් වැඩි වැඩියෙන් ගොවිතැන සඳහා යොදා ගැනීම ද සිදුවිය. එසේම 1931දී ලංකාවේ ගොවි ජනපද පිහිටුවීමට වැඩපිළිවෙල සකස් කොට, ඉඩම් අක්කර 50,000ක් ගොවීන් අතරේ බෙදා දෙන ලදී. එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමති වන ඞී.එස්. සේනානායකගේ මූලිකත්වයෙන් ගොවිජනපද පිහිටුවීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක විය. ඒ අනුව 1948 දී ලංකාව නිදහස ලබන කාලය වන විට ලංකාවේ දේශීය යැපුම් කෘෂිකර්මය මෙන්ම වැවිලි භෝග වගාවන්ගෙන් යුතු වාණිජ කෘෂිකර්මාන්තය ද සක‍්‍රීයව පැවැතුණු බව පැහැදිලිය.

කෙසේ නමුත් නිදහසින් පසු වැඩි අවධානයක් යොමු වූයේ දේශීය යැපුම් කෘෂිකර්මය වැඩි වැඩියෙන් දියුණු කිරීම කෙරෙහිය. ඒ අතරත් වී වගාවට ප‍්‍රමුඛතාවය හිමි විය. ඒ අනුව 1948 සිට 1956 දක්වා කාල පරාසය තුළ ලංකාවේ ගොවිජනපද 33ක් පිහිටුවීම, වී සඳහා සහතික මිලක් නියම කිරීම, ගොවීන්ට රසායනික පොහොර හඳුන්වා දීම සහ 1957 දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පිහිටුවීම, 1958 දී කුඹුරු පනත නීතිගත කිරීම, 1972 දී ඉඩම් ප‍්‍රතිසංස්කරණ හා වී අළෙවි මණ්ඩල පනත ක‍්‍රියාත්මක කිරීම පමණක් නොව 1960 පසු ශ‍්‍රී ලංකා යාන්ත‍්‍රීකරණය වූ නව තාක්ෂණික ක‍්‍රමවේදයන් කෙරේ යොමු විය. මේ සමඟ සී-සෑම, අස්වනු නෙළීම ආදී වූ කාර්යය සඳහා යොදා ගත් මානව ශ‍්‍රමය වෙනුවට යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගැනීම සිදුවිය. එසේම සුදු හීනටි, සුවදැල්, කළුදුරු, රත්හැල් වැනි දේශීය සාම්ප‍්‍රදායික සහල් වර්ග වෙනුවට අභිජනනය කරන ලද වී වර්ග වගා කිරීම ද, රසායනික පොහොර භාවිතය, වල් නාශක, කෘමිනාශක යෙදවුම් භාවිතය නිසා ද කෙටි කාලයක් තුළ ඉහළ අස්වනු ලැබීමේ හැකියාව ලැබුණි. එසේ වුවද අදටත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස කෘෂි කර්මාන්තයේ දායකත්වය 7% – 8%කට වඩා වැඩි නොවේ.

කෘෂි කර්මාන්තයේ පරිමාව

රටේ සංවර්ධනය වෙනුවෙන් කෘෂි කර්මාන්තයේ දායක්තවය ඉතා පහළ මට්ටමක පවතින බව 2015 සහ 2019 වර්ෂ දෙකෙහි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය සහ ඒ ඒ ක්ෂේත‍්‍ර සඳහා සේවා නියුක්තිය සංඛ්‍යාත්මකව පරීක්ෂා කර බැලීමෙන් තේරුම් ගත හැක.

කෘෂි කර්මාන්ත අංශයෙන් දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය සහ එහි සේවා නියුක්තිය අතර විශාල පරතරයක්, වෙනසක් පවතින බව පැහැදිලිව පෙනී යයි.

ගෙවුණු වසර ගණනාවම සලකා බැලූ‍වත් මේ සත්‍ය මගහැර යා නොහැක. එයින් වඩාත් නිවැරදිම කියවීම නම්, රටම කෘෂිකර්මය කරා යොමු වුවද කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාගැනීමට හෝ මේ ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක වන තාක් රටේ සංවර්ධිත අපේක්ෂාවන් සපුරා ගැනීමට අපොහොසත් වන බවය.

කෘෂිකර්මයේ අර්බුදය

නිදහසින් පසු ලංකාවේ කෘෂිකර්මය ගොඩනැගීම වෙනුවෙන් පැවැති සෑම ආණ්ඩුවක්ම පස් අවුරුදු, දස අවුරුදු ව්‍යපෘති, විවිධ වැඩසටහන් වගේම කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලවල්, ලොකු කුඩා ජල ව්‍යාපෘති ගණනාවක් ද ක‍්‍රියාත්මක කළ බව අපි දනිමු. මෙකී සෑම වැඩසටහනක් හරහාම යම් සේවයක් දේශීය කෘෂිකර්මාන්තයට සිදුවුවද රටේ සංවර්ධන කාර්යය වෙනුවෙන් එමගින් සිදුවූ දායකත්වය අදටත් ඉතා අවම මට්ටමක පවතී. ගතානුගතික හා සාම්ප‍්‍රදායික ක‍්‍රියාමාර්ගවලින් රටවල් ගොඩගත නොහැකි බව ලෝකයේ දියුණු වූ  ඕනෑම රටක් සම්බන්ධයෙන් විමසා බලන්නෙකුට පැහැදිලි වනු ඇත. නමුත් ලංකාවේ අදටත් දේශීය යැපුම් කෘෂිකර්මය කෙරේ වැඩි නැඹුරුතාවයකින් කටයුතු කිරීම සහ මෙතෙක් රට පාලනය කළ සෑම රජයක්ම ඊට අනුබලය සැපයීම ද අද රට වැටී ඇති තත්වයට ප‍්‍රබලතම හේතුවකි. නිදහසින් පසු මුල් කාලයේ පටන් ලංකා සමාජය මුළුමනින්ම ජාතිවාදී මුහුණුවරකින් දේශපාලන තීන්දු තීරණ ගැනීමේ පසුබිම, ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හෝ දියුණු ආර්ථික ප‍්‍රභයක් ලෙස කෘෂිකර්මාන්තය ගොඩනැගීමට බාධාවක් විය. බොහෝ විට දේශීය යැපුම් කෘෂිකර්මය, සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හා පාරම්පරික සංස්කෘතික රටාවන් සුරක්ෂිත කිරීම, ඉඩම් සම්බන්ධ සීමා කිරිම් කෙරේ ජාතිකවාදී හෝ ජාතිවාදී මානසිකත්වය මූලික වූ බව පැහැදිලිය. එසේම ආණ්ඩු විසින් සහනාධාර මත යැපුම් කෘෂිකර්මය පවත්වාගෙන යාමට වාර්ෂිකව අධික මුදලක් වැය කිරිම ද කර්මාන්තයක් ලෙස කෘෂි ව්‍යවසාය ගොඩනැගීමට සැලකිය යුතු බාධාවක් විය. මෙකී සමස්තය හමුවේ ‘නිකම් දෙනකල් බලා හිඳීමේ‘ සංස්කෘතික මිනිස් පරපුරක් විශේෂයෙන් අප ග‍්‍රාමීය සමාජය තුළ නිර්මාණය වීම සිදුවිය. එසේම අදටත් දේශගුණික හා කාලගුණික විපර්යාසයන් හමුවේ කෘෂි කර්මාන්තයේ නිෂ්පාදිතයන් උච්චාවචනය වීම වළක්වා ගැනීමට අසමත්ව තිබේ.

අලූ‍තින් හිතමු

ලංකාවේ කෘෂිකර්මාන්තය තවදුරටත් නඟා සිටුවීමට නම් නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන් වැඩි වැඩියෙන් උපයෝගී කොටගෙන අඩු කාලයක් තුළ අඩු භූමි භාගයකින් අඩු පිරිවැයකින් ඉහළ ගුණත්වයෙන් යුතු වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ක‍්‍රමවේදයන් කෙරේ යොමුවිය යුතුය. පාරම්පරික ක‍්‍රමවේදයන් තවදුරටත් ඊට බාධාවක් නම් එම ක‍්‍රමයන් වෙනස් කිරීමට පියවර ගත යුතුය. එසේම ඉඩම්, ජලය, පොහොර මත කෘෂිකර්මය ගොඩනැගීමට තවදුරටත් මේ පොළොවේ ඉඩක් නොමැති බව ද තේරුම්ගත යුතුය.

ලෝක ආදර්ශයන් සැලකීමේ දී ඉන්දියාව, ඊශ‍්‍රාලය සහ බ‍්‍රසීලය වැනි රටවල් ශීඝ‍්‍ර යාන්ත‍්‍රිකකරණය සහ ඉහළ තාක්ෂණය භාවිතා කිරීමෙන් කෘෂිකාර්මික අංශයේ වේගවත් පරිවර්තනයක්, දියුණුවක් අත්පත් කරගෙන තිබේ. ඒ අතර සිරස් වගාව (Vertical Farming), ජල මාධ්‍යයේ වගාව (Hydrophonics) යහපත් කෘෂිකාර්මික භාවිතයන් (GAP) වගේම භූගෝලීය තොරතුරු පද්ධති (GIS) වැනි නව තාක්ෂණික ක‍්‍රමවේදයන් එකී රටවල කෘෂිකර්මාන්තය ඉහළට ඔසවා තැබීමට ඉවහල් විය. එම නිසා ලංකාවේ කෘෂිකර්මාන්තය ගොඩනැගීමට කිසියම් හෝ අපේක්ෂාවක් තිබේ නම් මෙකී නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන් කෙරේ වැඩි වැඩියෙන් යොමු විය යුතුය. ඒ සඳහා ක‍්‍රමවත් ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් දියත් කළ යුතුය. තවදුරටත් හුදකලා පැල තවාන් දැමීමට ඇට බෙදීම, සහනාධාර ක‍්‍රමයට පොහොර බෙදීම ආදී නිසරු වැඩවලින් ඉවත්ව රජය නවීකරණය වූ සැලස්මකින් මේ කාර්යයට මැදිහත් විය යුතුව තිබේ.

ඒ තුළ නිපුණත්වයෙන් යුතු තාක්ෂණික දැනුම බෙදාහැරීම, කෘෂි ව්‍යවසායකයින් කෙරේ පහසුකම් සැලසීම, නවීන බීජ වර්ග හඳුන්වා දීම, ඉහළ අස්වැන්නක් ලැබිය හැකි වගේම ඊට ඉහළ වටිනාකමක් වෙළඳපොල තුළ නිර්මාණය කිරීම ද සිදුවිය යුතුය. අපනයන කාර්යය කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී වැදගත්ම සාධකයකි.

රනිල්ගේ කෘෂි ප‍්‍රවේශය

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පවසා තිබේ. එසේම නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, තේ පර්යේෂණ ආයතනය (TRI) සමඟ ඒකාබද්ධ කර ශ‍්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත‍්‍රය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඉදිරියේ දී ආහාර සපයා ගැනීමට අවශ්‍යකරන සම්පත් නොමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග වැනි රටවලට ආහාර ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විශ්වාස කරන සමාජ ආර්ථික මෙන්ම දේශපාලන දැක්මට අනුව, ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය සකස් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සංශිප්ත ප‍්‍රකාශනයකි. මේ හරහා, ලංකාවේ ඉතිහාසය පුරා සමාජ සංස්කෘතිකව ගොඩනැගුණු සහ අදටත් යාවජීව සහසම්බන්ධතාවයකින් ගැට ගැසී ඇති යැපුම් ගොවිතැන මූලික කොටගත් මෙරට කෘෂි කර්මාන්ත ක්ෂේත‍්‍රය වහා වහා නූතන ලෝකයට ගැලපෙන අයුරින් වෙනස් කළ යුතු බවත්, ඊට අනුරූපව ගොවි සම්මේලන, ජල සම්මේලන, කුඩා වතු හිමියන්ගේ සම්මේලන ආදී අනේකවිධ කෘෂි වෘත්තීය සමිතිකරුවන් විසින් දිවි හිමියෙන් රැකීමට උත්සාහ දරණ සහ ගොවි ජනතාව ලවා රැුක්කවීමට පොළඹවන ”නිකම් දෙනකල් බලාසිටීමේ කලාව” නැතිනම් යැපුම් මානසිකත්ව ක‍්‍රමවේදය (Dependency Mindset) ක‍්‍රමිකව වෙනස් කළයුතු යැයි යෝජනා කරයි. ඒ සඳහා අවැසි දැනුම සම්පාදනය කරගැනීම වෙනුවෙන් සාම්ප‍්‍රදායික ගොවි ඥානය වගේම නූතන ලෝකයේ නව තාක්ෂණික දැනුමද එක්කොට ගත් හෙට ලෝකය සමග තරග කළ හැකි කෘෂි විෂයෙහි විශේෂඥ දැනුමක් සහිත විද්‍යාර්ථීන්, පර්යේෂකයන් වගේම උගතුන් පිරිසක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම අලූ‍ත් වෙළඳපොල අවශ්‍යතාවන් සොයා ඊට අවශ්‍ය ඉල්ලූ‍ම සැපයිය හැකි ආහාර හෝ කෘෂි නිෂ්පාදන ශ‍්‍රී ලාංකේය නිෂ්පාදිතයන් ලෙස දෙස් විදෙස් අයෝජකයන් හරහා අපනයනය කිරීමේ සම්ප‍්‍රදායට යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි.

නවන් පතිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *