‘වැග්නර්’ ගැන පුටින් අදහස් දක්වයි

‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ට සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය.

රූපවාහිනියෙන් පෙනී සිටිමින් පුටින් කියා සිටියේ, යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ සෙසු ‘වැග්නර්’ සාමාජිකයන් මියයෑම කනගාටුවට කරුණක් බවය. යෙව්ගෙනි ප්‍රිගොෂින්, වැරදි තීරණ ගත් කෙනකු බව ද පුටින් පැහැදිලි කළේය. ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කිරීමට ද ජනාධිපති පුටින් අමතක නොකළේය.

යෙව්ගෙනි ප්‍රිගොෂින්, කලක් පුටින්ගේ සමීපතමයෙකි. මීට මාස කීපයකට පෙර ඔහු පුටින්ට, රුසියානු රජයට සහ හමුදාවට අභියෝගයක් විය. ඒ, රුසියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරමිණි.

ගුවන් අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පුටින්ටය.

පුටින්, යෙව්ගෙනි ප්‍රිගොෂින් ඝාතනය කළේ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා අනුමාන කරයි.