ඉන්දියානු රුපියලෙන් ගහන්නෙ ගේමක්

ඉන්දියානු රුපියල මෙරට භාවිත මුදල් ඒකකයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් එහි ඇති ප්‍රතිලාභ ගැන බොහෝ දෙනෙකු ඇගයීමකින් යුතුව කරුණු දක්වා තිබුණද මෙය ඉන්දියානු ව්‍යාප්තවාදයට යටවීමක්ය, ඉන්දියන්කාරයගේ සුපිරි උගුලකට අහුවෙන්න යන්නෙ, එතකොට ලංකාවට පිටරටින් ගෙන්වන්න පුලු‍වන් ඉන්දියාවෙ ජරාව විතරයි, උන් අපේ ඉතිරි ඩොලර් ටිකටත් කෙලින්න හදන්නේ ආදි වශයෙන් ඊට එරෙහි මත සමාජ මාධ්‍ය තුළ පළ කිරීම්ද දකින්නට ලැබිණි. මේ විපක්ෂ අදහස් පළවීම දේශපාලනික පක්ෂපාතිත්වයන් හෝ කරුණු නොදන්නාකම හෝ රජය කරන සියලු‍ කටයුතු තුළ කුමක් හෝ දූෂණයක්, ජාවාරමක්, ඩීල් එක්ක ඇති බව විශ්වාස කරන පටු මානසිකත්වය ආදිය නිසා මතුවූ කරුණුය.

මූලිකම දෙය නම් ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට තුළ ඉන්දීය රුපියලට අමුතු ඉඩකඩක් ලබා දීමක් සිදු කර නොමැති බව මේ අය නොදැනීමය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පමණ මහ බැංකුව විදේශ මුදල් භාවිතය සම්බන්ධයෙන් මෙම තීරණයට එළඹියේ රට මුහුණ පා තිබූ ඩොලර් හිඟය නිසා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හෝ ආනයනය කිරීමට තිබු අසීරුතාවය හමුවේ බවට සැක නැත. මෙරට ආනයනයන්ගෙන් සියයට 25ක් පමණ එනම් ඩොලර් බිලියන පහක, හයක පමණ කෙරෙන්නේ ඉන්දියාව සමඟ නිසා එම ගනුදෙනුවලදී ඉන්දියානු රුපියල පාවිච්චි කිරීමට හැකිවීම ඩොලර් හිඟය නිසා වූ ප්‍රමාදයන් වැළැක්වීම වෙනුවෙන් වූ හොඳම පියවරක් විය. කෙසේ නමුත් මහ බැංකුව මෙම අවසරය ලබා දුන්නේ ඉන්දියන් රුපියලට පමණක් නොවේ. අමරිකානු ඩොලර්වලට විකල්පව ඉන්දියන් රුපියල් සමඟම ඕස්ට්‍රේලියානු ඩොලර්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, නෝර්වීජියානු ක්‍රෝනර්, යුරෝ, කැනේඩියානු ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, නවසීලන්ත ඩොලර් යන විදේශීය මුදල් ඒකක 14ට මහ බැංකුව එම අනුමැතිය ලබාදුන්නේ ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙසය.

නමුත් විවාදයට තුඩුව ඇත්තේ ඉන්දියන් රුපියල ගැන පමණකි. මෙය ඓතිහාසිකව එන ඉන්දියනු විරෝධය සමඟ එන ප‍ටු මතවාදී ආකල්පයන් පදනම් කරගත් තත්වයකි. එය තමන්ගේ ඊනියා ජාතිකවාදී දේශපාලනික වාසිය සඳහා යොදා ගැනීමකි.

කොහොම නමුත් ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් රුපියල පාවිච්චි කිරීම අලුත් දෙයක් නොවේ. එය 50 දශකයට පෙර යුගවල සිදුව තිබිණි. 1950දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහි‍ටුවීමෙන් පසුව ඉන්දියන් රුපියල පාවිච්චිය ක්‍රමයෙන් ඉවත් වී ආනයන අපනයන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර්යට මාරුවීම සිදු විය. එම යුගයේදී ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල් 30ක්, වෙනත් විදේශිකයන්ට රුපියල් 20ක්, මෙරට වැසියන්ට රුපියල් 10ක් වශයෙන් ඉන්දීය රුපියල වරකට පාවිච්චි කළ හැකි විය. වර්තමාන අනුමැතිය යටතේ ඇමරිකානු ඩොලර් 10,000ක වටිනාකමට සමාන ඉන්දිය රුපියල් ගනුදෙනු කළ හැකිව තිබේ.

විදේශ මුදල් මෙරට භාවිත මුදල් ඒකක ලෙස පාවිච්චි කිරීමට අවසරය ලබාදීම මඟින් සිදුවන වාසි කන්දරාවක් තිබේ. විශේෂයෙන්ම ඒ ඒ මුදල් ඒකක හිමි රටවල් සමඟ ආනයන අපනයන කටයුතු පහසුවෙන් කිරීමට හැකිවීම ප්‍රමුඛය. ඩොලර් හිඟය නිසා වන ගැටළු වළකා ගත හැකිව තිබේ. පසුගිය කාලයේ ආනයනයන් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමේදී ඩොලර් නොමැතිවීමේ ගැටළු‍ව මෙයින් යම් තරමකට විසඳී ඇත.

එසේම මෙම ගනුදෙනුවලදී රුපියල් දී ඩොලර් මිළදී ගැනීමත් ඩොලර් යළි රුපියල් කිරීමේදීත් ගැණුම් හා විකුණුම් මිලෙහි වෙනස මත වන අමතර පිරිවැය දරන්න වන්නේ නැත. එය ව්‍යාපාරිකයාට මෙන්ම එම විදේශීය ව්‍යාපාරිකයාටත් එකසේ අදාල වන අතර එමඟින් අතිරේක මුදල මෙහිදී වැය කරන්න සිදුනොවීම මත මෙරටට ආනයනය කරන භාණ්ඩවල මිල යම් තරමකට අඩුවීමත් සිදුවෙනු ඇත. එමෙන්ම ඉන්දියාව වැනි අති විශාල ජත්‍යන්තර වෙළඳපොළට පිවිසීමෙන් මෙරට අපනයනයන් සඳහා ද වැඩි වාසියක් අත්පත් කරගත හැකිය. එය සෘජුවම මෙරට ආර්ථිකය ඉදිරියට ගැනීමකි. එසේම මෙමගින් ඩොලරය සඳහා ඇති ඉල්ලුම අඩුවීම සිදුවෙනු ඇති අතර මෙරට රුපියල ශක්තිමත්වීමත් සිදුවෙනු ඇත.
එසේම මෙරටට ඒ ඒ රටවලින් එන සංචාරකයන්ට තම මුදල් ඩොලර් බවට පරිවර්තනය කර නොගෙන තමන්ගේ රටේ මුදල් මෙරටදී පහසුවෙන් රුපියල් බවට පත්කර ගත හැකිය. එමෙන්ම එම මුදල් ඒකකයන් වෙතින්ම ගනුදෙනු කිරීමේ අවස්ථාව වුව ඉදිරියේදී හිමි විය හැකිය. ඒ අනුව මෙය සංචාරක ව්‍යපාරයටද පහසුවක් වෙනු ඇත.

ඒ කොහොම නමුත් ඉන්දියාවද මේ වන විට සිය රුපියල සඳහා ජාත්‍යන්තර වටිනාකමක් අත්පත් කරගැනීම වෙනුවෙන් උත්සාහයක නිරතව සිටී. ඒ අනුව යුරොපා සංගමයේ රටවල් අතර පොදු මුදල් ඒකකයක් ලෙස පාවිච්චි කෙරෙන යුරෝ මුදල් ඒකකය මෙන් මෙම සාක් කලාපය තුළ ඉන්දියන් රුපියල පොදු භාවිතයට ගැනීම ගැන එකඟතාවයක් වෙනුවෙන් ඔවුන් මේ වන විටත් වැඩපිළිවෙලක් දියත් කර තිබේ. එසේම කලාපයෙන් පිටත වෙනත් රාජ්‍යයන් 20කට අධික ප්‍රමාණයක් සමඟද ඉන්දියන් රුපියල සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථා වෙනුවෙන් සාකච්ඡා කිරීම සිදුව තිබේ.

මෙමගින් ඉන්දියානු රුපියල ආසියාතික රටවල් අතර ජනප්‍රිය කිරීම සහ ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීම ඉන්දීය රජය අපේක්ෂා කරයි. එය සාක් කලාපය තුළ ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට දරණ ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකිය. මේ අතර ඉන්දියාව ඩොලරයට විකල්ප ජාත්‍යන්තර මුදල් ඒකකයක් ගොඩනැගීම වෙනුවෙන් BRICS නමින් වන රටවල් පහක සංධානයේ ද සාමාජිකයෙකි. එහිදී ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව මෙම නව මුදල් එකකයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටී.

කොහොම නමුත් මෙම කලාපීය පොදු මුදල් ඒකකයක් ගැන අදහස අලු‍ත් එකක් නොවේ. එය සාක් සංවිධානය ගොඩනැගෙන කාලය තුළම පැමිණි අදහසකි. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සාර්ක් සංවිධානය ගොඩනැගීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් එදා ඉ‍ටු කරනු ලැබුවේ කලාපීය වශයෙන් ශක්තිමත් ආර්ථිකයක වැදගත්කම එදා දු‍ටු නිසාය. ඔහු Colombo Plan ගොඩනැගුවෙත් ඒ වෙනුවෙනි. එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහද දැන් කාලාන්තරයක් තිස්සේ මෙම කලාපීය සහයෝගිතාව ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙමින් සිටී. විශේෂයෙන්ම තමිල්නාඩුව. කේරලය වැනි දකුනු ඉන්දිය ප්‍රාන්ත රාජ්‍යයන්ගේ වේගවත් සංවර්ධනය අනුව එහි ප්‍රතිලාභ මෙරටටත් අත්පත් කරගැනීම වියයුතු බව ඔහු කීවේ මීට දශක දෙකකටත් පෙර කලකය. ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට යෑමට සැලසුම් කළේ ඒ අනුවය. නමුත් මෙරට පටු දේශපාලන විරෝධයන් හමුවේ යථාර්ථයක් කර ගැනීම වැළැකිනි. සිංගප්පුරුව ගොඩ නැගීමේ දී ඔවුන් තම‍න්ගේ ප්‍රධාන ඉලක්කය කරගත්තේ මිලියන් 60ක ජනගහනයක් සිටි යාබද ඉන්දුනිසියාවය. තමන්ට වඩා ශක්තිමත්ව තිබු රාජ්‍යයක් ආර්ථිකමය ලෙස ආක්‍රමණය කිරීමට හැකිවීම සිංගප්පුරුව ලැබූ ජයග්‍රහණයේ පදනමය. ලෝකයේ විශාලම ජනගහනය සිටින, ලෝකයේ 5 වෙනි විශාලම ආර්ථිකය වන ඉන්දියාව මෙරට වෙළඳපොළ බවට පත්කර ගැනීම තවදුරටත් මඟහැර යෑම ශ්‍රී ලංකාවට ඇති හොඳම අවස්ථාව අත්හැර දැමීමකි. තවදුරටත් වෙළඳ හා මුල්‍ය ගිවිසුම් හරහා ඉන්දියාව සමඟ වන සම්බන්ධතා ගොඩනැගිම මෙරට ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. ඉන්දියානු රුපියල ගනුදෙනු සඳහා විවර කිරීම එම ඉන්දියානු වෙළඳපොළට පිවිසීමට පහසුවක් වෙනු ඇත. එය 2048 වන විට රට සංවර්ධිත රාජ්‍යයක්වීමේ යථාර්ථයට තවදුරටත් සමීපවීමක් ලෙසද සැලකිය හැකිය.

– ප්‍රභාත් ජයසුමන