ගාසා තීරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර, දෙපාර්ශවයේම මරණ සංඛ්‍යාවත් ඉහළට

0

ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතරවාරයේ දෙපාර්ශවයේම මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව 1,200 දක්වා ඉහළ ගොස් ඇති අතර ගාසා තීරයේ ද පුද්ගලයින් 900 කට වැඩි පිරිසක් මියගොස් ඇත.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 260,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන අතර එම ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් දෙදෙනෙකු මරා දමා ඇතැයි ඊශ්‍රායල් බලධාරීන් සඳහන් කළේය.

මේ අතර සෙනසුරාදා ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් සංවිධානයේ ප්‍රහාරය “ඉතා කුරිරු ක්‍රියාවක්” ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබේ.

අඟහරුවාදා අලුයම දක්වා සටන් පැවතුණු ඊශ්‍රායල ගම්මානයක සිදුව ඇති සමූහ මිනිස් ඝාතනයක් පිළිබඳ තොරතුරු ද මේවන විට අනාවරණය වී තිබේ. නිදන කාමර තුළ ළදරුවන් මරා දැමීමේ සිද්ධියක් ඊශ්‍රායල ජෙනරාල්වරයකු විසින් අනාවරණය කරනු ලැබ තිබේ.

ඊශ්‍රායල් සොල්දාදුවන් බීබීසී ජාත්‍යන්තර කර්තෘ ජෙරමි බෝවෙන්ට ද කියා සිටියේ මියගිය අයගෙන් සමහරෙකුගේ හිස ගසා දමා ඇති බවය.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ තම දේශසීමාව හරහා ලෙබනනය සමඟ තවත් වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත්, සිරියාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊට ද තමන් ප්‍රතිචාර දැක්වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *