තෙල බෙදීම හරියට කරපු හැටි

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ඉන්ධන සැපයීමේ ූඍ කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසා තිබුණු බවට මාධ්‍ය වාර්ථා පසුගිය සතියේ දකින්නට ලැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බවත් වැඩි දුරටත් සඳහන්ව තිබිණි. කොහොම නමුත් මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හමුවේ, ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකිරීමට හැකියාව පවතින බව සංස්ථාව ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම පුවත තව දුරටත් ඉන්ධන අර්බුදයක් සිදු නොවන බවට සුබ පණිවිඩයකි. මේ අතර QR කේත ක්‍රමය ඉවත් කිරීම සිදුකරනවාට වඩා ඉන්ධන ලබා දීමේ කෝටාව වැඩි කර මෙම ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යෑම රජයටත්, ජනතාවටත් වඩාත් හිතකර ප්‍රතිපත්තිය විය හැකි බවට ඇතැමුන් පෙන්වා දෙයි. මන්ද මෙම ක්‍රමය යටතේ මෙරට ඉන්ධන පාරිභෝජනය සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඒකරාශී විමත් ඒ අනුව අධි පාරිභෝජනය වැලැක්වීමටත් ඒ උපකාරී වන නිසාය. එසේම ඉන්ධන පාරිභෝගිකයන්ටත් තමන්ගේ සීමාවන් හැකියාවන් අනුව ඒ වියදම් කලමණාකරණය කරගැනීමට හැකිවීම ඔවුන්ගේ සාක්කුවටත් වාසියක් වන බැවිනි.

කෙසේ නමුත් QR කේත ක්‍රමය යනු එවකට පීඩාකාරීව තිබු තෙල් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හොඳම ක්‍රමවේදයය. කිලෝ මීටර ගනන් දිගට ඇදුනු තෙල් පෝලිම් වල දවස් ගනන් ගත කිරීමට බොහෝ පිරිසකට සිදු විය. ඒ වෙහෙසකර බව නිසා ජීවිතයෙන් සමු ගන්නට සිදුවූ පුරවැසියන් ගැනත් වාර්ථා විය. එසේම රට පුරා මේ පෝලිම් දකින දකින් වාරයක් පාසා ජනතාව තුළ ඇතිකළ අසුබවාදී හැඟීම් රටක් විදිහට නැවැත ගොඩ ඒමට බාධාකාරී විය. එමෙන්ම රට ගැන විදේශයන්ට සම්ප්‍රේශනය වූ පුවත් රටේ යම් කීර්තියක් තිබුණේ නම් එයටත් හානිදායක විය. නමුත් මේ ප්‍රශ්න විසඳා ගැනීමට රජය සමත් විය. නමුත් මීට මාස හත අටකට පෙර තෙල් පෝලිම් ගෑස් පෝලිම් ආදිය තිබු බවත් වත්මන් ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දු තීරණ නිසා අහෝසි වූ බවත් බොහෝ පිරිස් අමතක කරමින් තිබේ. දැන් බලය වෙනුවෙන් සටන කරන් විපක්ෂ පක්ෂ වලට කොහොමටවත් ඒ යුගය මතක් නැත. තෙල් පෝලිම් තිබුණු යුගයේදී මේ විපක්ෂය තෙල් පෝලිම් වලට වී ජනතාව කුපිත කරමින් සිටියා හැර ඒ ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් වුයෙත් නැත.

කොහොම නමුත් මෙරට තුළ ඉන්ධන අර්බුදයක් නිර්මාණ වූයේ ඇයි ද යන්න යළි මත්ක කරගැනීම වටින්නේය. මන්ද මේ අර්බුදය නිර්මාණය වීමත් එයට විසඳුම් සොයා ගැනීමත් පුරවැසියා දැන ගෙන සිටීම යළි දේශපාලනික නොමඟ යැවීම් වලට හසු නොවී සිටීමට හේතුවක් වන නිසාය.

ශ්‍රී ලංකාව තුළ තෙල් අර්බුදය මතු වූයේ කලට වේලාවට රටට අවශ්‍ය තෙල් ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වීම මතය. ඒ අනුව එක් පැත්තකින් තෙල් හිඟ වන විට විදුලිය නිෂ්පාදනය අඩපණ විය. කාර්මාන්ත, ව්‍යාපාර, ප්‍රවාහන කටයුතු අඩපණ විය. ධීවර කර්මාන්තය පවත්වාගෙන යෑමට බරපතල බාධාවක් විය. ගුවන් යානා සඳහාද තෙල් හිඟ විය. ආහාර මෙන්ම අනේකුත් පාරිබෝගික ද්‍රව්‍ය මිළ ඉහළ නැගීමට හේතු විය. රාජ්‍ය සේවය පවා නිසි පරිදි පවත්වාගෙන යෑමට නොහැකි විය. තෙල් අර්බුදයේ තවත් පැත්තක් වූයේ දශක ගනනාවක් තිස්සේ සහන මිළට තෙල් අලෙවි කිරීමෙන් තෙල් සංස්ථාව ලබා තිබු බිලියන ගනනක පාඩුවය. මෙලෙස තෙල් සංස්ථාව මෙන්ම විදුලි බල මණ්ඩලය යන දෙකම දීර්ඝ කාලීනව පාඩු ලැබුවේය. එම නිසා මෙම ආයතන දෙකෙහිම බර අඩු වැඩි වශයෙන් මහා භාණ්ඩාගාරයට දැරීමට සිදු විය. ඒ පියවීම සඳහා රාජ්‍ය ආදායම් ලෙස එකතුවන බදු මුදල් වැය කරන්නට සිදුවිය. නමුත් රටේ බදු ආදායම් අහිමි වීම සහ මෙම ආයතන සහ රජයේ බොහො ආයතන පාඩු ලැබීම් මත තව දුරටත් මේ වෙනුවෙන් මුදල් ලබා දීමේ හැකියාව රජය සතු වූයේ නැත. රාජ්‍ය බැංකු වලට බිලියන ගනනින් ණය වී ඒ නොපියවීම නිසා බැංකුවලින් ලද හැකි පහසුනම්ද ලැබුණේ නැත. තෙල් ගෙන්වීම වෙනුවෙන් ඩොලර් ලබා ගැනීමට සංස්ථාවට රුපියල් මුදල් ද නැති විය. රජය සතුව ඩොලර සංචිත තිබුණේද නැත. කලට වේලාවට රටට අවශ්‍ය තෙල් ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි නිසා තෙල් අර්බුදය මතු වුයේ එසේය.

ජනතාව සතුව මුදල් තිබුණත් ලබාගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් රටේ තිබුණේ නැත. පසුගිය වසරේ සිංහල දෙමළ අවුරුදු සමයේදී ජනතාවට සිදු වූයේ තෙල් දියව්! ගෑස් දියව් කියමින් වීදි බසින්නටය. අප්‍රේල් 09 වෙනිදා ගාළු මුවදොර අරගලයට ආසන්නම හේතුව වන්නේත් තෙල් ගෑස් විදුලි අර්බුදයය. ශ්‍රී ලංකාව සතිහාසය පුරා විවිධ අර්බුදවලට මුහුණ දුන් නමුත් 1948 මෙරටට නිදහස ලැබීමෙන් පසු ජනතාව මේ ආකාරයට පීඩාවට පත් කළ අවස්ථාවක් ඉතිහාසයේ නැතැයි හැඟේ. මන්ද මේ අර්බුදයේ රස්නය සියලු අර්බුද පරයා සෑම තරාතිරකම් මිනිසුන්ට තදින්ම දැනුණි.ඇණවුම් කළ තෙල් නැව් එනතුරු බලා සිටියත් ඒ ආපු නැවට මුදල් ගෙවා ගන්න නොහැකිව රජයත් අසරණව සිටියේය.

මේ කාලය තුළ සීමා සහිතව සපයා ගත් තෙල් ප්‍රමාණයත් බෙදා හැරීම ගැන බරපතල ගැටළුවකට රජය මුහුණ දී තිබිණි. තේල පොලිම වල සිටි මිනිස්සු තෙල් වලට මාරා ගන්නා තැනට පත් විය. ඉන්ධන පිරවුම් හල් කළමනාකරුවන් සේවකයන් මිනිස්සුනගෙන ගුටි කන තත්වයට පත් විය. ඉන්ධන බවුසර් සේවකයන් අතරමඟදී ඉන්ධන අලෙවි කිරීමද සිදු කර තිබිණි. ඉන්ධන බවුසර් කොල්ල කෑ අවස්ථාවන්ද වාර්ථා විය. ගැටුම් ඇති නොවෙන්න සෑම පිරවුම් හලකටම පොලිස් නිලධාරීන් යෙදවීය. ඒ බැරි තැන හමුදාවද යෙදවීය. පසුව මේ නිලධාරීන් සමඟද මිනිස්සු ගැටුමට ආවේය. ඉන්ධනහල් ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් ද වැඩි විය. ප්‍රදේශයේ පාතාල කෙරුමන් විසින් තම ප්‍රදේශයේ ඉන්ධන හල් හිමිකරුවන් පාලනය කිරීම නිතැතින්ම සිදු විය. එහිදී එම මැරවරයන් ක්‍රියාත්මක වී ඔවුන්ගේ හිතවත් අයට සහ මිල මුදලට පෝලිම් පන්නා තෙල් සැපයීම ආරක්ෂක අංශවලින් හෝ පාලනය කිරීමට නොහැකි විය. බරපතලම ගැටළුවක් වූයේ මේ හිඟය නිසා ඉන්ධන කළුකඩ නැතිනම් ජාවාරම්කාරී ක්‍රියාවන් සුලබ වීමය. පෝලිම් වල සිට හෝ හොර පාරෙන් හෝ ලබා ගන්නා ඉන්ධන හතරපස් ගුණයක ඉහළ මිලට විකුණන ජාවාරම් බිහි විය. මේ ජාවාරමේ තවත් අනතුරුදායක දෙයක් වූයේ ජාවාරම්කරුවන් තෙල්වලට විවිධ දෑ කලවම් කොට ලීටර් ගණන් වැඩි කර විකිණිමය සිදු විය. මේ නිසා කලවම් තෙල් ගබා ගත් වාහන කාර්මික දෝශයන්ට ලක් වීමේ සැහෙන වාර්ථා විය.

මේ තත්වයන් පාලනය කිරීමට රජය විවිධ පියවර අනුගමනය කළ නමුත් සියල්ල අසාර්ථක විය. වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට අනුව සතියේ දින 07දී ඉන්ධන නිකුත් කළ ද ලබාදෙන තෙල් ලීටර් ප්‍රමාණය සීමා කළ ද ටෝකන් ක්‍රමයක් ක්‍රියාත්මක කළද ඒ සියලු ක්‍රමයන් දවසින් දෙකෙන් අකුළා ගැනීමට සිදු වූයේ එම ක්‍රමවලින් අපේක්ෂිත ප්‍රතිපල ආණ්ඩුවට නොලැබී යාම නිසාය.

ඉන්ධන අර්බුදය මෙරට තුළ නිර්මාණය වීමට පෙර රට තුළ සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙ.ටො. 3500ක්, ඩීසල් ඉල්ලුම මෙ.ටො. 6500ක්, භූමිතෙල් ඉල්ලුම මෙ.ටො. 700ක් සේම කර්මාන්තශාලා සඳහා අවශ්‍ය දැවිතෙල් ඉල්ලුම මෙ.ටො. 400ක අගයක් ලෙස සඳහන් වී ඇත. නමුත් ඉන්ධන හිඟය තුළ වැඩි වශයෙන් ඉන්ධන ගබඩා කර ගැනීමට ඇතැම් පාරිභොගිකයන් සහ ජාවාරම්කරුවන් යොමු වීම මත සාමාන්‍ය දෛනික අවශ්‍යතාවය තුන් ගුණයකින් පමණ ඉහළ ගිය අතර එය අර්බුදය තවත් බරපතල කිරීමට හේතු විය. රජය වැඩි වන අවශ්‍යතාවය තරමටත් කෙසේ හෝ තෙල් සැපයීමට කටයුතු කළත් මෙම තත්වය හේතුවෙන් එදිනෙදා කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමේ අත්‍යාවශ්‍ය රාජකාරීවල නියුතු වෛද්‍ය,ගුරු ආදී විවිධ වෘත්තිකයන්, ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්, රෝගීන් බැලීමට එදිනෙදා රෝහල් කරා යන තැනැත්තන් ආදී අය දැඩි අපහසුතාවන්ට පත් විය. ඔවුන් වෙත ලබාගැනීමට පිරවුම් හල් වල තෙල් ඉතිරි නොවීය.

විශේෂයෙන් මේ කාලය තුළ වෙළෙඳපොළේ පවා පිරවුම් බට වර්ග, තෙල් පිරවීමේ ප්ලාස්ටික් කෑන්, බූලි හිඟයක්ද පැවතුණි. තෙල් ඇදීම සඳහාම විශේෂ පුහුණුවක් සහිත පිරිස් ඉන්ධනහල් ආශ්‍රිතව සිටිමින් රුපියල් 500 වැනි මුදලට සිය සේවා රථ හිමියන්ට ලබා දුන් අවස්ථාද දැනගන්නට තිබුණි. ඉන්ධන කට තබා බටවලින් ඇදීමෙන් ඒ පෙනහලු ගතවීම නිසා වූ මරණ ගැනද වාර්ථා විය.

රජය අවසානයේදී QR ‘කේත ක්‍රමය’ හඳුනාගැනීම නිසා මේ සියළු ගැටළු වලට විසඳුම ලැබිණි. තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් පසුගිය වසරේ ජූලි මාසයේදී රථ ලියාපදිංචි අංකය අනුව දින වකවානු වෙන් කරමින් කෝටා ක්‍රමයක් යටතේ සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍රය (ූඍ ක්‍දාැ) ූඍ ‘කේත ක්‍රමය’ රජය විසින් හඳුන්වා දෙනු ලැබීය. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය තාක්ෂණික හවුල්කරු වශයෙන් දායකත්වය ලබාදුන් අතර ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ෂධක්‍ සමාගම යටතේ පවතින සියලු ඉන්ධන පිරවුම්හල් හරහා මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීම ඇරඹුණි. මුල් දින කිහිපය තුළ මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සුහුරු (Smart& දුරකථන නොමැතිවීම, තාක්ෂණික දැනුමේ ඌණතා, අදාල වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වීම, ඉන්ධන පිරවුම්හලකදී QR කේතය ඉදිරිපත් කිරීමට නොහැකි විම වැනි ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දීමට පොදු ජනතාවට සිදු විය. නමුත් ඒවාටද බොහෝ විසඳුම් සමාජයෙන්ම ඉදිරිපත් වී රජය හඳුන්වා දුන් නව ක්‍රමවේදයට ජනතා සහයත් හිමිවිය. නව තාක්ෂණය නොදන්නා අය ඉගෙන ගනු ලැබීය.

මෙම “ජාතික ඉන්ධන අවසර පතට” ( National Fuel Pass) මගින් මහජනතාවට සතියකට නියමිත උපරිම ඉන්ධන සීමාවක් නිකුත් කිරීමට කටයුතු කිරිම හේතුවෙන් සියලුදෙනාටම අඛණ්ඩව ඉන්ධන සැපයීමට හැකි වීම මෙන්ම සත්‍ය ලෙසම රටේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන ප්‍රමාණය ආනයනය කර ඒ වන විට තිබු ඩොලර් හිඟය මඟින් ඇති කර තිබු පීඩාව සමනය කර ගැනීමටද සමත් විය. මේ ක්‍රියාවලිය හරහා රටේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සුරක්ෂිතවත්, වගකීම්සහගතවත්, මෙන්ම පාරිභෝගික තෘප්තිමත්භාවයත් ඇති කිරීමට හැකි විය.

කොහොම නමුත් ”ඉන්ධන” යනු පහසුවෙන්ම ආණ්ඩු අපහසුවට පත්කරන හා බලයේ සිටින ආණ්ඩුවල ජනප්‍රියත්වය ක්ෂණිකව හීන කරන සාධකයකි. කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ඉන්ධන මිල ගැටලුවට මුහුණදෙන්නට සිදුවේ. තෙල් නිෂ්පාදනය නොකරන, ආර්ථික අස්ථාවර හා දුර්වල රටවල්වලට මේ තත්වය තදින් බලපායි. ලෝක ආර්ථික අර්බුදය නිසා සහ අමෙරිකන් ඩොලරයේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළයෑම නිසා ද තත්වය වඩාත් දරුණු ලෙස මතු විය. නමුත් මේ වන විට එම ගැටළුද ක්‍රමයෙන් පහව යන බැවින් රටේ තෙල් අව්‍යශ්‍යතාවය තව දුරටත් ගැටළුවන් වන්නේ නැත. එමෙන් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට ද මේ වන විට සැලසුම් සකස් කර ඇති බැවින් වාඩාත් යහපත් වතාවරණයක් ඉදිරියේදී ඇතිවීම නිසැකය.

තරුවි