කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා

” පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අපි නීතිය හමුවට ගෙනෙන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට දේශීය ආරක්ෂක අංශ පමණක් නොව, ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය , ඇමරිකාවේ ත්‍ඊෂ එක වැනි ජාත්‍යන්තරව සුපිරිම ආයතන ටික සම්බන්ධ කරගෙන මේ පාස්කු ප්‍රහාරයට මුල්වූ සියලුම දෙනා අධිකරණය හමුවට නීතිය හමුවට ගෙන එනවා පමණක් නොව, පාස්කු ප්‍රහාරය හෝ කොටි ත්‍රස්තවාදය හෝ කුමන ත්‍රස්තවාදයක් හෝ වේවා ඒ සඳහා සම්බන්ධ වන සියලු දෙනාට මරණීය දණ්ඩනය ලබාදෙන්නට කටයුතු කරනවා. කවුරු මොනව හිතුවත් ඒක කරනවා”

මේ කතාව විපක්ෂ නායක සජිත්ගේය. රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකයකු ප්‍රකාශයක් සිදුකිරීම සාමාන්‍ය කාරණයක් ය. ඕනෑම රටක ඕනෑම තත්වයක් යටතේ ඊට ඉඩක් ඇත. නමුත් ඒ ආවාට ගියාට කියන වචන නොවිය යුතුය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැළකුවහොත් ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් සිදුකිරීම සහ වගකිව යුත්තන් අධිකරණය ඉදිරියට ගෙන යාමට අවස්ථාව සැළසීම යන්නත් ඊට ප්‍රමාණවත්ය. නමුත් එවැනි විනයක් හෝ දේශපාලන ශික්ෂණයක් සජිත්ට නැත. ඒ බව ඔහු මේ ප්‍රකාශය තුළම ඔප්පුකර ඇත්තේ ”මරණීය දණ්ඩනයක්” ගැනත් දොඩවමින්ය. සියල්ලටම වඩා සජිත් මේ කයිවාරුව ගහන්නේ ලෝකයේ පිළිගත් ශිෂ්ට සම්පන්න රටවල් සිය දණ්ඩ නීති සංග්‍රහ තුළ මරණීය දණ්ඩනය ක්‍රමයෙන් ඉවත්කරන පසුබිමකය. තවත් රටවල් මරණීය දණ්ඩනය දණ්ඩ නීති තුළ ඇතත් ක්‍රියාත්මක නොකරන පසුබිමකය. එසේම ගෝලීය වශයෙන් සෑම රටක්ම එතැනට ගෙන එන්නට කතිකාවක් නිර්මාණයව ඇති පසුබිමකය. ඒ වෙනුවෙන් යම් බලපෑමක්ද දියත් කර ඇති පසුබිමකය. ශිෂ්ට සමාජයේ පිළිගැනීම අනුව මරණීය දණ්ඩනය ගෝත්‍රික දඬුවම් ක්‍රමයක් වන අතර, ශිෂ්ට සම්පන්න සිවිල් සමාජ පසුබිමෙන් අතුගා දැමිය යුත්තක්ය.

ඒ අර්ථයෙන් ගත්තද සජිත්ගේ දැක්ම ගෝත්‍රිකය. ඉංග්‍රීසියේ ඇති බරම වචන වලින් කතා කළාට, විමර්ශන සඳහා ස්කොට්ලන්ඩ් යාඩ් , ත්‍ඊෂ ගැන කියෙව්වට අමුම අමු පසුගාමියෙක්ය. ”කවුරු මොනව හිතුවත් ඒක කරනවා” යනුවෙන් සජිත් කියන්නේ, කිසිවෙකුගේ බලපෑමකට යටත් වීමට නොව, අන්‍ය අදහස නොතකන, අත්තනෝමතිකයක් කියන එකය. එවැන්නෙක් රටේ ජනාධිපති ධුරය වැනි තීරණාත්මක ධුරයක් වැන්නක් සඳහා කොච්චර නොසුදුසුද යන්න රටේ ජනතාවට උගන්වා, තමනුත් පාඩමක් ඉගෙන ගියේ හිටපු ජනාධිපති ගෝඨාභයය. තවත් වරක් ඒ නරක අත්දැකීම අමුතුවෙන් අත්හදා බලන්නට අවශ්‍යතාවක් ජනතාවට නැත. ඒ බව සජිත් දන්නවාද යන ප්‍රශ්නය විවෘතය. නමුත් සජිත් ඒ බව නොදැන ඉන්නටත් හේතුවක්ද නැත.

තමන් රටේ නායකයා වීමට කොතරම් සුදුසුද යන්න ගැන තමන්ම සුදුසුකම් ඉදිරිපත් කරන තැනට සජිත් වැටී සිටින්නේද ඒ නිසාය. විපක්ෂ නායක භූමිකාවට වඩා වෙනත් චරිත වලට ආවේශ වෙමින් ජනතාව හමුවට එන්නට ඔහු උනන්දු වන්නේද ඒ නිසා විය යුතුය. ඒ තුළ වරෙක ඔහු ගායකයෙක්ය. ඩ්‍රම්ස් වාදකයෙක්ය. ගිටාර් වාදකයෙක්ය. පියානෝ වාදකයෙක්ය. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ය. පැසිපන්දු ක්‍රීඩකයෙක්ය. පාපන්දු ක්‍රීඩකයෙක්ය. රියදුරෙක්ය. ජායාරූප ශිල්පියෙක්ය. ශ්‍රී මුඛයක් ඇත්තෙක්ය. ඔය ආදී ලෙස චරිතාංග නළුවෙකු ලෙස සජිත් කැපී පේන්න හැදුවත්, දේශපාලනඥයකු ලෙස ඔහු අන්ත අසාර්ථකය. නූතන තත්ත්වයන්ට ගැළපෙන දැක්මක් ඔහු සතුව නොමැත. අවම වශයෙන් ආණ්ඩුවේ සහ රාජ්‍යයේ වෙනස පවා සජිත්ට සීරියස් නැත. ආර්ථිකය ගැන පවා ඇත්තේ එදාවේල අදහස් පමණය. නැතිනම් මේ ආණ්ඩුව සමඟ අත්සන් කරන ගිවිසුම් සජබ ආණ්ඩුවක් යටතේ වලංගු නොවන බව කියමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සත්තම් දාන්න යන්නේ නැත. කොටින්ම කිව්වොත් ”වෙන්ඩ ජනාධිපති” හීන දැක්කත් විපක්ෂ නායක ලෙසවත් සජිත් තහවුරුවක් හදාගෙන නැත.

ඒ බව පසුගිය වසරේ සනාථ වූයේ ජනාධිපති තෝරන පාර්ලිමේන්තු ජන්දයේදී පවා අපේක්ෂකත්වය අහිමි කරගැනීම හමුවේය. එපමණක් නොව සජබ නමින් පක්ෂයක් හදා එහි නායකත්වය ලබා දෙන්නට එවකට එජාපය නියෝජනය කළ ප්‍රබලයන් පිරිසක් කටයුතු කළත් ඒ පක්ෂය රැකගන්න ප්‍රමාණවත් දේශපාලන පෞරුෂයක් සජිත්ට නැත. සජිත් නමට සජබ නායකයා වුණත්, සජබ දේශපාලන තීන්දු තීරණ ගන්නේ ආර්යාව සහ සජිත්ගේ ව්‍යාපාරික මිතුරන් කිහිපදෙනෙකු බවත් ප්‍රසිද්ධ රහසක්ය. ඒ නිසා දැන් සජබ හදන්න රැල්ල හැදු කිසිවෙක් සජිත් සමඟ නැතුවා පමණක් නොව, ඉතිරිව සිටින කිහිපදෙනාද ඉන්නේ තීරණාත්මක අවස්ථාවක එළියට බහින්න බලාගෙනය.
ඒ තුළ තවමත් ඉන්න හිත හදාගෙන ඉන්නේ සජිත්ගේ සිහින ආණ්ඩුවේ දැනටමත් පිරිනමා ඇති ”අල්ලස් අමාත්‍ය ධුර” අපේක්ෂිතයන්ය.

ඒ අවාසනාවන්තයන්ගේ තත්වය කොච්චර නම් බරපතලද යන්න පසුගියදා කාට කාටත් තේරුම් ගියේ හර්ෂ ද සිල්වා ගේ හැසිරීම හමුවේය. පසුගිය පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න කලින් එහි මුදල් කාරක සභාවේ සභාපති වූයේ හර්ෂය. නමුත් මීඩියා ඉස්සරහා පොර වෙන්න ඒ හමුවට කැඳවූ රාජ්‍ය නිලධාරීන්ට හර්ෂ දැමූ සත්තම් බොහෝ අවස්ථා වල සීමාව ඉක්මවා ගිය තත්වයක් පෙන්නුම් කෙරිණ. ඒ රංගනය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් රැසක් ආණ්ඩුවේ ඉහළම තැන් වලට පැමිණිලි කළ බවත් ප්‍රසිද්ධ රහසක්ය. එසේම ඇතැම් මන්ත්‍රීවරුන් පවා මේ දුක් ගැනවිල්ල කතානායකවරයාට පවා යොමුකර තිබුණු බවත් ප්‍රසිද්ධ කාරණයක්ය. ඒ හර්ෂ රාජ්‍ය නිලධාරීන්ට සලකන පහත් ආකාරය නිසා තමුන්ට රැස්වීම වලට යන්නවත් හිතෙන්නේ නෑ කියාය.

අලුත් පාර්ලිමේන්තු සභාවාරයේ කාරක සභාවලට සභාපතිවරු පත් කරනවිට හර්ෂ කැපුණේ ඒ නිසාය. ස්ථාවර නියෝග අනුව නම් මුදල් කාරක සභාවේ සභාපතිකම දිය යුතුව ඇත්තේ විපක්ෂයේ අයෙකුටය. නමුත් ඒ පත් කිරීම සිදුකරන්නේ ආණ්ඩුවට බහුතරයක් ඇති පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාවෙන්ය.

අලුත් සභා වාරයේදී හර්ෂගේ දැඩි ඉල්ලීම මත, කිරිඇල්ල විසින් හර්ෂව මුදල් කමිටුව සඳහා යෝජනා කලත්, තේරීම් කාරක සභාව විසින් මුදල් කාරක සභාවේ සභාපති විදියට පත්කර ගත්තේ විපක්ෂයේ මංත්‍රීවරයෙක් වෙන මයන්ත දිසානායකය. මයන්තගේ මේ පත්කිරීමෙන් පසුව පැවති මුදල් කාරක සභාවේ පළමු රැස්වීමට පැමිණි පක්ෂ විපක්ෂ හැමෝම මයන්තට සුබ පැතුවේ වැදගත් ලෙස එම වගකිවයුතු කමිටුව හසුරවනු ඇති බවට අපේක්ෂාව ඇතිවය. නමුත් තමන් වෙනුවට මයන්ත මුදල් කමිටුවේ සභාපති ලෙස පත්කර ඇති බව දැනගත් අවස්ථාවේ සිට හර්ෂ හැසිරුණේ පොඩි ළමයෙකු ලෙසය. එහිදී ඔහු හඬා වැලපුණා පමණක් නොව සජබ ජේෂ්ඨයන්ට පවා කරදරයක් වන ආකාරයට බලපෑම් කරන්න ගත්තේ ”මුදල් කාරක සභාවේ සභාපතිකම තමන්ට කොහොම හරි ඕන” කියමින්ය.

“ඇයි මිනිහෝ මයන්තත් අපේ කෙනෙක්නේ. ඉතින් එයාට චාන්ස් එකක් දුන්නම මොකද? ” කියා ජේෂ්ඨයන් හර්ෂගෙන් ඇසුවත් ඔහුගේ අඩෝවැඩියාව අවසන් වුණේ නැත. ‘මාව අස් කළා‘ මාව එලෙව්වා, මම තමයි හොඳටම කළේ ” කියමින් ට්වීටර් ගිණුමේ වැළලෙන්න ගැනීමය. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවස්ථාවේද හර්ෂ සිට ඇත්තේ, කෝපයෙන් තොලකට වෙව්ලමින්ය. එහිදී හර්ෂ වෙත ගිය මුජිබර් කියා ඇත්තේ, ”හර්ෂ ඔය සභාපති පට්ටම ගැන ඔච්චර වද වෙන්නේ මොකටද ? මම මේ මන්ත්‍රීකමයි, නගරාධිපති අපේක්ෂකත්වයයි දෙකම නැතිවෙලා ඉන්නේ. ඔන්න ඔහේ අතෑරලා දාන්න. මොනවා වුණත් අපේ එකෙක්නෙ සභාපති වෙලා ඉන්නේ ” කියමින්ය. දැනගන්න ඇති ආකාරයට මුජිබර්ගේ ඒ වචන ටික හර්ෂ ගේ හිත හදන්න සමත්ව නැත. අවසානයේ බැරිම තැන සජිත් මයන්තට දන්වා ඇත්තේ , ” අනේ මයන්ත ඔයා මගේ කැබිනට් එකේ කොහොමත් ඉන්න නිසා , හර්ෂට චාන්ස් එක ගන්න ඔයා ඉල්ලා අස්වෙන්න” කියාය. හර්ෂගේ පමණක් නොව සජිත්ගේ බල කිරීම හමුවේ මයන්ත පසුගිය සතියේ තම ඉල්ලා අස්වීම කතානායකට බාරදී තිබිණ.

සජබ ඇතැමුන් නම් මේ ගැන තවත් කතාවක් කියන අතර ඒ හර්ෂ ඇවිස්සීම පිටුපස සජිත් ද වැඩ කොටසක් සිදුකර ඇති බවය. ඒ මයන්ත ආණ්ඩුවට යනු ඇති බවට සජිත්ගේ හිතේ සැකයක් ඇති නිසා බව කියන්නේද සජබ උදවියමය. ඒ කතා වල ඇත්ත නැත්ත කොහොම වුණත්, සජබ ජේෂ්ඨයන් කියන්නේ, සජබ ආණ්ඩුවේ මුදල් ඇමති හර්ෂ කියා, සජිත් දී තිබෙන පොරොන්දුව ඉටු නොකළොත් නම් හර්ෂ සිය දිවි හානිකර ගැනීමට පවා ඉඩ ඇති බවය. සජිත්ගේ මේ මානසික අල්ලස් නිසා හර්ෂ කොතරම් පිරිහී ඇත්ද කිව්වොත්, එජාපයේ සිටි සමයේ ආර්ථිකය ගැන සංඛ්‍යා දත්ත සහිතව ආර්ථිකය ගැන කතා කළ හර්ෂ මේ වන විට ආර්ථිකය ගැන කතා කරන අසාර්ථක විහිලු නළුවෙක් වී ඇති බවත් කියන්නේ සජබ උදවියමය. ඒ සජිත් හීරීමක්වත් නැතුව කුඩා ගේට්ටුවකින් බස් රථයක් ධාවනය කළ ආකාරය දැක ආර්ථික අර්බුදය විසඳිය හැකි නායකයා ද සජිත් බව තමන්ට අවබෝධ වූ බවට හර්ෂ කළ කතාව සිහිපත් කරමින්ය.

ඔය වගේම සජිත්ගේ ඇසුරට වැටී නන්නත්තාර වූ තවත් චරිතයක් වන්නේ හිරුනිකාය. අලුත්ම ආරංචිය නම් හිරුනිකාට විරෝධතා උද්ඝෝෂණ අවස්ථා වලදී සජිත්ගේ අහලටවත් ඒමට ඉඩ නොතබන ලෙස ආරක්ෂක අංශ නිලධාරීන්ට නියෝගකර තිබීමය. ඒ නියෝගය සජිත් නිකුත්කර ඇත්තේ සජබ මාධ්‍ය ප්‍රධානියකු ලබාදුන් උපදෙසක් මතය. ඒ ප්‍රසිද්ධ විරෝධතාවකදී හෝ උද්ඝෝෂණයක් අතර තුර පෙර සූදානමක් නැතිව හිරුනිකා කඩාපැන පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගත්තොත් එය නායකතුමාට අවාසිදායකයි කියාය. එසේම හිරුනිකා සමඟ ප්‍රසිද්ධ වේදිකාවේ පවා පෙනී සිටීම පවා අඩු කළ හැකි නම් එයත් ඉතාම වැදගත් බව මේ මාධ්‍ය ලොක්කාගේ වැඩිදුර උපදේශය වී ඇත. පසුගිය සමයේ හිරුනිකා කළ කීදෑ නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි අපකීර්තියට ලක්වූ බවත් එයින් ගැළවීමට ඇය කරන කියන දේ සම්බන්ධව කාටවත් හරි තක්සේරුවක් ඇතිකර ගැනීමට නොහැකි බවත් එම මාධ්‍ය ලොක්කා සජිත්ට පැහැදිලි කර ඇති බවත් දැනගන්නට ඇත. ආසන්න උදාහරණය ලෙස සජබ මාධ්‍ය ලොක්කා සජිත්ට පෙන්වාදී ඇත්තේ, පෙරටුගාමී නඩේ ඔවුන්ගේ අන්තරේ භික්ෂුන් පෙරටු කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කඩා පැනලා ඇතිවු ගැටුමේදී අත් අඩංගුවටපත් සැකකරුවන් දෙන්නෙක් මුදාගැනීමට කියා හිරුනිකා තමන්ගේ පෞද්ගලික මාධ්‍ය කණ්ඩායම සමඟ තලංගම පොලීසියට කඩා පැන ඇතිකරගත් කලබගෑනියය. කෙසේ හෝ වේවා අවසානයේ සජිත්ගේ නියෝගය අකුරට පිළිපැද්ද ආරක්ෂක නිලධාරීන් පසුගියදා සජබ විසින් කොළඹ පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණය අවස්ථාවේ හිරුනිකාට සජිත්ගේ අසලටවත් ඒමට ඉඩක් දී නැත.

ඩිෆෙන්ඩර් රථයකින් ගොස් තරුණයකු පැහැරගත් සිද්ධියකට මීට පෙරත් හිරුනිකා අත්අඩංගුවට පත්ව තිබිණ. එහෙත් එම සිදුවීම සජබ දේශපාලනය සඳහා ඇයට බාධාවක් වූයේ නැත. නමුත් හිරුනිකා පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඇතුළුව සමාජය හමුවේ දැඩි විවේචනයට ලක්වුයේ සජබ වේදිකාවේ ඇය හැසිරුණු අශ්ලීල සහ අශිෂ්ට බව නිසාය. එම කටයුතුද සිදුවූයේ සජබ ආර්යාවගේ උපදෙස් මත යන්නත් ප්‍රසිද්ධ රහසක් ය. හිරුනිකා ප්‍රසිද්ධ වේදිකාවේ අශ්ලීල කතා කියමින් කෑමොර දෙන විට ආර්යාව සහ සජිත් සිනාසෙමින් ඊට ආවැඩූ ආකාරයත් මෙහිදී සිහිපත් කරගත්තාට වැඩි නැත.

හිටපු ජනාධිපතිගේ මිරිහානේ නිවාස ඉදිරිපිට ගොස් ගේම ඉල්ලා විරුද්ධ පාක්ෂිකයන්ට ගැම්මක් දුන්න හිරුනිකා අවසානයේ සජිත්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් බිල්ලක් වී පැත්තකට වැටුණේ එහෙමය. හිරුනිකා ඒ ආකාරයට පැත්තකට දමා සජිත්ලා දැන් ඉදිරියට ගෙනවිත් ඇත්තේ අරගලයේ නිළිය වූ දමිතා අබේරත්නවය. ඒ අරගලකාරිනියක් හැටියට එක් වතාවක් අත්අඩංගුවට පත්වී බන්ධනාගාරගතවී ඇති තැනැත්තියක් ලෙසය. ඒ අනුව දැන් පසුගිය සමයේ හිරුනිකා දැක්වූ භූමිකාව පැවරී ඇත්තේ දමිතට වන අතර ඒ සඳහා සජබ ආර්යාවගේ ද සම්පූර්ණ ආශීර්වාදය හිමිව ඇති බවත් දැනගන්නට ඇත. ඒ කාර්යය වෙනුවෙන් දමිතා යොදවන විට ඇයට ලබාදී ඇති පොරොන්දුව ඉදිරි මහ මැතිවරණයකදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලබාදීමය. දැන් සජබ ඇතුලේ යන අලුත්ම කතාව වන්නේ හිරුනිකා උත්සාහ කරන්නේ, කොහොම හරි පොලිසිය එක්ක ගැටුමක් හදාගෙන ඇතුළට ගිහින් ඒ හරහා හෝ ජනතා අවධානය ගන්න කියාය. ඊට හේතුව සජිත්ලා ගේ වැඩ නිසා හිරුනිකාට දමිතාව අභියෝගයක් බවට පත්ව ඇති නිසාය.

ඒ කියන්නේ පුද්ගලයෙකු පැහැරගෙන යාම වැනි පාතාල ක්‍රියාකාරකමක් හරහා අත්අඩංගුවට පත්වීමෙන් ලද නින්දාව වෙනුවට, අරගලකාමී, රැඩිකල් ස්ත්‍රියක් වශයෙන් වේශනිරෑපනය වීමට හිරුනිකාගේ ඇති ආශාව දමිතාගේ බලවත් වීම හරහා දැන් ඔඩුදුවා තිබෙන බවය. අවසානයේ සිදුව ඇත්තේ ආණ්ඩුවට එරෙහිව කිසිදු ආකාරයක ප්‍රතිපත්තියම දේශපාලනයක් නොකර, කැමරා ඉදිරියේ නිළියන් බවට පත්වීමේ පොරයක් සජබ දේශපාලන කටයුතු වල නිරත කාන්තාවන් අතර ඇතිකිරීම පමණය.

සජිත්ගේ දේශපාලනය ගැන හරි අදහසක් ගන්න, මුජිබර්ලාට, හර්ෂලාට මෙන්ම හිරුනිකාලට අත්වී ඇති මේ දසාවත් ප්‍රමාණවත්ය.