කාන්තාවන්ට ලස්සන වීම ඇෆ්ගනිස්ථානයේ තහනම් කරයි

0

ස්වයං රැකියාවක් ලෙස කාන්තාවන්ට ආදායම් ඉපයීමට සහ තම නිවෙස්වලින් පිටත සමාජගත වීමට හැකිව තිබු ස්ථාන කිහිපයෙන් එකක් වන රූපලාවන්‍යාගාර වසා දැමීමට ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගෙන සිටින තලේබාන් සංවිධානය තීරණය කිරීම කාන්තාවන් සම්බන්ධ නිදහස තව දුරටත් සීමා කිරීමට හේතු වී ඇත. මෙම තීරණය සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලබා නොදී මාසයක් ඇතුළත සියලු‍ම රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්තර සකසන ස්ථාන වසා දමන ලෙස තලේබාන් සංවිධානය නියෝග කර ඇත.

මෙම නියෝගය නිසා රට පුරා කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර දහස් ගණනක් වසා දැමීමට හේතු වනු ඇති අතර ඇෆ්ගන් කාන්තාවන් 50,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වනු ඇතැයි කාබුල් වාණිජ මණ්ඩලය අනාවැකි පළ කරයි.
කාබුල් වාණිජ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ අබ්දුල් ලතීෆ් සලේහි ප්‍රකාශ කළේ මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ කාන්තා කොණ්ඩා මෝස්තර ව්‍යාපාර 12,000ක් පමණ පවතින බවයි. තලේබාන් සංවිධානයේ නියෝගයට අනුව මෙම රූපලාවන්‍යාගාර ජූලි 26 වැනිදා වන විට ස්ථිරවම වසා දැමීමට සිදුවේ.

මෙම රූපලාවන්‍යාගාර බොහෝ විට බොහෝ පවුල්වල එකම ආදායම් මාර්ගය වන අතර කාන්තාවන්ට තම නිවෙස්වලින් පිටත සමාජගත වීමට මෙමගින් දුර්ලභ අවස්ථාවක් සලසා දෙයි. බරපතල මානව හිමිකම් කඩකිරීම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය ජාත්‍යන්තර ප්‍රජාව විසින් මෙතෙක් පිළිගෙන නොමැති අතර, එය එරටට විදේශ ආධාර ද නතර කිරීමට හේතු විය. එහෙත් ජාත්‍යන්තර විවේචන නොතකා, තලේබාන් සංවිධානය විවිධ තහංචි සහ පීඩාකාරී සීමා කිරීම්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියා සහ පොදු ජීවිතය මත දිගටම පනවා ඇත.

2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු කාන්තාවන්ගේ තත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇත. මෙම කණ්ඩායම ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට උසස් පාසල් සහ විශ්වවිද්‍යාල, පොදු උද්‍යාන, විනෝද පොළවල් සහ ව්‍යායාම මධ්‍යස්ථාන තහනම් කර ඇති අතර ප්‍රසිද්ධියේ හිජාබය පළදින ලෙසද දැඩිව නියෝග කර ඇත.

කාන්තාවන්ට එක්සත් ජාතීන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම ද බොහෝ දුරට තහනම් කර ඇති අතර දහස් ගණනක් රජයේ රැකියාවලින් ඉවත් කර හෝ නිවසේ රැඳී සිටීම සඳහා වැටුප් ගෙවනු ලැබේ.
රූපලාවණ්‍යාගාර වසා දැමීමේ නියෝගය කාන්තාවන් අතර කෝපයක් සහ බලාපොරොත්තු සුන්වීමක් ඇති කර තිබේ. ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය විසින් රූපලාවන්‍යාගාර නියෝගය අවලංගු කරන ලෙස බලධාරීන්ට ආයාචනා කර ඇති අතර, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ මෙම නව සීමාව ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවත් කාන්තා ව්‍යවසායකත්වය සඳහා ප්‍රකාශිත සහයෝගයට පටහැනි බවත් ප්‍රකාශ කර ඇත.
මෙම පියවරත් සමඟ අධ්‍යාපන අයිතිය අහිමි වි දැනට රූපලාවණ්‍යාගාරවල සේවය කරන පාසල් සිසුවියන් සහ විශ්වවිද්‍යාල සිසුවියන් ඇතුළු බොහෝ කාන්තාවන් තමන්ගෙ නිදහස වෙනුවෙන් තිබු අවසන් අස්ථාවද නැති වී ළඟදීම රැකියා විරහිත භාවයට පත්වේ යැයි බියට පත්ව සිටිති.

ඇෆ්ගනිස්ථානය දැනටමත් ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදයක් සමඟ පොර බදමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි ජනගහනයෙන් තුනෙන් දෙකක් සාගින්නෙන් පෙළෙන අතර මිලියනයකට ආසන්න ළමුන් පිරිසක් දැඩි මන්දපෝෂණයෙන් පීඩා විඳිති

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *