රුසියා – යුක්ක්‍රේන් යුද උණුසුමට දියවෙන ලෝක ආර්ථිකය

0

රුසියානු – යුක්රේන යුද්ධය රටවල් දෙකක ගැටුමක් වුවද එය මේ වන විට ගෝලීය ආර්ථිකයට පුළුල් පරාසයක බලපෑම් ඇති කර තිබේ. සැපයුම් දාම කඩාකප්පල් කර, උද්ධමනය උග‍්‍ර කර ඇති අතර ලොව පුරා ආර්ථික අවිනිශ්චිතතාවය ඉහළ නංවා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම මිලිටරි මෙහෙයුම සනිටුහන් කරමින් රුසියාව, යුක්රේනය ආක‍්‍රමණය කිරීමත් සමඟ ගැටුම ආරම්භ වූයේ 2022 පෙබරවාරි මාසයේදීය.

ඓතිහාසික සන්දර්භය

 රුසියාව සහ යුක්රේනය අතර සංකීර්ණ සහ ඓතිහාසික සම්බන්ධතාවයක් ඇත. යුක්රේනය වරක් සෝවියට් සංගමයේ කොටසක් වූ නමුත් 1991දී එහි බිඳවැටීමෙන් පසුව නිදහස ලබා ගත්තේය. රුසියාව 2014දී ක‍්‍රිමියාව, යුක්රේනයෙන් රුසියාවට ඈඳාගත් අතර නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදී කණ්ඩායම්වලට සහාය දුන්නේය. 2022 දී රුසියාව යුක්රේනයේ දේශ සීමා අසල හමුදා රැස් කිරීමත් සමඟ යුක්රේනය නේටෝවෙන් ආරක්ෂක සහතික ඉල්ලා සිටියේය. ඒ සමඟම දෙරට අතර ගැටුම උත්සන්න විය. පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණ වශයෙන් ආක‍්‍රමණයක් දියත් කළේය. (රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්

”විශේෂ මිලිටරි මෙහෙයුමක්”‍ යනුවෙන් මෙය නිවේදනය කළේ, ඩොනෙට්ස්ක් සහ ලූ‍හාන්ස්ක් සමූහාන්ඩු, ඩොන්බාස් ගැටුමේ දී යුක්රේනයට එරෙහිව සටන් කරමින් සිටි මිලිටරි හමුදාවන්ට සහය දැක්වීම සඳහාය*

ගෝලීය ආර්ථිකය මත බලපෑම

මේ වන විට මෙම යුද්ධය තෙල්, ස්වභාවික ගෑස් සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමට හේතු වී ඇත. රුසියාව සහ යුක්රේනය තෙල්, ස්වභාවික ගෑස්, තිරිඟු‍ සහ බඩ ඉරිඟු‍ වැනි භාණ්ඩවල ප‍්‍රධාන අපනයනකරුවන් වේ. යුද්ධය හේතුවෙන් මෙම අපනයන කඩාකප්පල් වී ඇති අතර ලොව පුරා උද්ධමනය ඉහළ ගොස් මිල ඉහළ යාමේ පීඩනයක් ඇති කර තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාමට හා ආයෝජනවලට ද බලපෑම් එල්ල වී ඇත. සම්බාධක හේතුවෙන් බොහෝ සමාගම් රුසියාව තුළ මෙහෙයුම් නතර කර හෝ ඉවත් කර ඇති අතර යුක්රේනයේ ද අපනයන සහ ආනයන තියුණු ලෙස පහත වැටී ඇත. රුසියානු බලශක්තිය මත දැඩි ලෙස රඳා පවතින යුරෝපීය සංගමය, භාණ්ඩ මිල ඉහළ යාම සහ සැපයුම්දාම කඩාකප්පල්වීම් හේතුවෙන් මන්දගාමී ආර්ථික වර්ධනයක් සහ ඉහළ උද්ධමනයක් අත්කර දී තිබේ.

රුසියාවේ ආර්ථිකයට බලපෑම

සම්බාධක සහ එහි ආක‍්‍රමණයේ ප‍්‍රතිවිපාක නිසා රුසියාවේ ආර්ථිකයට දැඩි ලෙස පහර වැදී ඇත. රුසියාවේ රූබල් මුදල් ඒකකය ආක‍්‍රමණයෙන් පසුව ඩොලරයට සාපේක්ෂව එහි වටිනාකමෙන් 40%ක් පමණ අහිමි වූ නමුත් එතැන් සිට එය නැවත ඉහළ ගොස් ඇත. උද්ධමනය දශක දෙකක කාලයක් තුළ එහි ඉහළම අනුපාතය දක්වා ඉහළ ගොස් ඇති අතර රුසියානු මහ බැංකුව එහි ප‍්‍රධාන පොලී අනුපාතය දෙගුණ කර ඇත. බොහෝ ජාත්‍යන්තර සමාගම් රුසියානු වෙළඳපොළෙන් ඉවත් වී ඇති අතර සම්බාධක හේතුවෙන් රුසියාවට විදේශ ප‍්‍රාග්ධනයට ප‍්‍රවේශය සහ ප‍්‍රධාන භාණ්ඩ ආනයනය සීමා කර ඇත. ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට (OECD) අනුව 2023 වසරේදි රුසියානු දළ දේශීය නිෂ්පාදිතය 2.5%කින්

සහ ලෝක බැංකුවට අනුව 0.2%කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 0.7%ක වර්ධනයක් පුරෝකථනය කරයි.

යුක්රේනයේ ආර්ථිකයට බලපෑම

යුක්රේනයේ ආර්ථිකය, යුද්ධයෙන් මුළුමනින්ම විනාශ වී ඇත. යටිතල පහසුකම් විනාශ කිරීම සහ ප‍්‍රධාන වරායන්ට ප‍්‍රවේශය අහිමිවීම හේතුවෙන් යුක්රේනයේ අපනයන 2022 වර්ෂයේදී තියුණු ලෙස පහත වැටිණි. රජය වෙනත් ප‍්‍රමුඛතාවලින් ඉවත්ව යුද්ධය සඳහා විශාල වශයෙන් වියදම් කරමින් සිටී. රුසියාව රට ආක‍්‍රමණය කළ වසර වන 2022දී 29.2%ක බරපතල හැකිළීමකින් පසුව, යුක්රේනයේ ආර්ථිකය මේ වසරේ 0.5%කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ආක‍්‍රමණයේ ප‍්‍රතිඵලයක් ලෙස යුක්රේනය අත්විඳින ආර්ථික හානිය අතිමහත් වන අතර, යුක්රේනයේ කළු මුහුදේ වරායන් යළි විවෘත කිරීම සහ ධාන්‍ය වෙළඳාම නැවත ආරම්භ කිරීම මෙන්ම සැලකිය යුතු පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මේ වසරේ ආර්ථිකය වර්ධනය සදහා බලපා ඇත. මෑත කාලීන ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, යුක්රේනයේ ප‍්‍රතිනිර්මාණය කිරීමේ සහ ප‍්‍රකෘතිමත් කිරිමට අවශ්‍ය පිරිවැය ඩොලර් බිලියන 411 දක්වා වර්ධනය වී ඇති අතර එය 2021දී යුක්රේනයේ පූර්ව යුද ආර්ථිකය මෙන් දෙගුණයකට වඩා වැඩිය. යුද්ධය අවසන්වීමෙන් පසුව පවා ආර්ථිකය මන්දගාමී හා අසමාන ලෙස යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුක්රේන සරණාගත අර්බුදය

2023 අපේ‍්‍රල් මස ආරම්භය වන විට, යුකේ‍්‍රනියානු සරණාගතයින් මිලියන 8.1කට අධික ප‍්‍රමාණයක් යුරෝපීය රටවලට පැමිණ සිටින බව එක්සත් ජාතීන් විසින් වාර්තා කර ඇත. තාවකාලික ආරක්‍ෂාව හෝ ඒ හා සමාන තත්‍වය දරන්නන් සංඛ්‍යාව ජනවාරි අග සිට මිලියන 5ක් පමණ දක්වා වැඩි වී ඇත.

පෝලන්තය තවමත් විශාලතම විශේෂ වීසා ලබා දෙන යුරෝපිය රට ලෙස යුකේ‍්‍රනියානු සරණාගතයින් මිලියන 1.58කට පමණ තම රටට පැමිණීමට ඉඩ ලබා දී ඇත. ඉන්පසුව, යුක්රේනය අසල්වැසියෙක් නොවන රටවල් අතරින් ජර්මනියේ වැඩිම යුක්රේන සරණාගතයින් සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් මිලියනයකට ආසන්න වේ. (ඔවුන්ගෙන් 922,000ක් තාවකාලික ආරක්ෂාවක් ඇත*. චෙක් ජනරජය 500,000ක් පමණ තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති අතර සමස්තයක් ලෙස තුන්වන ස්ථානයේ සිටී. අනෙකුත් යුරෝපීය රටවල් අතරට එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, බල්ගේරියාව, රුමේනියාව, ප‍්‍රංශය සහ ස්ලෝවැකියාව ඇතුළත් වන අතර ඔවුන් යුක්රේන සරණාගතයින් 100,000ක් සඳහා විශේෂ වීසා බලපත‍්‍ර නිකුත් කර ඇත.

යුක්රේන සරණාගතයින් සැලකිය යුතු පිරිසක් අනෙකුත් විදේශයන්හි සරණාගතභාවය සොයා ගෙන ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසයේ සිට යුක්රේනියානුවන් 400,000කට වැඩි පිරිසක් කැනඩාවට සහ එක්සත් ජනපදයට ගොස් ඇත. රටවල් දෙකම යුක්රේන සරණාගතයින් සඳහා විශේෂ වීසා ක‍්‍රම හඳුන්වා දී ඇත. කැනඩාවේ රැඳී සිටීමට කැමති අය කැනඩා – යුක්රේනය හදිසි ගමන් සඳහා අවසරය (CUAET) වැඩසටහන හරහා ඇතුළත් කර ගන්නා අතර, එමඟින් ඔවුන්ට රැකියා සහ අධ්‍යයන බලපත‍්‍ර ලබා ගත හැකිය. කැනේඩියානු බලධාරීන් මේ වන විට අයදුම්පත් මිලියනයකට ආසන්න ප‍්‍රමාණයක් ලියාපදිංචි කර ඇත.

එක්සත් ජනපදයට ආසන්න වශයෙන් යුක්රේනියානු සරණාගතයන් 270,000 පැමිණ ඇති අතර බොහෝ දෙනෙකුට තාවකාලික ආරක්‍ෂිත තත්ත්වය හෝ (2022 අප්‍රේල් 1දාට පසු පැමිණි අය සඳහා) යුක්රේනය සඳහා එක්සත් කිරීමේ ( Uniting For Ukraine) (U4U)වැඩසටහන යටතේ ලබා දී ඇති විශේෂ මානුෂීය වීසා බලපත‍්‍රයක් ලබා දී ඇත.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය මේ වන විට මානුෂීය අර්බුදයක්, ආර්ථික අස්ථාවරත්වයක්, ජාත්‍යන්තර සබඳතා බිඳ වැටීමක් ඇති කර තිබෙන අතර ගැටුම විසඳීම සඳහා අඛණ්ඩ රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රයත්නයන් ද මේ වන විට ඇතිව තිබේ. මිලියන 8කට වැඩි අවතැන් වුවන්ට අමතරව තවත් මිලියන ගණනක ජනතාවක් පීඩාවට පත්ව සිටිති. ජීවිත දහස් ගණනක් අහිමි වී ඇත. මෙම ගැටුම කලාපයේ ජනතාවට ද විනාශකාරී බලපෑමක් ඇති කර තිබේ. රුසියාව සහ යුක්රේනය අතර කලාපයේ සහ ඉන් ඔබ්බෙහි අනෙකුත් රටවල් සමඟ සබඳතා ද පළුදු කර ඇත.

තවදුරටත් යුද්ධය අවසන් නොවීම මත මෙම තත්වයන් වර්ධනය වෙනු ඇත. එය ලෝක පරිමාණයෙන්ම බරපතල හානි ගෙන එනු ඇත. මේ නිසා යුද්ධය අවසන් කිරීම අත්‍යාවශ්‍ය සහ කඩිනම් කාරණයක් විය යුතුව තිබේ. එය රුසියාව සහ යුක්රේනය අතර විශ්වාසය සහ සහයෝගීතාව ගොඩනැගීම, කලාපයේ ස්ථාවරත්වය ප‍්‍රවර්ධනය කිරීම සහ ගැටුමෙන් පීඩාවට පත් වූවන්ගේ දුක් වේදනා අවම කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි ධනාත්මක පියවරක් වනු ඇත.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *