ගහන්න ගහන්න ලිහෙන  විපක්ෂයේ වෙන්ඩ ජනාධිපති අමුඩ!

0

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටියදී, ඒ නිසාම හටගත් අරගලය දරුණු ප්‍රචණ්ඩත්වයක් මෙන්ම දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත වැටී තිබූ මොහොතේ මේ රට භාරගන්න තරම් ධෛර්යයක් විපක්ෂයේ කාටවත් තිබුණේ නැත. එදා ඒ වගකීම භාරගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. ඒ වගකීම ගනිමින් රනිල් කිව්වේ හුණුවටයේ ග්රූශා වැල් පාලමෙන් මයිකල් කුමාරයා පරිස්සමින් අරගෙන ගිය ආකාරයට තමන්ද රටේ ජනතාව දුෂ්කරම තත්වයෙන් මුදවා ගන්නා බවය. කොහොමටත් මතුව තිබු අවධානමෙන් යන්තම් හෝ සහනයක් ලබන්නට නම් රට භාරගත යුතුව ඇත්තේ රනිල් බවට නිහඬ සම්මුතියක් රට අභ්යන්තරයේ තිබිණ. එහෙත් එය එළිපිට ප්‍රකාශ නොවූ බවද කිව යුතුය. රනිල් වගකීම භාරගත් සැනින් පාරට බැස්ස ජනතාව ගෙදර ගියෙත්, රනිල් රට කරවන විට ඊට සහයදී යලි වැඩබිම් වෙත ගියෙත්, ඒ අප්‍රකාශිත නිහඬ සම්මුතිය නිසාය.

රටේ ජනතාවගේ මේ නිහඬ සම්මුතිය විපක්ෂය නම් කොහෙත්ම සැළකිල්ලට ගත්තේ නැත. වැටුණු රට ගොඩනගන්න එක්වන ලෙස ජනාධිපතිවරයා දිගින් දිගටම යෝජනා කරන විට ඔවුන් ඒ ගැන කිසිඳු උනන්දුවක් නොදක්වුයේද ඒ නිසාය. රට ගොඩනගන්න සහය දීම වෙනුවට විපක්ෂය කළේ මැතිවරණ ඉල්ලා රට වටේ යමින් කයිවාරු ගැසීමය. ඒ හැර රට ගොඩනගන ජනපතිගේ වැඩපිළිවෙලට විකල්ප වැඩපිළිවෙලක්වත් ඉදිරිපත් කරන්නට විපක්ෂය සමත් වුයේ නැත. ඒ අනුව දේශපාලන සිතුවම සැකසුණේ, වැටුණු රට ගොඩනගන්න වෙහෙසෙන නායකයෙක් සහිත ආණ්ඩුවක් සහ අතීසාරයට අමුඩයත් ප්‍රතිකාරයක් බව කියන විපක්ෂයක් ලෙසය.

එක් පසෙකින් ජනාධිපතිවරයා සිය වැඩපිළිවෙල ක්‍රියාවට නගමින් දුෂ්කර පසුබිමක වුවත්, ජනතාවට සැනසිලිදායක වටපිටාවක් නිර්මාණය කෙරෙන විට අනෙක් විපක්ෂයේ අතීසාරයට අමුඩ ප්‍රතිකාරය ඉදිරියට ගියේ, අතීසාරයට සුදුසුම අමුඩය ලෙස ”වෙන්ඩ ජනාධිපතිලා” බිහිවෙමින්ය. මුහුදට තව දුර ඇත්තේ හූවක් ද? හත් ගව්වක් ද? නොතකා විපක්ෂය දෙසින් හතු පිපෙනවා වගේ ජනාධිපති අපේක්ෂකයන් බිහිවුණේ ඒ අනුවය.

විපක්ෂයේ මේ වෙන්ඩ ජනාධිපති තරගයේ ආරම්භක අවස්ථාවේ ගොඩක් අමුඩ තිබුණේ නැත. එදා රටේ අතීසාරයට ඉදිරිපත් වූ විපක්ෂ අමුඩ තිබුණේ දෙකක් පමණය. ඒ විපක්ෂ නායක සජිත් සහ ජවිපෙ – ජාජබ නායක අනුර ය. මේ තරගයට ඊළඟට එක්වූ අමුඩය වුණේ ඩලස් ය. නැවක් ගිලෙන්න යන විට සේරටම පෙර එළියට පනින මීයන් මෙන් එදා රාජපක්ෂ කඳවුර ඇද වැටෙන විට ඊනියා ස්වාධීන සළු පැළඳ ඩලස් ඇතුළු පිළ විපක්ෂයට පැමිණි අතර, විපක්ෂයේ වෙන්ඩ ජනාධිපති අමුඩයක් වූයේ සජිත්ගේ දුර්වල දේශපාලන පෞරුෂය හරියට පාවිච්චියට ගනිමින්ය. ඒ තීරණාත්මක අවස්ථාව වුයේ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේදී සජිත්ව පසෙකට දමා විපක්ෂයේ අපේක්ෂකත්වය ගැනීමට ඩලස් සමත්වීමය.

අනතුරුව නිදහස සභාව ලෙස ඩලස් ඉදිරියට ඒමට උත්සාහ කළත් එය පහසු වුණේ නැත. එහිදී ඩලස් ඇතුළු පාර්ශ්වය දේශපාලන උපායක් ලෙස දැඩි රනිල් විරෝධයක් මවා පාමින් සජිත්ට යළිත් සමීප වූ අතර, ඒ හරහා සජිත්ගේ සාකච්ඡාමේසවල ඉදිරිපස අසුන් ඩලස් පාර්ශ්වයට ගන්න තරම් ඒ ප්‍රවේශය සූක්ෂම විය. කොහොම නමුත් සජිත්ගේ දුර්වල දේශපාලන පෞරුෂය නිසාම හතු පිපිපෙන්නා සේ බිහිවූ වෙන්ඩ ජනාධිපති අමුඩ නිසාම ඩලස් පාර්ශ්වයද අර්බුදයට ගිය බව රහසක් නොවේය. ජනාධිපතිවරණයකදී සහාය දෙන්නේ කාටද කියන වාදය ඇතුළේ අමුඩ ”නිදහස ජනතා සභාව” ඇතුළෙත් මතගැටුම් මේ වන විට ඒ සන්ධානෙත් කෑළි කෑළිවලට කැඞීයන තත්වයට පැමිණ ඇත. ඒ තුළ ජී.එල්. සජිත්ගේ වෙන්ඩ අගමැති මෙන්ම ප්‍රධාන උපදේශක වී ඇති බවත් ගොඩහේවා දැන් ඉන්නේ ඩලස්ට වඩා සජිත් සමඟ බවත් කියන්නේ ඒ පක්ෂවලම උදවියය.

ඩලස්ලා, චරිතලා මරු විකලෙන් මෙන් ශ්‍රීලනිප, උත්තර සභා, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී ඇතුළු පක්ෂවල පොදු සන්ධාන හදන්න දුවන්න ගෙන ඇත්තේද ඒ නිසාය. එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම අවශ්‍ය බවත් එහිදී විපක්ෂ නායක සජිත් පේ්රමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී පුද්ගල සීමා නොමැති විය යුතු බවත් ආදී ලෙස මාර කතා ඩලස්ට කියවෙන්නේ ද ඒ නිසා විය යුතුය.

මේ ආකාරයේ විවිධ සූත්තර දමමින් වෙන්ඩ ජනාධිපති ලෙස ඉදිරියට යන්න ගිය ඩලස් අමුඩය නැති කරගත්තේ ජවිපෙ සමඟ සන්ධාන හදන්න ගිහින්ය. එක් පසෙකින් සජිත් සමඟ සන්ධාන ගත වෙන්න සාකච්ඡාසිදු කරන අතරේ ඩලස්, ජවිපෙ – ජාජබ වෙත කිට්ටු කළේ ද

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ සජිත්ට දුන්න ගේම අවසන් මොහොතේ අනුරට දෙන්න විය හැකිය. බොහෝ දුරට එය එසේම වන්නට යන්න තහවුරු කෙරුණේ ඩලස්ගේ මේ අමුතු බත්දීම ගැන ජවිපෙන් ලැබුණු ප්‍රතිචාරය හමුවේය.

ඒ ගැන ජවිපෙ ලාල් කාන්ත ප්‍රසිද්ධියේම රැස්වීමක කියා තිබුණේ, ”ඩලස්ලා දැන් අපේ පස්සෙන් ආවට ඔය රාජපක්ෂලාගේ ආවතේවකාරයෝ එක්ක අපි ලගින්නේ නෑ” කියාය. ලාල් කාන්ත පාවිච්චි කරපු ලගින්නේ නෑ කියන යෙදුම සැර වැඩි නැද්ද කියලා ඊට පස්සේ ප්‍රසිද්ධ නාලිකාවකදි අනුරගෙන් ඇසු විට අනුරද ප්‍රතිචාර දක්වා තිබුණේ ”ලගිනවට

ලගිනවා නොකියා වෙන මොනවා කියන්නද?” කියාය.

ඩලස් ඒ ආකාරයට වෙන්ඩ ජනාධිපති අමුඩය ගළවා ගන්නා විට, සජබ පාර්ශ්වද සජිත්ගේ අමුඩය බේරගන්න සටනකය. ඒ ජවිපෙ පසුපස ගොස් අමුඩය ගලවා ගත්තා මදිවට, ඩලස් සජිත්ගේ නායකත්වයෙන් හදන්න යනවා කියන විපක්ෂයේ සන්ධානයටද විරුද්ධව සිටින බව දැනගෙන ඇති නිසාය. ඒ අනුව සජබ ජ්යෙෂ්ඨයකු ‘දිවයින’ පත්තරේට කියා ඇත්තේ, ”ඩලස් සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනාගෙන්

09ක්ම අපිත් එක්ක ඉන්නවා. ඒ අයත් එක්ක අපි වැඩ කරනවා. ඩලස් එහෙන් මෙහෙන් අදිනවා, දඟලනවා, ඩලස්ගේ අය සජබයත් එක්ක වැඩ කරන්න කැමතියි. ඒ නවදෙනත් එක්ක අපි මේක අත්සන් කරනවා. ඩලස් ජේවීපී එකත් එක්ක යන්න හදනවා” කියාය.

සජබ ඇතැමුන් මේ ආකාරයට සජිත්ගේ වෙන්ඩ ජනාධිපති අමුඩය රකින්න ගියද සජිත්ද ඉන්නේ දෙලෝ රත්වෙලාය. ඒ සජිත්ගේ ආණ්ඩුවක ආරක්ෂාව සහ පොලිසිය භාරදෙනවා කියූ සරත් ෆොන්සේකා අභ්යන්තර කැරැල්ලක සිටින නිසාය. නැත්නම් ෆොනීද අරගලයේ සිටි පිරිසක් සහ සජබ පිරිසක්ද එක්කර ගනිමින් තවත් වෙන්ඩ ජනපති අමුඩයක් බවට පත්වෙන්න ප්‍රසිද්ධියේම වැඩ කරන නිසාය. එයින් ගැළවෙන්න සජිත් කරේ ෆොනීට රිද්දන්න විශ්රාමික හමුදා ප්‍රධානියෙක් වූ බොනිෆස්ව තමන්ගේ ආරක්ෂක උපදේශක කරගැනීමය. නමුත් දැන් සජිත්ට සිදුව ඇත්තේ තමන්ගේ අමුඩය බේරාගන්නා අතරේ ෆොනී – බොනිෆස් ගෝරියද බේරන්නය. එයත් ලෙහෙසි පහසු බවක් පෙනෙන්නට නැත්තේ, ෆොනීගේ ඩප්පිවලින් බොනීව බේරගන්න සජිත්ටද නිතර මැදට පනින්න සිදුව ඇති නිසාය.

ඒ අතර කවදාවත් නොඇසූ ලෙස ජවිපෙ – ජාජබ වෙන්ඩ ජනාධිපතිවීමට සිටි අනුරටද අලූත් අභියෝගයක් මතුව ඇත. ඒ ජවිපෙ – ජාජබ නායක අනුර වෙනුවට මධ්‍යම පංතියේ ආකර්ශනය වැඩියෙන්ම දිනාගෙන ඇති හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකත්වයට වඩාත් සුදුසු බවට ද යෝජනාවක් පැමිණ ඇති නිසාය. එය කොතරම් දුරදිග ගොස් ඇත්දැයි කිවහොත් මේ වන විට ජවිපෙ – ජාජබ පාර්ශව දෙකක් ලෙස මේ ගැන අභ්යන්තර විවාදයක් ඇතිව තිබෙන බවද දැනගන්නට ඇත. කොහොම නමුත් දේශපාලන ආරංචි මාර්ග හරහා මේ කාරණය පැමිණි පළමු අවස්ථාවේ එය දේශපාලන මඩක් ලෙස හැඳින්වුවත් මේ වන විට මෙරට විදෙස් තානාපති කාර්යාල පවා ඒ ගැන අවධානය යොමුව ඇති බව රහසක් නොවේය.

පසුගියදා විද්යුත් නාලිකාවක් වෙත ගිය අනුරට ”මම තමයි ජනාධිපති අපේක්ෂක” කියලා තමන්ටම කියා ගන්න සිදුවීමම තහවුරු කරන්නේ වැඬේ මතුපිටින් පෙනෙනවාට වඩා දුරදිග ගොස් ඇති බව නොවේද? අනෙක් අතට සජිත්ගේ අන්තේවාසිකයන්ද කියන්නේ මොන සන්ධානය හැදුවත් අපේක්ෂකයා සජිත් බවය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඒ කිසිවක් නොසළකා තවදුරටත් විපක්ෂයේ අපේක්ෂකයන් හතු පිපෙන සේ දවස ගානේ මතුවීමය.

ඒ අස්සේ මේ වන විට උතුරේ කුරුන්තුර්මලේ සහ නැගෙනහිර බොරළුකන්ද විහාරේ පදනම් කරගෙන දවසින් දවස ජාතිවාදී – ආගම්වාදී ප්‍රශ්නයක් විදියට උස්සගෙන යාමේ ප්‍රවණතාවක ලකුණු ද මතුව ඇත. ඒ පිටුපස ඇත්තේද අන් කිසිවක් නොව සිංහල – බෞද්ධ නායකයෙක් ජනපති කරන කැම්පේන් ය. ජාතිවාදී ගුණදාස අමරසේකරලා ජාතිකවාදී කියාගෙන ඒ වෙනුවෙන් වැඩ අල්ලන පසුබිමේ පසුබිමේ සරත් විරසේකරලා, අනුරාධා යහම්පත්ලා වෙන්ඩ ජනපති අමුඩ ලෙස පෙරට එන රාවද දේශපාලන ක්ෂේත්‍රය හරහා පැතිරයමින් ඇත.

ජාතිකවාදීන් කියා ගන්නා සමහරු ඒ විදියට වෙන්ඩ ජනපති සිහින අතුරන විට ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීද තමන්ගේ වෙන්ඩ ජනපති සූදානම ගැන ඉඟි පළ කර ඇත. සැප්තැම්බර් 03 තිබූ පක්ෂයේ 72 වන සංවත්සර උත්සවේදීත් ඒ ගැන ඉඟි පළවිය. එපමණක් නොව මේ වන විට බිලියනපති ව්‍යාපාරිකයන්ගේ නම් ද වෙන්ඩ ජනපති ලැයිස්තුවට එක්ව ඇත. ඒ අතර පසුගියදා පුවත් මැවුණේ මාධ්‍ය ඇතුළු ව්‍යාපාර ජාල කිහිපයක හිමියෙකු වන දිලිත් ජයවීර දේශපාලන පක්ෂයක නායකත්වය ලබා ගැනීමය. ඒ සමඟ ලංකාවේ අංක එකේ ධනවතා ලෙස ප්‍රකට ධම්මික පෙරේරාගේ නමද වෙන්ඩ ජනපති ලැයිස්තුවල සඳහන් අතර, මිලින්ද මොරගොඩ ඇතුළු තවත් නම් එකී ලැයිස්තුව දීර්ඝ කර ඇත.

කෙසේ වුවත් මේ සියල්ල පිටුපස ඇත්තේ විපක්ෂයේ අපේක්ෂකත්වය අරඹයා නැතහොත් අතීසාරයට අමුඩෙත් හොඳ විසඳුමක් බව කියන පාර්ශ්වයේ අඩුව පිරවීමේ තරගය ය. ඒ නිසා තමන්ම තොරණ ගසා, තමන්ම මල්මාලා දමාගෙන, තමන් අතීසාරයට විසඳුම් ගෙනෙන සුපිරිම අමුඩයක් බව කියන්නට ඔවුන්ට සිදුව ඇත. කොහොම නමුත් මේ අමුඩ වදින්නේ මුහුදට ඇති දුර ගැන කොහෙත්ම නොතකා නිසා, විපක්ෂයේ ”වෙන්ඩ ජනපති” අමුඩ ගහන්න ගහන්න තරමට ලිහීයාමේත් අඩුවක් නැත. තවම මේ ජනපති සටනට අදාළ වසන්තය නොවන නිසා, එක එක පාට අමුතුම අතීසාර අමුඩ පෙළක් ඉස්සරහට දකින්න ලැබෙනු ඇත.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *