ජල ප්‍රශ්නයට මුවා වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය

0

පසුගිය සතියේ අප පුවත්පතෙහි ප‍්‍රධාන ලිපිය මඟින් අවධාරණය කළේ පවතින එල්-නිනෝ කාලගුණ තත්වයන් හමුවේ රජයට තවත් බරපතල අභියෝගයකට මුහුණ පෑමට සිදුවන බවය. ආර්ථික අර්බුදයන් හමුවේ මෙම කාලගුණික විපර්යාස විසින් ඇති කරන තත්වයන්ද පාලනය කරගැනීමට රජය නිවැරදිම පියවර ගැනීම සිදුනොවුණහොත් යළි ආර්ථික අර්බුදය තවත් වටයකින් රටට ජනතාවට පිඩාකාරී ලෙස බලපැවැත්වීම වැලැක්විය නොහැකි වෙනු ඇති බව අවධාරණය කළේ මෙහි ඇති බරපතලකම නිසාය. එමෙන්ම මෙරට විපක්ෂ කණ්ඩායම්වල තුච්ඡ තුට්ටු දෙකේ දේශපාලනය ක‍්‍රියාත්මක වන ආකාරය ගැනද අනතුරු හැඟවීම් කර සිටියේ මෙම තත්වයන් තමන්ගේ වාසියට යොදා ගැනීමට මෙම විපක්ෂය දෙවරක් කල්පනා කරන්නේ නැති බවට අපට තිබු වැටහීම නිසාය. ඒ අනුවම පසුගිය සතියේදී මෙම විපක්ෂ කණ්ඩායම් සහ ඔවුන්ගේ අනුදැනුම යටතේ ක‍්‍රියාත්මක වන බත් බැලයන් සහ හදිස්සියේ අටවා ගන්නා ලද විවිධ පතුරු සංවිධාන කටයුතු කළේ රජය තවදුරටත් අපහසුතාවයට පත්කරමින් අර්බුදය වවාගෙන කෑමේ පිළිවෙත මත සිට බව පැහැදිලි විය.

”…දේශපාලනික හෝ බඩගෝස්තර වුවමනාවන් වෙනුවෙන් මෙම තත්වයන් පාවිච්චි කිරීමට කවර හෝ කණ්ඩායමක් කටයුතු කරනවා නම් එය නොවිය යුතු අපරාධකාරී රටට ද්‍රෝහී කටයුත්තක් බවත් කිව යුතුය. එසේ කියන්නේ ලංකාවේ අවස්ථාවාදී විපක්ෂ කණ්ඩායම් මේ ආපදා තත්වයන් මත ”කාලගුණය පාලනය කරන්න බැරි ආණ්ඩුවක් මොකටද?” කියා හෝ මුග්ධ සටන් පාඨ සමඟින් අරගල වැඩවර්ජන කරමින් තුට්ටු දෙකේ දේශපාලනයට යොමු වීමේ විශාල ඉඩකඩක් පවතින බැවිනි. මේ ස්වභාවික ආපදාව පාවිච්චි කරමින් රට අරාජික කර දැමීම වෙනුවෙන් තුච්ඡු ලෙස යොදා ගැනීමේ හැකියාව සහ වුවමණාව ඇතැම් පිරිස්වලට තිබෙන බැවිනි. ඔවුන් බලා සිටින්නේම මෙවැනි අර්බුදයක් හෝ මතුවී රජය අසීරුතාවයට පත්වන තෙක්ය. ඒ අනුව පැවැති ආර්ථික අර්බුදය හමුවේත් එයින් ගොඩ ඒමට කිසිදු සහයක් රජයට හෝ ජනතාවට නොදී ඒ වෙනුවෙන් රජය ගන්නා සෑම පියවරක්ම කඩාකප්පල් කිරීමට සහ ජනතාව නොමඟ යෑවීමට වෙර දැරූ විපක්ෂය මෙම එල්-නිනෝ තත්වයන්ද රටට ජනතාවට හෙණ ගහල ගියත් තමන්ගේ බල පෙරේතකම් වෙනුවෙන් පාවිච්චි කිරීමේ ඉඩ කඩ ඉතා ඉහළය.

මේ අතර ඇතැම් ගොවි සංවිධාන ගොවිතැන වෙනුවෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලටද අවතීරණය වී ඇති අතර විපක්ෂ කණ්ඩායම් රටේ ඇත්ත තත්වය වසන් කරමින් මෙම අහිංසක ජනතාව නොමඟ යවමින්ද තිබේ. ඉදිරියේදී මේ කණ්ඩායම්වල පෙළඹවීමෙන් මාවිල්ආරු සොරොව්ව විවෘත කළා සේ කඩා පැනීම් කර වීරකම් පෙන්වන ජල අරගල වුවත් ඇති විය හැකිය. නමුත් ඒවායෙන් සිදු විය හැකි හානිය නිය`ගයෙන් විය හැකිව තිබෙන හානියට වඩා දැඩි වෙනු ඇත. පීඩා විදින්න වන්නේ පොදු ජනතාවටමය…”

මෙලෙස සඳහන් කළ ආකාරයටම විපක්ෂය කාලගුණය පාලනය කරන්න බැරි ආණ්ඩුවක් මොකටදැයි ප‍්‍රශ්න කරමින් තිබිණි. නිය`ගයට හේතුව ආණ්ඩුව බව කියමින් සිටියේය. එපමණක් නොව සමනල වැව වේල්ල විවෘත කිරීම සඳහා බලහත්කාරී නීති විරෝධී උත්සාහයක් ගැනීමටද මෙම කණ්ඩායම් කටයුතු කර තිබිණි. කෘෂිකර්ම ඇමතිවරයාගේ නිවස වටලා අරගල සමයේදී මැති අමැතිවරුන්ගේ ගෙවල් ගිනි තබා විනාශ කිරීමට ප‍්‍රචණ්ඩ අරගලකරුවන් කටයුතු කළා සේ තවත් විනාශයකට අර ඇද්දේය. නමුත් ඒ සියල්ල වලකා ගැනීමට සමත් වී තිබුණු අතර මේ මරිමෝඩ තකතීරු ත‍්‍රාඩ වැඩවලට සිහිබුද්ධියක් ඇති ජනතාවගෙන් සහයෝගයක් නොතිබීමත් පැහැදිලිව දකින්නටත් ලැබිණි. තවත් සඳහන් කළ යුතු කරුණක් නම් අරගල සමයේදි රට ගිනි තැබීමට උල්පන්දම් දෙමින් කටයුතු කළ මාධ්‍ය ආයතන මෙවරත් එම උත්සාහයෙහි යෙදී සිටි බවය. විපක්ෂ දේශපාලන පක්ෂ සහ ඔවුන් අටවාගන්නා ලද ව්‍යාජ ගොවි සංවිධාන අර ඇද්දේ ඔවුන්ගේ බලලෝභී දේශපාලන අවශ්‍යතාවය ඉටුකර ගැනීමටය. එසේම මෙම අර්බුද දඩමීමා කරගෙන ජාවාරම්වල යෙදෙන්නන්ගෙන් ලැබෙන සංතෝසම් වෙනුවෙන් කටයුතු කරන පිරිසක්ද මෙහි සිටි බවත් කිව යුතුය.

නියං තත්වය මත ජලාශ හිඳීයාම නිසා ගොවිතැන සඳහා ජලය නිකුත් කිරීම සීමාකිරීම හෝ අත්හි‍ටුවීම පසුගිය සති දෙක තුනකට පෙර සිටම පත්ව තිබිණි. විශේෂයෙන්ම උඩවලව ජලාශය මුළුමනින්ම පාහේ හිඳී ගොස් තිබිණි. ඒ අනුව සමනල වැවෙහි ජලය මෙම ජලාශය වෙත ගෙන එමින් එම ගැටළුව නිරාකරණයට හැකිවීම විසඳුමක් ලෙස පෙනෙන්නට තිබිණි. නමුත් ඇත්ත තත්වය වුයේ සමනල වැව ජලාශය මඟින් ජල විදුලිය නිපදවීම සිදුවෙමින් තිබීම මත තවදුරටත් ගොවිතැන සඳහා ජලය නිකුත් කිරීම බරපතල ලෙස සීමාකරන්නට සිදුව තිබීමය. එම ජල විදුලි බලාගාරය ක‍්‍රියාත්මක නොවුණහොත් දකණු පළාත, රත්නපුර ආදී ප‍්‍රදේශ කිහිපයකට විදුලිය සැපයීම සීමා කිරීම සිදුවේ. මේ ගැටළුව විපක්ෂයත් ඔවුන්ගේ හෙංචයියනුත් නොදැන සිටියා නොවේ. සමනල වැව විදුලිය නිපදවීම නොවුවහොත් ඒ වෙනුවෙන් රජයට ඇති විකල්පය වන්නේ එම ප‍්‍රදේශවලට විදුලිය බෙදාහැරීමට පහසුකම් ඇති පෞද්ගලික ඞීසල් බලාගාර ක‍්‍රියාත්මක කර අධික මිලකට එය මිලදී ගැනීමය. ඒ අනුව ගොවියන්ට ජලය ලබාදෙන ලෙස මාරාන්තික සටනකට පිවිසුණ වුන්ට අවශ්‍ය වූයේ සත්‍ය ලෙසම ගොවිතැනට ජලය ලබාදීම ද? මේ ඞීසල් බලාගාර ක‍්‍රියාත්මක කරවීමද? කියන ප‍්‍රශ්නය තිබේ. මන්ද අඛණ්ඩව යම් කාලයක් වර්ෂාව නොලැබුණහොත් තවත් කෙටි කාලයකට වඩා ගොවිතැනට වුව ජලය, මෙම ජලාශ හරහා ලබාගැනීම දුෂ්කර වනු ඇති බව පැහැදිලි නිසාය. අනෙක් කාරණය උඩවලව ජලය මඟින් වන ගොවිතැන රටේ සමස්තය හා සලකා බැලීමේදී අතිශය කුඩා පරිමාණයක් වීම මත ඒ වෙනුවෙන් මෙලෙස දැඟලීමෙහි වුවමණාව කුමක්ද යන්නය. එසේම සෘජුවම ගොවිතැන මතින් යැපෙන ජන කොටස ඉතා කුඩාය. රජය උත්සාහ කළේ අධික මිලක් වැය වන ඞීසල් විදුලිය මිලට නොගෙන යම් කාලයක් යනතුරු එම ප‍්‍රදේශ වෙත අඛණ්ඩව ජල විදුලිබලය ලබාදීමටය. මන්ද ගොවිතැනට වන හානියට වඩා විදුලිය නොමැති වීමෙන් සිදුවන හානිය සහ වැඩි මිලට විදුලිය මිලදී ගැනීම නිසා රජයට වන පාඩුව වැඩි නිසාය. රජයට වන පාඩුව යනු බදු ආදායම් වැය කරමින් සමස්ත ජනතාවටම දරන්න වන අමතර පිරිවැයකි.

එහෙත් විපක්ෂයයේ වුවමණාව වූයේ ඞීසල් බලාගාර හරහා විදුලිය මිලදී ගන්නා තැනට රජය පත් කිරීම බවට සැක නැත. එයට පැහැදිලි හේතුවක් තිබේ. ඒ මෙම ඞීසල් බලාගාර හරහා නැතිනම් මේ ඞීසල් බලාගාර මා‍ෆියාව හරහා තමන්ගේ පක්ෂවලට වෘත්තීය සමිතිවලට ඒවායේ නායකයන්ට ලැබෙන මිලියන ගණනින් වන සං‍තෝසම්ය. පහුගිය කාලයේ පළාත් පාලන මැතිවරණයක් බලාපොරොත්තුවෙන් එය ජාතික මැතිවරණයක් කරගනිමින් අති විශාල ධනස්කන්දයක් වැය කරමින් මේ අය ප‍්‍රචාරක කටයුතු කළේ කැට සල්ලි හෝ සාමාජික ගාස්තුවලින් නොවේ. එක් එක් ජාවාරම්කාරයන්ගෙන් ලැබෙන සංතෝසම් මුදල්වලිනි. ඒ ගත්තු මුදල් වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්නට නම් මේ ජාවාරම්කරුවන්ට මිලියන් බිලියන් ගණනින් උපයා ගැනීමට අවශ්‍ය තත්වයන් සකසා දීම විය යුතුය. ගොවි ජනතාවට ජලය ලබා දියව් කියන විරෝධතාවයන් පිටුපස සැඟවුණ සත්‍යය එයය. මෙයම තවත් සනාථ කරන සිදුවීමක්ද විය. ඒ විදුලි වෘත්තීය සමිතිකරුවන් පසුගිය දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවක දී පැහැදිලිවම අවධාරණය කළ කරුණක් වූයේ ගොවි ජනතාවට අනිවාර්යෙන්ම ජලය දෙන්න වෙනවාය, නැතිනම් වගා පාළු වී මහා සාගතයක් එනවාය, ඒ නිසා විදුලිය ඞීසල් බලගාර ම`ගින් නිපදවා ගැනීමට සිදුවීම අනිවාර්යයක් වනවාය යන්නය. මේ වෙනුවෙන් වැය වන මුදල් ප‍්‍රමාණය පවා ඔවුන් පෙන්වා දෙනු ලැබුවේ අර්බුදය ගැන කිඹුල් කඳුළු හෙළමිනි. නමුත් කිසිවිටෙක මේ අර්බුද වලක්වා ගැනීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය පෙරගත යුතුව තිබු පියවර ගැන නම් මේ අය කියන්න ඉක්මන් වුයේ නැත. කෙසේ නමුත් ඇත්තටම ඔවුන්ගේ වුවමණාව වූයේ රජයට ඞීසල් බලාගර ම`ගින් හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවීම සාධාරණ බව රටේ ජනතාවට ඒත්තු ගැන්වීමය. එමඟින් ජනතාව වෙතින් පැන නැගිය හැකි විරෝධය යටපත් කිරීමත්, ඞීසල් බලාගාර වෙතින් මිලදී ගැනීම් වන්නේ තමන්ගේ කැමැත්තට නොවන බව පෙන්වීමටය. එමෙන්ම ගණන් හිලව් සඳහන් කළේ රජයට ඒ ගාන ලැහැස්ති කරගන්නා ලෙස පණිවිඩය දීමට සහ ඞීසල් බලාගාරකරුවන්ට ඔන්න අපි මේච්චර ගාණක් හොයල දෙන්න හදන්නෙ. අපේ කොමිස් එක ලැහැස්ති කරගන්න කියන පණිවිඩය දීමටත්ය. මෙය අතිශයෝක්තියක් හෝ බොරු කතන්දර ගෙතීමක් නොවේ. මේ ගනුදෙනු අස්සේ සිදුවන, හැමදාම සිදු වූ සත්‍යය මෙයය. මේ විදුලි වෘත්තීය සමිතිකාරයන් පුනර්ජනනීය විදුලිබල නිපදවීමේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීම පි‍ටුපස තිබුණු ඇත්ත ද මෙයය.

කොහොම නමුත් රජය පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් ලෙස සමනල වැවෙහි ජලය යම් සීමාවකට ගොවිතැන සඳහා නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජල විදුලි උත්පාදනය අත්හිටුවීමටත් විදුලිබලය ඞීසල් බලාගාර හරහා කෙටි කාලයකටත් මිලදී ගැනීමට තීරණය විය. ගොවි ජනතාව උසි ගන්වමින් ආණ්ඩු විරෝධී අරගල ගොඩනැඟීමට විපක්ෂය ගත් උත්සාහයත් මේ අනුව අඩපණ විය. නමුත් මෙම පියවර නිසා සමස්ථ ජනතාවටම විදුලි පිරිවැයෙහි අමතර බර දැරීමට සිදු වෙනු ඇත. නමුත් එම තත්වය වැලැක්වීම වෙනුවෙන්ද රජය මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව මේ වන විට රටේ ප‍්‍රධාන විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියට සම්බන්ධයක් නොමැතිව තිබෙන දකුණු පළාත එම සම්පේ‍්‍රෂණ පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළදී සිදුකිරීමට නියමිතය. පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් ඇදීමේදී මතුවු ගැටළුවක් නිසා ප‍්‍රධාන විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය දකුණු පළාත සම්බන්ධ කිරීමේ ගැටළුව කාලයක් තිස්සේ පැවැතුනකි. ප‍්‍රධාන සම්පේ‍්‍රෂණ පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා ලක්ෂපාන බලාගාරය ආසන්න පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීම මේ වන විට සිදුකර අවසන් නමුත් ඉහත කී තේ වත්ත මැදින් මීටර් 600ක් දුරට සම්පේ‍්‍රෂණ රැහැන් ඇදීමට වතු හිමිකරුගේ අනුමැතිය නොලැබීම නිසා මෙම ව්‍යාපෘතිය ඇණහිට තිබිණි. එම ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම සඳහා රජයේ තක්සේරුව රුපියල් ලක්‍ෂ 16ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරු රුපියල් ලක්‍ෂ 96ක් ඉල්ලා සිටීම නිසා මෙම කටයුත්ත ප‍්‍රමාදවී තිබේ. කෙසේ නමුත් එම ගැටළුව විසඳීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එය සාර්ථක වුවහොත් දින තුන හතරකදී දකුණු පළාතේ විදුලිබල ප‍්‍රශ්නය විසඳා ගැනීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට තිබේ. නමුත් එල්-නිනෝ තත්වය සාමාන්‍යයෙන් මාස දෙකක කාලයක සිට වසරක් පමණ කාලයක් පවතින බව කියැවේ. අවාසනාවකට දීර්ඝ කාලයක් එය පැවැතුනහොත් ජල ප‍්‍රශ්නයට විසඳුම් නැත. ඒ අනුව තාවකාලිකව නැවතුන ගොවි උද්ගෝෂණ මුවාවෙන් විපක්ෂ කණ්ඩායම්වල කඩාකප්පල්කාරී මෙහෙයුම් යළි ගොඩ නැගීමට විපක්ෂය කටයුතු කරනු ඇත. නමුත් මේ වන විට කඳුකර ප‍්‍රදේශවලට වැසි වැටීමද වාර්තා වෙමින් තිබේ. ඒ අඛණ්ඩව යම් කාලයක් සිදුවන්නේ නම් රටේ වාසනාවය.

කෙසේ නමුත් මෙම ජල ප‍්‍රශ්නය මෙතරම් බරපතල නොවී විසඳා ගැනීමේ හැකියාව රජයට තිබුණු බවත් පෙනී යන ඇත්තකි. මන්ද එල්-නිනෝ කාලගුණික විපර්යාස තත්වය ගැන පෙර දැනුම්වත් වීම සිදුව තිබුණු නමුත් ඒ සඳහා විධිමත්ව පුර්ව සූදානම් වීමක් රාජ්‍ය බලධාරීන්, නිලධාරීන් වෙතින් සිදුව නොමැති බව පෙනෙන්නට තිබෙන නිසාය. ලෝක කාලගුණික සංවිධානය මේ බව දන්වා තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. නමුත් ඒ අනුව හෝ ජලය සුරක්ෂිත කරගැනීමේ පියවරයන් ගෙන තිබුණේ නැත. මේ පිළිබඳ වගකිව යුතු ඇමැතිවරුන් දැනුවත්ව නොසිටින්න හේතුවක් නැත. මන්ද ජනාධිපතිවරයා පවා මෙම වසරේ දරුණු නියං තත්වයක් ඇති වෙන බවට කාලගුණික අනාවැකි පැවසෙන බවත් එම තත්වයන් ඇති නොවුණහොත් අඛණ්ඩව විදුලිබලය ලබාදෙන බව පැවසූවේ පසුගිය වසරේදීය. විදුලිබල සංගම් මා‍ෆියාව කළුවර මාර්තුවක් ගැන, කළුවර ජූලියක් ගැන කියමින් ජල විදුලිය නිපදවීම අඩාලවීමත් ගල් අඟු‍රු සපයා ගැනීමට විදේශ විනිමය අහිමි වෙන බවත් කියමින් ගෙන ගිය ප‍්‍රචාරයට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ බව පවසා තිබිණි. මේ අනුව නියගය පිළිබඳ පුර්ව දැනුම්වත්භාවයක් රජයට නොතිබුණා යැයි කිව නොහැක. අඩුම තරමින් මෙම කන්නයේ වගා කිරීම් සීමා කිරීමට ගොවි ජනතාව දැනුවත් කිරීමක් කර ඊට විකල්ප විසඳුම් යෝජනා කිරීමක් අවශ්‍ය තරමට සිදුව තිබුණේ නැත. නියගය ආ පසුව අනේ නියගය ආවා, කන්න නැතිවෙයි, පිටරටින් ගේන්නත් බැරිවෙයි, විදුලි කප්පාදුවක් එයි, මළ මගුලක් වෙන්න යන්නේ… කියමින් මාධ්‍ය ඉදිරියේ නැ‍ටුවා මිසක් කරපු දෙයක් නැත. මේවා රාජ්‍ය බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අත්හැරිය නොහැකි වගකීම්ය. ජනාධිපතිවරයා එකින් එකට ඇඟිලි ගසමින් සොයා බලා ප‍්‍රශ්න විසඳුවොත් මිසක කිසිවක් නොවිසඳී තිබෙනවා නම් එය බරපතල අවුලකි. ආණ්ඩුවකට හෝ රජයකට එසේ දුර්වලතාවයන් සමඟ ගමන් කළ නොහැක, පැවැතිය නොහැක. බංකොලොත් වීම හැර වෙනකක් බලාපොරොත්තු විය ද නොහැක. මේ තත්වයන් මත සිදුවන කණාගාටුදායකම දේ විපක්ෂ කොටස් මේවා පදනම් කරගනිමින් කරන ආණ්ඩු විරෝධයන් අවසානයේ රාජ්‍ය විරෝධී ත‍්‍රස්ත කටයුතු තෙක් ඔඩු දුවා රට ගොඩනැඟීමට ගන්නා සියළු ක‍්‍රියාමාර්ග කඩාකප්පල්කිරීමට මාන බැලීමය.

ප්‍රභාත් ජයසුමන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *