විපක්ෂය එපා කියන්නේ සමාජ සාධාරණත්වය ද?

වළකට වැටීම මොළයට බයක් යැයි කතාවක් අපි අසා ඇත්තෙමු. ඊට සුදුසුම හා ප්‍රසිද්ධ උදාහරණ පෙන්වා දිය හැක්කේ ලෝක දේශපාලනය තුළය. ඒ අතර හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් සුන්නද්ධූලි වූ ජපානය ඉතා කෙටි කාලයක් තුළ අත්කරගත් දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධනය, 1989 වර්ෂයේ නැගෙනහිර යුරෝපයේ බිඳවැටීම හා නැගීසිටීම, සමාජවාදී සෝවියට් දේශය බිඳවැටීම හා නූතන රුසියාවේ නැගීම ද වේ. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයකු වූ රොබට් වොරන් ටකර් පෙන්වා දෙන්නේ, රටක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට එරට සමාජ ආර්ථික බිඳවැටීම ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය වන බවය. මෑත ඉතිහාසය සලකා බැලුව ද ලංකාවේ එවැනි අවස්ථා ගණනාවක් නිර්මාණය වුවද මගහැරීම, නොසලකා හැරීම හෝ බාධා කිරීම් හමුවේ අදටත් එහි නිසි ප්‍රතිලාභ අත්කර ගැනීමට රටක් ලෙස අප අසමත් වීම අනාගතය සම්බන්ධයෙන් ඛේදනීය තත්වයකි.

දශක තුනක් පුරා පැතිරී ගිය උතුරු නැගෙනහිර යුද වාතාවරණය අවසන් කළ 2009 වර්ෂයෙන් පසු එළැඹි කාලය මීට කදිම නිදසුනකි. නමුත් එකල පාලකයන් මෙන්ම යුද මානසිකත්වයෙන් ඔද්දල්ව සිටි පාලිතයෝද කිරිබත බුදිමින් ප්‍රීති ප්‍රමෝදයෙන් කල්ගත කළා මිස රටේ අනාගතය ගොඩනැගීමට තිබූ මහඟු අවස්ථාව කිසිදු අදහසකින් හෝ කතිකාවකින් ද තොරවම මගහැර සිටියෝය. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අති බහුතර ජනප්‍රසාදයකින් බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ද නිසි සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නොමැති වීම වගේම කළමනාකරණ දුර්වලත්වය මත එකී අවස්ථාව ද අවාසනාවන්ත අයුරින් අහිමි කරගත්තේය. ඉන් පසු එළැඹියේ වත්මන් අර්බුදයේ මොහොතයි.

අර්බුදය හා අභියෝගය

මෑත ඉතිහාසය පුරා වපුල දේශපාලනයේ සංස්කෘතිය,සමාජයේ විකෘතිය, ජාතිවාදය, ආගම්වාදය පිරුණු මිනිස් චින්තනයේ පටුකම, පාලකයන්ගේ නොහැකියාව, නොදැනුවත්කම ආදී තවත් හේතු කාරණා බොහොමයක ක්‍රියාකාරීත්වයේ අවසන් ප්‍රතිඵලය වශයෙන්, රටේ අති බහුතරයක් ජනතාවට දෛනික ආහාර වේලවත් ලබාගත නොහැකි වූ, අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීමෙන් මිනිසුන් දිනපතා මියයන තැනට වැටුණු, දවසේ වැඩි පැය ගණනක් විදුලිය කප්පාදුවට ලක් වූ, හාල් පොල් කිරිපිටි, ගෑස්, ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල දවස් ගණන් නිකරුනේ කාලය කා දමන්නට සිදුවුණු, ඒ පෝලිම්වල හිටපු මිනිස්සු හාමත්ව මරණය පත්වුණු, මාස ගණනක් පාසල් වසා දමා ලක්ෂ ගණනක් සිසුන්ට ඉගෙනගැනීමේ අවස්ථාව අහිමි වූ, දහස් ගණනකගේ රැකියා අහිමිව පාරට වැටුණු, ආර්ථික මට්ටම අතිශය සීග්‍ර බිඳවැටීමකට පත්වුණු රටක් 2022 මැදභාගය වනවිට ඉතිරිව තිබුණි. ඒ ඛේදනීය රටේ ඉරණමට කරගහන්න තම තමන්ගේ ඡන්ද ජයග්‍රහණය කර, ඉන් මහත් ආඩම්බරයට පත්ව සිටි එකදු දේශපාලන නායකයකු ඉදිරිපත් වූයේ ද නැත. ඒ පුද්ගලිකව තමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඇති වූ බිය හේතුවෙනි. නමුත් අවසානයේ පරාජිත මැතිවරණයකින් පසු තම පක්ෂයට හිමි ව තිබූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ පමණක් ඒ අභියෝගය තම උරමතට ගැනීමට ඉදිරියට ආවේය. ඒ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩගන්නා බව පවසමිනි.

”මම බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්, දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාර ගැනීමට මම තීරණය කළා. ඒ අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීම රට වෙනුවෙන් මා කළයුතු යුතුකමක් සේ මා සැළකු නිසයි.

අද අප මුහුණ දෙන්නේ නුතන ඉතිහාසයේ කිසි දිනෙක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතල ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා. ඒ අනතුරින් රට බේරා ගත හැක්කේ අප සියලු දෙනාම එකට එකතුවී මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ සිටින ගරු මන්ත්‍රීවරුන් වගේම සමස්ත ජනතාවත් රට ගොඩ නැගීමේ වෑයමට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්.

රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එක්වුණොත් අපට ජාතිය ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා. බෙදී වෙන් වුණොත්, පරිහාණියට හා අසරණභාවයට පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙවෙයි. මුළු මහත් ජාතියමයි.”

මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව අමතා කරන ලද ප්‍රකාශයකි. එමගින් ජනාධිපතිතුමා ප්‍රකාශකර සිටියේ, තමන් සතුව රට ගොඩගැනීමේ වැඩපිළිවෙළක් සැලැස්මක් ඇති බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන්නේ නම් ඉතා කෙටි කාලයක් තුළ රට යථාතත්වයට පත්කළ හැකි බවය. අවාසනාවකි, එය එසේ නොවන බව පැහැදිලිය. ඒ අන්කිසිවක් නිසා නොව දේශපාලන බලලෝභීත්වයෙන් ඔළු පුරෝගත් විපක්ෂයේ දේශපාලන පුද්ගල චරිත හේතුවෙනි.

අභියෝගයට මුහුණ දීම

පාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත් වීමෙන් වැරදි පාරට ඇද දමා තිබූ මෙරට ආර්ථිකය නිවැරදි මගට ගැනීම වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණයන රැසක් වගේම දේශපාලන ප්‍රතිසංස්කරණයන් රැසක් ක්‍්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. එසේම යල් පැන ගිය ක්‍්‍රම පද්ධතිය වෙනුවට නව පද්ධති ස්ථාපිත කරමින්, ඊට ගැලපෙන නව අණපනත් රැසක් හඳුන්වා දෙමින් පෙර වැරදි නිවැරදි කිරීමට පියවර ගැනීම ද අනාගත සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීම ද ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පසුගිය කාලය තුළ සිදු කෙරුණි. එහි ප්‍රතිඵල අද මුළු රටම බුක්ති විඳිමින් සිටී. අද තෙල් පෝලිම් නැත, ගෑස් පෝලිම් නැත, ආහාර හිඟයකින් පීඩා විඳින්නේ නැත, විදුලිය කැපෙන්නෙ නැත. රටේ ආර්ථික ස්ථායිකරණය ගොඩනැගීම වෙනුවෙන් සියලු සැලසුම් දියත් කෙරෙමින් පවතී.

එහි මූලික ඉලක්ක අතර සමාජ විෂමතාව අවමකරමින් සමාජ සාධාරණත්වය තහවුරු කිරීම ප්‍රමුඛ කාර්යයක්ව පවතී. මේ සඳහා විවිධ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා දියත් කරමින් ඇති නමුත් විපක්ෂ හා ආණ්ඩු විරෝධී ඇතැම් කණ්ඩායම්වල දැඩි බාධා කිරීම් එල්ල වෙමින් පවතී. සමාජ විෂමතාව අවම නොකර රටකට ආර්ථික සංවර්ධනයක් අත්කර ගත නොහැකි බව අපේ රටේ පමණක් නොව ලෝක දේශපාලනය විමසීමෙන් වුව පැහැදිලි කර ගත හැකිය.

ධනවාදී හෝ ලිබරල් වෙළඳපොළ ක්‍රමය ක්‍රියාත්මක කළ බටහිර රටවල මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මුළුමනින්ම සුබසාධන ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කළ රටවල ද අත්දැකීම, ඒ කිසිවකින් සිය රටේ ස්ථාවර හෝ තිරසාර ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම නොහැකි බව අවබෝධ කොට ගෙන සිටීයි. කොවිඩ් වසංගත තත්වයන් හමුවේ ලෝක ආර්ථිකයම හැකිලීම නිසා සමාජයේ අඩු ආදායම් ලාභී කොටස් බරපතල අර්බුදයකට ලක්විය. රටවල් වසා දැමීම මත රැකියා අහිමිවීම්, ව්‍යාපාර වසාදැමීම් සිදුවිය. මෙය සාමන්‍ය තත්වයක් නොවී රටක් ආර්ථිකය පවත්වාගෙන යෑම වලක්වන බාධකයක් බවට පත් විය. මේ නිසා පීඩාවට පත්වූ ජන කොටස් නඟා සිටුවීම අනිවාර්ය තත්වයක් විය. නමුත් අනුගමනය කළ ආර්ථික පිළිවෙත් හමුවේ මේ කඩා වැටුණු තත්වයෙන් ගොඩ ඒම දුෂ්කර විය. එම නිසාම වර්තමානයේ බොහෝ රටවල මෙන්ම ලෝක ආර්ථික විද්වතුන්ගේ අදහස බවට පත්ව ඇත්තේ,සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමවේදය මීට පිළියම බවයි. එනම් සක්‍රීය ලිබරල් වෙළඳපොළ ක්‍රමය තුළ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් රජයේ හෝ ආණ්ඩුවේ මැදිහත් වීම තුළ ක්‍රියාත්මක කිරීමයි. එතුළින් සමාජ අසමානතාවය හෝ විෂමතාවයන් දුරලමින් හෝ අවම කරමින් ආර්ථික මෙන්ම සමාජ සාධාරණත්වය තහවුරු වන බව පිළිගෙන තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දැක්ම ද එයම බව ජනපති වූ පසු සිදුකළ පළමු කතාවේදීම පෙන්වා දී තිබේ.

සමාජ විෂමතාවය

ශ්‍රී ලංකාවේ සමාජ විෂමතාව ඉතිහාසයක් පුරා ගලාගෙන ආ ක්‍රමය පමණක් නොව ඊටම සරිලන සමාජ සංස්කෘතික හැඩගැස්මක් ද විය. ඒ අනුව මෙතෙක් රට පාලනය කළ පාලකයන් මෙන්ම අඩු වැඩි වශයෙන් සිය පැවැත්මේ අනිවාර්ය කොන්දේසිය මත පාලිතයන් ද ඊට හානි නොකර නඩත්තු වීමට හෝ කිරීමට කටයුතු කර ඇත. දුප්පත් පොහොසත්කම පමණක් නොව භූ විෂමතා බෙදීම් අනුව ද කුල ගෝත්‍ර, කුටුම්භ හැඩගැස්මද ඊට අනුගතව රට තුළ පැවැතිනි. ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද ඒ තුළ මනා සේ නඩත්තු විය. නමුත් ඒ අසමානතාව හෝ විෂමතාව නිසාම අද දවසේ රටම සමාජ ආර්ථික අර්බුදයට ගොදුරුව ඇති තත්වයක් හමුවේ අතිශය පීඩාවට, විඩාවට පත්ව ඇත්තේ බහුතරයක් දුප්පත් ජනතාවයි. එකී දුප්පත් ජනතාව යනු ආර්ථික දිළිඳුභාවය වගේම සමාජ සංස්කෘතික හා අධ්‍යාපනික දිළිඳුකමින් පෙළෙන අති බහුතරයක් ජනතාව ද වෙති.

එසේ වුවද ලංකාවේ වැඩිම විදෙස් ආදායම් උත්පාදනය කරනු ලබන්නේ එකී දිළිඳු ජනතාවමය. උදාහරණයක් ලෙස රට තුළට වැඩිම ඩොලර් ආදායම ගෙනන කණ්ඩායම් අතර විදෙස් ගෘහ සේවයේ යෙදෙන කාන්තාවෝ ද ඇඟලුම් කම්හල්වල සිය ශ්‍රමය වගුරුවන තරුණ තරුණියන් ද තේ කර්මාන්තය ආශ්‍රීතව සේවයේ යෙදෙන දිළිඳු කම්කරුවෝ ද වෙති. මොවුන් සියලු දෙනා පහළම ආර්ථික හැකියාවක් සහිත දුප්පත් ජන කොට්ඨාශය නියෝජනය කරති. නමුත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් ඩොලර් පරිභෝජනය කරනු ලබන්නේ ඉහළ මධ්‍යම පාංතිකයන් අතලොස්සකි.

එපමණක් නොව රටේ සමස්ත ආදායමින් 55% බුක්ති විඳින්නේ ජනගහනයෙන් 20% පමණ වන අතර ඉතිරි 80%ටම ඇත්තේ,සමස්ත ආදායමින් 45% කි. මෙකී විෂමතාව තවදුරටත් පැහැදිලි වන්නේ ලංකාවේ සමස්ත බදු ආදායමින් 80%ට වැඩි ප්‍රමාණයක් වක්‍ර බදු ලෙසත් ඉතිරි 20%ට ආසන්න ප්‍රමාණයක් ඍජු බදු ලෙස උත්පාදනය කරනු ලැබීම මතය. එතැනම ඇත්තේ විෂම තාවයකි. ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත් වූයෙත් සමස්ත ආදායමින් 45% බුක්ති විඳින සියයට 80 ට අයත් කොටසය. මේ වැරැද්ද නිවැරදි කිරීමට නම් මේ අනුපාතයන් අතර පරතරය අවම කළ යුතුය. එනම් ඉහළ ආදායම් ලාභීන්ගේ අනුග්‍රහයෙන් අඩු ආදායම් ලාභීන්ගේ පැවැත්ම සහතික කිරීමය. රටේ අනාගත ආර්ථික ස්ථායිතාවය ගොඩනැගී වෙනුවෙන් මේ තත්වය අනිවාර්ය ලෙස වෙනස් කළ යුතුව ඇත. ඒ සඳහා ඇති එක් ක්‍රමවේදය වන්නේ ඉහළ ආදායම් සහිත පුරවැසියන්ගෙන් ඉහළ ආදායම් බද්දක් අයකිරීම සහ බහුතර ජනතාවක් පීඩාවට පත්වන වක්‍ර බදු ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුකර සාධාරණ සමාජ තත්වයන් ගොඩනැඟීමය. තවත් තේරෙන විදිහකට කිවහොත් ඇති නැති පරතරය අඩුකිරිමය.

සමාජ සාධාරණත්වයේ උත්සාහය

මේ පිළිබඳ මනා අවබෝධයක් සහිත ජනපති රනිල් ඊට පිළියම් සෙවීමේ කාර්යයට අතගසා ඇත. ඒ සඳහා මූලිකවම රට තුළ නිර්මාණය වී ඇති ණය බර හා ආර්ථික පරිහානිය නැවත යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු කිරීම තුළිනි. ෂඵත්‍ මූල්‍ය සහනාධාර ලබා ගැනීමට නම් ඔවුන්ගේ යෝජනා රට තුළ ක්‍රියාත්මක කළ යුතුව ඇත. නමුත් එකී කොන්දේසි සම්බන්ධයෙන් විපක්ෂයේ වැඩි දෙනාගේ විරෝධය එල්ල වෙමින් පවතී.

එසේ වුවද ගෝලීය ආර්ථික අර්බුදය හා රටතුළ උද්ගතව ඇති ආර්ථික ගරාවැටීම හමුවේ ලංකාවේ ජනගහණයෙන් 60%ක් පමණ වන ජනතාවක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පෑමට නියමිත බවත් ඔවුන් ඉන් මුදවා ගැනීම කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යය බව ද ෂඵත්‍ කොන්දේසියක්ව ඇතත් එය හිතාමතා හෝ සිය බලලෝභී දේශපාලනය නිසා නොසලකා හරින විපක්ෂය සිය විරෝධය නොකඩවා පවත්වා ගෙන යාමට කටයුතු කරනු දැකිය හැකිය. නමුත් ජනපති රනිල්ගේ උත්සාහය රටේ සමස්ථ ජනතාවට වන ආර්ථික පීඩාව මගහරවා ගැනීමට අවශ්‍ය සැලසුම් දියත් කිරිමයි.

නමුත් 80%ක් පමණ වන අඩු ආදායම්ලාභී පුරවැසියන් නොසලකා 20%ක් පමණ වන ඉහළ ආදායම් ලබන ආදායම් බද්ද ගෙවීමට මැලිවන පුද්ගලවාදී පිරිස වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය කටපුරා කියවන විපක්ෂ කණ්ඩායම් මාරාන්තික ලෙස පෙනී සිටින්නේ, කවර පදනමකින් ද යන්න අපැහැදිලිය. නමුත් මේ සමස්ත ක්‍රියාදාමය සැලකීමේ දී ජනපති රනිල්ගේ උත්සාහය සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීම වුවද ඊට එරෙහිව නිරන්තරයෙන් කටයුතු කරන විපක්ෂ කණ්ඩායම්වල උත්සාහය මේ පොළෝතලය මත සමාජ සාධාරණත්වය නිර්මාණය කිරීමට ඔවුන් මේ මොහොතේ සුදානම් නොමැති බවය. මන්ද ඒ ඔවුන්ගේ පැවැත්මේ අනිවාර්ය කොන්දේසියක්ව ඇති බැවිනි.