පෙරටුගාමීන්ගේ සැලැස්ම සන්නද්ධ අරගලයක් ! – අනුර ඇත්ත හෙළිකළ යුතුයි.

0

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මෙරට රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් සන්නද්ධ අරගලයකට සුදානමින් කටයුතු කරන කණ්ඩායමක් බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අනාවරණය කර සිටී.

අනුර දිසානායක පෙරටුගාමීන් සම්බන්ධයෙන් මෙම අනාවරණ සිදු කළේ, පසුගිය දා ඕස්ටේ්‍රලියාවේ දී සිය පාක්ෂික හමුවක් අමතමිනි. එහිදී ජවිපෙ පාක්ෂිකයෙක් විමසා සිටියේ, පෙරටුගාමී පක්ෂය හෝ අන්තරය සමග සම්බන්ධ වී වමේ ශක්තිමත් බලවේගයක් ගොඩ නැගීමට කටයුතු නොකරන්නේ ඇයිද? කියාය. ඊට පිළිතුරු ලබා දුන් අනුර දිසානායක අවධාරණය කළේ, රාජ්‍ය බලය පිහිටුවීම සම්බන්ධයෙන් තමන් තෝරාගෙන ඇති මාවත ප්‍රජාතන්ත්‍රවාදී මාවත බවත්,

පෙරටුගාමීන්ගේ තේරීම සන්නද්ධ අරගලකාරී මාවත බවත්ය. එම නිසා නොගැලපෙන අයත් සමග ගමනක් නොමැති බවය.
සිය පාක්ෂිකයකුගේ පැනයට පිළිතුරක් ලෙස ජවිපෙ නායකයා එසේ ඉතා සැහැල්ලුවෙන් මෙම ප්‍රකාශය සිදු කර සිටියද එය රට සම්බන්ධයෙන් ඉතා භයානක අනතුරක් පිළිබඳ බරපතල හෙළිදරව්වකි. එසේම පෙර අත්දැකීම් සහිත හුරු පුරුදු අත්‍යන්ත දේශපාලන මිතුරු සබඳතා තිබූ කණ්ඩායමක් සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක් වන බැවින් පෙරටුගාමී දේශපාලන හැසිරීම පිළිබඳ අනුර දිසානායක මනා අවබෝධයක් සහිතව සිදු කළ ප්‍රකාශයක් විය හැක.

ජනතා විමුක්ති පෙරමුණේ වාමවාදී ප්‍රවණතාවයක් ලෙස මතවාදී ගැටුමකින් පසුව එයින් වෙන වු පිරිස් ගොඩනඟන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු මෙරට ප්‍රධාන දේශපාලන ධාරාවේ සැලකිය යුතු පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් නොවන නමුත් පසුගිය වසරේ වූ ගාලු මුවදොර අරගලයේ ගාමක බලවේගය ලෙස ඔවුන් පත්ව තිබිණි. දේශපාලන මර්මස්ථාන සිය ග්‍රහණයට ගනිමින් අවසානයේ මෙරට රාජ්‍ය බලයට අභියෝග කිරීමට ඔවුන් මැදිහත් විය. ඒ අරගලයේ ප්‍රධාන සාධකයක් වූ අන්තර් විශ්වවිද්‍යල බලමණ්ඩල සිසුන් ප්‍රචණ්ඩ අරගලයක දිසාවට මෙහෙයවීම හරහාය. එහිදී පෙරටුගාමීන් අවධාරණය කර සිටියේ, රටේ නීතිය විය යුත්තේ අරගලයේ නීතිය බවය. එනම් අරගලය විසින් ගන්නා තීන්දු තීරණ අනුව රාජ්‍ය පාලනය විය යුතු බවය. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත විකල්ප මහජන බල අධිකාරයක් පිහිට විය යුතු බවද අවධාරණය කර තිබිණි. කෙසේ නමුත් මේ කතා ඇසූ රටේ ජනතාව කල්පනා කළේ අරගලයේ උද්වේගකර අවස්ථාව දරා ගැනීම වෙනුවෙන් පෙරටුගාමී නායකයෝ හුදු සාහිත්‍යමය ආකාරයෙන් වචන හැසිරවන්නට ඇත කියාය. නමුත් ජවිපෙ නායකයා සිදු කළ මේ අනාවරණය තුළින් කියවෙන්නේ, පෙරටුගාමීන්ගේ වචන නොසලකා හැරිය නොහැකි බවය. එසේම නුදුරු අනාගතයේ මේ රට තුළ සන්නද්ධ කැරලිකාරිත්වයක් හරහා බිහිසුණු යමක් සිදුවීම විය හැකි බවය.

අනුර දිසානායක යනු එළැඹෙන ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයකු විය හැකිව තිබෙන මෙරට වගකීම් සහගත දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මිලියන විසිදෙකක් වූ ජනතාවක් වෙනුවෙන් වගවීමට සුදානමින් දේශපාලනය කරන පුද්ගලයකු වන ජවිපෙ නායකයා, කිසිදු සාක්ෂි සාධකයක් නොමැතිව මෙවැනි බරපතල ප්‍රකාශයක් සිදු නොකරනු ඇත.

එම නිසා අනුර දිසානායකගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගත තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ, සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ ඔවුන් හා එක්ව දේශපාලන කටයුතු සිදු කරන පුද්ගල කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය හා ආරක්ෂක අංශ වහා විමර්ශනයක් පැවැත්විය යුතුය. මන්ද මෙහි අනතුර ඇත්තේ මුළුමහත් රටවැසියාට පමණක් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයටය. ජාතික ආරක්ෂාවටය. එසේම මේ රටේ පුරවැසියා, සන්නද්ධ අරගලවල අභාවාචක අත්දැකීම් වුවමනාවටත් වඩා අත්විඳ ඇති බැවින් මෙම ප්‍රකාශය නියත වශයෙන්ම ජනතාව බියට පත් කරවයි.

එම නිසා ජවිපෙ නායක අනුර දිසානායක සිදු කළ මෙම ප්‍රකාශය වගකීම් සහගතව සිදු කළ සත්‍ය ප්‍රකාශයක් නම් ඊට අදාළ සාක්ෂි සාධක සමාජයට අනාවරණය කොට සිය ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය සනාථ කළ යුතුය. එය ඔහුගේ වගකීමකි.
එය එසේ නොවන්නේ නම්, නැතහොත් ජවිපෙ නායකයා විසින් සිය පාක්ෂිකයා නැගූ ප්‍රශ්නය මඟහැර යාමට කරන ලද වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස සැලැකිය හැකි නමුත් මේ රටේ ජනතාව නොමඟ යැවීම, භීතියට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට වගවීමෙන් ගැලවිය නොහැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *