කාබනික පොහොර විගඩමේ දේශපාලන අසූචි හත්පොළේ ගා ගැනීම

රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා.”

මේ තියෙන්නෙ මේ රටේ වර්තමානයේ මතු වෙලා තියෙන අර්බුදවලට හේතු වෙච්ච කාරණා අතුරින් ප්‍රධාන කාරණාවක් වුණු කෘෂිකර්මාන්තයේ ඛේදවාදකයේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක්. මේකට මූලික වෙන්නේ නලීන් ද සිල්වා. නලීන් ද සිල්වාගේ මේ නාටකයේ ප්‍රධාන නළුවෙක් විදියට කරළියට එන්නේ රජරට විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙක් වෙච්ච චන්න ජයසුමන.

මේ නළුවො දෙන්න රඟපාන්න පටන් ගත්තු නාටකය තමයි රජරට නිපදවන හාල්වල ආසනික් තිබේ කියන නාටකය. මේ නාටකයේ තිර පිටපතේ බොහෝ තැන්වල ලියවෙච්ච කොටසක් තමයි රජරට ප්‍රදේශයේ වකුගඩු වසංගතයක් ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජරට ප්‍රදේශයේ සහල් නිෂ්පාදනය වෙනුවෙන් යෙදවෙන කෘෂි රසායනික යෙදවුම්. එම කෘෂි රසායනික යෙදවුම් ජලය හා මුසු වීමෙන් බීමට ගන්නා ජලයේ පවා ආසනික් යන අහිතකර සංඝටකට තැන්පත්ව ඇත. මේවා හේතුවෙන් රජරට ප්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝගය වැළඳේ යන කාරනායි.

නමුත් මෙරට පවතින් වකුගඩු රෝගී තත්වයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. එය හඳුනා නොගත් රෝග කාණ්ඩයේ පවතින්නක්. රසායනික පොහොර නිසා වකුගඩු රෝගය පැතිරෙන්නේ නම් මෙම කලාපයේ රටවල් අතුරින් බංග්ලාදේශයේ මිනිස් පුළුටක්වත් වකුගඩු රෝගයට ගොදුරු නොවී ඉතිරිවෙන්න විදිහක් නැහැ., ලංකාවට සාපේක්ෂව තුන් ගුණයකට වඩා රසායනික ද්‍රවය බංග්ලාදේශයෙ ගොවිබිම් වලට යොදා ගැනෙනවා. නමුත් මෙරට මෙන් රෝග කාරකය හඳුනා නොගත් වකුගඩු රෝගයක් හෝ විශාල පැතිරුණ සාමන්‍ය වකුගඩු රෝග තත්වයක් හෝ එහෙ නැහැ.

මේ නාටකයට හරි හරියට උපදෙස් හා සහය දීපු තවත් කෙනෙක් තමයි අතුරලියේ රතන හිමි කියල කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ විදියට කටයුත කරපු මේ උන්නාන්සේ තමයි මේ රටේ රසායනික පොහොර තහනම වෙනුවෙන් දත කෑවේ.

”‍රවුන්ඩ් අප් අපිට එපා. අපේ කුඹුරේ වල් ටික මර්දනය කරගන්න අපිට ක්‍රම තියෙනවා. ඒ විද්‍යාත්මක ක්‍රම අපි ගොවියන්ට කියල දෙන්නම්. අපි රජයට කියන්නේ කාබනික පොහොරට රුපියල් පන්දාහ නම් දෙන්නේ අක්කරයට රුපියල් පන්දාහට පෝර ටික දෙන්න අපි සූදානම්. ඒක මදියි කියල කියනව නං හයදාහ කරමු. අර විදේශීය වස ටික ගෙනල්ල අපි තව තවත් වකුගඩු රෝගීන් බවට පත් වෙනවද, එහෙම නැත්තං සල්ලි අරගෙන අපි පොහොර ටික හදා ගන්නවද?”‍ මේ රතන උන්නාන්සේ ත්‍රිකුණාමලයේ කාබනික වගා ව්‍යාපෘතියකදි කියපු අදහස්. මේකෙදි මේ උන්නාන්සේ තහවුරු කරල කිවුවේ වස විසෙන් තොර වී වගාවේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිපදවා බෙදා හැරීමට තමන්ට හැකි බවයි.

කොහොම වුණත් මේ නාථ දෙයියො කියපු ආසනික් කතන්දරේ මුල් කරගෙන චන්න ජයමුනලා, අතුරලියේ රතන උන්නාන්සේලා එකතු වෙලා මේ රටේ කාබනික පිස්සුවක් පටන් ගත්තා. මේ පිස්සුව ක්‍රියාවට නැගුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඔහු තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වෙච්ච ”‍සෞභාග්‍යයේ දැක්ම”‍ හරහා කිවුවේ ”‍නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය.”‍ කියලයි.

මේ විදියට දශකයක් පුරා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙච්ච කාබනික ව්‍යාපාරය එක රැයින් කරන්න අවශ්‍ය වටපිටාව හැදුවේ මේ චන්න, රතන වගේ අය තමයි. මේ අයටම සෙට් වෙච්ච තවත් පිරිසක් හිටියා. ඒ තමයි දොස්තර පාදෙණිය. ඔහු තමන්ගේ වෘත්තිය පවා අතෑරල මේ ක්‍රියාවලියට එකතු වෙලා හිටියා. එක අවස්ථාවක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ”‍නිල මැදුර”‍ පරිශ්‍රයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ රැස්වීමක් පැවතුනේ එවකට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේගේ මූලිකත්වයෙන්. හැබැයි ඇත්තටම මේ රැස්වීමේ මූලිකත්වය ගත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය. ඔහු මේ රැස්වීමේදී තමන් හදාගත්තු කිසිම පදනමක් නැති දත්ත රාශියක් පෙන්නල වකුගඩු රෝගයට මූලිකත්වය මේ රසායනික පොහොර භාවිතය කියල ඔප්පු කරන්න පුදුම තරමේ උත්සාහයක් ගත්තා.

ඒ විතරක් නෙමෙයි දොස්තර අනුරුද්ධ පාදෙනිය වගේම අතුරලියේ රතන උන්නාන්සේ පහුගිය පාලන සමයේදී විශාල ගොවිබිම්වල කෘෂි ක්ෂේත්‍ර පර්යේෂණ කරන බව පවසමින් මිලියන ගණන් රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා පවා එල්ල වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාදෙනිය, රතන, චන්න ජයසුමන ඇතුලු‍ මේ කාණ්ඩයේ මේ කාබනික ක්‍රියාවලිය අසාර්ථ බවත්, ඔවුන්ගේ දත්ත හා ඔවුන් විසින් ඉදිරිපත් කරන කරුණු කිසිවක් ප්‍රායෝගික තලයේ නොවන හා විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි කරුණු බවට සෑම අවස්ථාවකදීම චෝදනා එල්ල වුණා.

නමුත් පහුගිය රජය සමයේ හිටපු ජනාධිපතිවරයාගේ උද්දච්ච හා හිතුවක්කාර අත්තනොමතික ක්‍රියාවලිය නිසා මේ කාබනික ක්‍රියාවලිය අපේ රට තුළ ක්‍රියාත්මක කරවන්න මේ කණ්ඩායමට අවස්ථාව උදා වුණා. මේ ජනාධිපතිවරයාගේ උද්දච්ච බව කොතරම්ද කියනවා නම් ”‍ගත් පියවර ආපහු ගන්නේ නෑ. රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බවට පුරසාරම් පවා දෙඩුවා.

මේ පුරසාරම්වල අවසාන ප්‍රතිපල වුණේ ලංකාවේ අස්වැන්න අතිශයින් බරපතල ලෙස කඩා වැටීම පමණයි. මෙම උද්දච්ච තීරණය ලංකාවේ අස්වැන්න 20%ක් දක්වා පහත හෙළිමට සමත් වුණා. ලංකාවේ සහල් නිශ්පාදන කෘෂි කාර්මික ක්‍රමවේදය වූයේ දින 45කින් අස්වනු ගෙන ගැනීමේ ක්‍රමවේදයයි. මෙකී ක්‍රමවේදයට හුරුව සිටි ගොවියා ප්‍රායෝගික නොවූ උපදෙස් මත අත්තනෝමතික ලෙසින් ක්‍රියාවට නැංවූ ඒක රැයින් කාබනික කිරීමේ ක්‍රමවේදය හමුවේ අතිශය ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වුණා. තවත් බරපතල ගැටළුවක් වූයේ වගාවට අවශ්‍ය තරම් නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර සපයාගැනීමට නොහැකි වීමය. මෙම ප්‍රමිතිය කුමක්ද යන්න පවා හඳුනාගැනීමක් එතෙක් සිදුව තිබුණේත් නැහැ.

කෙසේ වෙතත් මෙකී කාබනික ක්‍රමවේදයේ බරතල තත්වය මතු වූයේ සමාජයේ මහත් ආන්දෝලනයට ලක් වූ චීන (අසූචි) පොහොර නැවේ සිද්ධියයි. ජනාධිපතිවරයාගේ ක්ෂණික කාබනික විප්ලවය හමුවේ ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය අවදානම් තත්වයකට පත් වූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමට කටයුතු සම්පාදනය කළා.

මෙම ක්‍රියාවලියේදී කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් ගෙන්වීමට අනුමැතිය හිමි වූ අතර, එය චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගම හරහා ගෙන්වීමටත් එයින් සියයට හැටක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින්ද ඉතිරි සියයට හතළිහ සිමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින්ද ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා. නමුත් මෙලෙස ගෙන්වූ පොහොර නියමිත ප්‍රමිතියෙන් තොර වූ අතර ඒවා මෙරටට ගොඩබෑමට අවසරය ලැබුණේ නැහැ.

මෙකී කාබනික පොහොර ‌ චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගම මගින් ගෙන්වීමට අදාලව දේශීය නියෝජිතයා ලෙසින් කටයුතු කර තිබුණේ ලංකා පොහොර සමාගම, කොමර්ෂන් පොහොර සමාගම හා චෙලීනා කැපිටර් කෝපරේෂන් පුද්ගලික සමාගමයි. මේ සඳහා චෙලීනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම සම්බන්ධ කර දීමේ මැදිහත්වීම සිදු කර ඇත්තේ මෙවර වත්තල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා භාර දී ඇති බිමල් ජයසුන්දර නම් පුද්ගලයා විසිනි.

චීන පොහොර නැව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් ජයසුන්දර පොහොර ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අතර, විදේශයන්හි මෙන්ම මෙරටද ඔහු පොහොර සම්බන්ධ ප්‍රබලපෙලේ ව්‍යාපාරිකයෙකි. ශ්‍රී ලංකාවේ කාබනික පොහොර අවශ්‍යතාවය සැපයීමට අදාලව චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවේ චෙලීනා කැපිටල් කෝපරේෂන් වෙත සම්බන්ධ කර දී ඇත්තේ, එසේත් නැත්නම් චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ ව්‍යාපාරයේ නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට හා සම්බන්ධතා පැවැත්වීමට අදාල කටයුත්තු සිදු කර ඇත්තේ බිමල් ජයසුන්දර විසිනි.

මෙය එක් අතකින් තෙවන පාර්ශ්වීය මැදිහත්වීමක් වන අතර, මේ සඳහා චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගම සමඟ පමණක් සබඳතා පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව ඕනෑම අයෙකුට වැටහෙන කාරණාවකි. එමෙන්ම මෙවැනි අති විශාල මුදල් සම්භාරයක් එහා මෙහා වන ගනුදෙනුවක් සඳහා සද්භාවයෙන් නොමිලයේ සහයෝගය හෝ උපදෙස් ලබා දෙන ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් අප මෙතෙක් ඉතිහාසය තුළ අසා නැත.
එමෙන්ම මේ වන විට හෙළිදරව් වී ඇති නවතම කරුණ වන්නේ චිනයේ කින්ඩාවෝ බයෝටෙක් සමාගමේ උපදේශකවරයෙකු ලෙස බිමල් ජයසුන්දර කටයුතු කරන බවයි. ඒ අනුව සම්බන්ධතාවය මනාව පැහැදිළි ය. බිමල් ජයසුන්දර විසින් ශ්‍රී ලංකාවේ කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් වූ කොන්ත්‍රාත්තුව කින්ඩාවෝ ආයතනයේ දේශීය නියෝජිතයා ලෙස චෙලීනා කැපිටල් කෝපරේෂන් වෙත පැවරීමට අදාල මැදිහත්වීම සිදු කර ඇත.

අප මේ කරුණ මේ තරමින් හෙළිදරව් කරනුයේ අත්තනෝමතික කාබනික විප්ලවය හේතුවෙන් බරපතල ආහාර අනාරක්ෂිතතාවයකට ලාංකික ජනතාව පත් කර, එයින් නොනැවතී දැඩි ආර්ථික අර්බුදයකට මගපෑදූ අවස්ථාවක ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 138කට වැඩි මුදලක් නිරපරාදේ ගෙවීමට අදාල අවස්ථාව නිර්මාණය කළේ බිමල් ජයකොඩිලා ගේ මැදිහත්වීමෙන් වන නිසාය.

වියත් මග නම් දේශපාලන ආර්ථික මුග්ධත්වයෙන් පිරුණු කණ්ඩායමක් සමඟ ගෝඨා පාලනය ගත් තීන්දු තීරණ රට මුලු‍මනින්ම බංකොලොත් කිරීමට හේතු විය. අදත් රට සහ ජනතාව පීඩාවට ගොදුරුව සිටින්නෙ එම තත්වය මතය. එම තත්වයන් පාලනය කරගැනීමට වත්මන් රාජ්‍ය පාලනයට අවස්ථාවක් නොලැබුණේ නම් ලෝක පරිමාණයෙන් බරපතල මානුෂීය ඛේදවාචකයකට රට ගොදුරු වීම අනිවාර්ය තත්වයක් විය. එසේ නොවී බේරුනේ වෙන මොකදෝ වාසනාවකටය. නමුත් තවමත් එම ප්‍රතිපත්තිම කර තියන් යන අලු‍ත් වියත් මන්කාරයෝ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට ගාල් වී මේ දිනවල රට හදන හැටි ගැන මැතිවරණ වේදිකා ගානේ ගොස් දෙසා බාමින් තිබෙන හැටිත් දැකිය හැකිය.

මේ අයුරින් ලංකාවේ කාබනික විප්ලවයක් මුවාවෙන් රට අගාධයට ඇද දැමීමට මැදිහත් වූ සියලු‍ දෙනා මේ වන විට වර්තමානයේ රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් ලෙස ක්‍රියාකාරී වෙමින් සිටී.

අතුරලියේ රතන උන්නානේසේ ඇතුළු කණ්ඩායම මේ වන තුරුත් තමන් විසින් සිදු කළ කාබනික ක්‍රියාවලියේ බලපෑම සම්බන්ධයෙක් අඩුම තරමින් කණගාටුව හෝ පළ කර නැත. එමෙන්ම නාථ දෙවියන්ගේ කීමට ආසනික් විගඩමක් හුවා දක්වා එ හරහා සමාජ ජයප්‍රියතාවය ලබා ගෙන ”‍වියත්මග”‍ නම් වූ විපත්මග හරහා පාර්ලිමේන්තුව දක්වා පැමිණ, සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද දරමින් මෙකී විනාශයක්ට උඩගෙඩි දුන් චන්න ජයසුමන මේ වන විට හෙලිකොප්ටරයකට මුවා වී රජයේ සියලු‍ කටයුතුවලට අකුල් හෙලමින් සිටී. ඔහුගේ ගුරුන් ලෙස කටයුතු කළ නලීන්ද සිල්වා ආගිය අතක් නැත.

ඒ අතර තවත් කණගා‍ටුවට කරුණක්ව තිබෙන්නේ අද ‍රැල්ල තිබෙන්නේ තමන්ට යැයි කියන සජබය ජාජබය ද මහ පොළොවේ යථාර්ථයක් කළ නොහැකි නන්දෙඩවීම් සමඟ වියත් ලණු කමින් දේශපාලනයෙහි යෙදි සිටිනවා දකින්නට තිබීම ගැනය. නමුත් මේ අයගේ ලණු ජනතාව ගිල්ලොත් නම් පළමුව විගඩමක් වූ දෙය දෙවනුව ඛේදවාචකයක් වී නතර විය හැකිය.

රිද්ම අනුරාධ ගමගේ