ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම හා එහි අවශ්‍යතාව

0

මෙම ලිපිය කියවන අයෙක් පමණක් නොව, රටක ශ්‍රම බලකායට අයත් වන මේ මහ පොළොවේ ජීවත්වන සෑම අයෙක්ම නිරන්තර උත්සහයක යෙදෙන පළමු කාරණය වන්නේ තමන්ටත් තම පවුලටත් අවශ්‍ය ආහාර ප්‍රමාණය සපයා ගැනීම සඳහා ආදායම් ඉපයීමය. එහිදී ඔහුගේ අනෙක් අවශ්‍යතා වන ඇදුම් පැළඳුුම්, නිවාස, අධ්‍යාපනය වැනි ඒවා පෙළ ගැසෙන්නේ දෙවනුවටය. එසේ ආහාර අවශ්‍යතාවය පුද්ගලයින් සතු මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැණෙන කාරණයකි. ඒ නිසා සමස්ත සමාජයේම ආහාර අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කිරීම රජයක වගකීමකි. එම වගකීම ඉටු කිරීමට රජයක් කටයුතු කිරීම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට දරණ උත්සහයක් ලෙස හදුන්වයි.

මිනිසා ආහාර නිෂ්පාදනය කර, භාවිතයට ගැනීමට පටන්ගත් දා සිට ආහාර නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමටත්, එම නිෂ්පාදනය හුවමාරු කර ගනිමින් අවශ්‍යතාව සපුරා ගැනීමටත්, විවිධ ක්‍රම ඔස්සේ අනාගත පරිභෝජනය සඳහා වර්තමානයේ ආහාර රැස්කර තබා ගැනීමටත් කටයුතු කර ඇත. වර්තමානයේද එම තත්ත්වය දැකිය හැකි අතර ආහාර නිෂ්පදනය කිරීම හා අනාගත පරිභෝජනය සඳහා ආහාර තොග පවත්වා ගැනීම අද වන විට දියුණු තාක්ෂණික ක්‍රම භාවිතය මත සිදුවන්නකි. එවැනි තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ආහාර නිෂ්පාදනය හා හුවමාරුව සිදු කළද වර්තමානයේ ගෝලීය වශයෙන් දැකිය හැකි දෙයක් වන්නේ තවදුරටත් ආහාර හිඟයක් පැවැතීමත් අවශ්‍යතාවය ප්‍රමාණවත්ව සපුරා ගැනීමේ සමානාත්මතාවයක් නොමැතිවීම පමණක් නොව ලබාගන්නා ආහාරවල පෝෂණය පිළිබඳ ගැටළු පවතින බවය. ඒ සඳහා විවිධ සාධක බලපාන අතර පාරිසරික සාධක ද බලපානු ලබයි. මේ නිසා

ගෝලීය ජනගහනයෙන් කොටසක් ආහාර අවශ්‍යතාවය ප්‍රමාණාත්මකවය හා මනා පෝෂණයෙන් යුතුව ලබා ගත්තද, ගෝලීය ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් විවිධ මට්ටමේ ආහාර හිඟතාවයන්ට මුහුණ දීම දැකිය හැකි තත්ත්වයකි.

මේ හඳුුනාගත් තත්වයන් මත ඊට විසඳුුම් ලෙස ”ආහාර සුරක්ෂිතතාවය” යනුවෙන් නව වපසරියක සාකච්ඡාවක් ගෝලීය වශයෙන් මතු වී ඇත. හිඟයකින් තොරව ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට හා අවශ්‍ය විට භාවිතයට ගැනීමට හැකි ලෙස ආහාර තොග ආරක්ෂා කර ගැනීම යන අදහසට වඩා පුළුල් සංකල්පයක් ලෙස ආහාර සුරක්ෂිතතාවය සංකල්පගත කිරීම සිදුව ඇත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අදහස ඉදිරිපත් කරන අතර, 1996 දී පැවැති ලෝක ආහාර සමුළුවේදී ඔවුන් විසින් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අදහස සංකල්ප ගත කරන ලදි.

ආහාර සුරක්ෂිතතාවය යන්නෙන් සම්ප්‍රදායිකව සිතන ආකාරයට මිනිස් ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ගැනීම උදෙසා කුස පුරවා ගන්නා දෙයක් පමණක් ආහාර ලෙස නොසලකයි. ඉන් ඉදිරියට ගොස් ක්‍රියාශිලි හා සෞඛ්ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන ආහාර ගැන අවධාන යොමු කරයි. එනම් එහිදී පුද්ගලයෙක් පරිභෝජනය කරන ආහාරවලින් ”පෝෂණ අවශ්‍යතාවය” ඉටුවිය යුතු බව ඉන් අදහස් කෙරෙයි. එමෙන්ම සමාජීය කරුණු හා ආර්ථික කරුණු සැලකිල්ලගෙන ආහාර ”තෝරා

ගැනීම” ට ඇති හැකියාවත්, ”ප්‍රමාණවත්ව” ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහිදි සලකා බලා ඇත.

මේ අනුව ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් 1996 දී සංකල්ප ගත කරන ”ආහාර සුරක්ෂිතතාවය” පිළිබඳව නිර්වචනය තුළ වැදගත් කොන්දේසි දෙකක් ඉටුවීම කෙරෙහි අවධාන යොමු කර ඇත. එහිදී ආහාරයක් යන දේ තුළ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට ඇති හැකියාව පළමු කොන්දේසිය ලෙස සලකා ඇත. දෙවන කොන්දේසිය ලෙස සලකා ඇත්තේ එම පෝෂදායි ආහාර කොටස ප්‍රමාණවත්ව තෝරා ගැනීමට ඇති හැකියාවේ ආරක්ෂිතභාවයයි. එමෙන්ම ආහාර නිෂ්පාදනය සඳහා සම්පත් යෙදවීමේදීත්, ආහාර පරිභෝජනයේදීත් අධි පරිහරණය, හානිය හා නාස්ති අවම කිරීමද මෙහිදී වැදගත් සාධකයකි. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය යනු: ”සියළු ජනයාට හැම විටකදීම ක්‍රියාශිලි හා සෞඛ්ය සම්පන්න ජීවිතයක් සඳහා වූ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි, ආහාර තෝරා ගැනීම් සපුරාලනු පිණිස, සෑහෙන ප්‍රමාණයට ආරක්ෂා සහිත හා පෝෂ්යදායි ආහාර, සමාජීය අවශ්‍යතා හා ආර්ථික ශක්තිය මත ලබා ගැනීමට හැකියාව ඇති විට ආහාර සුරක්ෂිතතාවක් පවතී.” වශයෙන් අර්ථ දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සම්බන්ධයෙන් අද අප කතා කරන නමුත් ලංකාව ”පෙරදිග

ධාන්‍යාගාරය” ලෙස හැදින්වෙන යුගය ආහාරවලින් සුරක්ෂිතවීමටත්, ආහාරවල ස්වෛරීත්වයකට හිමිකම් කීමටත් හැකිවූ යුගයක් වශයෙන් හැදින්වීමට පුළුවන. අප සාකච්ඡාකරන ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීමේදි ආහාර සැපයුම් මාර්ගය කුමක්ද යන්න වැදගත් නොවේ. එනම් දේශීයව නිෂ්පාදනය කරමින් හෝ ආනයන කිරීම මත හෝ රැදී සිටිමින් ආහාර සුරක්ෂිතභාවය ඇති කර ගැනීමට පුළුවන. නමුත් ආහාර සම්බන්ධයෙන් ස්වෛරීත්වයක් ගොඩනැගෙන විට ආහාර සැපයුම් මාර්ගය වැදගත්‍ය. එම සැපයුම් මාර්ග පාලනය කිරීමට හැකි වන්නේ රටක ආහාර ස්වෛරීත්වය ඇති විටය. එනම් පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ලංකාව හැඳින්වූ යුගය ආහාර සුරක්ෂිතභාවය මෙන්ම ආහාර ස්වෛරීත්වයද අප අත් කර ගත් යුගයකි. නමුත් වෙළෙඳපොල ආර්ථිකයක් තුළ මෙම ආහාර ස්වෛරීත්වය පවත්වාගෙන යමින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමක් ගැන කතා කිරීම අපහසු වුවත් අරමුණු ලඟ කර ගැනීමට හැකිවිය යුතුය. ඒ සඳහා ජපානය අපට නිදර්ශනයකි.

යටත් විජිත පාලන යුගයේදී මෙරට ඇතිවූ ආර්ථික පරිවර්තනයන් නිසා පැවැති ආහාර ස්වෛරීත්වය තුළ ගොඩනැගී තිබුණු ස්වයං-පෝෂිතභාවය බිදී ගියේය. නමුත් ඉන්පසු ආහාර නිෂ්පාදනය සඳහා වු අංශ වෙත පහසුකම් සැපයීම වෙනුවට වාණිජ මට්ටමේ වැවිලි නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් යෙදවීම නිසා ක්‍රමිකව ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය තවදුරටත් අහිමි විය. යටත් විජිත යුගයෙත්, නිදහසින් පසුවත්, ලංකාවේ ක්‍රියාත්මක විවිධ ආහාර අවශ්‍යතා සැපිරීම ඉලක්ක කරගත් සුභසාධන වැඩසටහන් මඟින් පෙන්නුම් කරන්නේ මෙරට පැවැති ආහාර අනාරක්ෂිතාවයි. විශේෂයෙන්ම දෙවන ලෝක යුද සමයෙන් පසුව ආරම්භ වී 1977 දක්වා පැවැති සහල් සහනාධාර වැඩසටහන් මෙයට හොඳම නිදර්ශනයයි. සහල් සහනාධාරය තුළ යම් දේශපාලන උවමානාවන් පැවැතියද එහි අරමුණ වූයේ සමාජයේ පැවැති ආහාර අනාරක්ෂිතා සමනය කිරීමය.

1970 -1977 ආණ්ඩුව ක්‍රියාත්මක කළ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්තිය මත ආනයන ආහාර සීමාවනුත් රට තුළ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවමින් ස්වයං පෝෂිත භාවයක් අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙලත් නිසා පැවැති ආහාර හිඟය වර්ධනය වීම, ආහාර පාරිභෝජනය පාලනය කිරීමටත් ගත් විවිධ ක්‍රියාකාරකම් මත එයින් පීඩාවට පත්ව සිටි ජනාතාව බරපතල ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දුන්නහ. එයට සහනයක් වෙමින් 1977 ආර්ථිකය විවෘත කරමින් ආහාර ආනායනයට ඉඩ සැලසීමත්, 1977 බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ ඇට අටක් (ධාන්ය වර්ග අටක්) ලබාදීමේ අදහස තුලිනුත් පිළිබිඹු වන්නේ මෙරට ජනතාව මුහුණු දුන් ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ තත්ත්වයයි. එපමණක් නොව 1988 දී පේ්රමදාස ජනාධිපතිවරයාගේ ජනසවිය සංකල්පය තුල ලබාදුන් ජනසවි දීමනාවෙන් රුපියල් 1458 ක් පෝෂණ දීමනාවක් වශයෙන් වෙන් කිරීම, 1994 දී බලයට එන චන්ද්රිකා ජනාධිපතිනිය පාන් රාත්තල රුපියල් 3.50ට ලබාදීම, 2005 දී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ”හැකියාවට රැකියාවක් – බඩගින්නට නිමාවක්” වැනි දේශපාලන වැඩපිළිවෙලවල් රාශියක් ගත් විට මේ සියල්ල ප්‍රකාශ කරන්නේ මෙරට ආහාර සුරක්ෂිතතාවයේ දුර්වලභාවයයි. යුද වකවානුවේ යුද්ධයට ගොදුරුව පැවැති ප්‍රදේශවල ජනතාවගේ ආහාර සුරකෂිතතාවය ඇති කිරීම සම්බන්ධයෙන් මෙන්ම වරින්වර ඇතිවන දේශගුණික හේතු නිසා ඇතිවන ආපදාවලදී ජනාතවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය පාර්ශවයෙන් පමණක් නොව දෙස් විදෙස් ආයතන පවා කටයුතු කර ඇත.

විශේෂයෙන්ම ගෝලීය වශයෙන් බලපාන ලද කොවිඞ් ව්‍යාප්තිය අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම කෙරෙහි කටයුතු කිරීම

ගෝලීය අවශ්‍යතාවක් විය. කොවිඞ් ව්‍යාප්තියත් සමඟ ලෝක ආර්ථිකයේ ඇති වූ ආර්ථික අවපාතයෙන් වඩාත් තිව්ර කරමින් රසායනික පොහොර තහනම ආදිය නිසා අර්බුදය වවා ගත් රටක් වශයෙන් අප රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ගැටළුව අදටත් මුළු මනින්ම විසඳාගත නොහැකිව පවති. මේ නිසා වත්මන් ආණ්ඩුවද රට තුළ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර

”ආහාර සුරක්ෂිතතා පනත” ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම නීතියනුකුල තත්ත්වයක් බවට පත්වනු ඇත.

ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙරට විධිමත් නීතිමය තත්ත්වයක් ඇති කිරීම වැදගත්වීමට බලපාන හේතු කීපයක් හඳුණාගැනීමට පුළුවන. එනම් ජනගහන වර්ධනය සැලකිල්ලට ගෙන ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට හැකි ආහාර නිෂ්පාදනයක් අඛණ්ඩව පවත්වාගෙන යමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව ක්‍රියත්මක කිරීමට, ජනගහනයෙන් 22% ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළීමත්, ජනගහනයෙන් 33%කට පමණ අඛණ්ඩව පෝෂ්යදායි ආහාර නොලැබීමත්, ජනගහනයේ වර්ධනයත් සමඟ ඇතිවන ජන ඝනත්වයේ වැඩිවීම නිසා ඉඩම් කැබැලිවීමෙන් වගා ඉඩම් ප්‍රමාණය අඩුවීම හා ඒවායේ ඵලදායිත්වය අඩුවීමත්, නිරන්තරයෙන් ඇතිවන දේශගුණික විපර්යාස නිසා සිදුවන වගා හානි පාලනය කිරීමට අවශ්‍යවීමත්, වෙළෙඳපොල ක්‍රියාකාරීත්වයේදී ඇතිවන නාස්තිය අවිධිමත් බව හා බෙදාහැරීමේ අකාර්යක්ෂමතාවන් පාලනය කිරීමත්, සත්ව හානිය හා අස්වනු නෙලීමේදී ප්‍රවාහනයේදී සිදු වන හානිය පාලනය කිරීම අවශ්‍යවීමත් වැනි හේතු නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සම්බන්ධයෙන් පවතින අඩුපාඩු වැලැක්වීමට නීති ගෙන ඒම වැදගත්‍ය.

මේ අනුව, මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අභියෝගය තවමත් අප හමුවේ ඇත. විශේෂයෙන්ම විශාල ආර්ථික අර්බුදයක්, සෘණ ආර්ථික වර්ධනයක්, විශාල ගෙවුම් ශේෂ හිඟයක් මෙන්ම ණය ගෙවීමේ අපහසුව මතම ණය නොගෙවා සිටීමෙන් බංකොලොත්භාවය අතකර ගත් රටක් වශයෙන් අඛණ්ඩව ආහාර සුරක්ෂිතතාවක් පවත්වා ගැනීම පමණක් නොව ආහාර සම්බන්ධයෙන් ස්වෛරීත්වයක් ඇති කර ගැනීම මෙම අභියෝගයයි.

මේ නිසා දේශීය කෘෂිකර්මාන්තය යැපුම් මට්ටමේ සිට වාණිජ කෘෂිකර්මාන්තය දක්වා පරිවර්තනය වීම තවදුරටත් පවත්වාගෙන යාම ඉතා වැදගත්‍ය. ඒ සඳහා ගෘහ මට්ට්මේ නිෂ්පාදනය සමූහගත කිරීම, ප්‍රමිතිය පවත්වා ගැනීම, නිෂ්පාදන පිරිවැය පාලනය, නිෂ්පාදනයට තාක්ෂණික භාවිතය, නිෂ්පාදනයට වටිනාකම් එකතු කිරීම මෙන්ම බෙදාහැරීම විධීමත් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් අවධාන යොමුවීම වැදගත්‍ය. මේ සඳහා විවෘත ආර්ථිකය ක්‍රියාත්මකවීමත් සමඟ පසුබෑමට ලක්ව ඇති සමූපකාර ක්‍රමය නව්‍යකරණය මගින් නැවත භාවිතා කිරීම පිළිබඳව සලකා බැලීම වැදගත්‍ය. සමූපකාර ක්‍රමයේ ලක්ෂණයක් වන සංවිධාන හැකියාව මෙන්ම, පැතිරුණු බෙදාහැරීම් ජාලය නව්‍යකරණයට ලක් කර වඩාත් විධිමත් කිරීම මගින් සංවර්ධිත රටවල් පවා ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණු ජයගැනීම වෙනුවෙන් යොදාගෙන ඇති අතර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට සමූපකාර ක්‍රමයේ වටිනාකම් භාවිතා කිරීමේ හැකියාවක් මෙරටට තිබේද යන්න ඉදිරි ලිපියකදී සාකච්ඡාකරමු.

සරත් හේවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *