පුලතිසි ගොවි පුතේ: ක්‍රීඩාව පාලු නොකර පුරුදු හේනක් කෙටුවොත් නරකද?

0

රටක පුරවැසියන් නිරෝගී, විනය ගරුක, උද්යෝගීමත් සහ අභිමානවත් අයෙකු බවට පත්කරන්න ක‍්‍රීඩාවෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළයි. ඒක තමයි ක‍්‍රීඩාව ගැන තියෙන පොදු පිළිගැනීම. ලෝකයේ හැම රටක්ම ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සැළකිය යුතු මැදිහත්වීමක් කරන්නෙත් ඒ පොදු අදහස මත. ලංකාවත් ඊට අනුගතවයි කටයුතු කරන්නේ. ක‍්‍රීඩාව වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තු, ක‍්‍රීඩාවට අදාළ නෛතික පසුබිම ගොඩනැගීම වෙනුවෙන් ක‍්‍රීඩා පනතක් ඇති කිරීම, එක් එක් ක‍්‍රීඩා වෙනුවෙන් ජාතික සංගම් ඇති කිරීම සහ ඒවායේ පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට රෙගුලාසි හඳුන්වාදීම, ක‍්‍රීඩාවන්ගේ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් පවත්වාගෙන යාම, ජාතික ක‍්‍රීඩා ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම වැනි කටයුතු සිදුකර තියෙන්නේ ඒ අනුවයි.

එහෙත් මේ වෙනකොට ක‍්‍රීඩාව, ඒ සම්බන්ධව වන සම්ප‍්‍රදායික පිළිගැනීම්වලට සීමාවී නෑ. ඒ ගෝලීය ප‍්‍රාග්ධන හැසිරීම තුළ සෑම දෙයක් වෙතම එල්ල කෙරෙන බලපෑම ක‍්‍රීඩාවටද සිදුව ඇති නිසා. එනිසාම ක‍්‍රීඩාව යන්න, විශේෂයෙන් ලොව ජනප‍්‍රියම ක‍්‍රීඩා කියන්නේ තවදුරටත් තවත් එක් ක‍්‍රීඩාවක් පමණක්ම වෙන්නේ නෑ. එය හැමවිටම ක‍්‍රීඩාව කියලා අපි දන්න දෙයට වඩා වැඩි යමක් පෙන්නුම් කරනවා. ඒ වගේම අන්තර්ජාතික සංගම් බිහිවෙලා ඒවා, එක් එක් ජාතික සංගම් සමඟ අනුබද්ධව විශේෂ නීති රෙගුලාසි සහ පාලන ව්‍යුහ, ආචාර ධර්ම පද්ධති සහ ගිවිසුම් මඟින් සම්බන්ධව සිටිනවා. එම නිසා තවදුරටත් රටක ක‍්‍රීඩාව යන්නට හුදෙකළා පැවැත්මක් නැතිවෙලා. එක් එක් ක‍්‍රීඩාවල ජාතික සංගම් ජාත්‍යන්තර මුලධර්ම සහ ගිවිසුම්ගත ආකාරයට ජාත්‍යන්තර සංගම් සමඟ බද්ධව සිටින අතර, කිසිඳු අත්තනෝමතිකත්වයට ඉඩක් නැතුව ගිහින් තිබෙනවා. ඒ වගේම තමයි රටක දේශපාලන බල අධිකාරියට පවා දේශසීමාව තුළ කොතරම් බලයක් තිබුණත්, පිළිගත් මූලධර්ම උල්ලංඝනය කරන කිසිඳු අත්තනෝමතිකත්වයට ක‍්‍රීඩාව යටත් කිරීමටද ඉඩක් නැති වෙලා. ක‍්‍රීඩාවේ මේ වත්මන් ගෝලීය තත්වය කොතරම් ජාතික රාජ්‍ය දේශසීමා ඉක්මවා ඇත්දැයි කිව්වොත්, ඇතැම් ක‍්‍රීඩා සමාජ සඳහා ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන්ට රටේ ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට පවා සිය ක‍්‍රීඩා සමාජයේ අවසර ගන්න වෙලා. ඒ වගේම ඇතැම් ජාතික ක‍්‍රීඩා සංගම් වල මුල්‍ය පාලනයට මැදිහත්වීමට පවා, එකී රටේ අමාත්‍යංශ වෙත පවා බලතල නොමැති අවස්ථා තියෙනවා. කෙසේ වුවත් මේ ඒ සම්බන්ධව වන සරල නිදර්ශන පමණයි. නිදර්ශන සරල වුණත්, කවුරු කවුරුත් ක‍්‍රීඩාව සමඟ ගනුදෙනු කරන්න  ඕන මේ කියන සරල අවබෝධය හෝ සිහියේ තබාගෙන බව නම් ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.

ඇත්තටම මඳක් දීර්ඝ වුණත් මෙහෙම තැනකින් මේ කියන කතාව අපි පටන් ගත්තේ, අපේ රටේ ක‍්‍රීඩා ඇමති අමතන්නයි. මීට ඉහතදීත් අවස්ථා කිහිපයක අපි ක‍්‍රීඩා ඇමතිව ඇමතුවා. හැබැයි ඒ දේශපාලනය සහ ක‍්‍රීඩාව හරියට තෝරා බේරාගෙන. ඇමති ආණ්ඩුවේ බව ඇත්ත. නමුත් ක‍්‍රීඩාවට ඒක අදාළ නෑ. ක‍්‍රීඩාවට අදාළ එහි සංවර්ධනය සහ ඊටම අත්‍යවශ්‍ය ස්වාධීන පැවැත්ම. රටේ අවශ්‍යතාවත් ඒක. නමුත් ක‍්‍රීඩා ඇමතිගේ දිගින් දිගටම හැසිරීම තහවුරු කරන්නේ, විෂය භාර ඇමති ලෙස ජාතික දේශසීමා තුළ ඇති දේශපාලන බලයේ ආධිපත්‍ය සහිතව ක‍්‍රීඩාව හසුරවන්නට යන බවක්. නැතිනම් ”‍ක‍්‍රීඩාව සිදුවිය යුත්තේ ක‍්‍රීඩාවේ සර්ව බලධාරියා වන ක‍්‍රීඩා ඇමතිගේ සිතැඟි ආකාරයටය”‍ යන මනෝභාවයෙන් ක‍්‍රියා කරන බවක්. මේ හමුවේ අපේ විශ්වාසය තමයි ක‍්‍රීඩා ඇමතිගේ කාර්ය භාරය වෙන්න  ඕන ක‍්‍රීඩාව නැංවීම මිස, තමන්ගේ ඊගෝව අනුව ක‍්‍රීඩාව වෙනස් කරන්න යාම නොවන බව. එහෙම වුණාම මුලින්ම නැති වෙන්නේ ක‍්‍රීඩාව.

ක‍්‍රීඩා ඇමති වුණත්, අපේ ක‍්‍රීඩා ඇමති තමන්ව හඳුන්වා දෙන්නේ තමන් පුලතිසි ගොවි පුතෙක් කියලා. ඇත්තටම ගොවි පුතෙක් ඇමතිවරයෙක් වීම හොඳ දෙයක්. මේ ක‍්‍රමය කියන්නෙත් අන්න එහෙම අවස්ථා බහුල ක‍්‍රමයක්. එනිසා ක‍්‍රමයට වගේම ඇමතිට තියෙන රෙස්පෙක්ට් එකේ අඩුවක් නෑ. නමුත් ක‍්‍රීඩා ඇමති ගොවි පුතෙක් වුණ නිසාම දන්නවා ඇති, කුඹුරක් කරනකොට වුණත් රකින මූලික කාරණා තියෙනවා. ඒ බේසික් තියගත්තේ නැත්නම් කුඹුරට වෙන මහන්සිය අපරාදේ. ඒ දේම ක‍්‍රීඩාවටත් අදාළයි.

අපිට මතකයි මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන්න කියලා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඊට ක‍්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් වගේම ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කරන්න කියලත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ඒ 2023 මාර්තු 25 වෙනිදා දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩා සංකීර්ණයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාව අවස්ථාවේ.

අද වෙනකල් එහෙම කමිටුවක් පත්කරන්න ක‍්‍රීඩා ඇමතිතුමා කටයුතු කරලද කියලා අපි නම් දන්නේ නෑ. දන්න විදිහට නම් එහෙම දෙයක් කරලා නෑ. ඒ වගේම මේ නිරීක්ෂණ චාරිකාව අවස්ථාවේ සෑම ක‍්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන්න, සෑම වසරකම අඛණ්ඩව එම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්න, දරුවන්ගේ ක‍්‍රීඩා කුසලතා වයස අවුරුදු 10-12 අවධියේ දී හඳුනාගත යුතු බව සහ ඒ අනුව ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව සලසා දීමේ වැදගත්කම, කොළඹ ප‍්‍රධාන පාසල් ප‍්‍රමුඛව දිවයිනේ පාසල් 100ක බේස් බෝල් ක‍්‍රීඩාව මේ වසර තුළදී ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස, විවිධ ක‍්‍රීඩා ඉසව්වලින් රට නියෝජනය කර, විශ‍්‍රාම ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එම සුදුසුකම මුලික සුදුසුකමක් සේ සලකා උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසාදීම වගේ උපදෙස් මාලාවක් ජනාධිපති ලබාදුන්නා. ඒ වගේම, ඒ අනුව ප‍්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර, එම යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙසටත් දියගම ක‍්‍රීඩා උපාධිය සම්පූර්ණ කළ හැකි ක‍්‍රීඩා විශ්වවිද්‍යාලයක් බවට පත්කර ගැනීමේ ඉලක්කය අනුව කටයුතු කළ යුතු බවත් සඳහන් කළා.

හැබැයි මේ කිසිම උපදෙසක් ක‍්‍රීඩා ඇමති කොච්චර බරකින් භාරගත්තද කියන එක ප‍්‍රශ්නයක්. අපි කැමතියි මේ උපදෙස් අනුව ක‍්‍රීඩා ඇමති සිදු කළ වැඩ කටයුතු, මෙරට ක‍්‍රීඩාව නංවන්න දියත්කර ඇති කෙටි කාළීන, මධ්‍ය කාළීන සහ දීර්ඝ කාළීන සැළසුම් මොනවද? ඒවා යතාර්ථයක් කරගන්නට දියත්කර ඇති ක‍්‍රමෝපායික වැඩසටහන් මොනවද කියලා දැනගන්න. සමහර විට ලෝකෙටම රහසින් මේ දේවල් කරලා ඇමතිතුමා ජාතික සර්ප‍්‍රයිස් එකක් දෙන්න ඉන්නවද දන්නේ නෑ. හැබැයි පෙනුමෙන් නම් එහෙම කිසිම දෙයක් පේන්න නෑ. ඒ වගේම ක‍්‍රීඩාවේ ගුණාත්මක වර්ධනයක් පෙනෙන්නෙත් නෑ. ඒ කියන්නේ පෙනුමේ මෙන්ම නොපෙනෙන සැබෑවෙත් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් නම් ගන්නම දෙයක් නෑ.

එහෙත් ඒ වෙනුවට අපට දකින්න තියෙන්නේ? මේ වෙනකොටත් මෙරට ප‍්‍රධාන ක‍්‍රීඩා සංගම් දෙකක් වන පාපන්දු සහ රග්බි ක‍්‍රීඩාවලට ජාත්‍යන්තර වශයෙන් තරග තහනමක් පනවා තිබෙනවා. එහිදී ඉදිරිපත්ව තිබෙන චෝදනා අතර පෙරමුණේ තිබෙන්නේ එම සංගම්වල ස්වාධීන ක‍්‍රියාකාරීත්වයට බාධා කළ දේශපාලන අතපෙවීම්.

විශේෂයෙන් පාපන්දු තහනම සැළකුවහොත් බොහොම ලජ්ජා සහගත ආකාරයට තමයි ක‍්‍රීඩා ඇමති එහිදී ක‍්‍රියා කළේ. කිහිපවරක් කල් දමනු ලැබූ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය 2023.01.14 දහවල් පැවැත්වීමට නියමිතව තිබියදී එහි සභාපති ධූරය සඳහා තරග කිරීමට නියමිතව සිටි අපේක්ෂකයකුට ඒ සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව වළකාලමින් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිලවරණ කමිටුවේ සභාපති වෙත 13 වනදා පස්වරුවේ ලිපියක් යොමු කරනවා. ඒ අවස්ථාවේ අපේක්ෂකත්වය වළක්වපු පුද්ගලයා පරාජය කර ප‍්‍රතිවාදියා ජයග‍්‍රහණය කරවන්න සේරටම වඩා මහන්සි වුණේ ක‍්‍රීඩා ඇමති බව රහසක් නෙවෙයි. ක‍්‍රීඩා ඇමති එච්චර පොරකාලා ගේන්න ගියෙත් අරගලය වෙලාවේ කඩාකප්පල්කාරීන් ලවා ජනාධිපතිගේ පෞද්ගලික නිවසට ගිනි පිඹින්න කැම්පේන් කරපු හාදයෙක්. ඒ වගේ තුට්ටු දෙකේ හාදයෙක් වුණත්, ලංකාවේ පාපන්දු හදන්න දැක්මක්, වැඩපිළිවෙලක් හෝ සම්බන්ධතා ජාලයක් තිබුණා නම් ප‍්‍රශ්නයක් නෑ කියන්න තිබුණා. මෙතැන ප‍්‍රශ්නය අර වගේ අපතයෙක් ගේන්න ඇමති දත කාලා අයින් කරගත්තේ පාපන්දු නංවන්න දෙස් විදෙස් සම්බන්ධතා ජාලයක් තිබුණු ඒ වගේම එතෙක් පාපන්දු සම්මේලනය වෙලාගෙන හිටි මාෆියාවෙන් ගේම ඉල්ලපු හාදයෙක්ව වීම.

ඒ වගේම මේ වෙනකොට දේශීය වශයෙන් ද ක‍්‍රීඩා සංගම් කිහිපයක් සඳහා තහනම් පැනවීමට සහ ඒවායේ ලියාපදිංචිය අහෝසි කිරිමට ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර අරගෙන. අලූ‍ත්ම වාර්තා අනුව මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ලියාපදිංචිව ඇති සමස්ත ක‍්‍රීඩා සංගම් සංඛ්‍යාව 72ක්. ක‍්‍රීඩා සංගම් තුනකට තාවකාලික තහනමක් පනවලා. ඒ ‍ රගර්, පාපන්දු සහ කරාටේ යන ක‍්‍රීඩා සංගම් තුනට. මීට අමතරව තවත් ක‍්‍රීඩා සංගම් 06ක ලියාපදිංචිය සම්පුර්ණයෙන්ම අහෝසි වී තිබෙනවා. ඊට හේතුව එම ක‍්‍රීඩා සංගම් ස්ථිර තැනක නොපිහිටීම සහ ක‍්‍රියාකාරී මටටමේ නොතිබීම.

ඒ වගේම ක‍්‍රීඩා ඇමති අගෝස්තු 09 වනදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් මෝටර් රථ ක‍්‍රීඩාව සඳහා වන ජාතික සංගමය වන ශ‍්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලියාපදිංචිය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවලා. එමෙන්ම එම සංගමයේ ඉදිරි කටයුතු තාවකාලිකව පවත්වාගෙන යෑම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කරලා. ඒ අස්සේ ක‍්‍රිකට් ආයතනය සමඟත් ඇමති ගේම ඉල්ලන්න අරගෙන. කොහොම නමුත් උදේ හවස දකින්න තියෙන දේ තමයි, රටේ කොල්ලෝ කෙල්ලෝ හිතේ හයියෙන් දුවලා පැනලා පදක්කමක් දෙකක් ගේනවා. ඒ හැර ක‍්‍රීඩා ඇමති වැඩක් විදිහට කරන්නේ මාධ්‍ය හමු පවත්වමින් සංගම්වලින් ගේම ඉල්ලනවා. සංගම් අරක්ගත් මාෆියා ක‍්‍රීඩාවට අලූ‍ත් දෙයක් නෙවෙයි. නමුත් ඒ මාෆියාව අවසන් කිරීම සෙල්ලම් වැඩක් නෙවෙයි. විධිමත් මෙහෙයුමක් විදිහට කෙරෙන්න  ඕන දෙයක්. එක්තරා ආකාරයක යුද්ධයක් කිව්වත් එය වැරදි නෑ. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ යුද්ධයක් කරන්න  ඕන දේ බොළඳ මීඩියා වැඩවලට කොටුකර ගැනීම. ආවොත් ආවා, ගියොත් ගියා පන්නයට තීන්දු තීරණ ගැනීම. දුරදිග නොබලා කොයිකටත් තෛල විදිහට අතුරු පාලක මණ්ඩල පත්කිරීම.

මේ හිතුමතේ කරන වැඩවලින් පවා පීඩාවට පත්වෙන්නේ ක‍්‍රීඩාවේ දක්ෂයින්. අනුග‍්‍රාහකයෙක්වත් හොයාගන්න බැරිව හිතේ හයියෙන් ක‍්‍රීඩාවේ ඉහළට එන්න වෙර දරන නවකයින්. මොකද ඔය අතුරු පාලක මණ්ඩලවලට ක‍්‍රීඩාව හෝ ක‍්‍රීඩකයන් සම්බන්ධව කිසිම වගකීමක් නැති නිසා. මෙතැනදී අපි දකින දෙයක් තමයි, මෙරට ක‍්‍රීඩා පනත කඩිනමින් නූතනත්වයට ගැලපෙන ලෙස සංශෝධනය කරන්න  ඕන බව. ලංකාවේ ක‍්‍රීඩා සංගම් සියල්ල ක‍්‍රීඩා පනතට යටත් වෙනවා. සමහර ජාත්‍යන්තර ක‍්‍රීඩා සම්මේලනවල නීති සමඟ මෙරට ක‍්‍රීඩා පනත ගැටෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා සංගම් එක්ක රණ්ඩු වෙවී කාලය කා දමනවාට වඩා ක‍්‍රීඩා පනත සහ ජාත්‍යන්තර සංගම්වල ඇති නීති සහ ව්‍යවස්ථා ගලපා ගැනීමේ කටයුත්තක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු දෙයක්. නමුත් පේන්න නැත්තෙත් ඒක. අඩුම ගාණේ අමාත්‍යංශ වෙබ් අඩවියවත් නියමිත ආකාරයට යාවත්කාලීන නෑ. ක‍්‍රීඩාවේ දත්ත ගබඩාවක් නෑ. ඔය විදිහට ක‍්‍රීඩාවට වින කටින, ක‍්‍රීඩාව වලපල්ලට යවන පරිපාලන අර්බුද රැුසක් පෙන්වා දෙන්න පුළුවන්. වැඬේ කියන්නේ සත පහක වියදමක් නැතුව කරන්න පුළුවන් මේ දේවල්වත් කරන්න ක‍්‍රීඩා ඇමති උනන්දු නැත්තේ ඇයි කියලා.

ඒ වගේම තමයි ජාත්‍යන්තර ක‍්‍රීඩා සම්මේලන පිළිගන්නේ සහ කටයුතු කරන්නේ ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව බවත් ඒ ව්‍යවස්ථාවන් බොහෝ විට ලිබරල් මුලධර්ම අනුවයි සකසා තිබෙන්නේ. නමුත් පාපන්දුවල වගේ පුද්ගල කේන්ද්‍ර කර ගනිමින් වරින් වර එක එක නීති වෙනස් කරලා වංගු දාන්න ගියහම වෙන්න පුළුවන් හානිය ගැන අවබෝධයක්වත් ක‍්‍රීඩා ඇමතිට තිබුණද කියන එක ප‍්‍රශ්නයක්. අඩුම ගානේ මාධ්‍ය හමු තියමින්, එක එක්කෙනාගෙන් ගේම ඉල්ලමින් හිටපු වෙලාවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර සම්මේලනවල ව්‍යවස්ථාවන් එක්ක ගැටෙන්න නැති වෙන ආකාරයෙන් පනත සංශෝධනය කිරීමට පියවර ගත්තා නම් කොච්චර වැදගත්ද?

මේ රටේ කාලයක් තිස්සේ තිබුණ නරක ජාතික පුරුද්දක් තමයි, රටේ ක‍්‍රීඩාව, ක‍්‍රීඩා පනත ආදිය සලකන්නේ දේශපාලඥයන්ගේ  ඕනෑ එපාකම් අනුව වීම. දේශපාලන ව්‍යුහයට අවශ්‍ය ආකාරයට නිලධාරින් පත්කරන්න සහ නිලධාරින් පත්කිරීම වළක්වන්න යාම. ඒක ජාත්‍යන්තරය දන්නවා. ඒක නිසා තමයි ක‍්‍රීඩා ඇමතිගේ හොම්බට වදින්න තීන්දු තීරණ අරගෙන පෙන්නුවේ. නමුත් ඒ කිසිවක් ක‍්‍රීඩා ඇමති තේරුම් ගත්තද යන්න ප‍්‍රශ්නයක්. තේරුම් ගත්තත් වෙනස් වුණාද යන්නත් ප‍්‍රශ්නයක්. ක‍්‍රීඩා ඇමතිගේ උපදේශක සහ ක‍්‍රීඩා ජාතික සභාවේ සභාපති අතර ඇතිවූ අර්බුදය අවස්ථාවේ පවා හොඳින්ම නිරීක්ෂණය වුණ දෙයක් තමයි, මේ ක‍්‍රීඩාවේ පැත්තෙන් තීරණයක් ගැනීම වෙනුවට, පුද්ගල බද්ධ ලෙස තීරණ ගන්න කටයුතු කළ බව. මේ කාරනා සේරම එක පැත්තකට දාලා බැලූ‍වහම පේන්න තියනදේ තමයි, වත්මන් ක‍්‍රීඩා ඇමති දුර්වලම ක‍්‍රීඩා ඇමති බව. සිස්ටම් වෙනස් කරන්න කතා කරන ආණ්ඩුවේ, පිස්ටන් අවුල් වෙන විදිහේ වැඩ ක‍්‍රීඩා ඇමතිගෙන් සිදුවෙන බව. මේ හමුවේ වෙන්න තියන නරකම දේ තමයි ක‍්‍රීඩාව, ක‍්‍රීඩා පරිපාලනය සමඟ අමාත්‍යවරයා අර්බුදයට යාම. ඒ අර්බුදයේ ඊළඟ පියවර තමයි අමාත්‍යවරයා ආණ්ඩුව අභ්‍යන්තරයේ ප‍්‍රශ්න ඇතිකර ගැනීම. ඊළඟ අදියර ඉතිං අමාත්‍ය ධූරය මාරුවීමේ සිට අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත්වීම දක්වා  ඕනම දුරකට විවෘතයි. අන්න ඒ නිසා ඇමතිට නම්බුව දීලා, ක‍්‍රීඩාවත් රැුකගන්න අපේක්ෂාවෙන් අපි අහන්නේ, පුලතිසි ගොවි පුතේ, ඔය විදිහට ක‍්‍රීඩාව පාලූ‍ නොකර පුරුදු හේනක් කෙටුවොත් නරකද? කියාය.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *