2024ට පුදුම සහගත අයවැයක්..

0

ජනපති රනිල් වික‍්‍රමසිංහ මෙම සතිය තුළ සැලසුම් සකස් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සහාය ලබාගැනීම වෙනුවෙන් කළ යුතු දෑ සකස් කිරීමට ය. ඔහු අ`ගහරුවාදා පාර්ලිමේන්තු යන්නේ ද ඒ කරුණ අරමුණු කරගෙනය.

ඉකුත් සති අන්තයේ කොළඹින් පිටත රැදී සිටි ජනපති රනිල් මෙවර කොළඹ රැදී සිටියේය. සදුදා පෙරවරුවේ කාර්යාලයට පැමිණි ඔහු හමුවීම් ගණනාවකට සම්බන්ධ වූවේ පෙර යොදා ගත් පරිදිය. ඇමති මණ්ඩල හමුව මෙන්ම ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද යෙදී තිබුණේ එදින සවසය.

ඇමති මණ්ඩල හමුවේ දි ආර්ථිකය ගැන මෙන්ම අන පණත් කිහිපයක් ගැන ද සාකච්ඡා වූවේය. ඒ අතර බි‍්‍රතාන්‍ය චැනල් 4 නාලිකාව එළිදැක්වීමට යෝජිත පාස්කු ප‍්‍රහාරයට අදාළ වැඩසටහනක් ගැන ද කතා බහ වූවේය. ජනපති රනිල් කීවේ මුලින්ම එය නරඹා සිටිමු කියාය. පසුව ඒ ගැන තීන්දුවක් ගත හැකිය යන්න ඔහුගේ අදහස වූවේය. එහි ඉදිරිපත් කරනා කාරණා අනුව විපක්ෂය ඉල්ලා සිටින්නේ නම් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කළ හැකි බවද ජනපති කීවේය.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පසුව පැවැති අතර එහිදි ද මේ කාරණය ගැන මෙන්ම සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන ද සාකච්ඡා කෙරිණි. එහිදි දේශීය ආදායම් පනත ඉරිදාට පෙර සම්මත කරගත යුතු බවද ජනපති ආණ්ඩු පක්ෂ කණ්ඩායම වෙත දැනුම් දුන්නේය.

ජනපති රනිල් අගහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත ගියේ දේශීය ආදායම් පනත ගැන සභාවට කරුණු කියන්නටය. රටේ පවතින මූල්‍ය අර්බුදය ගැන මෙන්ම පනත සම්මත කිරීමේ වැදගත්කම ගැන ද ඔහු කරුණු හෙළිදරව් කළේය.

විශ්වාසභංගය

සභාවෙන් පිටතට පැමිණෙද්දී පාර්ලිමේන්තු ලොබියේ මැති ඇමතිවරු පිරිස වට කරගත්තේ ජනපතිවය. ඒ අතර සෞඛ්‍ය ඇමති කෙහෙළිය ද සිටියේය.

”අද ඔයාට හො`දයි කට්ටිය කතා කරන්නේ චැනල් 4 ගැන.” ජනපති කී දේ ට සැමට සිනහව නතර කරගන්නට නොහැකි වූහ.

”ඔව් මෙතුමා බොරුවටනේ බය වෙලා හිටියේ. එදා විපක්ෂය විශ්වාසභංගය දාපු දවසෙම ඒක ගත්ත නම් විපක්ෂයට ලකුණු දා ගන්න තිබුණා.” ඇමති ප‍්‍රසන්න කීවේ එවැන්නකි.

”ඔව් දැන් විශ්වාසභංගයත් ගන්නවා. ඒ අතර දේශීය ආදායම් පනතත් ගන්නවා. තව පැත්තකින් චැනල් 4 ත් ගන්නවා. මේකෙන් විශ්වාසභංගය යට යනවා.” මන්ත‍්‍රී වජිර කියද්දී ජනපති ද හිස සැලූ‍වේ එය අනුමත කරමිනි.

”පුදුම සහගත අය වැයක් ගේනවා කිව්වේ මොකක්ද සර්” ඒ පැනය ඇමති චාමර සම්පත් ගෙනි. ”ඒකට තව කල් තියෙනවානේ.” ජනපති පිළිතුරු දුන්නේ සිනහසෙමිනි.

ජනපති පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත එන විට මැති ඇමතිවරු පිරිසක් මෙන්ම ජපන් තරුණයෙකු ද එහි පැමිණ සිටිනු බොහෝ දෙනෙකු දුටුවේය. ඔහු පැමිණ තිබුණේ ජනපති ජපන් ගිය අවස්ථාවේ ජනපතිගෙන් ඔහු කළ ඉල්ලීමකට අනුවය. විශ්ව විද්‍යාල සිසුවෙකු වන ඔහු එරට මන්ත‍්‍රීවරයෙකු ලෙස පුහුණු වෙමින් සිටින්නෙකි.

 ජනපති හමුවට ආ ජපන් තරුණයා

කොළඹ බේරේ වැව ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුවන්නේ ද ඔහුගේ දායකත්වයෙනි. ඔහුගේ මෙරට ගමන සංවිධානය වූවේ මහාචාර්ය ආශු මාරසිංහගේ මැදිහත්වීමෙනි. මෙරට දී ඔහුගේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කරනු ලැබූවේ ජනාධිපති තරුණ කටයුතු අධ්‍යක්ෂ රංදුල අබේවීර විසිනි.

මැතිඇමතිවරු මුණ ගැසීමෙන් පසුව ජනපති ජපන් තරුණයා සමඟ පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ ඇවිද ගියේ ඔහුට පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ගැන කියා දෙමිනි. මෙය දුටු මහාචාර්ය ආශු අසල සිටි මන්ත‍්‍රීවරුන්ට කීවේ ”මෙතුමගෙන් ඉගෙන ගන්න ලෝකයෙන්ම තරුණයෝ එනවා. හැබැයි අපේ අය මෙතුමා පන්නන්න හදනවා” කියාය.

”එතුමාගේ අගය හැමදාම ලංකාවේ මිනිස්සුන්ට තේරුණේ නැහැනේ.” එතන සිටි ජගත් සමරවීර මන්ත‍්‍රීවරයා කීවේ හැගුම්බරවය.

ජනපති අසලට ගිය ෆවුසි මන්ත‍්‍රීවරයා ජපන් තරුණයා සමඟ ජපන් භාෂාවෙන් කතා කළ අතර නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔහු  සමඟ කතා කළේය. ජනපති ඉන් පසුව ගියේ මන්ත‍්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කර තිබූ රැස්වීමකටය.  මෙහිදි ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන මෙන්ම කාන්තා අයිතිවාසිකම් හා ගැටළු ගැන සාකච්ඡා විනි.

රැස්වීම අවසානයේ ජනපති පිටව යන්න සුදානම් වෙද්දී වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ, තලතා අතුකෝරාල හා රෝහිණි කුමාරි යන මන්ත‍්‍රීවරියන් ජනාධිපති අසලට පැමිණ කීවේ ”ඔබතුමා ඉන්න කාලේ අපිට කාන්තා ප‍්‍රශ්න විසදා ගන්න පුළුවන් වේයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.” කියාය.

ජනපති සිනාසෙමින් ඉන් පිටව ගියේ ආරක්ෂක කවුන්සීල රැස්වීමට යා යුතු බව කියමිනි. ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති ආරක්ෂක හමුවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක, ආරක්ෂක රාජ්‍ය ඇමති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙන්ම ආරක්ෂක ප‍්‍රධානී සියල්ලන්ම පැමිණ සිටියහ.

චැනල් 4 විමර්ශනයට

පාස්කු ප‍්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහන ගැන ද මෙහිදි සාකච්ඡා වූවේය. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ද එහි පැමිණ සිටි අතර ඔහු ඔහුගේ නිරවද්‍යතාව ජනාධිපති ඉදිරියේ කියා සිටියේය. එසේම චැනල් 4 නාලිකාව ඉදිරිපත් කරනා චෝදනාවන්ට තමන් යොමු කළ කරුණු පැහැදිලි කිරීම් ද ඔහු ජනපතිට ඉදිරිපත් කළේය.

ජනපති රනිල් ඔහුට දැනුම් දුන්නේ චැනල් 4 නාලිකාවට යොමු කළ තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමේ අයිතිය ඔහු සතු බවය. එසේම කමිටුවක් පත් කොට මේ ගැන පරීක්ෂණයක් කරනා බවද ජනපති රනිල් ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නේය.

ජනපති රනිල් එහි සිටි සාගල රත්නායකට දැනුම් දුන්නේ විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු යොදවා මේ ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙසය. ඊට සහාය දෙන ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට ද පැවරූ ජනපති ඉන් පිටව ගියේ තවත් රාජකාරි රැසකට යාමට තිබූ බැවිනි.

එජාප සංවත්සරය

ජනපති සවස මුණ ගැසුණේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නිලධාරීන්ය. පක්ෂයේ සැලසුම් හා ඉදිරි කටයුතු ගැන ජනපති වෙත වාර්තා කළේ පුරුදු පරිදි මහලේකම් රංගේ බණ්ඩාරය. සියලූ‍ දිස්ත‍්‍රික්ක නියෝජනය කරන පරිදි තරුණ නායකයන් හදන වැඩපිළිවෙල ගැන ද ඔහු විස්තරයක් කළේය. එසේම කැස්බෑව ආසන සංවිධායක හා ඔහුගේ කළමනාකරු බලයලත් නියෝජිත තනතුරින් ඉවත් කළ කාරණය ද කී මහලේකම් රංගේ පක්ෂ නායකයන්ට හා පක්ෂයට විරුද්ධව කටයුතු කරන තවත් පිරිසකට එරෙහිව විනය පියවර ගනිමින් සිටින බවද කීවේය.

ඉන් අනතුරුව පක්ෂ 77 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් චාම් හා අභිමානවත් අයුරින් පවත්වන බවද ඔහු ජනපති දැනුම්වත් කළේය. ඊට අමතරව පක්ෂ කටයුතු ඩිජිටල් කිරීම ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද මහලේකම්වරයා වගබලා ගත්තේය.

අනතුරුව පක්ෂ සම්මේලනය පැවැත්වීම ගැන ද කතා බස් කෙරිණි. එහිදි බොහෝ දෙනෙකු ලේක්හවුස් ඉදිරිපිට ඉඩමේ සම්මේලනය පැවැත්වීම ගැන සිය විරෝධය පළ කර සිටියහ. අනතුරුව පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගනයේදි ඔක්තෝම්බර් මස තෙවන සතියේ සෙනසුරාදා දිනක පැවැත්වීමට තීන්දු කෙරිණි.

පක්ෂ සම්මේලනය කල් දැමීම හා නව දිනය අනුමත කර ගැනීම වෙනුවෙන් සිකුරාදා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැ වැත්වීමට ද එහිදි තීරණය විනි. බදාදා පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධානීන් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වූවේ සංවත්සරය සැමරීමටය.

මහලේකම් යොදාගත් වේලාවටම උත්සවය ආරම්භ වූ අතර වැඩි පිරිසකට ආරාධනා කොට නොතිබිනි. එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු පක්ෂ නායකයන් මීට සහභාගී වී සිටියහ.

පක්ෂ සංවත්සරය සමරමින් කේක් ගෙඩියක් ගෙනවිත් තිබූ අතර එහි පහන් සිළු දැල්වීමෙන් අනතුරුව නායකයන් කේක් ගෙඩිය කැපීමට සුදානම් වෙද්දී ඊට හරස් කැපුවේ මහලේකම් රංගේය. ”ලලිත් – ගාමිණි පක්ෂයෙන් කෑල්ලක් කපාගෙන ගියා. සජිත් තවත් කෑල්ලක් කපාගෙන ගියා. කපලා කපලා දැන් ඉවරයි. තව කපන්න දෙයක් නෑ. ඒ නිසා ගිහින් වාඩි වෙමු. කපලා වෙන් කරන්න නොවෙයි දැන් තියෙන්නේ එක මිටකට එක්වීමටයි.” මහලේකම් රංගේ කියද්දී සාගල හා වජිර කීවේ ”මහලේකම්තුමා කියන එකෙත් ඇත්තක් තියෙනවා.” කියාය.

නව අධ්‍යාපන ප්‍රතිපත්තියක්

රත්නපුර සීවලි මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසු දරු දැරියන් පිරිසක් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ එහි කටයුතු නිරීක්ෂණය කිරීමටය. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සිසුන් පැමිණ සිටිනු අසා ජනපති රනිල් ද එහි ගියේ සිසුන් හා කතා බස් කිරීමටය.

ඔහු ද සිසුන්ගේ වයසට ගොස් කතා බහ කිරීම ගැන සිසුන් මෙන්ම ගුරුවරුන්ද විමතියට පත්වූහ. ජනපති කීවේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේද අදහස් ලබා ගන්නා බවය.

අස්වැසුම සහන ලබාදීම ගැන ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක සාකච්ඡා කළේ ජනපති උපදෙස් මතය.

අස්වැසුම ගැන පසු විපරමක් කිරීමටත් දරිද්‍රතාවය ගැන නැවත සොයා බලා පහසුකම් සැපයීම ගැනත් මෙහිදි සාකච්ඡුා කළේය. විෂයන් 9 ක් ඔස්සේ මෙම කටයුතු ඉදිරියට ගෙන යාම ගැන ද සාකච්ඡුා කෙරුනි. අවසානයේ අස්වැසුම දෙවන අදියරේ මුදල් නිදහස් කිරීමට ද දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණ තිබුනි.

මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලය වෙත ගිය ජනපති බියගම කර්මාන්ත පුරයක් කළ ආකාරය ගැන දීර්ඝ විස්තරයක් කළේය. මල්වාන සිට කොළඹ ආනන්ද විදයාලය වෙත ඔහු පැමිණියේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් රචිත කෘතීන් දෙකක් හා ගීතයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමටය.

ජනපති රනිල් බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ කාර්යාලය වෙත පැමිණියේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් හා සාකච්ඡුාවකටය. ඒ වන විටත් ජනපති මුණ ගැසීමට පැමිණ සිටි මැති ඇමතිවරුන් හා සාකච්ඡා කිරීමට ද ඔහු අමතක නොකළේය.

සවස එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය වෙත ගියේ පාසලට වර්ෂ 150 ක් පිරිම සිහිකිරීමට පැවැති උත්වසවයට එක්වීමටය. නව අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් කිරීම ගැන ජනපති මෙහිදි කරුණු පැහැදිලි කළේය. සවස මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි ජනපති රටේ ආර්ථිකය ගැන සාකච්ඡුා කළේය.

සිකුරාදා සවස ජනපති සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණියේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට එක්වීමටය. මහලේකම් රංගේ බණ්ඩාරගේ උපන් දිනය ද එදිනට යෙදී තිබීම නිසා සුබ පැතුම් හා කේක් කැපීම් ද දක්නට ලැබුණි.

ජනපති මෙම සතියේ කියුබාවට හා ඇමරිකා එක්සත් ජනපදයට යන්නේ සමුළු කිහිපයකට සහභාගී වීම උදෙසාය.

MEDIMAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *