ජාත්‍යන්තර දර්ශකවලින් විපක්ෂයේ දුප්පත්කම මැනගත හැකිය

ශ්‍රී ලංකාව දුක්ඛිතම නැතිනම් හිඟතාවයකින් පෙළෙන රටවල් අතර 11 වන තැනට පත්ව ඇති බව ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන මාහාචාර්ය ස්ටීව් හැන්කේ පසුගියදා ඉදිරිපත් කරන ලද නවතම දර්ශකයක් මඟින් (්‍ය්බනැ’ි ්බබම්ක ඵසිැරහ ෂබාැං – 2022) පෙන්වා දී ඇත. මෙහිදි රටවල තිබෙන මදිපාඩුකම් නැතිනම් පාරිභෝජනයේ දුර්වලතාවයන් ඉලක්ක කරගෙන මේ දර්ශකය ගොඩනැගුනත් මෙරටදී ඒ දර්ශකය දුප්පත්කම මැනීමේ දර්ශකයක් බවට පත්කර ශ්‍රී ලංකාව ලොව දුප්පත්ම රටවල් 11 අතරට දැමීමට මෙරට අවස්ථාවාදී විපක්ෂය සහ ගොබ්බ මාධ්‍යවේදීන් කටයුතු කර තිබිණි.

හැන්කේගේ මෙවර දර්ශකය මඟින් කියන්නේ 2022 වසර අවසන් වන විට තිබූ තත්වයය. මෙරට මේ කියන දුක්ඛිතභාවයට බලපා තිබෙන ප්‍රමුඛ සාධකය ලෙස උද්ධමනය වැඩිවීම බවත් ඔහු පෙන්නුම් කර ඇත. අනෙක් රටක් විරැකියාව, බැංකු ණයදීමේ අනුපාතය මත මේ තත්වයට පත්ව ඇත. මෙම දර්ශකය විරැකියාව, උද්ධමනය සහ බැංකු ණයදීමේ අනුපාතවල එකතුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශත සමග සුත්‍රගත කිරීමක් මඟින් මෙම ගණනය කිරීම සිදු කර ඇත. පසුගිය කාලයේ හැන්කිගේ උද්ධමනය පිළිබඳ වාර්තා උපුටා දක්වමින් ලෝකයේ වැඩිම උද්ධමන වේගයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබු අතර මේ වන විට එම උද්ධමන වාර්තාවෙන් ශ්‍රී ලංකාව අතුරුදන්ව තිබේ. එනම් එම අනුපාතය සීග්‍රයෙන් පහළට ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම තුළය. කෙසේ නමුත් මේ වන විට සියයට 70ට ආසන්නයේ තිබු උද්ධමනය සියයට 30ට ආසන්නව තවදුරටත් පහළට පැමිණ තිබෙන අතර මෙම වසරේ අවසන් භාගය වන විට එය තනි ඉලක්කමක් කරා පහළට වැටෙණු ඇති බවට පුර්ව කථනයන් තිබේ.

මේ අතර ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය කළ වාර්තාවද මෙරට මාධ්‍යවල පළ කර තිබුණේ ජනතාව නොමඟ යන ලෙසය. මෙම ශ්‍රේණිගත කිරීම කර තිබුණේ 2021 වසරේ වැඩිහිටි ජනගහනයට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව ය. ඒ අනුව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රාලය, සිංගප්පුරුව, මැදපෙරදිග තෙල් රටවල් ඇතුලු‍ සංවර්ධිත රාජ්‍යයන් සමඟ රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් අතරින් ආසියාවේ දුප්පත්ම රටවල් අනුපිළිවෙලින් 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ 2021 වසරේ වැඩිහිටි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5555 ක් බව එහි දැක්වේ. මෙම ශ්‍රේණිගත කිරීමේ දුප්පත්ම රට ලෙස සමාජවාදී උතුරු කොරියාව හඳුන්වා දී ඇති අතර 2021 වසරේ එහි වැඩිහිටි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 කි.

හැන්කේගේ දුක්ඛිතකමේ දර්ශකය අනුව 2021 වසරේ ශ්‍රී ලංකාව තිබුණේ 58 වන තැනය. වසරක් ඇතුළත ශ්‍රී ලංකාව මෙතරම් වෙනස් වූයේ කෙසේද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත. වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා මෙය සිදු විය. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මුලිකත්වයෙන් සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵල ලෙස ශ්‍රි ලංකාව යළි ආර්ථිකමය වශයෙන් යම් වේගවත් ගමනකට මුල පුරා ඇත. මෙරට ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ රටේ ආර්ථික ක්‍රමවේදයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් නිසි පරිදි සිදු කිරීම විය යුතුය. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් තිබේ. විදේශ ණය හිමියන් සියල්ලම පාහේ මේ සඳහා සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාද මේ වන විට සිදුවෙමින් තිබේ. දේශීය ණය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ තිබු ව්‍යාකූලත්වයද මේ වන විට සමනය කර ගැනීමට හැකිව ඇති බවද පෙනෙන්නට තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා බැංකු සහ මුල්‍ය ආයතන කඩා වැටීම ගැන අනතුරු හැඟවීම තිබුණද ඒ සියල්ල මල නොතලා රොන් ගන්නා සේ මටසිළුටුවට සිදු කරමින් ඇති විය හැකි අර්බුද කළමනාකරණයට යම් වැඩසටහනකට අවතීරණ වී ඇති නිසා ඒ ගැන තිබුණ බිය පහව ගොස් ඇත. කොහොම නමුත් ලබන සැප්තැම්බර් වන විට මෙම ප්‍රශ්නය විසදෙනු ඇති බව රජයේ මතය වේ. ඒ අනුව සැප්තැම්බරයේදී යළි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයන් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කෙරෙන සමාලෝචනයෙන් පසුව ඉදිරි සහනයන්ද ලබාගැනීමේ හැකියාව ගැන සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකිය.

එසේම මෙවන විට යළි විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ අපේක්ෂා දැල්වී ඇත. විශේෂයෙන්ම ජපානය මෙරට ක්‍රියාත්කමක කිරීමට සැලසුම් කර තිබියදී පසුගිය ගෝඨාභය පාලන යුගයේ ගත් මුග්ධ තීන්දු අනුව අත්හි‍ටුවනු ලැබු සැහැල්ලු‍ දුම්රිය ව්‍යපෘතිය සහ තවත් ව්‍යපෘති කිහිපයක්ම යළි ආරම්භ කිරීමට ජපානය සූදානම් බව ප්‍රකාශ කෙරී ඇත. එසේම තවත් විදේශයන් ගණනාවකින් ආයෝජන ව්‍යපෘති සඳහා යෝජනා ඉදිරිත්ව ඇතැම් ඒවා ක්‍රියාත්මක මට්ටමටද පැමිණ තිබේ. මේ අනුව රට තුළ තිබුණු ආර්ථික තත්වයන් සලකමින් මෙරට ආර්ථිකය ගැන ජාත්‍යන්තර ආයතන විසින් සිදු කරන පුරෝකතන හෙට දවසේදී වඩා සුබවාදි ලෙස වෙනස්වීමකට භාජනය වෙනුද ඇත.

ශ්‍රී ලංකාව තමන් මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ජාත්‍යන්තරය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සහ ක්‍රමවත්ව සිදු විය. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන අද ලෝකයේ අවාධානයට යොමු වී ඇති සාර්ථක වැඩ සටහනක් බවට පත්ව තිබේ. එය ඉදිරියේදී මෙවැනි අර්බුද සමනයට සෙසු රටවලටත් මොඩියුලයක් කරගත හැකි බවට ජාත්‍යන්තර ආයතනවලින් ප්‍රකාශයන් නිකුත් කෙරෙන තරමට එහි සාර්ථකත්වය පෙන්වා ඇත.
කෙසේ නමුත් මෙම ජාත්‍යන්තර වාර්ථාවන් අනුව අද කිසිසේත්ම ශ්‍රී ලංකාව දුප්පත් රාජ්‍යයක් ලෙස අර්ථ දැක්විය නොහැක. වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා තාවකාලික කඩා වැටීමකින් පසුව යළි කඩිනමින් ගොඩනැංවෙන රාජ්‍යයක් ලෙස අද ශ්‍රී ලංකාව ලෝකය හමුවේ සිටී.

මීට වසරකට පෙර රට වැටී තිබුණු තත්වයෙන් ගොඩගැනීම වෙනුවෙන් ජනපති රනිල් විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පැවැතීම තුළ අද තවදුරටත් මුහුණ දෙන යම් පීඩාකාරිත්වයන් ඉතා ඉක්මනින් අවසන් වෙනු ඇත. ජීවන වියදම් පිරිවැය අඛණ්ඩව අඩුවීම, කෘෂි හා කාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනයන් සිදුවෙමින් තිබෙන අතර එළැඹෙන සැප්තැම්බරයේ සිට රාජ්‍ය සේවා වැටුප් වැඩිවීමක් සිදු වෙනු ඇති බවත් ප්‍රකාශිතය. එසේම අලු‍තෙන් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලද ඒ සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන දියුණුම වැඩපිළිවෙලක් බවට පත්ව තිබෙන අතර එය ලබන මස සිට ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව අඩු ආදායම් ලබාන්නන්ගේ සහ ආර්ථික අර්බුදය නිසා අවදානමට ලක්වූ කොටස්වල යළි නැගී සිටීම එය විශාල රුකුලක් වෙනු ඇත. ව්‍යපාරකරණයට, ආයෝජනයට බාධාකාරීව තිබු රට එයින් නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් නීති රෙගුලාසි සංශෝධනය කරමින් ඊට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීමද මේ වන විට සිදු වෙමින් පවතී. එසේම ඩොලරයේ අගය වෙළඳපොළ අනුව පාලනය වන්නට ඉඩ හැරීමත් ඩොලරයට අමතරව තවත් විදේශ මුදල් ඒකක පහළොවකට මෙරට භාවිතයට ඉඩ හැරීම මඟින් විදේශ විනිමය ගැටලු‍ අවමවීම සිදු වෙනු ඇත. ඒ අනුව ආනයන සීමාවන් ක්‍රමයෙන් ඉවත්වීමද සිදු වෙනු ඇත. මේ අනුව හැන්කේගේ වාර්තාවෙන් කියන කණගාටුදායකව තිබෙන පාරිභෝජන හැකියාවන් මේ වසර අවසන් වන විට දූරීභූත වී අවසන් වෙනු ඇත. පෙර උද්ධමන වාර්තාවෙන් ශ්‍රී ලංකාව අතුරුදන් වු ලෙසම මෙම දුක්ඛිතභාවයේ වාර්තාවෙන්ද ශ්‍රී ලංකාව අතුරුදන් වෙනු ඇත.

කොහොම නමුත් අද මේ මොහොතේ තිබෙන සාර්ථකත්වය ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබියව නිවැරදී තීන්දු තීරණ ගැනීම නිසාය. මේවා කරන්න සූදානම් වන කාලයේ විපක්ෂ කොටස් මීට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ වැඩවර්ජනයන් ආදිය කරමින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ගත් වෙර වීරිය ගැන ද අමතක නොකළ යු‍තුය. එදා විපක්ෂයේ කෑ මොරගෑම්වලට බිය වී මේ ප්‍රතිසංකරණයන් හකුලා ගැනීම සිදු වූවානම් තවත් වසර ගණනාවකට රට ගොඩ නොයෑම ස්ථිරය. ලොව දුප්පත්ම රාජ්‍යයන් අතර අංක එකවීම වැලැක්විය නොහැකි වෙනු ඇත. විපක්ෂය බලාපොරොත්තු වූයේ එයයි. අද ජාත්‍යන්තර දර්ශකවලට ව්‍යාජ අර්ථකථන දෙමින් ලංකාව ලෝකයේ දුප්පත්ම රාජ්‍යයන් අතරට පත්ව ඇතැයි කියන බොරුව පතුරුවන තැනට පත්වන්නේ ඒ නිසාය. මේ විපක්ෂය පත්ව ඇති දේශපාලන දුප්පත්කමය. නමුත් රටේත් ජනතාවගෙත් වාසනාවකට රනිල් වික්‍රමසිංහ නැමැති වීර්යවන්ත මනුස්සයා රටේ වගකීම භාරගැනීම සිදු විය. කෙතරම් අසීරු වුවත් අභියෝගාත්මක වුවත් ඔහු එය බාර ගත්තේ ‘අපි ආවොත් රට හදන හැටි පෙන්නනවා’ කියමින් වහසි බස් දෙඩවූ විපක්ෂයේ නායකයෝ ඒ වගකීම මඟ හැර සැඟවී සිටියදීය.

විපක්ෂයේ දුප්පත්කම තවදුරටත් පෙන්නූ දේශීය දර්ශයක් වූයේ පසුගිය සතියේදී මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයේදී විපක්ෂයට වූ අලකලංචියය.

මේ සිදුවීම අල්ලාගෙන විපක්ෂය විශාල ප්‍රචාරයක් ගෙන යමින් සිටියේ මෙය ආණ්ඩුව පරාජයට පත්කරවන බව කියමිනි. ජනක රත්නායක මහා ජනතා වීරයකු කරමින්, ජාතියේ ගැලවුම්කරු කරමින් විපක්ෂය නටපු නැටුම අහවර වූයේ බෙරේ පළුවකුත් නැති කරමිනි. විපක්ෂය කීවේ රත්නායක ඉවත් කිරීම වත්මන් ආණ්ඩුවේද අවසානය වන බවය. එහෙත් එහෙම තත්වයක් නැති බව අප පසුගිය සතියේ ද මෙම තීරුවෙහි පෙන්නා දුන්නෙමු. ජනක රත්නායක කොමිසමේ සභාපතිවරයා ලෙස කළ පිස්සු කෙලීම රටට රහසක්ව තිබුණේ නැත. ස්වාධීන කොමිසන් සභාවක සභාපතිවරයකු ලෙස ඔහු හැසිරුනේ එම වගකීම කුමක්ද යන්නවත් නොදැනය. රජයක් යම් ප්‍රතිපත්තිමය තීන්දුව මත කටයුතු සංවිධානය කරන විට ඊට සමගාමීව අදාල කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් තීරණ ගැනීම කොමිසමකින් විය යුතුය. රජය ප්‍රතිපත්ති තීරණය කරන්නේ රට ගොඩනැගිමට අවශ්‍ය පියවරක් ලෙසය. දීර්ග කාලීනව ඒ මත හිඳිමින් පවතින ගැටළු නිරාකරණය කර රට අර්බුදයන්ගෙන් මුදවා ජනතාවට වඩා හොඳ ජීවන තත්වයක් උදා කිරීම වෙනුවෙනි. කොමිසන් සභා එය තේරුම් ගත යුතුය. කොමිසන් සභාවක් කටයුතු කළ යුතු වන්නේ රජයේ ප්‍රතිපත්තිවලට හානිවන ඊට බාධා කරන යමෙක් වේ නම් ඒ වැලැක්වීම වෙනුවෙනි. රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ඒ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මකවීමේ හැකියාව කොමිසමට තිබේ. කොටින්ම කොමිසන් සභා කියන්නේ රජයේ කටයුතු නියාමනය කරන ආයතන ව්‍යුහයක් ලෙස හැඳින්වීම වැරදි නොවේ. මේවා ගොඩනැගුවේ ඒ වෙනුවෙනි. නමුත් මේ සියල්ල සිදු විය යුත්තේ රජයේ ප්‍රතිපත්ති සැලසුම්වලට ගැලපෙන ලෙස මිස කොමිසන් සභා සාමාජිකයන්ගේ හිතළු, හිතුවක්කාරකම් අනුව නොවේ.

ජනක රත්නායක කටයුතු කළේ විපක්ෂ දේශපාලන පක්ෂ සම්ප්‍රදායික ලෙස නඩත්තු කරන හුදු ආණ්ඩු විරෝධයටත් වඩා එහාට ගිය සිල්ලර මරි මෝඩ දේශපාලනයක් වෙනුවෙනි. විපක්ෂය පවා මේ මොහොතේ සිදු විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට එරෙහිවන්නේ සිය පාක්ෂිකයා චූන් කරන සීමාව තුළ පමණි. රජය ගෙන තිබෙන පියවර මෙම මොහොතේ ගත හැකි හොඳම විසඳුම් බව ඔවුන්ට සත්‍ය ලෙසම ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබෙන්නකි.
කොහොම නමුත් විපක්ෂයේ අවස්ථාවාදී බලලෝබී ආණ්ඩු විරෝධි දේශපාලනය විසින් ජනක රත්නායකව පාවිච්චි කරමින් ආණ්ඩුව පෙරළා දැමීමට ගත් උත්සාහය ඔවුන් බලපොරොත්තු වූ මට්ටමටත් වඩා අසාර්ථක විය. ඔවුන් සිතුවේ මේ විදුලි බිල් වීරයා පැන්නීමට ආණ්ඩුවට 113 බහුතරයවත් නොමැති වෙතැයි කියාය. නමුත් 113 බහුතරයත් අභිබවා 123ක බහුතරයක් ආණ්ඩුවට පක්ෂ විය. විපක්ෂයට 77කට වැටුණේ ඔවුන් සතුව තිබෙනවාය කියන ඡන්ද ප්‍රමාණයවත් එකතුකර ගැනීමට නොහැකිවය. ඒ අනුව ආණ්ඩුවේ ස්ථාවරත්වය ඉතා පැහැදිලිව මෙම ප්‍රශ්නය සම්බන්ධයේදීත් යළි ඔප්පු කර ඇත.

එහෙත් දැන් විපක්ෂට තවත් බරපතල අවුලකට පත්වී ඇත. ඒ තමන් විසින් පුම්බා උඩ ඇරිය ජනක රත්නායක අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත් කිරීම නිසාය. විපක්ෂට වීරයෙක් වූ මිනිහාට තවත් අමුතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න සුදුසුකම් අවශ්‍ය නැත. ඔහු ඉබේම විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්ව තිබේ. එනමුත් මේ සෙල්ලමට සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර කැමැති නොවනු ඇත. මන්ද ඔවුන් ජනාධිපති සූට් එක මහගෙන සිටින්නේ බොහෝ කලක සිට නිසාය. මේ නිසා තමන් විසින් පුම්බනු ලැබු ජනකගේ ඉදිරිපත්වීම ඔවුන්ට රඟන්න තිබෙන භුමිකාව තවත් කුඩා කිරීමක් වෙනු ඇත. දැන් විපක්ෂයේ අර්බුදය එයයි. ඊටත් වඩා ලස්සනම දේ වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල්ට මුහුණ දෙන්න තරම් ප්‍රබල ප්‍රතිවාදීයකු නැති වී ජෝකර්ලා සෙට් එකක්ම එකවිට ඉදිරිපත්වීම දකින්නට ලැබීමය.

– ඝෝෂ