බයි කඳවුර රටේ සංවර්ධනයට ඇවැසි විකල්පය නොවේ

0

මෙරට දේශපාලනය, නිදහසෙන් පසු ඉතිහාසය තුළ පැවැතියේම මතවාදී කඳවුරු දෙකක් අතරය. තට්‍ටු මාරු ක‍්‍රමයට මෙරට දේශපාලනය මාරුවෙමින් පවතින බවත් ඒ වෙනස් කළ යුතු බවට තෙවන පාර්ශ්වකින් නිතර අ‍ඳෝනා නැගුණද පැහැදිලිවම තිබුණේ මතවාදි කඳවුරු දෙකකි. වර්තමානයේ ජනප‍්‍රිය වචනවලින් කියනවා නම් ඒ ටොයියන්ගේ කඳවුර සහ බයියන්ගේ කඳවුරය. නුතනවාදී ප‍්‍රවේශයක් සහිතව ලෝකය සමඟ සමාන්තරව එහි ප‍්‍රතිලාභ භුක්ති විඳිමින් ඉදිරිගාමීන් ගමනක් යනවාද ලෝකයෙන් වෙන් වී, වසං වී, දූපත් රාජ්‍යය රැකගෙන සිරිලක දේ සිරි සැප දේ කියමින් තියෙන හැටියකට කාලා බීලා ඉන්නවාද කියන මත දෙක තුළය. තෙවන පාර්ශ්වයක නියෝජනයක් බව පෙන්වා දීමට උනුත් එකයි මුනුත් එකයි කියමින් සිටින අය අද කයියෝ ලෙස ජනප‍්‍රිය නාමකරණයකට ලඝුව සිටින පිරිසද අයත් වන්නේ බයි කඳවුරටමය. එය එහි අනු කුලකයක් පමණය. මන්ද මේ බයියන්ගෙත් කයියන්ගෙත් මතවාදය එකකි. වෙනසකට ඇත්තේ වැඩිපුර කියවීමත් තමන් ටොයියන් ලෙස සිතාගෙන සිටීමත්ය.

ඒ කොහොම වුවත්, ආකාරය කුමක් වුවත් මේ බයියන් සියලූ‍ දෙනා දැමිය හැකි මහා කෝව වන්නේ ජාතිකවාදී කෝවයි. මේ තුළ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ප‍්‍රාදේශීයවාදය, පාසල්වාදය, පුරුෂමුලිකවාදය ඇතුළු සකලාකාර වර්ගවාදයන් වශයෙන් වන බහුත්වවාදයට එරෙහි සංස්කෘතික හා සාමාජීය කලාපයන් සේම ආර්ථික ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ද දූපතේ සීමාවන්ට සිරවුණු පටු මතයන්ට පදනම්ව කටයුතු කිරීම වෙයි. ඒ අනුව දේශපාලන මතවාදයන් ද එසේම වෙයි. මෙම මහා කෝව තුළ මේ කියන කාරණ වලට ලොල් වූවන් ඒ අඩු වැඩි වශයෙන් විවිධ අනුපානයන්ගෙන් ලබාගත් පිරිස වෙති. රටේ බහුතරයක් දේශපාලන පක්ෂද බෙදී වෙන් වී ඇත්තේ මේ කියන අනුපානයන් ලබාගැනීමේ තරම අනුවය. එකිනෙකාගේ වෙනස්කම්, ඒ අනුව පෙන්වීමට ඔවුනොවුන් උත්සහ ගත්තද අවසන් විග‍්‍රහයේදී සාතිශය බහුතරය වැටෙන්නේ මේ කියන පොදු කෝවටමය.

එසේම බයියන්ගේ ඉතිහාසයක් මේ රටේ වෙයි. කාලෙන් කාලෙට මේ බයි ප‍්‍රජාවට නායකත්වයන් දුන් සංවිධාන මෙන්ම පුද්ගලයන්ද සිටියේය. අනගාරික ධර්මපාල යුගය මේ බයියන්ගේ පුනර්ජීවන යුගයය. සඟ, ගුරු, වෙද, ගොවි, කම්කරුවන්ගෙන් සමන්විත බණ්ඩාරනායකගේ පනස් හයේ දරුවන්ද, වාමාංශික හැඩය ගත් ජනතා විමුක්ති පෙරමුණ හැත්තෑවේ දශකයේ සිට අද දක්වාමත් ද, අසූව දශකයේ ජාතික චින්තන මතවාදීන්ගෙන්ද මේ බයි මතය පෝෂණය වූ අතර මෙම සමාජ මතවාදයේ මෑත කාලයේ මහා ප‍්‍රකාශකයා වුයේ මහින්ද රාජපක්ෂ සහ අනුප‍්‍රාප්තික ගෝඨාභය රාජපක්ෂය. ඒ අනුව මහින්ද ‘අප්පච්චී’ වන්නේත් ගෝඨා ‘සර්’ වන්නෙත් ඔවුන්ගේ පාක්ෂිකයන් ‘දාර බයියන්’ ලෙස හැදින්වීමත් තර්කානුකුලව සිදු වුවකි. බයියන් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී ග‍්‍රාමීය නුගත් හෝ යම් අසමත්කම් ඇති ප‍්‍රජාව හැඳින්වීමට අපහාසාත්මක ලෙස පාවිච්චි වුණ වදනක් වුවත් දේශපාලනය තුළ එය එසේ නොවේ.

දේශපාලනිකව බයියකු ලෙස හැදින්වීම ලැබීමට ග‍්‍රාම්‍ය බව හෝ නාගරීක බව බලපෑවේ නැත. එසේම කිසි විටකත් අධ්‍යාපන මට්ටම හෝ බුද්ධි මට්ටම බලපෑමක් වුවෙත් නැත. වෙනයම් තරා තිරමක් ධනවත් හෝ දුගී බවත් බලපෑවේ නැත. බයියා නම පටබැන්දේම ඒකමානි චින්තනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ඇති පටු බව සීමාසහිතකම තුළ අන්තවාදී වීම මතය. වෙනත් තේරෙන බසකින් කිවහොත් ළිං මැඩි දැක්මය.

ටොයියන්ගේ කතාව ගතහොත් මේ අය සුද්දාගෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගත්, රට ලෝකය ගැන පුළු‍ල් දැක්මකින් යුතුව විග‍්‍රහකරගන්නට සමත් වු ආර්ථික දේශපාලනික සමාජිය සහ සංස්කෘතික වශයෙන් නිදහස් ප‍්‍රතිපත්තීන් අනුගමයට කිරීමට පෙළඹුණ සමාජ තීරුවකි. බටහිර ගැතිකම නිසා මුල් කාලයේදී කළු සුද්දන් ලෙස බයියන්ගේ නිග‍්‍රහයට හසු වූූයේ මේ අයය. කොම්ප‍්‍රදෝරු ධනපතියන් ලෙසද මේ අය දේශපාලනිකව හැඳින්වු අතර නිදහස ලබන විට රාජ්‍ය බලය අත්පත් කරගත්තේ මෙම පිරිසය. මුල් කාලීන ටොයි දේශපාලන මතවාදය මේ අයගේ නිශ්පාදනයකි.

එහෙත් මෙරට කොම්ප‍්‍රදෝරු ධනපතීන්ගේ බලපෑම අවසන් වී බොහෝ කල්ය. දැන් ඇත්තේ එයින් පොළාපනින ලද නව ධනපති පන්තිමය මතවාදයකි. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයන් නැතිනම් සැබෑම ටොයි මතවාදයන් මේ හරහා බිහිව ඇත. දේශීය මූලයන් වුව ගෝලීය සම්බන්ධතා හරහා මේ නව ටොයි මතවාදය පෝෂණය වෙමින් පවතී. එය බටහිර ගැති හෝ වෙනයම් ගැතිකමක් නොවී නව ගෝලීය ආර්ථික දේශපාලනික සමාජ සංස්කෘතික ප‍්‍රවණතාවයන්ට ඇති ගැතිකම හා සම්බන්ධතා විසින් නිර්මාණය කරන ලද්දකි. මේ නව ටොයි මතවාදයට එරෙහිව පරණ අධිරාජ්‍ය ගැති, බටහිර ගැති, අමරිකානු ගැති ආදී වශයෙන් වන විරෝධතා සටන් පාඨ දැන් වලංගු නැත. මේ තත්වය නිසා පරණ හණ මිටි කරගහගෙන සිටින වර්තමාන ජාතිකවාදීගේ දේශපාලනය මෙම යුගයේදී වඩාත්ම අර්බුදයට යන්නට හේතු වී ඇත. මෙහි සැලකිය යුතු කාරණය වන්නේ මේ නව මතවාදයට අභියෝග කිරීමට තරම් මේ ජාතිකවාදී මතවාදයන් ශක්තිමත් නොවීමය. එලෙස හැකියාවක්ද ඊට නැත. මන්ද මේ කියන ජාතිකවාදයට ස්වාධීනව පැවැතීමේ හැකියාවක් ඉතිහාසයේ කවර කලකවත් නොතිබුණු දුර්වලකමක් වන නිසාය. කොටින්ම මෙය යථාර්ථයෙන් විතැන් වූ විපරීත මනෝභාවයක් පමණි. මේ නිසා ජාතිකවාදය කර පින්නාගෙන එන වුන්ට, ඒ තුළම ඇති ආවේනික දුර්වලතාවය නිසා ඒ ගොඩනැගෙන විටම එහි විට කඩා වැටීමත් අරම්භ වෙයි. එම සටන් පාඨ කෙතරම් ආකර්ෂණීය වුවද ජනප‍්‍රිය වුවද ඒ කරගහගෙන එන දේශපාලනයට ඒ මත යැපීමට නොහැකිව විනාශ වීම ක්ෂණයෙන් සිදු වන්නේ එනිසාය.

ජාතිකවාදය කර පින්නාගෙන සටන් වැදි ඉතිහාසයේ මුලිකයකු මෙන්ම එහි ප‍්‍රබලතමයා වූ අනගාරික ධර්මපාල අසාර්ථක වූයෙත් මේ නිසාය. ඔහු මෙම අර්බුදය දැක තිබුණත් ඔහුට ඒ සඳහා අවශ්‍ය හැරවුම ලකුණු කරගැනිමට නොහැකි විය. ඔහුම ඇවිළ වූ සිංහල බෞද්ධ වර්ගවාදී මනෝභාවයේ වුවමණාව ඔහුට දරාගන්න නොහැකි විය. ඔහුට බටහිර නුතනත්වය සමඟ මේ ගැටගැසීමට අවශ්‍ය වුවත් එය නොහැකි විය. මන්දයත් මේ වර්ගවාදී වුවමණාවන් හී සීමාන්තික බව ඉක්මවීමට ඔහුට නොහැකි වූ බැවිනි. ඔහුට ඒ වැටහීමෙන් පසු රටට ජාතියද අතහැර ඉන්දියාවට ගොස් නුතනත්වයට සමීප විය හැකි සැබෑ බුදුදහමේ පිළිසරණ පැතීමට සිදුවිය.

බණ්ඩාරනායකට වුවෙත් මේ ටිකමය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළට කොටුකර ගත්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය යනු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට කොම්පොදෝරු ධනපති පංතියට එරෙහිව සිංහල බෞද්ධ ජාතිකවාදයක් කරපින්නා ගත් ග‍්‍රාමීය ජනතාවයි. වැඩවසම් ක‍්‍රමය විසින් උරුමකර දුන් ක‍්‍රම පද්ධතිය තුළ රදල නායකත්වයක් මේ අයගේ අපේක්ෂාව විය. නමුත් ඒ නැඟගෙන ආ බලවේග වල බලවත් වුවමණාවන් බණ්ඩාරනායකට දරාගැනීමට නොහැකි විය. ඒ ජාතිකවාදී වුවමණාවන් පූර්ණ කරන්නට බණ්ඩාරනායක අසමත් වු අතර එම බලවේග විසින් ඔහුගේ ජීවිතයද අවසන් කරන ලදී. නමුත් මේ යුගයේ ගත් ක‍්‍රියාමාර්ග තවදුරටත් ශ‍්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්කිරීම වෙනුවෙන් බලපවත්වමින් තිබේ.

