ත්‍රස්ත විරෝධී පනතත් මානව හිමිකම් පනතකි

ක්‍රම පද්ධතියක් නැතිනම් සිස්ටම් එකක් පැවැතීම කියන්නේ වැඩ පහසු හා ක්‍රමවත් කිරීම මෙන්ම නිවැරදිව කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයකි. එය වෙනස් කළ යුතු බවට යම් කතිකාවක් නැගෙන්නෙ මේ වැඩ අවුල් වී සියල අනා ගැනිම සිදුවෙන තැනය. සමහර විට සිස්ටම් එකක් තිබුණත් ඒ සිස්ටම් එකට වැඩ නොකිරීම නිසාද වැඩ අවුල් වේ. ඒ කියන්නෙ සිස්ටම් එකට වැඩ කිරීමත් පුහුණුවක් පුරුද්දක් තිබිය යුතු බවය. එසේ නැතිව සිස්ටම් හැදුවාට වැඩක් වෙන්නෙ නැත. මේ රටේ බොහෝ විට සිදු වූයේ මේ වැඩ කිරීමේ පුරුද්ද නැතිකමය නැතිනම් වැඩවලට වංචා කිරීමය. අද පැවැති සිස්ටම් වෙනස් කරමින් නව ඉලක්ක සමඟ යන සිස්ටම් ගොඩනැගුවද වැඩ දුවන්නේ නැත්තේ මේ ශික්ෂණය නැතිකමටය. මේ නිසා මුලින් කළ යුත්තේ සිස්ටම් හැදීම නොව තියෙන සිස්ටම් එකකට හෝ වැඩ කිරීමේ පුරුද්ද හැදීමය. ඒ වෙනුවෙන් ආකල්ප හැදීමය. ඒ් වෙනුවෙන් නිති රීති සහ දඬුවම් ක්‍රියාත්මක කිරීමය.

රාජ්‍ය පාලනයේ අමාරුම කොටස මේ තිබෙන්නෙ එතැනය. මන්ද මේ සිස්ටම් රටට අවශ බවට බහුතරය කිව්වාට සිස්ටම් ක්‍රියාත්මක කරන්න ගිය විට ඊට එරෙහි වන පිරිසකුත් මෙන්ම අර කිවු බහුතරයෙන් කොටසකුත් ඊට එරෙහිවීම සිදු වන බැවිනි.

රටක ස්වෛරීභාවය ජාතික ආරක්ෂව මහජන ආරක්ෂාව තහවුරු කරමින් අරාජික නොවී නීතිය හා සාමය පවත්වාගෙන යමින් රටේ අභිවෘද්ධිය තකා කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සිස්ටම් සැකසිය යුතු බවත් කියන අය ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සමාජයම ත්‍රාසයට පත් කරමින් විරෝධතාවල නියැලීම පසුගිය දිනවල දකින්නට ලැබිණි. ත්‍රස්ත විරෝධී පනතින් යෝජනා කරන්නේ සමාජයේ කිසිවකුට තවත් අයෙකුගේ මැදිහත්වීමෙන් බලපැමෙන් ත්‍රාසයට පත් නොවී සිටීමේ අයිතිය සහතික කිරීමය. කිසිවකුගේ අනවශ්‍ය භීතියකට වද වේදනාවට ගොදුරු නොවී සිටීමේ අයිතිය තහවුරු කරන්නටය. එය ද මානව හිමිකමකි. නමුත් ඒ මානව හිමිකමට එරෙහිව අනෙක් මානව හිමිකමක් පෙන්වා ත්‍රස්ත විරෝධී පනත විරෝධයට ලක්ව තිබේ. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මූලික මානව හිමිකමක් වන අතර එයට ත්‍රස්ථ විරෝධී පනතින් බාධාවක් එල්ලව තිබෙන බව පැවැසීම එක් උදාහරණයකි. ත්‍රස්ත විරෝධී පනතින් තහංචි වැටී ඇත්තේ මෙම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට මුවා වී අනෙකෙකු භීතියයට ත්‍රාසයට පත් කිරීමේ ත්‍රාඩ වැඩවලට මිසක් එම මානව හිමිකම අහෝසි කිරීමට නොවේ. මේ තත්වයන් තේරුම් නොගෙන භාෂණයේ සහ ප්‍රකාශනයෙ නිදහස වෙනුවෙන් යැයි කෑ මොර දෙන වුන් විරෝධතා දක්වන්නේත් යළි ප්‍රචණ්ඩ අරගලයක වුවමනාව මතු කරමිනි. පාලකයන්ට ගහල පැන්නිය යුතු බව යෝජනා කරමිනි. එය ත්‍රස්තවාදී ක්‍රියාකරකම බවත් මේ අයට නොතේරෙනවා නම් මේ අය කතා කරන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පැවැතීම ත්‍රස්තවාදයට පණ දීමක් ලෙසද සැලකිය හැකිය. ඒ අනුව සමාජයේ බහුතර ජනතාවගෙ යහපත පිණිස අත්හිටුවිය යුත්තේ ත්‍රස්ත විරෝධී පනත නොව මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසය.

ඒ අනුව මෙතන අවුල ඇත්තේ සිස්ටම් එකේ වරදකට වඩා සිස්ටම් එකකට පුරුදු නොවීමේ අවුලය. අනෙකාට තවත් කිසිවකුගේ බලපෑමකට යටත් නොවී භීෂණයට වද වේදනාවට ලක් නොවී සිටීමේ අයිතියක් තිබෙනවා යැයි හිතනවා නම් ත්‍රස්ත විරෝධී පනතක් අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැත. එහෙත් එහෙමවීම මේ පොදු සමාජය තුළ සිදු නොවීම මත එය නිවැරදිව සැකසීම වෙනුවෙන් නීති රීති හා දඬුවම් ක්‍රම අවශ්‍ය වේ. ත්‍රස්ත විරෝධී පනත යනු සමාජයේ සාතිශය බහුතරයගේ අයිතිය වෙනුවෙන් සහ ඒ අයිතිය ආරක්ෂා වන සිස්ටම් එකක් වෙනුවෙන් වූ යාන්ත්‍රණයක් ලෙස පිළිගත යුතුය. ඊට එරෙහිව එය අකුලා ගන්නා ලෙස කරන හඬ නැගීම වනාහි රට අරාජික කරන රටේ පැවැත්ම අවුල් කරන සිස්ටම් විනාශ කරන බලවේගවල දුෂ්ට ක්‍රියාකරිත්වයක් මිස අනෙකක් නොවන බව කිව යුතුය