ආගමික නිදහස, භාෂණයේ නිදහසට යටත් කරන්න බෑ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෛරී ප්‍රකාශ කිරීමේ ගෝලීය ප්‍රවණතාව වැඩිවීම පිළිබඳව තම කනස්සල්ල පළ කර තිබේ. පාකිස්තානය විසින් යෝජනා ඉදිරිපත් කිරිමෙන් පසුගිය බදාදා දිනයේ (12) ආරම්භ කරන ලද විශේෂ සැසියකින් පසුව, කුරානය ගිනි තැබීම සහ ආගමික වෛරය පිළිබඳ සිදුවීම් හෙළා දැකීමට යෝජනාවක් සම්මත කරමින් ඡන්දය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, සමහර රටවල් මෙම යෝජනාවට සහය නොදැක්වූයේ එය භාෂණයේ නිදහසට බාධාවක් වනු ඇතැයි යන බියෙනි. සභාවේ නියෝජිතයන් 47 දෙනාගෙන් 28 දෙනෙක් පක්ෂව ද, 12 දෙනෙක් විපක්ෂව ද, 7 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී ද සිටියහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අඟහරුවාදා හදිසි රැස්වීමක් කැදවූයේ පකිස්ථානය විසින් ඉදිරිපත් කරන ලද ආගමික ආරක්ෂාව සහ භාෂණයේ අයිතිවාසිකම් පිළිබඳව යෝජනා සාකච්ඡා කිරීමටය. පකිස්තානය සහ යෝජනාවට පක්ෂ වූ අනෙකුත් රටවල් ආගමික ද්වේෂය මෙන්ම හිතාමතා සහ ප්‍රසිද්ධියේ සිදුවන එවන් ක්‍රියාවන්, විශේෂයෙන් සමහර යුරෝපීය සහ වෙනත් රටවල පොදුවේ කුරානයට නැවත නැවතත් සිදුවන ගැරැහීම් ගැන සිය කනස්සල්ල පළ කළේය.
පාකිස්ථාන විදේශ අමාත්‍ය බිල්වාල් බූතො සර්දාරි කවුන්සිලයේ සාමාජිකයින්ට වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඉස්ලාමය තුළ කුරානයට අගෞරව කිරීම දේව අපහාසයක් ලෙස සැලකෙන බවත්, මේ නිසා මෙම ක්‍රියාවන් ආගමික වෛරය, වෙනස් ලෙස සැලකීම සහ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ උත්සාහයක් ලෙසත් විස්තර කළේය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අදහස් දක්වමින් දැනුවත් කිරීම, සංවාදය, අධ්‍යාපනය සහ අන්තර් ආගමික කටයුතු තුළින් වෛරී ප්‍රකාශවලට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. ඔහු ප්‍රසිද්ධියේ කුර්-ආනය ගිනි තැබීම විවේචනය කළේ පිළිකුල ප්‍රකාශ කිරීමට, කෝපය ඇවිස්සීමට සහ මිනිසුන් අතර බෙදීම් ඇති කිරීමට දරන උත්සාහයන් ලෙස ය.
ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම සහ අසමගිය සහ බෙදීම් ඇති කිරීම සඳහා සමාජ මාධ්‍යවලින් ලැබෙන පිටුබලය සහ ක්‍රියාකාරිත්වය ද ටර්ක් අවධාරණය කළේය. වෛරී ප්‍රකාශය පුද්ගලයන්ට හානියක් වන අතර එමගින් සමාජවල යහපත් ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය සමාජ සංහිඳියාව කඩාකප්පල් කරන බවත් ඔහු අවධාරණය කළේය.
වැඩි දුරටත් අදහස් දක්වමින්, තමන්ගේ පෞද්ගලික විශ්වාසයන් හෝ නීතිය කුමක් වුවත් අන් අයට ගරු කරන ලෙස ටර්ක් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මිනිසුන් තම ආගම, සමේ වර්ණය හෝ ලිංගික
දිශානතිය සඳහා ඉලක්ක කර ගන්නා වෛරී ප්‍රකාශයේ වැඩිවන ප්‍රවණතාව ගැනද ඔහු අනතුරු ඇඟවීය. සමාජ මාධ්‍ය, ගැටුම් සහ ධ්‍රැවීකරණය අවුස්සමින් සිටින බවත්, දේශපාලන අරමුණු සඳහා ආගම අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජවල සමහර කොටස් අරගල කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් ජූනි 28දා ස්වීඩනයේ ස්ටොක්හෝම්හි ප්‍රධාන පල්ලිය ඉදිරිපිට නැවතවරක් කුරානය ගිනි තැබීමේ සිද්ධියෙන් පසු භාෂණයේ නිදහස සහ ආගමික නිදහස අතර විවාදය කරළියට පැමිණ තිබේ. මෙම සිද්දියත් සමඟ ලොව පුරා මුස්ලිම්වරුන් අතර විශාල කැළඹිමක් දක්නට ලැබේ.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වීඩනයේ සිදු වූ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන කුරානය ගිනි තැබීම තරයේ හෙළා දකිමින් ගෝලීය දකුණේ (සංවර්ධනය වෙමින් පවතින රටවල) හර පද්ධති ආරක්ෂා කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවාවී නොසන්සුන්තාව ඇති කිරීමෙන් වළකින ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටින ලදි. අල් කුරානය ගිනි තැබීම ලොකය පුරා සැලකිය යුතු කැළඹීමක් ඇති කළ බවත් එය ස්වීඩනයට මෙන්ම තවත් බොහෝ ජාතීන්ට බලපෑම් ඇති කළ අතර මෙම ක්‍රියාව විශ්වීය වශයෙන් හෙළා දකින බවත් අවධාරණය කළේය
නිරෝෂන් පෙරේරා