ඡන්දේ නොතිබ්බට කමක් නෑ. වී ටික ගන්න සල්ලි ඕන – ජනපති කොළම

නිදහස් දිනය අභිමානවත්ව සැමරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරාම වෙහෙසෙමින් පෞද්ගලිකවම එම කටයුතු සොයා බැලුවේය. ඒ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය ලබාගැනීමේ කටයුතු ගැන මෙන්ම ආර්ථික කළමනාකරණය ගැනද අවධානය යොමු කළේය. එසේම පෙබරවාරි 08 දින පාර්ලිමෙන්තු සැසිවාරය ආරම්භ කරමින් ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනද උනන්දු වූවේය.
සදුදා ජනපති සුපුරුදු ලෙස කැබිනට් හමුවට ගියද ආර්ථිකයට වැදගත් යෝජනාව කිහිපයක් ද එදින රැගෙන ගොස් තිබුනි. එහිදි ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ යෝජනාවකි. එමගින් ණය පදනම මත විදයම් කිරීම අත්හිටුවීමට යෝජනා කර තිබිණි.
“කැබිනට් අනුමැතිය ලැබුණට පස්සේ මම මේක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට යවනවා.” ජනපති යෝජනාව ඉදිරිපත් කරමින් ඇමති මණ්ඩලයට කීවේය.
“සර් මේක ඉතාම අමාරු වැඩක්. හුඟක් ආයතන ණය පදනම මත තමයි වියදම් ගෙනියන්නේ.” ඇමති බන්දුල දැරුවේ එවැනි අදහසකි.
“ඔව් මේක අමාරු තමයි. ඒත් අපිට මුදල් නෑ. මේ මාසේ ආදායමට වඩා දෙතුන් ගුණයක් වියදම වැඩියි.” ජනපති කීවේය.
මුදල් වියදම් සීමා කිරීමේ යෝජනාවට අමතරව තවත් යෝජනා ගණනවක් කැබිනට් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුනි. ඇමති මණ්ඩල හමුවෙන් පසු ඇමතිවරු ජනපතිගෙන් විමසන්නට වූවේ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙනි.
“මට ලිපියක් ලැබුණා. හැබැයි තවම ඒක මම පිළිගන්නව ද නැද්ද කියලා තීන්දුවක් අරගෙන නෑ.” ජනපති කීවේ ඇගට නොදැනීය.
පසුදින මුදල් ඇමති ලෙස ජනපති ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලූම රාජ්‍ය ආයතන වෙත යොමු කර තිබුනි. එමගින් කියා තිබුණේ ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම වෙනත් ගෙවීම් කිරීම නවතන ලෙසය. එවැනි ගෙවීම් කරන්නේ නම් එය අනුමත කරන නිලධාරියා පෞද්ගලිකව එම මුදල් ගෙවිය යුතු බවද එම නියෝගයේ දැක්විනි.
අනුරාධපුරයේදි බදු ලිපිගොනු අඩුවීම ගැන ජනපති කළ ප්‍රකාශය බොහෝ දෙනෙක් අගය කර තිබිණි. එම ප්‍රකාශය නිවැරදි ලෙස තේරුම් ගත් සැමදෙනා රට බංකොලොත් වූ ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලද බව එම පිරිසගේ අදහසය.
“ලෝකයේ දියුණු රටවල්වල සෘජු බදු වැඩියි. වක්‍ර බදු අඩුයි. අපේ වක්‍ර බදු වැඩියි සෘජු බදු අඩුයි. දැන් 10% ක වැඩි පඩි ගන්නා කොටස රැක ගන්න අඩු වැටුප් ගන්නා 80% ක් භාවිතා කරනවා. අඩු පඩි ගන්න අයට මේක නොතේරෙන්නේ ඇයි කියලා මට නම් තේරුම් ගන්න බෑ.” ඇමති ප්‍රසන්න කීවේය.
“මෙතන තියෙන්නේ මුලාවක්නේ. දැන් මිනිස්සුන්ට අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා මේක පැහැදිලිව කිව්වානේ මේ අමාරුව ආවේ හිටපු ජනපති ගත්ත වැරදි තීන්දු නිසා කියලා. මේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුවල ප්‍රතිඵල එන්නේ මේ අවුරුද්දේ තුන්වෙනි කාර්තුවේදි. දැන් ජනතාවට තියෙන අමාරුකම්වලින් අර 10% වාසි ගන්නවා.” වජිර කීවේ එවැන්නකි.
“ඔව් තුන්වෙනි කාර්තුවේදි වැටුප් වැඩි කරන්නම් කියලාත් ජනාධිපතිතුමා කිව්වානේ.” රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර ද කීය.
සියල්ල සාවධානව අසා සිටි ජනපති රනිල් වී මිල ස්ථාවරව තබා ගැනීම වෙනුවෙන් වී මිලදී ගැනීමට රුපියල් බිලියන 20 ක් ලබා දෙන ලෙස මහාභාණ්ඩාගාරයට නියම කළේය. එහිදි අමරවීර ඇමතිවරයා කීවේ ඡන්දේ නොතිබ්බට කමක් නෑ. ගොවියාගේ වී ටික ගන්න සල්ලි දෙන්න ජනපතිතුමනි.” යනුවෙනි.
මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් හමුදා නිලධාරීන් මුහුණ දෙන දීමනා ගැටළුවක් ද මතු කළේය. එහිදි ජනපති කීවේ මේ ගැන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවකි. ඇමති මනූෂ ජනපති අවධානයට යොමු කළේ මැතිවරණ උණුසුමත් සමඟ සංචාරක කර්මාන්තකරුවන් බියට පත්ව සිටින බවකි.
“මැතිවරණය තියන්න මුදල් දීලා අන්තිමට රට යළි අරාජික වෙයි කියලා සංචාරක ක්ෂේත්‍රයේ කණ්ඩායම් බියට පත්ව සිටිනවා. ජනාධිපතිතුමනි මේ ගැනත් බලන්න.” මනුෂ කීවේ දකුණේ සංචාරක කර්මාන්ත කරුවන් ඔහුට කී කතාවකි..
ජනපති රනිල් වෙත මෙහිදි පැනයක් යොමු කළේ ඇමති බන්දුලය. “අයි.එම්.එෆ් යන්නේ නෑ කියලා අනුරත් කියනවා. සජිතුත් කියනවා. මේක අපටත් ප්‍රශ්නයක් වෙයි. මොකද එයාලා කියනවා අපි ගන්න ණය ගෙවන්නේ නෑ කියලා.” ඇමති බන්දුල කීවේ එවැන්නකි.
“අයි.එම්.එෆ් යන්නේ නැතිනම් එයාලා ලංකාවේ ණය පියවන ක්‍රමය කියන්න ඕනේ. ට්‍රිලියනයකට ආසන්න ණයක් ගෙවන්න තියෙනවා.” එහි සිටි නිලධාරියෙකු කීවේය.
ජනපති සදුදා පෙරවරුවේ සිංහල සංස්කෘතික ආයතනයේ නිලධාරීන් මුණ ගැසී එම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් විමසීමක් කළේය. එහි සිටි පැරණි මිතුරෙකු වූ ඩබ්ලිව්.ජයසිරි සමඟ ද ජනපති ආගිය තොරතුරු කතා කිරීමට අමතක නොකළේය.
ජනපති මෙරට ලෝක බැංකු නියෝජිතයන් හා සකච්ඡා කිරීමේ වගකීම කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පැවරූ අතර ඒ අනුව ඔහු අගහරුවාදා එම නියෝජිතයන් හා සාකච්ඡා කළෝය. 75 වැනි නිදහස් උළෙලට සහභාගීවීම වෙනුවෙන් ජනපතිගේ ඇරයුමෙන් මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ජනපති මුණ ගැසුණේ ජනපති කාර්යාලයේදී ය.
බදාදා දිනයේ ජනපති නුවර බලා පිටත්වීමට යොදා ගෙන තිබුණේ නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සම්මාන ලබාදීමේ උත්සවයකට සහභාගීවීමට ය. එහි පිටත්වීමට පෙර ජනපතිට ලැබුණු ආරංචියකින් කියැවුණේ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සිය අපේක්ෂකයන් වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් වියදම් කිරීමට මැතිවරණ කොමිසම සුදානම් වන බවකි.
ඊට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට හා මැතිවරණ කොමිසමට ගොස් පැමිණිලි කර ඊට විරෝධය පළ කර තිබුනි. ජනපති රනිල් වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත නියම කළේ මේ ගැන පරික්ෂා කර තමන්ට විස්තරයක් ලබා දෙන ලෙසටය.
එදින සවස නුවර ගිය ජනපති රනිල් හමුදා සාමාජිකයන් 77 කට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කරන ලදී. බ්‍රහස්පතින්දා අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් බැහැදුටු ජනපති රනිල් නිදහස් උත්සවය සාර්ථකව පැවැත්වීමට ආශිර්වාද ලබා ගත්තේය. මෙහිදි රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන විමසූ උන්වහන්සේලා ජනතාවට සහන ලබා දෙන ලෙසට ද ජනපතිගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදි ජනපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලද පසු රටේ ආර්ථිකය තුළ ඇති වෙන වෙනස්කම් ගණනාවක් ගැන උන්වහන්සේලා දැනුම්වත් කළේය. එසේම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක නොකරන ලෙස ද උන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි. ජනපති ද දළදා ප්‍රදර්ශනයකට ද උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළේය.
එදින සවස 75 වැනි නිදහස සමරමින් සමරු මුද්ලරයක් හා සමරු කාසියක් නිකුත් කරන ලදි. රුපියල් 1000 ක වටිනාකමකින් යුතු සමරු කාසියක් සහ රුපියල් 50 ක වටිනාකමකින් යුතු සමරු මුද්දරයක් සිහිවටනයක් ලෙස නිකුත් කරනු ලැබීය. ඉන් පසුව මහනුවර ජනපති මැදුරේදි තානාපතිවරුන් 11 දෙනෙකුට හා මහකොසාරිස්වරුන් 11 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කෙරුණේ ජනපති සුරතිනි.
එම උත්සවයෙන් පසු ජනපති දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත විය. දළදා මාලිගාවේ සවස තේවාවට එක්වූ ඔහු දළදා සමිදුන් වැද පුදාගැනීමෙන් පසු ජනපති පිටත්වූවේ වික්ටෝරියා වේල්ල මත ඉදිකෙරුණු විශේෂ මණ්ඩපයක පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට ය.
මේ අතර නිදහස් දිනට සමගාමීව හමුදා භාරයේ පැවැති උතුරේ ඉඩම් අක්කර 108 ක් එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට පැවරුණේ ජනපති අණිනි.


ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ ය. එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය යි.

ඒ සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇත. ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග එක් ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පියනැගිය යුතු වෙමු.

2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන මෙම නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම මගේ රජයේ මූලික අරමුණයි. 100 වන නිදහස් සැමරුම් දිනයේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු, ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ප්‍රකාශ කරමි. ඔබගේ විශ්වාසයත්, ආශිර්වාදයත් ඒ සඳහා මම බලාපොරොත්තු වෙමි.

නොබැඳි නමුත් තීරක බලයක් ඇති, නො සැලෙන, දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීම වැනි තිරසර අභිලාෂයන් සහිත නව විදේශ ප්‍රතිපත්තියක් අපි දැන් ක්‍රියාත්මක කරමින් සිටිමු. ලෝකයේ සියලු ජාතීන් සමග එකමුතුව කටයුතු කළ හැකි ශ්‍රී ලාංකිකයන් ලෙස නව නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙරෙහි ද අපි නැඹුරු වෙමින් සිටිමු.

ලොව පුරා වාසය කරන ශ්‍රී ලාංකික ජනතාව අපේ රටේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය මම කෘතඥතා පූරකව සිහිපත් කරමි. අපේ තරුණ ප්‍රජාව නව ව්‍යාපාර ඇරඹීමට උචිත අදහස් වලින් පෝෂණය වී ඇති නමුත් ප්‍රාග්ධන හිඟකම ගැටළුවක් ව පවතී. අපේ තරුණ පරපුරේ එවැනි නව සංකල්ප සඳහා ආයෝජනය කිරීමේ හැකියාව විදෙස්ගත ශ්‍රී ලාංකීකයන්ට ඇත. එබැවින් මෙරට සිටින තරුණ ප්‍රජාව සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් නව ව්‍යාපාරික සංකල්ප ඔස්සේ අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ක්‍රියාකරනු ඇතැයි මම විශ්වාස කරමි.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසුම් සහගතව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

දියුණු සමාජ ආර්ථික සහ දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි කැප වෙමු.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 පෙබරවාරි මස 04 වන දින