හැමදාම අසනීප වන ලංකාවේ සෞඛ්‍ය ලෙඩෙක් ද?

ලංකාවේ සෞඛ්‍යය ලෝක ලෙඩක් වී ඇති බව බොහෝ දෙනාගේ අදහසය. මේ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය නිරන්තරයෙන් ලෙඩවීම සාමාන්‍ය තත්වයකි. ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හැමදාමත් වගේ ප්‍රචාරය වන මාතෘකා අතර සෞඛ්‍යය තිබීම ඒ අනුව පුදුම නොවිය යුතු දෙයකි. මෙයට හේතුව කුමක්ද? ඖෂධ හිඟයක්, ඖෂධ ගෙන්වීමේ ප්‍රමාදයක්, නැතහොත් රෝහලක වෛද්‍ය සේවයේ ගැටළුවක්, හෙද සේවයේ ගැටළුවක් එසේත් නොමැති නම් වෛද්‍යවරුන්ගේ හා හෙද නිලයේ වැටුප් දීමනා පහසුකම් වැඩි කිරීමේ ගැටළුවක්. එකී මෙකී නොකී කරුණු කාරණා පාදක කොට සෞඛ්‍යය නිරන්තරයෙන් සමාජයේ ප්‍රධාන මාතෘකා අතර වෙයි.

රජය විසින් සෞඛ්‍යයට අයවැයෙන් වෙන් කොට ඇති මුදල සුළු පටු නොවේ. 2022 දී සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 176ක මුදලක් ද 2023දී රුපියල් බිලියන 322ක මුදලක් වෙන් කරනු ලැබීය. එන්න එන්නම වැඩි මුදලක් වැය කොට මේ නගා සිටුවීමට උර දෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවයි.

ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග සංසන්දනය කොට බැලූ විට ලංකාවේ සෞඛ්‍ය සේවය දීර්ග කාලයක් පුරාම පැවතියේ නිදහස් සේවාවක් ලෙසය. අදත් කවර ආර්ථික අසීරුකම් මධ්‍යයේ වුව එම තත්වයන් වඩාත් ගුණාත්මකව පවත්වාගෙන යෑමට රජය යුහුසුළු විය. වෙනත් බොහෝ රාජ්‍යයන් මුදල් අය කිරීම් මගින් සෞඛ්‍ය සේවාව ලබා දුන්නත් ලංකාව තුළ සෞඛ්‍ය සේවාව නිදහස් සේවාවක් ලෙස පවත්වාගෙන යාම රටක් ලෙස ජනතාව ලද ජයග්‍රහණයකි, නිරෝගී ජීවන තත්වයක් පවත්වා ගැනීමේ මිනිස් අයිතියෙහි ජයග්‍රහණයකි.

මෙකී ජයග්‍රහණය පසෙක තබා ඇතැම් දේශපාලන කල්ලි විමසන ප්‍රශ්නයක් වන්නේ රජයේ රෝහල් තිබියදී පිටතින් බෙහෙත් ගන්න තුන්ඩු දෙන්නේ ඇයිද යන්නය. මේ සම්බන්ධයෙන් පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මෙසේ සදහන් කළේය.

පසුගිය කාලයේ රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීම්වලදී ගැටළු පැන නැග්ගා. එය අපේ රටට පමණක් නොවෙයි ලෝකයේ සෑම රටකටම පොදු වූ තත්වයක්. මේ තත්වය දැන් දැන් සමනය වී තිබෙනවා. ඒත් මුළුමනින්ම නොවෙයි. අපි විශ්වාස කරනවා මෙය රටේ ආර්ථිකය යහපත් වීමත් සමග යහපත් අතට හැරේවි යන්නය.

මේ තත්වය තේරුම් ගැනීමට අබමල් රොණක හෝ මොළයක් ඇති ඕනෑම අයෙකුට හැකිය. ඒ සදහා රටට ආදරයක් හෝ අර්බුදයන් සම්බන්ධයෙන් ලෝක මට්ටමේ කියවීමක් තිබිය යුතුය. එසේ නොවන තැන ඕනෑම දෙයකට කටමැත දෙඩවීම් හැර අත්පත් කරගත හැකි ජයග්‍රහණයක් නොමැත.

මෙලෙස පුවත් වපුරන්නන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන තවත් විලාපදීමක් වන්නේ මේ රටේ සෞඛ්‍ය සේවය වලපල්ලට යාම අනිවාර්යය බවය. එයට වෛද්‍යවරුන් විදෙස් ගත වීම හේතුවක් වී ඇති බවට වහසි බස් දෙඩීමය. පසුගිය කාලය තුළ වෛද්‍යවරුන් රට හැරයාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කොට සිටියේ වෛද්‍යවරු ප්‍රමාණයක් ඔවුන්ගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සදහා විදෙස් ගත වූ බවත් මෙය සාමාන්‍ය තත්වයක් බවයි. බොහෝ වෛද්‍යවරු රාජ්‍ය සේවා කොමිසම් සභාවේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය සහිතව විදෙස් ගත වන අතර මේ සදහා වසර දෙකක අධ්‍යයන නිවාඩු කාලයක් ඔවුන්ට ලබා දේ. එසේම රාජ්‍ය සේවා කොමිසම් සභාව හා ලිඛිතව බැදී පොරොන්දුවක් මත මෙම විදෙස් ගතවීම සිදුවන බවද සදහන්වේ. එම ගිවිසුම් කාලය ඉක්මවී ඇත්නම් ඔවුන්ගෙන් අය කිරීමක් සිදු කරනු ලැබේ. මීට අමතරව තවත් සුළු පිරිසක් වැඩි ආදායමක් වෙනුවෙන් විදෙස් ගත රැකියා සදහා යොමුවීම සිදුවේ. එවැනි පිරිස් සදහා පවතින නීතිමය තත්වයන් යටතේ කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කළේය. ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම වෛද්‍යවරුන් අතුරින් සුළු පිරිසක් රටේ ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් විදෙස් ගත රැකියා සදහා යොමුව ඇති බවය. ඔවුන් රටේ ආර්ථිකය යහපත් අතට පත්වන විටක මෙරටට පැමිණේ යැයි අපේක්ෂා කරන බවද සදහන් කළේය. වෛද්‍යවරුන්ට අමතරව රෝහල් සේවා අංශයේ නිලධාරීන්ද විදෙස් ගතවීම් පසුගිය කාලයේ දැකිය හැකි වූ අතර රාජ්‍ය සේවා කොමිසම් සභාව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එවැනි අයවලුන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා තිබිණි. කෙසේ නමුත් ඇතැමුන් හුවා දක්වන ලෙස මෙරට බරපතල මට්ටමේ බුද්ධිගලනයක තත්වයක් නැත. සෑම වසරකම පාහේ මෙලෙස වෛද්‍යවරුන් විදේශගතවීම පසුගිය දශක කිහිපය දෙස බැලු‍වත් සාමාන්‍ය තත්වයකි.

වෘත්තීය ගෝරනාඩු කරන්නන්ගේ සංගම් මතුකරන තවත් සෞඛ්‍ය සේවාවේ ගැටළුවක් වන්නේ ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු විශ්‍රාම ගැනීම හේතුවෙන් ග්‍රාමීය රෝහල් වැසීයාමට නියමිත බවය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ග්‍රාමීය රෝහල්හි සේවය කළ වෛද්‍යවරු 350කට අධික ප්‍රමාණයක් නිසි කාලය සම්පූර්ණවීමෙන් විශ්‍රාම ගැනීම අනිවාර්ය බවයි. එහෙත් එසේ වූ පමණින් රෝහල් 350ක් වැසී යාමේ අවධානමක් නොමැත. ඒ සදහා පුරප්පාඩු පිරවීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ වන විට අදාල ස්ථාන සදහා වෛද්‍යවරු අනුයුක්ත කොට ඇති අතර කිසිසේත්ම වෛද්‍යවරුන් නොමැතිවීමෙන් රෝහල් වැසීයාමක් සිදු නොවන බවය.

ඒ අනුව ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයන් එකකි. සැබෑ තත්වය තවත් එකකි. මේ සදහා හොඳම උදාහරණය නම් පසුගිය කාලයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය වසා දමා ඇතැයි පළ වූ ප්‍රවෘත්තියයි. දේශපාලන කණ්ඩායම් සදහන් කොට සිටියේ වෛද්‍යවරු විදෙස් ගතවීම හේතුවෙන් මෙම ඒකකය වසා දමා ඇති බවය. එහෙත් අදාළ ඒකකය සදහා විශේෂඥ වෛද්‍යවරුන් පත් කරනු ලබන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලවලින් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොවන බව මේ පිරිස නොදන්නා කරුණය. එම ඒකකයට පත් කර සිටි වෛද්‍යවරුන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අසනීප නිවාඩු ලබා තිබුණි. දෙදෙනෙකු විදෙස් පුහුණුවක් සදහා පිටත්ව ගොස් තිබුණි. කෙසේ නමුත් පසුව නිවාඩු ලබාගත් වෛද්‍යවරු දෙදෙනාගෙන් එක් අයෙකු රාජකාරියට වාර්තා කොට තිබිනි. එහෙත් එම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් නොවන්නට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කොට තිබුනි.

මේ හා සමාන සිදුවීමක් පසුගියදා නුවරඑළිය රෝහලේ අක්ෂි වාට්ටුවෙන් වාර්තා විය. ඒ අක්ෂි සායනයෙන් පසුව රෝගීන් 10 දෙනෙකුගේ ඇසට විෂබීජ ඇතුලු‍වීමක් සම්බන්ධ සිදුවීමය. අක්ෂි සායනය සිදුවීමෙන් පසුව ඇසට දමන පෙඩි්‍රසිලෝන් නැමැති බින්දු ද්‍රාවනය හේතුවෙන් මෙම ආසාධනය සිදුව ඇත. මෙය කොළඹ අක්ෂි රෝහලේ රෝගීන් තිදෙනෙකුට හා ගම්පහ රෝහලේ රෝගීන් දෙදෙනෙකුට අදාළව සිදු කළ සායනයෙන් පසුව ද උද්ගතව විය. කෙසේ නමුත් අදාළ කරුණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කරුණු දක්වමින් සදහන් කොට සිටියේ මෙම ඖෂධය ගෙන්වන සමාගම දීර්ග කාලීනව ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි ආයතනයක් බවත් අදාළ ඖෂධය නැව් ගත කිරීමට පෙරද මෙරට භාවිතයට පෙරද පරික්ෂාවකට යොමු කෙරේ. කෙසේ නමුත් මේ වන විට අදාළ ඖෂධය සියලු‍ ගබඩාවලින් ඉවත් කොට ඇත. මේ සිදුවීම සිදු වූයේ කෙසේ දැයි පරීක්ෂණයක්ද පවත්වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය නියමිත ප්‍රමිතීන්ට අනුගත වූ ක්‍රියාවලියකට යටත් වූවද ඉන් පරිබාහිර සිදුවීම් විය හැකි අතර එය එසේ වීම මත අදාළ කරුණින් රජය මඟ හැර යාමක් සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සදහන් කොට ඇති පරිදි අදාළ කරුණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර යළි එවැනි තත්වයන් ඇති වීම වැලැක්වීමට පියවර ‌ගැනීම සිදුව තිබේ.

නැවත වටයකින් සෞඛ්‍ය අංශය වෙත අවධානය යොමු වන්නේ මේ දිනවල පවතින ඩෙංගු රෝගය සම්බන්ධයෙනි. ඒ සදහා සෘජුව ඇගිල්ල දිගු වන්නේ සෞඛ්‍ය අංශ වෙතය. එහෙත් ඩෙංගු සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකීම් සහගත බව සීමාසහිත වන අතර සමාජය සතු වගකීම වඩා වැඩිය. ඩෙංගු රෝගය යන්න පැතිරීම වැලැක්වීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් දැරිය නොහැකිය. ඩෙංගු පැතිරීම සිදුවන්නේ තම වටපිටාවේ ඊට පහසුකම් සැලසීම හේතුවෙනි.

ඒ නිසා ඩෙංගු මර්දනය කිරීම ජනතාවගේද වගකීමකි. එදිනෙදා තම ජීවන ක්‍රියාවලියේ දී සෞඛ්‍ය සම්පන්න භාවය රැක ගැනීම වෙනුවෙන් විනයක් පුරුද්දක් ඇති කරගැනීම තමාගේ පමණක් නොව රටේම සෞඛ්‍යයට වැදගත් වේ. රජය විසින් මැදිහත් විය යුතු තැන එය නිසි පරිදී සිදු කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගනී. එබැවින් ඩෙංගු රෝගය පැතිරීම සම්බන්ධයෙන් අනෙකාට ඇඟිල්ල දිගු කිරීමට පෙර සිය දහස් වාරයක් තම වටපිටාව සම්බන්ධයෙන් සිතා බැලිය යුතුය.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දකින කොරහේ කිඹුලු‍න් ඉන් එළියට ගන්නේ මහා රාක්ෂයන් කරමිනි. අනතුරුව විපක්ෂ දේශපාලන පක්ෂ ද මේ රාක්ෂයන් කර තියාගෙන මාධ්‍ය ඉදිරියේ කරන රංගනයන් මාධ්‍යයද ගෙඩි පිටින් ගෙන ප්‍රවෘත්තීන් ලෙස ජනතාව අමාරුවේ දමති. මෙය දිගින් දිගටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සම්බන්ධයෙන් සිදු වූවකි. මේ වසුරු තම හිස මත නොහලා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුය. යහපත් සෞඛ්‍ය තත්වයක් ගොඩනැගීම සදහා රාජ්‍ය මැදිහත්වීමට සහය වීම සිදුවිය යුතුය. මන්ද රාජ්‍යය යනු අවසානයේ ජනතාවට වගකියන තැන නිසාය. මෙය තේරුම් ගැනීම ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම රටේ සෞඛ්‍යයටද අත්‍යාවශ්‍ය සාධකයක් වීම අනිවාර්යය.

  • කේ.පී.අයි. ප්‍රියංගනී