කෙසේ නමුත් අනගාරික ධර්මපාලට සහ බණ්ඩාරනායකට මෙහෙයවා ගැනීමට හැකියාවක් නොමැතිව අසාර්ථක වූ නමුත් මේ ජාතිකවාදී ව්‍යාපෘතිය එතැනින් අවසන් වූයේ නැත. වාමාංශික හැඩය ගත් නමුත් ජාතිකවාදය තුළම ගිලීගත් ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරගේ දේශපාලනයත් ඒ අනුව ආරම්භ විය. ඒ විසින් රටට අත්කර දුන් විනාශය අතිශය බරපතල වුවා සේම විජේවීර ඇතුළුව ඒ මතවාදය වෙනුවෙන් පෙළගැසුන වුන් අතිවිශාල ප‍්‍රමාණයකට මරණය අත්පත් කරගන්නා තැනට වැඩ සිද්ධ විය. පසුකාලීනව චම්පික රණවක ඇතුළු පිරිසද නියෝජනය කළෙත් මෙම මතවාදයේම තවත් අන්තවාදී පාර්ශ්වයකි. ඉතිහාසය පුරා සංඝ සාසනයද මේ තැනට සිටගෙන සිටි නමුත් මෑත භාගය වන විට වඩාත්ම අන්තගාමී ත‍්‍රාඩ ස්ථාවරයක් දක්වා තල්ලූ‍වීම සිදුව තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමි එහි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනයයි. මෙහි මීළඟ අදියර ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂගේ සම්ප‍්‍රාප්තිය සමඟිනි.

ශ‍්‍රීලනීපයේ උරුමය වූ වැඩවසම් ලක්ෂණ සහිත ජාතිකවාදය චන්ද්‍රිකා යුගයේදී යම් නූතනවාදී ප‍්‍රවේශයක් ගනිමින් වෙනස් කිරීමකට ලක්කිරීමේ උත්සාහයන් තිබිණි. නමුත් එය මහින්ද රාජපක්ෂ විසින් නැවත හරවන්න සමත් වූ අතර රාජ්‍ය බලය අත්පත් කරගැනීමේදි මහින්ද රාජපක්ෂ යනු ජාතිකවාදය වෙනුවෙන් කාලය, දේශය, දීපය, කුලය මව හරියටම තෝරාගෙන, බිහිවූ නියම ග‍්‍රාම්‍ය වැඩවසම් නිෂ්පාදනයක් විය. ඔහු මෙහිදී සාර්ථක වන්නේ මේ ජාතිකවාදී බලවේග අන්දවමින් කළමණාකරණ කරගැනීමට සූරවීමය. ජාතිකවාදය මතුපිට තබාගෙන ජාතිකවාදීන් චූන් කරමින් තමන්ගේ ත‍්‍රාඩ පාලනය ගෙනයාමට මහින්ද සමත් විය. නමුත් තමන්ගේ යෂ්ඨිය ගෝඨාභය අතට ලබා දුන්න ද ඔහුට ඒ ගමන යෑමට නොහැකි විය. ඔහු හදවතින්ම ජාතිකවාදියකුවීම සිදු විය. යුධ බිමෙන් පළා ගියද අයෙක් වුවද පසුව යුධ ජයග‍්‍රහණයන් විසින් තමන් රණවිරුවෙකු බව ඔහු ඇදහුවේය. ඊට විමල් වීරවංශ ප‍්‍රමුඛ පිරිස්ද, වියත් මඟ වැනි සංවිධාන විසින් දුන් ලණුද මීට හේතු විය. නමුත් ඉතිහාසයේ පාඩම් යළි මතක් කරමින් ජාතිකවාදයට උරුම කරුමය පඩිසන් දෙමින්, ගෝඨාභයට රටින් පළා යන්නට සිදුවූයේ රටම බංකොළොත් කරමිනි.

කොහොම නමුත් මහින්ද රාජපක්ෂ කරලියට ගෙන ඒමට ශ‍්‍රීලනීපයේ ජාතිකවාදී කොටස් (මංගල සමරවීර වැනි ලිබරල් මතවාදීන්ටත් මේ හැර වෙන විකල්ප තෝරාගැනීමේ අවස්ථාව ද නැති විය*, ජවිපෙ, චම්පික රණවක ඇතුළු සංඝ බලවේග අතිමහත් කැපවීමක් සිදුකරන ලදී. තමන්ගේ ජාතිකවාදී වුවමණාවන් ඉටුකළ හැකි එකම නායකත්වය මහින්ද බව ඔවුන් පිළිගන්නා ලදී. ඒ මතය මහපොළොවේ සිටුවන්නට ජවිපෙ සුවිශේෂී මෙහෙවරක් කළේය. කොටින්ම මහින්ද ගමන් ගත් මාර්ගය තැනුවේ ජවිපෙය විසින්ය.

තවමත් එහි අයිතිවාසිකම් වෙනුවෙන් ජවිපෙ පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. එසේම අදත් ජවිපෙ මේ මාවතෙන් පිට පැන නැත. වෙනත් මාවතක් සොයමින් වටපිට බලන බව පෙන්වමින් තිබුණත් ජවිපෙට යා හැක්කේ මේ තමන් ගොඩනැඟු‍ මාවතේ පමණය. ජවිපෙ ජාතිකවාදයෙන් වෙනස්ව වඩා දියුණු බව පෙන්වීමට අටවා ගත් ජාතික ජන බලවේගයද පැහැදිලිවම අද ජවිපෙ මතවාදයට යටත් වී ඇති බව පෙන්වා තිබේ. මේ අනුව නුදුරු අනාගතයේදී ජවිපෙට සිදුවනු ඇත්තෙත් සුපුරුදු පරිදිම ජාතිකවාදීන්ට අත්වු ඉරණම මිසක් වෙනකක් නොවේ.

මේ ජාතිකවාදී බලපෑම කොතෙක්ද යත් වරක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහට සරමයි බැනියමයි ඇන්දවීමේ උත්සාහයන්ද ක‍්‍රියාත්මක විය. සජිත් පේ‍්‍රමදාස ඇතුළු කණ්ඩායම එජාපයෙන් වෙන්වීමට මේ ජාතිකවාදී උෂ්නය වැදීම හේතු විය. අද සජිත් තවත් මහින්ද කෙනෙකු වීමේ වුවමනාව පෙන්වමින් සිටී.

අද මේ කියන ජාතිකවාදී මහා කෝව තුළ අනුරගේ ජවිපෙ(ජාජබය*, සජිත් පේ‍්‍රමදාගේ සජබය, ජී.එල්. පීරීස් – ඩලස් අලහප්පෙරුමගේ නිදහස් සභාව, වීරවංශ කණ්ඩායම, වියත්මඟ නියෝජනය කළ නාලක ගොඩහේවා – චරිත හේරත් ඇතුළු කණ්ඩායම, නාමල් රාජපක්ෂ ප‍්‍රමුඛ පොහොට්ටුවේ රාජපක්ෂවාදී පාර්ශ්වය, මෛත‍්‍රීපාල සිරිසේනගේ ශ‍්‍රීලනීපය, පැලපදියම්ව සිටී. චම්පික රණවකගේ ජනරජ පක්ෂය පිටතට අඩියක් තබනවාද නැද්ද යන දෙගිඩියාවෙන් සිටී. මේ අනුව මතවාදීම වශයෙන් අද විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂ හා කණ්ඩායම් සිටින්නේ එකම කඳවුරක් තුළට ගාල් වී බව පැහැදිලිය. ඒ බයියන්ගේ මහා කඳවුරය.

මෙසේ වන්නට හේතුව මේ ඉතා පහසු තෝරාගැනීමක් වන නිසාය. ඊට හේතුවන ආවේනික දුර්වලතා රැුසක් තිබේ. මේ නායකයන්ට, ලෝකය සමග ගනුදෙනු කිරීමට ඇති නොදන්නාකම සහ නොහැකියාව. අතීත කාමය, තමතමන්ගේ ග‍්‍රාමීයත්වය විසින් ඇති කරන ලද හීනමානය පාලනය කිරීමට ඇති නොහැකියාව. සාම්ප‍්‍රදායිකව කොම්ප‍්‍රදෝරු ධනපතියාට කෙරෙහි ඇති වෛරය සහ ඉරිසියාව අත්හැරීමට නොහැකියාව. රදල ජීවන රටාවකට ඇති ආශාව මඩින්නට ඇති නොහැකියාව. ස්වයංවිවේචනාත්මකව තමන් දෙස නොබැලීම, මෙන්ම පුද්ගල පෞර්ෂයන් විශ්වාස කරනවා මිස රට ගොඩනගන ප‍්‍රතිපත්ති වැඩපිළිවෙල මේ අයට අදාල නැත. මේ අයගේ දේශපාලන ප‍්‍රචාරක කටයුතුවලදී මේ බව ඉතා පැහැදිලිව පෙන්වමින් තිබේ.

මේ නිසා මේ අයගෙන් ශ‍්‍රී ලංකාව ගෝලීය ප‍්‍රවණතා වලට සමගාමීව නවීකරණය කිරීමෙන් වන සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බව පැහැදිලි කරණකි. එහෙම හැකි බව කිසිවකු විශ්වාස කරයි නම් ඒ බයියෙකු පමණක් විය යුතුය.

ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *