රටට ගොඩයන්න නොදෙන වැඩ වර්ජන

මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ. දැන් මේ වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් කැඳවා ඇත්තේ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්න එහෙම නොවේ. තමන් පක්ෂපාත්තිවය දරණ දේශපාලනික වුවමණාවක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මේ වන විට රටේ පවතින අර්බුදය යොදාගැනීම වෙනකක් නොවන බව පැහැදිලි කරුණකි..

රට මුහුණ දෙන අර්බුද හමුවේ අරයට මෙයාට කියා වෙනසක් නැතිව සමස්ත සමාජයම පීඩාවට පත්ව සිටින බවත් අමුතුවෙන් කිවයුතු නැත. ඒ අප අත්දකින දෙයය. රටට මෙහෙම සිද්ධ වූණේ කවුරු නිසාද යන්න ගැනත් සමාජයට යම් අදහසක් තිබේ. නමුත් ඒ වගකීමෙහි වැඩි බරක් යොදා ඇත්තේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ දේශපාලකයන්ගේ ගිණුමටය. හැමදාම සිදු වුණේ එයය. නමුත් රටක් බංකොලොත් කිරීම දේශපාලකයාට තනිවම කළ හැකි හපන්කමක් නොවේ. මේ සඳහා රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ දායකත්වයත්, පුරවැසි ජනතාවගේ දායකත්වයත් අවශ්‍යය. මේ අනුව දෙතුන් ගොල්ලොම රට බංකොලොත් කිරීමේ වගකීම බාරගත යුතුව ඇත.

ශ්‍රී ලංකා ජනරජය කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ඒ මඟින් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන තුනට බලය පවරා ඇති ආණ්ඩුක්‍රමයක් සහිත රටකි. මේ බලය පැවැරීම කරන්නේ ජනතාව විසින්ය. ඒ අනුව රට අද පත්ව තිබෙන තැනට ඇද දැමීම ගැන සංකල්පීයව මූලිකම වගකීම පැවරෙන්නේ කිසිදු වර්ගකිරීමකින් තොරවම සමස්ත ජනතාවටය. මේ ජනතා පරමාධිපත්‍ය යටතේ ක්‍රියත්මක වූ රට නිදහසෙන් ගෙවණු වසර 75 කට පසු තවදුරටත් එහෙම පවතින්නට නොහැකි වන තැනට පත්ව ඇත. රට බංකොලොත්ය. පාලකයනුත් ජනතාවත් කරකියාගන්න දෙයක් නැතිව සිටී.

රාජ්‍ය වෘත්තීය සමිති විසින් දැන් වැඩවර්ජය කරන්නේ මේ තත්වය තුළය. ඔවුන් තමන් වෙනුවෙන් ඉල්ලීම් රැසක් කරමින් තිබේ. ඔවුන්ට අනුව රටට හෙණ ගහල ගියත් මේ ඉල්ලීම් දිය යුතුය. නැතිනම් වැඩවර්ජනය කර රට තවදුරටත් ආගාධයටම හෙළන බවට තර්ජනය කරයි. දැන් මේ අය ඉල්ලන කිසිදු ඉල්ලීමක් රාජ්‍යයට දිය හැකිද යන්න වර්තමානයේ පවතින ගැටලුවයය. මේ අයත් හොඳටම දන්නවා රජයට මේ පටු ඉල්ලීම් දිය නොහැකි බව. මේ මොහොතේ රට මුහුණ දෙන මුල්‍ය අර්බුදය ගැන, තමන් රාජකාරී කරන ආයතනය පත්ව තිබෙන අසීරුතාවයන් ගැන හොඳාකරවම දනී. මේ ආයතන ලාබ ලබමින් රාජ්‍යයට ආදායම් සොයා දෙනවාද? නැතිනම් පාඩු ලබමින් මහා භාණ්ඩාගරයෙන් පාඩු පියවමින් පවත්වාගෙන යනවාද ? කියා මේ අය හොඳින් දනී. ඒ සියල්ලටම වඩා ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් දැක්වූ දායකත්වයේ තරම ගැන මේ අය ඉතා හොඳින් දන්නවාට සැක නැත. තම ආයතය දිගින් දිගටම පාඩු ලබමින් තිබුණත් තමන්ගේ වැටුප්, දීමනා, බෝනස් ආදිය සතයකින් අඩු නොකර ලබා ගෙන ද තිබේ. වාර්ශික වැටුප් වැඩිවීම් නියමාකාරයෙන් ලබාගෙන තිබේ. වසරකට මාස 12ක් වූවාට මාස 21 ක වැටුප් වාර්ශිකව ලබා ගත් අයද සිටි. ලක්ෂ දෙක තුන නැතිනම් දහය පහළොව වැටුප් වාර්තා තියෙන මෙම පිරිස් රජය වැටුපෙන් බදු අය කර ගන්නවාටත් මුළුමනින්ම විරුද්ධය.

දැන් වැඩ වර්ජනයට එළඹ තමන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස කියන්නේ මෙම පිරිස මුලික කර ගත් අන්තෙවාසිකයන්ය. මේ අය හිතන්නේ තමන්ගේ, තමන්ගේ පවුලේ උදවිය පමණක් ජීවත් වුණොත් ඇතිය කියන එකය. මේ කණ්ඩායම සමස්තයක් ලෙස ගතහොත් ලක්ෂයකටත් වඩා අඩු පිරිසකි. මන්ද රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ගන්නා පිරිස මේ රටේ සිටින්නේ 1,25,000 කට ආසන්වය. ඒ අනුව මෙම වැඩ වර්ජනයට එක්ව සිටින්නේ එයිනුත් කොටසකි. රට ගැන ජනතාව ගැන මැදිහත්ව කල්පනා කර මේ මොහොතේ රට ගොඩගන්න තමන්ගෙනුත් දායකත්වයක් තිබිය යුතුය කියා කල්පනාකර රටේ අනෙකුත් ජනතාව සමඟ පීඩාවන් සමව දරාගෙන රජයට සහයෝගයක් ලබාදෙන රටට හිතැති විශාල පිරිසක්ද ඉහළ වැටුප් තල වල සිටිති. එම අය මේ වැඩ වර්ජනයට සහය නොදෙති. නමුත් එම පිරිසට හෝ වෘත්තීය සමිතිකාරයන් වැඩකරන්න දෙන්නෙ නැත. සාමාන්‍යයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා විට ඊට අකමැති පිරිස් වලට මේ අයගේ තර්ජනයට ගර්ජනයට නැතිනම් පහර කෑමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ නිසා කැමැති වුණත් අකමැති වුණත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් වන විට නිහඩව නිශ්ක්‍රීයව සිටීමට පිරිසකට සිදුවෙයි. නමුත් වෘත්තීය සමීතිකාරයන් ගනන් හදන්නේ සමස්ත සේවකයන්ම තමන්ගේ සටනට එකතු වූ බව කියමිනි. ඉදිරි වැඩ වර්ජනය ගැන ගනන් හැදෙන්නේ එහෙමය. එවිට රටට යන පණිවිඩය විකෘතියකි. නමුත් ඇත්ත ඉතා සුළුතරයකගේ පටු දේශපාලනික වුවමණාවක් මත මේ වර්ජනයන් සිදුවීමය. මේ නිසා රජය වුව මේවා ගනන් ගන්නේ නැත.

කොහොම නමුත් මේ වෘත්තීය සමිතිකාරයන් කියන්නේ දේශපාලන පක්ෂ වල අතකොලුය. නැතිනම් එම පක්ෂ පෝෂණය කරන මුල්‍ය ප්‍රවාහයය. මේ නිසා ඒ ඒ පක්ෂවල අනුග්‍රහය ආශිර්වාදය මේ වෘත්තීය සමිතිකාරයන්ට තිබේ. වෘත්තීය සමිතිවල බලය ගොඩනැගීමට පෙරළා එම පක්ෂවල සම්බන්ධයත් අවශ්‍යය. දෙගොල්ලල රැකෙන්නේ දෙගොල්ලනගේ සහයෝගය, අවබෝධය මතය. මේ නිසා මෙම වැඩ වර්ජනය, පටු ඉල්ලීම් දිනාගැනීමේ සටන් පාඨ වලින් ඔබ්බට ගොස් මේ මොහොතේ විපක්ෂ පක්ෂ වල තිබෙන බලලෝබී වුවමණාවන් සන්තර්පණය කිරීම වෙනුවෙන්ම ක්‍රියාත්මක වන්නකි. රට අවුලෙන් අවුලට පත්කොළොත් ඒ හරහා ජනතාව රවටා තමන්ට බලය අත්පත් කරගැනීමේ පහසු හැකියාවක් ඇති බව මේ පක්ෂ කල්පනා කරයි. දැන් බළලුන් ලවා කොස් ඇට බාවනවා සේ මේ වෘත්තීය සමිති ඒ වෙනුවෙන් යොදාගැනීම සිදු කරයි. මේ අනුව ඉතා පැහැදිලිවම, වැඩ වර්ජන ක්‍රියාදාමය කියන්නේම රටට කෙළවීමය.

අද රටට අවශ්‍යව තිබෙන්නෙ වැඩ වර්ජන නොවේ. වැඩි වැඩියෙන් වැඩ කිරීමය. රට ගොඩදැමීමේ වුවමණාවය. රට වෙනුවෙන් කැපකිරීම් කිරීමය. පාලකයෝ හොරුන්ය දූෂිතයන්ය, ඒ නිසා රජයට සහයෝගය දෙන්න බැරිය යන්න මේ අයගේ ජනප්‍රිය සටන් පාඨයකි. නමුත් එය අර්ධ සත්‍යයකි, අතිශයෝක්තියකට නැංවීමකි. මේ කරන විවේචනය මේ අයට රෙද්දක් ඇඳගෙන ඇත්තටම කරන්න බැරිය. මන්ද පාලකයා මෙන්ම මේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයත් රටට කර තිබෙන හානිය ඉතා බරපතලය. සියළුම දෙනා ඊට අයත් නැති වුණත් සාතිශය බහුතරය එසේය. රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලබන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ කෙරුම්කාරකම් නිසා මිසක පාලකයන්ගේ වැඩ නිසාම නොවෙයි. දේශපාලනඥයන් කවර ජඩ වැඩ කළත් ආයතනය සුරක්ෂිත කරගැනීම, ඒවා පළදායක, කාර්යක්ෂම ආයතන බවට පත් කරමින්, ලාබ ලැබීම කෙසේ වෙතත් පාඩු නොවන සේ පවත්වාගෙන යෑම ගැන වගකීම ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ටය. අඩුම තරමින් ආයතනයක් ගොඩදැමීම වෙනුවෙන් මේ වෘත්තීය සමිතිකාරයන් ශ්‍රමදානයක්වත් කර තිබෙන බවක් වාර්ථා වෙන්නේ නැත. මෑත භාගයේ වෘත්තීය සමිති වලට ඇත්තේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් වන මලපෙරේත අජූව සටන් ඉතිහාසයකි. දේශපාලකයා වෙතින් වැරද්දක් වන්නේ තමන්ට බලය තිබෙන මොහොතකදී පමණය නමුත් මේ දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්‍රය දශක ගනනාවක් තිස්සේ එක දිගට දූෂිත ක්‍රියාදාමයක නියැලෙයි. අකාර්යක්ෂම භාවිතයක් නියැලෙයි. බහුතරයක තත්වය එසේය. ඒ අනුව දේශපාලකයාට වඩා රටට හානි කර ඇත්තේ මේ දූෂිත රාජ්‍ය නිලධාරී තන්තරය බව ගන්න හදා පෙන්විය හැක. කැඳවා තිබෙන වැඩ වර්ජනයේ තේරුමත් මේ දූෂිත අකාර්යක්ෂම ක්‍රමය රැකගෙන මජර දේශපාලනයම නඩත්තුකරන පටු අවස්ථාවාදී තකක්ඩි වැඩ වර්ජනයක් බවය.

  • ප්‍රභාත් ජයසුමන