යූනුස්ට එරෙහි චෝදනා ඉවත්කරන ලෙස ගෝලීය නායකයන්ගෙන් හසීනාට ඉල්ලීමක්

0

නොබෙල් ත්‍යාගලාභීන් ඇතුළු ලොව පුරා නායකයින් 170කට වැඩි පිරිසක් මහාචාර්ය මුහම්මද් යුනුස්ට එරෙහිව ගෙන තිබෙන නීතිමය ක‍්‍රියාමාර්ග නවත්වන ලෙස බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. ඔහු 2006දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ දුප්පතුන්ට උපකාර කිරීම සඳහා ක්ෂුද්‍ර ණය ලෙස හැඳින්වෙන කුඩා ණය ප‍්‍රදානය කිරීමේ ක‍්‍රමවේදයක් හ`දුන්වාදීම වෙනුවෙන් ඔහු ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ය.

මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින්, හිටපු ජනාධිපති බැරක් ඔබාමා, හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වැනි නායකයින්, ඇතුළු පිරිස බංග්ලාදේශයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ මානව හිමිකම්වලට ඇති තර්ජන ගැන කනස්සල්ල පළ කර ඇත.

එම ලිපියේ සඳහන් වූයේ, නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස්ට චෝදනා කරමින් ගෙන තිබෙන පියවර ගැන ඔවුන් කනස්සල්ලට පත්ව සිටින බවත්, අසාධාරණ යැයි අප විශ්වාස කරන නීතිමය ගැටලූ‍වලට ඔහුට මුහුණ දීමට සිදුවීම ගැනත් කනස්සල්ලට පත්ව සිටින බවත්ය. එසේම ගැඹුරු සමාලෝචනයක් සිදු වුවහොත් ඔහු නිර්දෝෂී බව ඔප්පු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරන බවත් දන්වා ඇත.

අගමැතිනි ෂීක් හසීනා පිළිතුරු දෙමින් කියා සිටියේ යුනුස්ට එරෙහි නීතිමය නඩු විභාග කිරීමට බංග්ලාදේශයට පැමිණෙන වෙනත් රටවල විශේෂඥයින් සහ නීතිඥයින් සාදරයෙන් පිළිගන්නා බවයි. එසේ පැමිණෙන්නේ නම් මින් පෙර නොදුටු සහ නොඇසු තවත් තොරතුරු හෙළි වනු ඇතැයි ඇය විශ්වාස කරන බවයි.

1983 දී යුනුස් ග‍්‍රාමීන් බැංකුව ආරම්භ කළ අතර එය සාමාන්‍ය බැංකුවකින් ණය ලබා ගත නොහැකි පුද්ගලයින්ට කුඩා ණය ලබා දෙයි. දුප්පතුන්ට උපකාර කිරීමේදී මෙම බැංකුවේ සාර්ථකත්වය තවත් බොහෝ රටවල එවැනි උත්සාහයන් සඳහා පෙලඹීමක් ඇති කළේය.

කෙසේ වෙතත්, 2008 බලයට පත් වූ දා සිට හසීනාගේ රජය යුනුස් ගැන පරීක්ෂණ ආරම්භ කළේය. 2007 දී ඔහු දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව පැවසූ විට ඇය කෝපයට පත් වූවාය, ඒ මිලිටරි පිටුබලය ලබන රජයක් විසින් රට පාලනය කර ඇය සිරගතව සිටි කාලයකය. නමුත් ඔහු පක්ෂයක් හැදුවේ නැත. නමුත් මෙය ඇයව කලබලයට පත් කළේය.

යුනුස් බංග්ලාදේශයේ දේශපාලනඥයන් විවේචනය කර ඇත්තේ ඔවුන් මුදල් ගැන පමණක් සැලකිලිමත් වන බව පවසමිනි. හසීනා ඔහුට චොදනා කරමින් කියා සිටියෙ ග‍්‍රාමීන් බැංකුව හරහා දුප්පත් කාන්තාවන්ගෙන් ණය ආපසු ලබා ගැනීමට බලහත්කාරයෙන් කටයුතු කළ බවය.

හසීනාගේ රජය 2011 දී බැංකුවේ වැඩ ගැන සොයා බැලීමට පටන් ගත් අතර විශ‍්‍රාම ගැනීම පිළිබඳ නීති කඩ කරමින් යූනුස් 2013 දී බැංකුවෙ සේවයෙන් පහ කළේය. ඔහුගේ නොබෙල් ත්‍යාග මුදල සහ පොත් ම`ගින් ලැබෙන කර්තෘ භාගය ඇතුළුව අවසරයකින් තොරව මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඔහුව නඩු විභාගයකට ලක් කරන ලදී.

පසුව, ඔහු විසින් නිර්මාණය කරන ලද අනෙකුත් සමාගම් ගනුදෙනු සම්බන්ධයෙන්ද ඔහුට තවත් චෝදනා එල්ල විය. කම්කරු නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහුට ඒරෙහිව නඩු පැවරිණි. ග‍්‍රාමීන් ටෙලිකොම් ආයතනයෙන් අයථා ලෙස මුදල් ගත් බවටද ඔහුට එල්ල වන තවත් චෝදනාවක් විය.

ගෝලීය නායකයින් සිය ලිපියෙන් තවදුරටත් ඉල්ලා සිටියේ ජනවාරි මස මුලදී සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බංග්ලාදේශයේ මැතිවරණය සාධාරණ එකක් විය යුතු බවය. නමුත් මැතිවරණය අවංකව සහ සාදාරණ වන බවට හසීනා ඔවුන් පොරොන්දු වී ඇත.

හිටපු අගමැතිනී කලීදා සියාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රධාන විරුද්ධ පක්ෂය කියා සිටින්නේ මැතිවරණය අසාධාරණ වනු ඇති බවත්, හසීනා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් තම පක්ෂය මැතිවරණයට සහභාගී නොවන බවත්ය. එහෙත් හසීනා මේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *