සකුරා මල් මතින් ඇවිද යන රනිල්

හිරු නැගෙන දේශය හෙවත් සකුරා මල් පිපිණු දේශය නමින් ලොව ප්‍රකට ජපන් රට බලා රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් සිදු කරනු ලැබූ සිය දෙවන සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 24 වෙනිදාය. පසුගිය සැප්තැම්බර් මස ජපාන හිටපු අගමැති, අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් පසු මෙලෙස ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයකට සහභාගි විය. ජනපති රනිල්ගේ මෙම සංචාරය ජේ.ආර්. ගෙන් පසු ජපන් ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය දීර්ඝ කාලීනව ශක්තිමත් කරනු ලබන සුවිශේෂී ඵෙතිහාසික සංචාරයක් වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සටහන් පෙන්වා දී ඇත.

මැයි මස 25 දින ජපානයේ පැවැති “‍ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව”‍ (භසනනැස ත්‍දරමප) අමතා ජනාධිපති රනිල් සිදුකළ විශේෂ ප්‍රකාශය ඊට පාදක වී ඇත. ලෝක සාමය වගේම ආසියාතික රටවල සුවිශේෂත්වය සහ ආර්ථිකමය, සමාජයීය සහ මානව හිමිකම් සුරැකීම අතින් කලාපීය වැදගත්කම, කලාපීය අභියෝග ද මෙහිදී පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ ලෝක බලවතුන්ගේ ග්‍රහණයට නතු නොවී නිදහස් රටවල් ලෙස නැගී සිටින්නට අවැසි නිවහල්බව මෙහිදී අවධාරණය කළේය.

ජපන් ශ්‍රී ලංකා සබැඳියාවේ මංසලකුණු

“‍ඇය නිදැල්ලේ ශක්තිමත්ව නැගී සිටිමින් නිදහසේ සිටිනු දැකීම අපි කාගේත් ප‍්‍රාර්ථනාවයි. ජපානය නිදහස් රටක් වනු දැකීම අපේ අරමුණයි.”‍ ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයා වශයෙන් එවකට මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන 1951 සැප්තැම්බර් 06 වැනිදා සැන්ට් ප‍්‍රැන්සිස්කෝ සමුළුව අමතා ජපානයට සමාව ලබාදීමේ අවශ්‍යතාව දැඩිව අවධාණය කළේ එසේය.

මෙවැනි ප්‍රකාශයක් එදා ජයවර්ධනයන්ට කරන්නට සිදුවූ පසුබිම ලෝක දේශපාලනයේ ඉතා ව්‍යාකූල තත්වයකි. එනම් දෙවන ලෝක යුද්ධයෙන් සමස්ත ලෝකයම ඉතා ඛේදජනක ඉරණමකට ලක්ව, දසදහස් ගණනින් මිනිසුන් ඝාතනයට ලක්ව, එකිනෙකා කෙරෙහි ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරුණු රටවල් සතුරන් කෙරෙන් පළිගැනීමට මාන බලමින් සිටි වකවානුවකි. එවැනි මොහොතක ලෝක සාමය වෙනුවෙන් “වෛරයෙන් වෛරය නොසන්සිඳෙන”‍ බව අවධාරණය කරමින් ජයවර්ධනයන් සිදු කළ කතාව අදටත් ජපාන වැසියන් මල් පුදා අනුස්මරණය කරන්නට තරම් ඵෙතිහාසික වටිනාකමකින් යුක්තය. 1952 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයක් විවෘත කරමින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹුණි.

එදා ලෝකය තුළ ජපානය හුදකලා නොකරන තැනට අවශ්‍ය මූලික සහ ප්‍රබලතම මගපෙන්වීම ජේ.ආර්. විසින් සිදුකිරීම නිසාම ඉතා කෙටිකාලයක් තුළ සමාජයීය හා ආර්ථිකමය වශයෙන් ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් වූ ජපානය අවශ්‍ය සෑම අවස්ථාවක දීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් නොමද සහාය ලබාදෙන ප්‍රධානතම ආධාරකරුවා බවට පත් විය.

ජපන් ආධාර යටතේ ලංකාවේ තුළ ක්‍රියාත්මක වූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අතර ඉහළ කොත්මලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ද සමනළ වැව හා කුකුළේ ගඟ ව්‍යාපෘති හා කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය හා ටෙලිකොම් ව්‍යාපෘති හා දුම්රිය මාර්ග, පාලම් හා මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති ද මහනුවර අපජල ව්‍යපෘතිය ද වේ. ඒ අතර ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වෙනුවෙන් සිදු කෙරුණු දැවැන්ත ආයෝජනයන් ලෙස පේරාදෙණිය රෝහල, වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය ද පෙන්වා දිය හැක. එසේම ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල ජපාන රජයේ පරිත්‍යාගයන්ය.

මීට අමතරව ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතල ස්වාභාවික ආපදා අවස්ථාවන්හි ජපන් රජය නොමසුරුව ආධාර ලබාදීම් සිදු කළේය. විශේෂයෙන් ලංකාවේ සුනාමි අපාදා කළමනාකරණය වෙනුවෙන් වැඩිම ආධාර ලබාදීමක් සිදුකරන ලද්දේ ද ජපන් රජය විසිනි.

ජනපති රනිල්ගේ ජපන් සංචාරය

ජනාධිපතිවරයා මෙවර ජපන් සංචාරයට ප්‍රථම මෙරට බෞද්ධ නායකයින් වන මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරු මුණගැසී සාකච්ඡා කළේය. එහිදී ජපන් සංචාරය පිළිබඳවත් සිය සංචාරයේ අරමුණ කුමක් ද යන්නත් පැහැදිලි කර සිටියේය. ඒ අනුව ‘නික්කෙයි සමුළුව’ ඇමතීම මුඛ්‍ය කාර්යය වුවද ලංකාවේ ඉදිරි අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ජපන් රජයේ සහයෝගය ලබාගැනීම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසා සිටියේය. ඒ අනුව, මහ විහාර විශ්වවිද්‍යාලය ගොඩනැගීම, මහනුවර නගර සංවර්ධනය කිරීම සහ අතහැර දැමුණු සැහැල්ලු‍ දුම්රිය සේවයේ වැඩ නැවත ඇරඹීම සඳහා ජපන් රජයේ සහයෝගය ලබා ගැනීම සිය සංචාරයේ අරමුණ බව දන්වා සිටියේය.

ජනපතිවරයා තමන්ගේ දැක්මට අනුව 2048දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමේ ගමන් මග කෙමෙන් කෙමෙන් සකස් කරමින් සිටී. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව කෙරේ දෙස් විදෙස් අයෝජන ළඟාකර ගත යුතුය. විදෙස් මුදල් උපයාගත යුතුය. දැනුම හා තාක්ෂණය පුළුල් කළ යුතුය. නවීන පහසුකම්වලින් යුත් සමාජ සුබසාධනය ගොඩනැංවිය යුතුය. ජනපති රනිල්ගේ ජපන් සංචාරය සිය රටේ අනාගත අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව මහනුවර සංචාරයේදී කරන ලද ප්‍රකාශ තුළින් පැහැදිලිය.

මහවිහාර විශ්වවිද්‍යලය

ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස මහ විහාර විශ්වවිද්‍යාලය මෙරට තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර ඒ සඳහා ජපන් ආධාර ලබාගැනීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ථේරවාදී බුදුදහම සිය රටේ ප්‍රධාන ආගම කොට සලකන රටවල් අතරේ ලංකාව මෙන්ම ජපානය ද සිටී.

ලංකාවේ ථේරවාදී බුදු දහම ආරක්ෂා කිරීම, ප්‍රචලිත කිරීම, අනාගත පරපුර දැනුම්වත් කිරීම මෙම විශ්වවිද්‍යාලය මගින් ඉටු කිරීමට අපේක්ෂිතය. තවද ලෝකය පුරා බුදු දහම කෙරේ ඇල්මක් දක්වන සිසුන්ට ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා නිර්මාණය කිරීම තුළ විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව ද පවතී. රටට ආයෝජන අවස්ථාවක් වගේම බුදු දහමේ සංරක්ෂිතභාවය වෙනුවෙන් මෙය මහඟු‍ අවස්ථාවකි.

මහනුවර නගර සංවර්ධනය

ඵෙතිහාසික වටිනාකම් සහිත මහනුවර නගරය සැලසුම්ගතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2019දී මහනුවර නගර සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති නමුත් අදටත් එකී සංවර්ධන ව්‍යපෘතිය සක්‍රීය කිරීමට අපොහොසත් වී තිබේ. ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ අරමුණු අතර තවත් එක් අරමුණක් වූයේ මහනුවර නගර සංවර්ධනය සඳහා ජපන් සහයෝගය ලබාගැනීමය.

ඒ මහනුවර නගරය සතු ඵෙතිහාසික වටිනාකම හා ථේරවාදී බුදු සසුනේ මුදුන් මල්කඩ බඳු දන්ත ධාතු තැන්පත් කොට ඇති දළදා මාලිගාව පිහිටා තිබීම සැලකීමේ දී නව නගර සැලසුමකින් යුතුව නගරය නවීකරණය කිරීම, නගර වැසියන්ට දැඩි තදබදයකින් තොරව සිය ජීවිකාවන් පවත්වා ගැනීමේ අවස්ථාව නිර්මාණය වනවා පමණක් නොව සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් ද මහත් පිටුබලයක් ලැබෙනු ඇත.

සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය

යහපාලන ආණ්ඩු සමයේ සැලසුම් කරන ලද කොළඹ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ආර්ථික බලවතුන්ගේ හා නිලධාරීන් විසින් අදූරදර්ශීව හෝ සැලසුමකින් තොරව ඒකපාර්ශිකව නවතා දැමීමට කටයුතු කළේය. එය ජපන් ආධාර මත මෙරට ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ දැවැන්ත ආයෝජනයක් සහිත ව්‍යපෘතියකි.
නමුත් ජපානයේ සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා අතර ටෝකියෝ නුවර පැවැති නිල හමුවේ දී කොළඹ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජපාන රජය වෙත සිය කණගාටුව පළ කර සිටියේය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බවත්, නැවත විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන පරිදි නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කර සිටියේය.

ඒ අනුව ඉදිරියේ දී නැවතත් කොළඹ සැහැල්ලු‍ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මෙරට ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් ජපන් ආධාර ඒ සඳහා කැඳවා ගැනීමටත් කටයුතු කෙරෙනු ඇත.

මෙකී කරුණු සැලකීමේ දී ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය තවත් එක් නිල සංචාරයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්කය සපුරා ගැනීමේ මහඟු‍ අයෝජන අවස්ථාවකි. ඒ සඳහා ජපන් අගමැතිවරයා සමඟ ද ඊට අමතරව, ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ සමඟ ද ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමග ද වෙන වෙනම සාකච්ඡා පැවැත්විය. ඒ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව ඒ ඒ කේෂ්ත්‍ර පිළිබඳව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපන් රජයේ සහාය ලබාදීම සම්බන්ධව ස්තූති කිරීමට ද අමතක නොකළේය. එපමණක් නොව “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපන් ව්‍යවසාය සඳහා ඇති අවස්ථා”‍ නමින් ජපන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා එක්විය. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ විවෘත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීමද අවධාරණය කර සිටියේය.

මෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දැක්මට අනුව ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට වෙර වීරය දරමින් සිටී. නමුත් එකී උත්සාහය මල්ඵල දරණු ඇත්තේ දැනට රට තුළ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය මතය. එය සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ ගමන විරෝධතා, උද්ඝෝෂණ, විවිධ කෙනෙහිලිකම්වලින් පිරුණු දහසක් බාධක මධ්‍යයේ යාමට සිදුව තිබේ. නමුත් හෙට දවසේ දිදුලන මලින් පිරි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සකුරා මලින් පිරුණු දේශයේ අතහිත පෙර සේම නොමසුරුව ලැබෙනු ඇත.

– නවන් පතිරත්න