මැක්‍රොන් ප්‍රචණ්ඩ විරෝධතා මැඩ පැවැත්වීමට සමාජ මාධ්‍ය සීමා කිරීමක

0

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එරට සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් වන, Snapchat / TikTok සහ Telegram
හි ඇතැම් විශේෂාංග සහ පහසුකම් සීමා කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා කිරීමට සහ නීති විරෝධී රැස්වීම් සැලසුම් කිරීමට විරෝධතාකරුවන් විසින් මෙම සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරමින් සිටී.
ප්‍රචණ්ඩ විරෝධතා පැවැති නගරවල ප්‍රාදේශීය නගරාධිපතිවරුන් සමඟ සිදු වූ හමුවකදී මැක්‍රොන් මෙම අදහස සාකච්ඡා කළේය. මෙවන් පාලනයෙන් තොර ගැටලු‍ පාලනය කිරිමට ඇතැම් සමාජ මාධ්‍ය විශේෂාංග සහ පහසුකම් නියාමනය කිරීමට හෝ අවහිර කිරීමට අවශ්‍ය විය හැකි බව ඔහු යෝජනා කළේය.

රජයේ ප්‍රකාශක Olivier Véran පැහැදිලි කළේ මෙයට සමහර ක්‍රියාකාරකම් අත්හිටුවීම් (functional suspensions) පමණක් ඇතුළත් වන බවයි. නිදසුනක් වශයෙන්, තරුණයින්ට නිශ්චිත ස්ථානවල රැස්වීමට ඉඩ සලසන සමහර සමාජ මාධ්‍ය වේදිකාවල භූ ස්ථානගත කිරීමේ (GSP) විශේෂාංග අත්හිටුවිය හැකිය.

මැක්‍රොන් සහ අනෙකුත් දේශපාලකයන් විශ්වාස කරන්නේ විරෝධතාකරුවන් නීති විරෝධී ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සඳහා සීමිත අන්තර්ගත නිරීක්ෂණ සහිත සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන බවයි. කෙසේ වෙතත්, මැක්‍රොන් යෝජනා කරන්නේ සම්පූර්ණ සමාජ මාධ්‍ය, අවහිර කිරීමක් නොව අවශ්‍ය පරිදි තාවකාලික අත්හිටුවීම්ය.

මෙම අදහස ප්‍රංශ ජාතික සභාවේ Les Républicains කණ්ඩායමේ සභාපති Olivier Marleix සහ La France Insoumise කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Mathilde Panot ඇතුළු බොහෝ දෙනාගේ තදබල විවේචනයට ලක්ව ඇත.
ප්‍රංශ ඩිජිටල් අමාත්‍ය Jean-Noël Barrot කැරලිවලදී සමාජ මාධ්‍ය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ක්‍රියාකාරී කණ්ඩායමක් නිර්මාණය කිරීමට යෝජනා කර ඇත. අන්තර්ජාලය ආරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නම් නීති කෙටුම්තක් සැකසීම සඳහාද ඔවුන්ගෙ අවධානය යොමුව තිබේ.

මේ වන විට ප්‍රංශයෙ වීදිවල ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නමුත් බොහෝ ප්‍රංශ නගරවල තවමත් ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත්ව නැත. පැරීසියේ තදාසන්න ප්‍රදේශයක් වන නන්තෙරේහි රථවාහන නැවැත්වීමකදී 17 හැවිරිදි නෙහෙල් නැමැත්තාට පොලිසිය වෙඩි තබා මරා දැමීමෙන් පසු රජය සහ එහි ආයතන කෙරෙහි කෝපය රට පුරා පුපුරා ගියේය. වෙඩි තැබූ පොලිස් නිලධාරියා ක්‍රියාකර ඇත්තේ සිය ආත්මාරක්ෂාව සඳහා නොවන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළවීමත් සමඟ තත්ත්වය තවත් නරක අතට හැරිණි.

ප්‍රචණ්ඩත්වය ප්‍රධාන වශයෙන් යොමු වී ඇත්තේ රාජ්‍ය සංකේතවලට එරෙහිව ය. විශේෂයෙන්ම පොලිස් ස්ථාන, පාසල් සහ නගර ශාලා ප්‍රචණ්ඩකරුවන්ගේ ඉලක්ක බවට පත් විය. අද දක්වා ඇති බරපතලම සිදුවීම වූයේ පැරිස් අගනගරය LzHay-les-Rosesහි නගරාධිපතිවරයාගේ නිවසට පහර දීමයි. එයින් බේරී පළා යාමට උත්සහා කිරිමෙදි නගරාධිපතිවරයාගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා අනතුරකටද පත්ව තිබෙ. මෙ සම්බන්දයෙන් එරට පොලිසිය මෙය මිනීමැරීමට තැත් කිරීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පවත්වයි.

පසුගිය සඳුදා සිට බොහෝ නගරවල නගර ශාලා ඉදිරිපිට සහයෝගිතා රැලි පැවැත්විණි. කෝලාහල ආරම්භ වූ දා සිට රට පුරා 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය (RN) කණ්ඩායම මෙම අවුල් සහගත තත්ත්වයෙන් දේශපාලන ප්‍රතිලාභ ලබන්නා බවට ද මත පලවෙයි.

බොහෝ ප්‍රංශ දේශපාලනඥයන් 17 හැවිරිදි නහෙල්ට වෙඩි තැබීම තරයෙම හෙළා දුටුවේය. සියල්ලටත් වඩා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, එය විස්තර කළේ “පැහැදිලි කළ නොහැකි” සහ “සමාව දිය නොහැකි” වරදක් ලෙසයි. මාධ්‍යය සහ වාමාංශික දේශපාලනඥයන් ඔහුගේ එම ප්‍රකාශය සමඟ එක් විය. අන්ත වාමාංශික පක්ෂයක් වන La France Insoumise හි නියෝජ්‍යයෙකු වන Francois Ruffin කිසිදු අනතුරක් සිදු නොකළත්, තම 17 හැවිරිදි පුතාට ඉතා ආසන්න දුරකින් වෙඩි තබා ඇති බව පවසන අතර ඊට එරෙහිව කටයුතු කරන ලෙස මුළු ජාතියටම ආරාධනා කර ඇත.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *